ඩෙංගු රෝගය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කලාපයේ රටවල් කිහිපයකම වසන්ගතයක්ව පැතිර යමින් තිබේ. කෙසේ වුවද ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම සහ ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'අද' සමග සංවාදයේ යෙදුණි.
ලෝකය පුරාම ඩෙංගු පැතිරෙනවා
වසන්ගත රෝග ඇතිවූ විට එම රෝග මාසයකින්, දෙකකින් තුරන් කරපු ලෝකයේ කිසිම රටක් නැහැ. මැලේරියාව 1933දී ලංකාවේ ඇතිවුණත්, මැලේරියා වසන්ගතය අවසන් වුණේ පසුගිය 2016 වසරේ. ඒ වගේම තමයි ඩෙංගු වසන්ගත තත්ත්වයත්.
ඩෙංගු රෝගය අද ලෝකය පුරා පැතිරිලා තිබෙන්නෙ. ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක වගේම, සිංගප්පූරුවේ, මැලේසියාවේ, වියට්නාමයේ, ලාඕසයේ ඉන්දියාවේ ආදී රටවල ඩෙංගු ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඇතැම් රටවල වසන්ගත තත්ත්වයට පැමිණ තිබෙනවා.
නව වෛරසයක් ඇතිවීමෙන් තත්ත්වය දරුණු වෙලා
ඩෙංගු වෛරසය අලුත් ප්‍රදේශයක ශීඝ්‍රයෙන් පැතිරීම නිසයි මෙලෙස ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් තිබෙන්නෙ. මුලින් ලංකාවේ හමුවුණේ ඩෙංගු රෝගයේ 01 සහ 04 ප්‍රභේද පමණයි. ඩෙංගු රෝගයේ 02 ප්‍රභේදය අලුතින් ඇතිවී තිබෙනවා. 01 සහ 04 ප්‍රභේද පාලනය කර ගැනීමට පහසුයි.
මෙය එක්වරක් වැලඳුණොත් ප්රතිකාරවලින් පසුව රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිවෙනවා. නැවත රෝගය වැලඳීමේ ප්‍රවණතාව ඉතාම අඩුයි. නමුත් 02 ප්‍රභේදය පාලනය කිරීම අපහසු වී තිබෙනවා. මොකද එම ප්‍රභේදයේ වෛරසය එක් රෝගියෙකුට වැලඳුණු විට ඔහුට දෂ්ට කළ මදුරුවා දෂ්ට කරන සියලු දෙනා රෝගීන් වෙනවා. ඒ තත්ත්වය තුළයි රෝගය පාලනය කිරීමට අපහසු වී තිබෙන්නෙ.
පාලනය ප්රශස්ත මට්ටමකට තිබෙනවා
ඩෙංගු මරණ වාර්තා වී තිබෙන්නෙ 321ක පමණ ප්‍රමාණයක්. ලෝකයේ ඩෙංගු මරණ ප්‍රතිශතය ගත්විට අපේ රට තුළ එය ඉතාම අඩුම මට්ටමේ තිබෙන්නෙ. ලංකාවේ ඩෙංගු රෝගය කළමනාකරණය ඉතා ඉහළ මට්ටමකට පවතින බව ලංකාවට පැමිණි තායිලන්ත විශේඥයන් පැවසුවා. ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර වගේම නිවාරණයත් හොඳින්ම පවතින බවට ඔවුන් වාර්තාවක් ලබාදී තිබෙනවා.
රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවෙනවා
සැම අවුරුදු දෙකකට වරක්ම ඩෙංගු රෝගය උත්සන්න වෙනවා. 2009 සිට මේ තත්ත්වය තිබෙනවා. මෙවර තමයි ඩෙංගු රෝගය වැඩි වශයෙන්ම උත්සන්න වුණේ. මේ වනවිට ඩෙංගු රොගීන් වාර්තා වීම අඩුවෙමින් තිබෙනවා.
පසුගිය මාසයේ 07 වැනි සිකුරාදා ඩෙංගු රෝගීන් 9,623ක් වාර්තා වුණා. 14 වැනි සිකුරාදා 8,851ක් ඩෙංගු රෝගීන් වාර්තා වුණා. 21 වැනි සිකුරාදා ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නෙ 6,326ක් පමණයි. මේ ආකාරයට ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් තිබෙනවා.
රජයේ රෝහල් වෙත උපරිම පහසුකම්
රසායනාගාර සහිත සියලුම රෝහල් වෙත ඩෙංගු රෝගය පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබාදී තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000ක් වියදම් කළා. එලෙස යන්ත්‍ර ගෙන ආ නිසා තමයි ඩෙංගු රෝගය මේ තරම් දුරට හෝ පාලනය කර ගැනීමට හැකියාව ලැබුණේ. මෙම යන්ත්‍ර මගින් තත්ත්පර 30ට රුධිර වාර්තා 16ක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම ධූමායන යන්ත්‍ර 507ක් ජර්මනියෙන් ගෙන ආවා. ඒවා මේ වනවිට රෝහල් වෙත ලබා දී තිබෙනවා. ඩෙංගු මදුරු මර්දන සහායකයන් 1500ක් අලුතින් බඳවා ගනිමින් කටයුතු කාර්යක්ෂමව පැවැත්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මීගමුව සහ අයි.ඩී.එච්. රෝහල් තුළ රෝහල් පහසුකම් පුළුල් කිරීමට හමුදාව යොදාගත්තා. ජාතික රෝහල ප්‍රධාන කොට අනෙකුත් සියලුම ප්‍රධාන රෝහල් තුළ ඩෙංගු අධිසත්කාරක ඒකක ඇතිකළා. ඒවා සියල්ල මේ වනවිට ඉතා හොඳින් ක්‍රියාත්මත වෙනවා.
පෞද්ගලික අංශයේ මිල අඩුකළා
ඩෙංගු රෝගය හඳුනා ගැනීමට රෝහල්වලට ලේ පරීක්ෂා කිරීමට යන්ත්‍ර ලබාදුන්නා. ඒ වගේම පෞද්ගලික අංශයේ ලේ පරීක්ෂාවට ගන්නා ගාස්තු සියල්ල අඩුකළා. රුපියල් 750ට සිදුකළ සම්පූර්ණ රුධිර පරීක්ෂාව රුපියල් 250ක් දක්වා අඩුකළා.
රුපියල් 3000ට වඩා මුදල් අයකළ ඩෙංගු පරීක්ෂාව රුපියල් 1000ට අඩුකළා. ඒ පමණක් නොවෙයි පෞද්ගලික රෝහල් එම ක්‍රියාදාමය අනුගමනය කරනවාදැයි සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් පවා පත්කර තිබෙනවා.
ඩෙංගු පැතිර යෑමට මූලිකම හේතුව කසළ
ඩෙංගු පැතිර යෑමට මූලික හේතුව කසළ එක්රැස් වීමයි. ඒ නිසා තමයි රට පුරා තිබෙන කසළ ඉවත් කිරීමට වැඩි අවධානයක් යොමුකර තිබෙන්නෙ. එය ඩෙංගු නිවාරණ වැඩපිළිවෙළේ මූලික පියවරක්.
ජනතාවගේ සෞඛ්‍ය ගැන රජය අවධානයෙන් සිටින්නෙ
ජනතාවගේ නිදහස් සෞඛ්‍ය තහවුරු කිරීමට රජය උපරිම වශයෙන් කැපවෙනවා. ඒ නිසා විවිධ තීරණ රැසක් මේ වනවිටත් ගෙන තිබෙනවා. ඒ අනුව පිළිකා රෝගීන්ට ඔවුන්ගේ ජීවිත කාලයටම පිළිකා ඖෂධ ලබාදෙනවා. පෙර පැවැති මිලියන එකහමාරක සීමාව ඉවත්කර තිබෙනවා. හෘද රෝගීන්ට 'ස්ටෙන්ත් සෛල' නොමිලේ ලැබෙනවා.
ඇසේ සුද ඇතිවූවන්ට අක්ෂි කාච නොමිලේ ලබාදෙනවා. සියලුම රුධිර පරීක්ෂණ වාර්තා රෝහල් තුළදීම ලබාදෙනවා. සියලු ඖෂධ කිසිදු හිඟයකින් තොරව සියලුම රෝහල් වෙත ලබාදෙනවා. ඒ වගේම වෙළෙඳ පොළේ ඖෂධ මිල ගණන් ඉතා විශාල ලෙස පහත දමා ජනතාවට සහන සලසා තිබෙනවා. අක්ෂි කාච මිල විශාල ලෙස පහත හෙළා තිබෙනවා.
මෙවැනි දේ සිදුකර තිබියදීත් සහනයක් නැති බව කියන්න පුළුවන් දේශපාලක අඳබාලයන්ට පමණයි. දේශපාලන කණ්ණාඩිවලින් බලන පුද්ගලයන්ට නම්, මේ සේවාවන් එකක්වත් පෙනෙන්නෙ නැහැ. ඇතැමුන් පවසනවා ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිලා කියලා. නමුත් ඇත්තටම සිදුවෙලා තිබෙන්නෙ පෙරටුගාමී ආදී පක්ෂවලට නම්, බලාපොරොත්තු බිඳවැටිලා තිබෙනවා.
මේ රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිලා නැහැ. සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට අන්තවාදීන් ගෙනයන වැඩපිළිවෙළ නිසා ඔවුන්ට අනෙකුත් කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. සයිටම් එක පමණයි ඔවුන්ට පෙනෙන්නෙ.
දුම්කොළ සමාගමට අපි යටවෙලා නැහැ
දුම්කොළ සමාගමට යටවී සිටි රජයක් අපි වෙනස් කළා. සියයට අසූව රූපමය අවවාද ඇතුළත් කළා වගේම සිගරට් සඳහා ලෝකයේ වැඩිම බදු මුදල වන 90%ක බදු මුදල් අයකළා. මේ නිසා 46%න් දුම්බීම පහත වැටී තිබෙනවා. නමුත් මේ කිසිදු කාරණයක් මතුනොකර ඇතැම් පුද්ගලයන් දුම්කොළ සමාගමේ සහ ඖෂධ සමාගම්වල ඒජන්තවරුන් වගේ පුවත්පත්වලට ලිපි ලියනවා.
චෝදනා අසත්‍යයි
නෙවිල් ප්‍රනාන්දු රෝහලට දුම්කොළ සමාගමේ පුද්ගලයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර තිබෙනවා. දුම්කොළ සමාගම සහ සයිටම් අතර සම්බන්ධයක් නැහැ.
දුම්කොළ සම්බන්ධයෙන් හෝ ඖෂධ සම්බන්ධයෙන් තීරණ ගන්නා ආයතනයට ඔහු පත්කළා නම් ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම කරලා නැහැනෙ.
ඒ වගේම මේ විදියට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ පුද්ගලයා සමග අගමැතිතුමාගේ සාකච්ඡාවලට සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ අතරමැදියා වීමට හොඳයි. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්යක්ෂවරයෙක් වීම නරකයි.
බාල ඖෂධ විකුණන්න බැහැ
ලංකාවේ කිසිම බාල ඖෂධයක් විකුණන්න බැහැ. ලංකාව තුළ ඖෂධ විකුණනවා නම්, ලියාපදිංචි කිරීම අවශ්‍යයි. විකුණන සියලු ඖෂධ ලියාපදිංචි වී තිබෙන්නෙ. බාල ඖෂධ කියා දෙයක් නැහැ. බාල හෝ ඉතා හොඳ කියා දෙයක් නැහැ. ඒ නිසා තමයි ඖෂධ විකිණීමේදී ඖෂධ නාමයෙන් විකුණන්න තීරණය කර තිබෙන්නෙ.
අඩු මුදලින් වෛද්‍ය උපාධිය ගන්න සාර්ක් වෛද්‍ය විද්‍යාලය
සාර්ක් වෛද්‍ය විද්‍යාලයක් ඉදිකිරීමට සාර්ක් ලේකම්වරයා යෝජනාව ඉදිරිපත් කරන විට එයට ලංකාව අවස්ථාව ලබාදීමට සූදානම් බව මම පැවසුවා. සාර්ක් කලාපය තුළ ජීවත් වන දරුවන් විදෙස් රටවලට ගොස් වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට විශාල මුදලක් වැය කරනවා.
ඊට වඩා සාධාරණ මුදලක් වැයකර වෛද්‍ය උපාධි ලබාදීමේ අරමුණ ඇතිවයි අපි මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නෙ. අද මේ රටේ ඉන්න ඇතැම් අන්තවාදීන්ට නොතේරෙන දෙය තමයි සාර්ක් මහලේකම්වරයා පෙන්වා දී තිබෙන්නෙ. ඔහු පවසා තිබෙන්නෙ සෑම රටකම තිබෙන ඉල්ලුම පිළිබඳවයි.