Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
මම හිතන්නේ අපේ ක්‍රීඩකයන් දක්ෂතා අතින් ඉහළින් ඉන්නවා. කණ්ඩායම තුළ ඉතා හොඳ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ වගේම කණ්ඩායමට උසස් ගණයේ තරුණ ක්‍රීඩකයන් පැමිණෙමින් තිබෙනවා. අවාසනාවකට අපි සිම්බාබ්වේට පැරදුණා. එය අපි බලාපොරොත්තු නොවුණ ප්‍රතිඵලයක්. වඩාත් වැදග්ම දේ තමයි මහා ලොකු විදිහට බිය විය යුතු නැහැ.
අපි තේරුම්ගත යුතුයි අපිට අවුරුදු 02ක් තිබෙනවා ලෝක කුසලානයට. අපි කණ්ඩායම ගොඩනැගීම ආරම්භ කළ යුතුයි. එහි වගකීම් අලුතින් පත් වූ නායකයන් දෙදෙනාම ගත යුතුයි. ඒ වගේම තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයත් එය ගත යුතුයි. මේ වේලාවේ බය වෙලා ලොකු වෙනස්කම්වලට නොයා යුතුයි. ක්‍රීඩකයන්ව විශ්වාස කළ යුතුයි. ඔවුනට නන් අයුරින් සහය දැක්විය යුතුයි. ඒ වගේම ඔවුන්ව විශ්වාස කළ යුතුයි තම රාජකාරිය හරියට කරාවි කියලා.
මම හිතන්නේ ක්‍රීඩකයන්ට හැකි විය යුතුයි පීඩනය යටතේ සෙල්ලම් කරන්න. ජාත්‍යන්තර තරගවලදී එය අතිශය වැදගත්. ඒ සඳහා මානසික තත්ත්වය හදා ගැනීම අත්‍යවශ්‍යයි. ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩකයන්ගේ මනස හදන්න ආයෝජනය කරනවා. විශේෂයෙන් පූර්ණ කාලීනව මානසික විශේෂඥයන් (Sport Psychologist) ක්‍රීඩකයන් සමග සිටිය යුතුයි.
ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. අපේ ක්‍රීඩකයන් පැමිණෙන්නේ පළමු පෙළ තරගවලින්. අපේ පළමු පෙළ තරග හොඳ මට්ටමක නැහැ. ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගවලට ප්රවිශ්ට වීමේදී ක්‍රීඩකයන් වශයෙන් ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගත යුතුයි. තරග දිනවීමේ හැකියාව සහිතව. මං හිතන්නේ නැහැ මේ කණ්ඩායම නරකම කණ්ඩායමක් කියලා. මොකද අපි පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව මෙරටදී තරග 3-0ක් ලෙස පරාජය කළා. අවශ්‍ය වෙන්නේ ක්‍රීඩකයන්ට ගැලපෙන මග පෙන්වීමක් හා ඒ සඳහා සැලසුම් ලබාදීමයි.
ලෝක කුසලානයට කණ්ඩායම නම් කිරීමේදී පරක්කු වී හෝ මටත් කතා කළා. අරවින්ද මට කතා කළේ. මම ඊට එකඟ වුණා. ඒ අවස්ථාවේදී මගේ රාජකාරිය වුණේ කණ්ඩායමට උදව් කිරීමයි. ග්රැහැම් ෆෝඩ් මම දකින්නේ විශිෂ්ට පුහුණුකරුවෙක් හැටියටයි.
එහෙත් සමහර වෙලාවට බොහෝ පුද්ගලයන් ඇවිත් කණ්ඩායමට උපදෙස් දෙන්න ගත්තා. ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද පසුගිය ක්‍රීඩකයන් හෝ නැතිනම් වෙනත් පුද්ගලයන් කණ්ඩායමට යම් විදිහකින් සහය දක්වනවා නම්, එය පරිපාලනයෙන් පුහුණුකරුවන්ගෙන් හා කණ්ඩායමෙන් අසා සහයක් දැක්විය යුතුයි.
අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩු නැහැ. සහජ හැකියා ගත්තාම ඔවුන් ඉතාම ඉහළින් ඉන්නවා. අවාසනාවකට ඒ හැකියා තුළින් තරග ජයගන්න අපිට මේ අවස්ථාවේ බැරිවෙලා තිබෙනවා. සිම්බාබ්වේ වගේ රටකට පැරදුණාම ඔක්කෝම කියනවා දැන් අපේ ක්‍රිකට් ඉවරයි., මේක හරි ලැජ්ජාවක් කියලා. ඒ දේ ඇත්ත වුණත්, මම කවදාවත් දකින්නේ නැහැ අපේ ක්‍රිකට් මෙතැනින් ඉවරයි කියලා. එහෙම තිතක් දාන්න බැහැ. සමහර ක්‍රීඩකයන් ඉන්නවා ලෝකේ හොඳම ක්‍රීඩකයන් අතරට දාන්න පුළුවන්. කුසල් මෙන්ඩිස් ගත්තාම ඔහු ස්ටීවන් ස්මිත්, විරාට් කෝලිලා සමග කරට කර අවුරුදු ගාණක් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්.
යම් විදියකින් මාධ්‍ය‘වේදීන්, ප්‍රේක්ෂකයින්, රසිකයන් විදිහට දැන් තිබෙන තත්ත්වය ගැන අපට බයක් හිතෙන්න පුළුවන්. මේ අවස්ථාවේ තමයි අපි අපේ කණ්ඩායමට අවශ්‍ය සියලු සහය ලබාදිය යුත්තේ. නායකත්වයේ වෙනස් වීම දිගින් දිගටම හැමවෙලාවෙම වෙන දෙයක්. ඉතින් නායකයාට හිතුණාම දැන් මේක වෙන කෙනෙක්ට දෙන්න ඕන කියලා එය විය යුතු දෙයක්.
මේ වනවට දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග නායකත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ ආවේණික වූ නායකත්වය තුළින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්න කැපවෙලා ඉන්නේ. ඒකට අවස්ථාව ලබාදිය යුතුයි. හරි අඩිතාලමක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙනුත් තේරීම් කමිටුවෙනුත් දාලා දේවි කියලා මම විශ්වාස කරනවා.
මට කිසිම බලයක් නැහැ කාවවත් රටට ගේන්න හෝ රටින් එළියට දාන්න. මං හිතන්නේ චාලි ඔස්ටින්ව 2004 වගේ කාලේ ඉඳලා මම මගේ කළමනාකරු හැටියට ගත්තේ. ඊට පෙර ඔහු මහේල ජයවර්ධනගේ කළමනාකරු හැටියට හිටියා. මම චාලි ඔස්ටින්ව බඳවා ගත්තේ මගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න, දක්ෂතා දක්වන්න, එතැනින් එහාට යම් කිසි රාජකාරි හා අවස්ථා කළමනාකරණය කරගන්නයි. චාලි ඔස්ටින් මාව බඳවා ගත්තේ නැහැ. මොකද චාලි ඔස්ටින් වැඩ කරන්නේ මට. මම චාලි ඔස්ටින්ට වැඩ කරන්නේ නැහැ.
ක්‍රීඩක කළමනාකරණය ලෝකයේ ක්‍රිකට්වලට අලුත්දෙයක් නොවෙයි. සියලුම රටවල හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ පෞද්ගලික කළමනාකරුවෙක් හෝ කළමනාකරුවන්ගේ සමාගමකින් තමයි වැඩ කරන්නේ. ජාතික ක්‍රිකට් වලට ඔබ්බෙන් තිබෙන වැඩ රාජකාරිවලට පමණයි ඔවුන් ඉන්නේ. ජාතික ක්‍රිකට්වලට කළමනාකරු එක්ක කිසිම සම්බන්ධතාවක් නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට ලබාදෙන කොන්ත්රාත්තුවද, අයි.සී.සී. ක්‍රිකට්වල කොන්ත්රාත්තුවද අපේ වේතනද මේ කිසිම දේකට පෞද්ගලික කළමනාකරු සහභාගි වෙන්නේ නැහැ. ඔවුන්ට ඒකෙන් කොටසක් යන්නෙත් නැහැ.
ඔවුන්ට කිසිම බලපෑමක් කරන්නත් බැහැ. අනිත් එක මට හිනායන කරුණ චාලි ඔස්ටින් අපිව ලවා බලපෑම් කරනවා, අපි නායකත්වයේ ඉද්දි හෝ දැන් හෝ දැන් ඉන්න නායකයෙක් ලවා කියන දේ. චාලි ඔස්ටින්ටත් වාසියක් නැහැ එහෙම කළා කියලා. ඔහුට ඒකෙන් මුදලක් ලැබෙන්නෙත් නැහැ.
මම නායකයෙක් නම් මගේ නායකත්වය රඳා පවතින්නේ තරග ජයග්‍රහණය මත. තරග පැරදුණොත් මගේ නායකත්වය ඉවරයි. මම දස්කම් දැක්වූවේ නැති වුණොත් මගේ ක්‍රිකට් දිවියත් ඉවරයි. මගේ රාජකාරිය තිබෙන්නේ කළමනාකරුවෙක්ගේ වුවමනාවට හෝ වෙන කෙනෙක්ගේ වුවමනාවට හෝ මම ආස කරන ක්‍රීඩකයා ගස්සන්න නෙමෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයන් කවුද කියලා මගේ අදහස ලබාදෙන්න තේරීම් කමිටුවට.
ඔබ ඔහොම කියනවා නම් මම වැඩ කරලා තිබෙනවා අසන්ත ද මෙල්, අරවින්ද ද සිල්වා වැනි තේරීම් කමිටු සභාපතිවරු එක්ක. ඒගොල්ලන්ටත් කරන නින්දාවක් ඒක. මෙහෙම එළියේ ඉඳන් කවුරු හරි මෙහෙම කියන එක. මේක ඇත්තටම ගත්තොත් වෙන වෙන අයගේ වුවමනාවට අවශ්‍ය දෙය ගැන කතා නොකර කුමන්ත්‍රණයක් පිළිබඳව අපේ මනස යොමු කරලා ඇත්ත දේ කතා නොකර ඉන්න කරන ප්රයන්තයක්. මගේ වෙන්නත් පුළුවන් මහේලගේ වෙන්නත් පුළුවන් අපේ චරිතයට හානි කරන්න මේ දේ කරන්න පුළුවන්. ඇත්ත නැත්ත හරියට කතා කරලා හරි අවබෝධයෙන් මේක බැලුවාම මේකේ කිසිම ඇත්තක් නැති බව ඉබේටම තේරෙනවා.
උපුල් තරංග ජ්‍යෙෂ්ඨ විශිෂ්ට, ක්‍රීඩකයෙක්. ඔහුගේ නියම ස්ථානය ආරම්භක පිතිකරු ස්ථානයයි. ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස ශතක 15කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. නමුත් විවිධ අවස්ථාවල ඔහුට කණ්ඩායමේ ඉහළට පහළට යන්න වුණා. කණ්ඩායමෙන් එළියට යන්නත් වුණා. නමුත් වාසනාවකට ඔහු යළිත් කණ්ඩායම හා එක්වෙලා තිබෙනවා. මං හිතන්නේ ඔය ප්රශ්නය උපුල්ගෙනුත් ඇසිය යුතුයි.
මම ගත්තාම මගේ පිතිකරණ ඉතිහාසයේ මම ආරම්භක පිතිකරුවාගේ ඉඳලා අංක 09 වෙනකන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කරලා තිබෙනවා. 2007 ලෝක කුසලානයේදී මම අංක 04 ක්‍රීඩා කළා. දිනේෂ් චන්දිමාල් හොඳට ක්‍රීඩා කරද්දී මම ඔහුට අංක 03 දීලා මම අංක 04 ක්‍රීඩා කළා. සමහර වේලාවට මම අංක 05 ත් ක්‍රීඩා කළා. ඒ දවස් වල එක් පුහුණුකරුවෙක් මට කිව්වා පන්දුව දෝලනය වනවා නම් ඔයා අංක 03 ගහන්න. තණතීරුව ක්‍රීඩා කරන්න පහසු නම් ඔයා අංක 04ට ගිහින් අපි පොඩි කෙනෙක්ව අංක 03 දාමු කියලා. එහෙමත් කරලා තියෙනවා. අපි මේ සියලු චෝදනා බැලුවාම තේරුම් ගන්න ඕන තමන්ගේ පිතිකරණ ස්ථානය කුමක්ද කියලා. ඒ වගේම එතැන ඔබට වඩා දස්කම් දක්වන කෙනෙක් ඉන්නවාද කියලත් බලන්න ඕන.
මම මේ බලෙන් අංක තුනේ බැට් කරන කෙනෙක් නෙමෙයි. අංක 03ත් 04ත් මම පෙන්වලා තිබෙනවා මට ලකුණු ගහන්න පුළුවන් කියලා. ක්‍රීඩකයෙක් කණ්ඩායමට ආවාම තමන්ගේ ස්ථානය තහවුරු කරගන්න ඔවුන් දැනගත යුතුයි. කාලයත් සමග ඔවුන්ට උඩට යන්න ලැබේවි. රිකී පොන්ටින් අංක තුන ක්‍රීඩා කළේ. සචින් ටෙන්ඩුල්කාර් අංක 04. අන්තිමට ආරම්භක පිතිකරු හැටියට දිගටම ක්‍රීඩා කළේ.
මං හිතන්නේ යම් කිසි පුහුණුකරුවෙක්ව ගත්තාම දිගුකාලීන සැලැස්මක් තිබිය යුතුයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ ළාබාල කණ්ඩායමකට මාස 03කින්, 05කින්, 06කින් අවුරුද්දකින් වුණත් අවශ්‍ය තත්ත්වයට එන්න බැරි වෙනවා. ඔවුන්ට දිගුකාලීන සැලැස්මක් එක්ක වැඩ කළ යුතුයි. පුහුණුකරුවෙක් තෝරද්දී බැලිය යුතුයි මේ පුහුණුකරුවාද අපිට සුදුසුම කියලා. එංගලන්තය ගත්තාම ඇන්ඩෘ ස්ට්රාව්ස්ව ක්‍රිකට් අධ්යක්ෂ කරලා ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක කතා කරලා ට්‍රෙවර් බේලිස්ව බඳවා ගත්තා. ඔවුන් අවුරුදු ගාණක සැලැස්මක් හදලා ඉදිරියට ගියා. දැන් ලංකාවටත් එහෙම කරන්න ඕන.
චාලි ඔස්ටින් තාම මගේ කළමනාකරු. මම හිතන්නේ මෙතැන මේ බලපෑම් කරනවා කියන එක මට තේරෙන්නේ නැහැ. කොහොමද? මොකටද මේ බලපෑම් කරන්නේ කියලා. ක්‍රීඩකයෙක් ලංකාවට ක්‍රීඩා කළා කියලා එතැනින් ඔහුගේ තරග ගාස්තුවෙන්වත්, කොන්ත්රාත්තුවෙන්වත් තරගයේ වීරයා වුණා කියලා ලැබෙන මුදලෙන්වත් ඉන් කොටසක්වත් තමන්ගේ කළමනාකරුට යන්නේ නැහැ.
මම නායකයා කාලෙත් මහේල ජයවර්ධන නායකත්වය ලබද්දීත් අපි විශාල වශයෙන් රටට ජයග්‍රහණ ගෙනාවා.
අපි ක්‍රීඩා කරද්දී ලෝක කුසලාන 05ක අවසන් තරගයට ආවා. එක් ලෝක කුසලානයක් ගෙනාවා. එක පුද්ගලයෙක්ට බලපෑම් කරන්න පුළුවන්නම් එහෙනම් ඔහුට මේ රටේ මොනවද කරන්න බැරි. කවදාවක්වත් කළමනාකරුවෙක්ට එහෙම බලපෑමක් කරන්න බැහැ. එහෙම චෝදනාවක් තිබෙනවා නම් ඒ පිළිබඳව හරියට හොයන්න ඕන. අවුරුදු 08කට 09කට 10කට පෙරත් මම අයි.සී.සී.යට, අපේ පාලක මණ්ඩලයට කිව්වා ඕනෑම කළමනාකරුවෙක් ඉන්නවා නම් ඔහුව ලියාපදිංචි කරන්න කියලා. ඔහුගේ පසුබිම මොකක්ද කියලා හොයලා බලන්න කියලා.
අයි.සී.සී. ඇන්ටි-කරප්ෂන් කියලා කෝඩ් එකක් තිබෙනවා. හැමෝම ඊට අත්සන් තබන්න ඕන. මේක කළමනාකරුවන්ටත් බලපෑ යුතුයි. ඒ වගේම තේරීම් කමිටුවටත්, ක්‍රිකට් කමිටුවට මෙන්ම ක්‍රිකට් පිළිබඳව ඕනෑම කෙනෙක්ට එය පොදු වෙන්න ඕන. මේක ගැන චෝදනා නොකර හරි පරීක්ෂණයක් කරන්න. ඒකට අපි කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. මම කවදාවත් එහෙම ක්‍රීඩකයන් සම්බන්ධව බලපෑම් කරලා නැහැ. අංක එක කළමනාකරුට මම වැඩ කරන්නේ නැහැ.
ඔහු වැඩ කරන්නේ මට. මම නායකයෙක් විදිහට බලන්නේ දිනන්නයි. එතැනින් එහාට හදන කතා කියන කතා වෙනම අර්ථයකින් වෙනම සැලස්මකින් කියන දේවල්. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන මට අදහසක් තිබුණත්, මම දවසේ තිස්සේ ඕවා ගැන හොයන්න ගියොත් මගේ වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. එක චෝදනාවක් තිබෙනවා අපි බැට් කරන තැන්වලින් පල්ලෙහාට ගිහිල්ලා පොඩි අයට අවස්ථාව නොදුන්න නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ වුණා කියලා. තවත් කට්ටියක් කියනවා චාලි ඔස්ටින් මේක විනාශ කරනවා කියලා. තවත් අය කියනවා අපි චාලි ඔස්ටින් එක්ක එකතු වෙලා මේක විනාශ කරනවා කියලා.
තවත් අය කියනවා පාලක මණ්ඩලය මේක විනාශ කළා කියලා. මේ මත එනවා යනවා පුදුම විදිහට. හැබැයි කණ්ඩායම පරදිද්දී විතරයි මේ මත ගොඩ නැගෙන්නේ. දිනද්දී ඒවා අඩුයි. මේක මට වෙන්න පුළුවන් මහේල ජයවර්ධනට වෙන්න පුළුවන්. අපේ චරිතයට යම් කිසි හානියක් කරන්න සැකයක් අපි ගැන ඇති කරන්න කියන දෙයක් වෙන්න පුළුවන්. අනිත් අතට කාටහරි කියන්න පුළුවන් මේකේ ඇත්තක් තියෙනවා කියලත්. මේ දේවල්වලට අපක්ෂපාතී ලෙස ක්‍රීඩා ඇමතිතුමෙක් ඉන්නවා පාලක මණ්ඩලයක් තිබෙනවා ලෙහෙසියෙන්ම හොයලා බලන්න පුළුවන්.
මම පෞද්ගලිකව එහෙම දෙයක් අහලා නැහැ ඩිල්ෂාන් එහෙම කිව්වා කියලා. නමුත් ඩිල්ෂාන් චාලි ඔස්ටින්ට කරන චෝදනාවක් තිබෙනවා නම් මට එක දෙයක් ඇහුණා කොන්ත්‍රාත්තුවක් සම්බන්ධව. ඒ කාලේ එහෙම චාලි ඔස්ටින්ගෙන් එහෙම බලපෑමක් වුණා කියලා ටී.එම්. ඩිල්ෂාන් කියනවා නම් කණ්ඩායමට, ඔහුට කරන්න තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් තේරීම් කමිටුවත් එක්ක කතා කරන්න.
මං හිතන්නේ පෞද්ගලික අමනාපකම් සහ තරහා එද්දී තවත් විශේෂ වේලාවට එක එක විදිහට අවස්ථාවෙන් ප්‍ර‘යෝජන ගන්න හදනවා. ටී.එම්. ඩිල්ෂාන් කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර විශිෂ්ට තැනක ඉන්න ක්‍රීඩකයෙක්. දැන් එහෙම ඔහු කියනවා නම් 2009, 2010, 2011, 2012 ඩිල්ෂාන් ඒ ක්‍රීඩා කරපු වකවානුවේ ඔහුට ලේසියෙන්ම ක්‍රීඩා ඇමති ළඟට ගිහින් පාලක මණ්ඩලයත් සමග හරි කොමිසමක් පත් කරලා මේක ඇත්ත නැත්ත හොයලා බලන්න පුළුවන්. මෙහෙම ඇඟිල්ල දික්කරනවාට වඩා කළ යුත්තේ එයයි. ක්‍රීඩා ඇමතිතුමා කියලා තිබෙනවා මේකට පරීක්ෂණයක් කරනවා කියලා. ඒක හොඳ දෙයක්. හරි දත්ත එක්ක හරි ලියකියවිලි එක්ක බලන්න ඕන.
ශ්‍රී ලංකාවේ විශාල වූ ආපදා සෑහෙන ප්‍රමාණයක් වෙලා තිබෙනවා. හුඟාක් අය දැන් ආපදාවලදී එක එක්කෙනාට උදව් කරනවා. මම කාටහරි උදව් කළොත් ඒක සෙල්ෆියක් අරන් ෆේස්බුක් දාන්නේ නැහැ. ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් දාන්නේ නැහැ මං මෙහෙම උදව් කළා කියලා. ලංකාවේ සිදු වූ සියලුම ආපදාවලදී පෞද්ගලිකවත්, අපේ ගුණ ජය සතුට පදනම තුළිනුත්, යහළු මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන විශාල ලෙස උදව් කරලා තියෙනවා.
අපි ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කළේ මොනවාද කියලා බලන්න ඕන නම් ගුණ ජය සතුට පදනමේ සීනිගමට ගිහින් නැත්නම් උතුරු නැගෙනහිරට ගිහින් අපේ මුරලි හාමනි කප් එකට ඇවිත් බලන්න පුළුවන්. ඒ වගේම සී.සී.සී. ලයින්, සී.සී.සී. ෆවුන්ඩේෂන් එකෙන් උදව් කරන මානසික පීඩාවට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ට කරපු දේවලුත් අයි.සී.සී. ය සමග තින්ක්ට්වයිස් කියලා ඒඩ්ස් රෝගීන්ට කළ දේවලුත්, ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට කළ දේවලුත් ඔබලාට බලාගන්න පුළුවන්.
ඔස්ටින් මැනේජ්මන්ට් ලිමිටඩ් කියන ඒ ක්‍රීඩකයන් කළමනාකරණ සමාගමේ කොටස් හෝ වෙනත් දෙයක් අපිට කවදාවත් තිබිලත් නැහැ. අපි ගන්නෙත් නැහැ. අපි අරගන්නෙත් නැහැ. චාලි ඔස්ටින් අපිට ගෙවීමක් කරන්නෙත් නැහැ ඒ ක්‍රීඩක කළමනාකරණය තුළින්.
ඒ වගේම අපේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් කියන ඒ කෑම බිස්නස් එකෙත් චාලි ඔස්ටින්ට කිසිම අයිතියක් නැහැ. නමුත් කෘෂිකර්මය පිළිබඳව අපේ ව්‍යාපාරයක් තිබෙනවා. එකේ චාලි ඔස්ටින්, මහේල ජයවර්ධන හා අපේ දන්න හඳුනන දෙන්නෙක් බැඳිලා ඉන්නවා.
ඒ වගේම කිමින් කියලා තවත් එක කම්පැනියක ඉන්නවා. නමුත් ක්‍රිකට් සම්බන්ධ කිසිම දෙයක් නෙමෙයි. සමහර වෙලාවට කට්ටිය කියන්න පුළුවන් මේ සියල්ලටම ක්‍රිකට් සම්බන්ධයි කියලා. කිසිම සම්බන්ධයක් නැහැ ක්‍රිකට්වලට. ඒ දේවල් සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක වගකීමකින් යුතුව ලියකියවිලි එක්ක පෙන්වන්න පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd