මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පිළිබඳ විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අයවැයේ ගුණ අගුණ විවිධ ස්වරූපවලින් ඉදිරිපත් කරනු ලබන ආකාරයක් දැකගත හැකිය. අප එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සම්බන්ධ කර ගත්තේ අයවැය ගැන අදහස් දැනගැනීමටය.
Q දැනට ඉදිරිපත් කර ඇති අයවැයට විරුද්ධ පක්ෂවලින් වගේම ජනතාවගෙනුත් විරෝධයක් පළවී තිබෙනවා. සාක්කුවේ තිබෙන මුදල් සොරාගෙන තිබෙන බව ඔවුන් කියනවා. ඒ චෝදනාවලට ආණ්ඩුවට පිළිතුරක් තිබෙනවාද?
අපි 2015දී රජය ජයග්‍රහණය කරන විට රුපියල් බිලියන 10,000ක පමණ විශාල ණය කන්දරාවක රට ගිලිලා තිබුණා. එවැනි පරිසරයකයි අපි මේ රට බාර ගත්තෙ. අපිට අවුරුද්දකට රුපියල් මිලියන එකළොස් ලක්ෂයකට වඩා ණය ගෙවන්නත් තිබෙනවා. කිසිම ලාභයක් ලබන්න බැරි ආයතනවලට පසුගිය ආණ්ඩුව රුපියල් බිලියන 217ක් විදයම් කරලා තියෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, ශ්‍රී ලංකා ගුවන් සමාගම වැනි ආයතන 09 ක් තිබෙනවා කිසිම අදායමක් ලැබෙන්නෙ නැති. ඒ ණය අපි අනිවාර්යෙන්ම ගෙවන්න ඕන. මේ බරත් එක්ක ආණ්ඩුවක් හැටියට යම් දීර්ඝ කාලීනව සැලසුම් කරලා තීන්දු තීරණ ගන්න වෙනවා. මේනිසා ජනතාවට කෙටිකාලින සහන, වාසි දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම අර්බුදයක් තිබියදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවලට යම්යම් සහන ලබාදීලා තිබෙනවා.
ගිය අවුරුද්දෙ රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කළා. පෞද්ගලික සේවකයන්ට රුපියල් 2,500ක් වැඩිකරන්න කියලා අයවැයෙන් තීන්දුවක් ගත්තා. සමෘද්ධි ආධාර, වැඩිහිටියන්ට ගෙවන මුදල, ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබාදීම වැනි සහන ලබාදී තිබෙනවා. එම සහන සමග මෙවර අයවැය සංසන්දනය කරලා බලද්දී රටේ තියෙන ණය කන්දරාවත් එක්ක සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් අයවැයක් මේක. ලොකු දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් 2020 සඳහා යම් සැලැස්මක් අනුව මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න සැලැස්මක් අන්තර්ගත වෙනවා. කෙටිකාලීන වාසි ජනතාවට නොලැබෙන්න පුළුවන්. නමුත් රජය කල්පනාකාරීව, දීර්ඝ කාලීන සැලසුමක් අනුව තමයි මේක ඉදිරිපත් කරල තියෙන්නෙ.
Q නඩුවක් පවරන්න ගියත් බදු අයකරන මට්ටමින් ජනතාවගේ මුදල් ඇදගන්න ගත් උත්සාහයක් තියෙනවා නේද? මේවිදියට ජනතාවට පීඩාවට පත්වෙන බදු අයකරන්නෙ පසුගිය කාලයේ ලබාදුන් පොරොන්දු අමතක වෙලාද?
වතුර බිල වැඩිකිරීම සම්බන්ධව, නඩු පැවරීමේදී ගාස්තුවක් අයකිරීම සම්බන්ධව, දඩ මුදල් අයකිරීම ගැන මේ අයවැයේදී යෝජනා කළා. යම්යම් දේවල් ගැන යම්යම් සාකච්ඡාවන් යනවා. මම හිතන්නෙ ඒවා ගැන ආණ්ඩුව බලලා තවදුරටත් සාකච්ඡා කරලා ජනතාව පැත්තෙන්, ජනතාවට අවාසියක් නොවන පරිදි තීන්දු තීරණ ගනීවි. නමුත් මැදපෙරදිග රටවල තිබෙන තෙල් සම්පත වගේ, වෙනත් රටවල තියෙන එවැනි සම්පතක් වගේ සම්පත් අපේ රටේ නැති විත්තිය අපි මතක තබාගන්න ඕන. අද ලෝකයේ දියුණුවත් එක්ක අපනයනය ඉතාම තරගකාරීව තියෙන්නෙ.
ලෝක වෙළෙඳ පොළට ඒ සඳහා අවස්ථා සකස් කරලා තිබෙනවා. ඒවා එක්ක තමයි අපේ ආර්ථිකය ගොඩනැගිලා තියෙන්නෙ. රටක් හැටියට ඉදිරියට යන්න ජනතාවට තියෙන සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, යටිතල පහසුකම් ඉහළ දැමීම, නිවාස ලබාදීම වැනි ජනතාවට අවශ්‍ය කරන සුභසාධන ආර්ථිකය පවත්වාගෙන යන්න රජයට යම් මුදල් ප්‍රමණයක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාව වෙනුවෙන් බදු වැඩිකරන්න සිදුවෙනවා. ජනතාව පීඩාවට පත්නොකර මේක සැලැස්මක් අනුව යන්නෙ. ජනතාව පීඩාකාරී දේවල් තිබෙනවානම් අයවැය සංවාදය තුළ රජය හොඳ තීරණ ගනීවි.
Q ගිය වසරේ අයවැය ඉදිරිපත් කළාට පසුවත් මේ විදියට සංශෝධන ගෙන ආවා. අන්තිමට චෝදනාවක් ආවා 'ගරු කතානාකතුමනි' කියන ප්‍රකාශය පමණයි අයවැය කතාවෙන් ඉතුරු වුණේ කියලා. මෙවරත් රජය පැවසුවේ ජනතා අදහස් සැලකිල්ලට ගෙන අයවැය සකසන බව. ඒ විදියට ජනතාවගේ අදහස් අනුව අයවැය සකස් කළානම් මෙවැනි සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවක් පැනනගින්නේ නැහැ නේද?
අයවැය සකස් කරද්දී හැම පැත්තෙන්ම යෝජනාවන් ගන්නවා. අපිත් යෝජනා ලබාදුන්නා. ඒ යෝජනා ඉදිරිපත් කළාට පස්සෙ කාරක සභා අවස්ථාවට මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අයවැයට ඇතුළත් කළයුතුදේ සම්බන්ධව විවෘත සාකච්ඡාවක් යනවා. ඒක විවාදයකට වඩා සාකච්ඡාවක්. යම්යම් වෙනස් කිරීම් කරන්න තමයි කාරක සභා අවස්ථාව තිබෙන්නෙ. අපි ගත්ත තීරණ එතැනදී වෙනස් වෙන්න ඉඩ තිබෙනවා.හොඳ යෝජනා එනවනම් ඒක ලබාගැනීමේ වරදක් නැහැ.
Q මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරනවා කිව්වට ඒ සියලු දේවල් එකතු කළවිට රුපියල් 67ක් වගේ තියෙන්නෙ. නමුත් මෙවර පැනවූ බදු ප්‍රමාණයන් ඊට වැඩියි. මුදල් ඇමතිවරයා ලබාදුන් සහන ප්‍රමාණවත් කියලා මහජන නියෝජිතයෙක් හැටියට ඔබ විශ්වාස කරනවාද?
අපේ රටේ ඉතිහාසය ගත්තොත් ජනතාව හැමදාම සහන බලාපොරොත්තු වී තිබෙනවා. සාම්ප්‍රදායිකව මේ රටේ ජනතාව ඒකට පුරුදුවෙලා තිබෙනවා. කොච්චර අඩුකළත් ජනතාව කියන්නෙ ඒක මදියි කියලයි. කවදාවත් ඇතියි කියන්නෑ. හැමදාම අයවැයක් ඉදිරිපත් කළාම එල්ලවෙන චෝදනාවක් තමයි භාණ්ඩ මිල අඩුකරලා තියෙනවා මදියි කියන එක. මම කියන්නෙ එක කෑල්ලක් විතරක් නෙමයි අපි සමස්තය හැටියට මෙම අයවැය දිහා බලන්න ඕන. මේකෙ හොඳ දේවල් තියෙනවාද නරක දේවල් තිබෙනවාද, රටේ ඉදිරි අනාගතය හදන්න සැලසුම් යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවාද, මේ අයවැයට දැක්මක් තිබෙනවාද, නූතන ලෝකය එක්ක ගමන් කරන්න පුළුවන් අයවැයක්ද ඉදිරිපත් කරලා තියෙන්නෙ කියලා අපි බලන්න ඕන. එහෙම නැතිව ජනතාවට ලබාදීපු සහන, අඩුකරපු ගණන් විතරක් ගැන කතාකරලා සමස්ත අයවැය ගැන විග්‍රහයක් කරන්න බැහැ. සමස්ත අයවැය ගැන විග්‍රහයක් කරනවානම් මේ අයවැයේ තියෙන හැම අංශයක් ගැනම අපි විග්‍රහයක් කළ යුතුයි.
Q මේ දිනවල අයවැය විවාදය පැවැත්වෙන නිසා පක්ෂ විපක්ෂ පාර්ශ්වවලින් සාධනීය යෝජනා ඉදිරිපත් වෙන්න ඇති. අන්තිමට මොනවගේ අයවැයක් අපිට දකින්නට ලැබේවිද?
ජල බිල වැඩිකිරීම තාවකාලිකව නවත්තන්න කියලා දැනට කැබිනට් මණ්ඩලය එකඟවෙලා තියෙනවා. ඉදිරියේදී සභාවේ මතුවන සාකච්ඡාවලදී ආණ්ඩු පක්ෂයේ යෝජනාවලදී අපිට බලාගන්න පුළුවන් යම් යම් තීරණ ගන්න ඉදිරිපත් වේවිද කියලා. එහෙම සාධනීය යෝජනා ආවොත් ඒවා අනුමත කරන්න රජයක් විදියට අපි පසුබට වෙන්නෙ නැහැ. අනෙකුත් පක්ෂවල යම්යම් එකඟතා ආවොත් පසුගිය අයවැයේදීත් රජයක් විදියට අපි යම්යම් තීරණ ගත්තා. මෙවරත් විරුද්ධ පක්ෂය සාධනීය සංශෝධන ඉදිරිපත් කරනවානම් රජයක් විදියට ඒවා සලකා බලාවි.
Q ජනතාව පීඩාවට පත්කරන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීම නිසා බවට විරුද්ධ පාර්ශ්ව චෝදනා කරනවා?
දැන් විපක්ෂයේ ඉන්න අය ආණ්ඩු කරනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් ගත්තෙ නැද්ද? ලෝක බැංකුවේ උපදෙස් ගත්තෙ නැද්ද? ඒ ගොල්ලො මේ ආයතනවලින් ණය ගත්තෙ නැද්ද? ඒ අයත් ඒවා අරගෙන තමයි කළේ. නමුත් ඒ අය එම මුදල් අරගෙන විනාශකාරී දේවල්වලට යෙදෙවුවා. කිසිම ලාභයක් ගන්න බැරි විශාල ව්‍යාපෘතිවල ආයෝජනය කළා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය අනේපිඬු සිටාණෝ වගේ කෙනෙක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ ඒ විදියේ සල්ලි බෙදන වෙස්සන්තර කෙනෙක් නෙවෙයි. ඒ අය මුදල් ණයට දෙනවා. සියයට දෙකට වගේ ඉතාම අඩු පොළියට ණය දෙන්න ඒ අය අපිට එකඟවෙලා තිබෙනවා.
නමුත් ඒ අයගේ කොන්දේසි තියෙනවා. සමහර කොන්දේසි අපි පිළිගන්නවා. සමහර කොන්දේසි අපිට පිළිගන්න බැහැ කියනවා. ඒවා සලකා බලලා තමයි අපි ණය ගන්නෙ. රට දුවන්න, සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න අපිට ණයගන්න වෙනවා. නමුත් ඒ ණය අරන් කරන ව්‍යාපෘතිය මොකද්ද කියන එක තමයි වැදගත් වෙන්නෙ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන හැමදෙයක්ම පිළිඅරගෙන ඒ අය කියන පදයට නටන්න ආණ්ඩුව ලෑස්ති නැහැ. ආණ්ඩුව ඒ අය එක්ක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කිරීම තුළ අපි පුළුවන් තරම් වාසිය අරගෙන තමයි වැඩකරන්නෙ.
Q රාජ්‍ය සේවය ඇතුළු සුබසාධන අංශවලට මෙවර අයවැයෙන් කප්පාදුවක් වෙලා තියෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව එසේ වී ඇති බවත් විපක්ෂය කියනවා. මෙම තත්ත්වය රටක් විදියට බලද්දි අවාසිදායක නැද්ද?
රාජ්‍ය සේවය කප්පාදු කරපු බවක් අපිටනම් පේන්න නැහැ. නමුත් රාජ්‍ය සේවයේ යම්යම් වෙනස්කම් කරන්න ඕන, යම් යම් ප්‍රතිසංස්කරණ කරන්න ඕන කියලා මේ රටේ පොදු සාකච්ඡාවක් තිබෙනවා. රටේ ජනතාව රාජ්‍ය සේවය ගැන කලකිරිලා ඉන්නෙ. කවුද රාජ්‍ය සේවය ගැන සතුටින් ඉන්නෙ? මුළු රාජ්‍ය සේවයම පිරිහුණු ගතියක් තිබෙනවා. ඒක මුළු රටේම ජනතාවගේ තියෙන චෝදනාවක්. රාජ්‍ය සේවය ගැන කාටවත් හොඳ අදහසක් නැති නිසා රාජ්‍ය සේවයේ යම් ප්රතිසංස්කරණයක් කරන්න, ශක්තිමත් කරන්න, හොඳ ක්‍රියාශීලී සේවයක් කරන්න යම් යම් තීන්දු අපි ගන්න ඕන. ඒක අපි සියලුදෙනාම පිළිගන්නා දෙයක්. ඒවගේ දේවල් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව කියන්න අවශ්‍ය නැහැ.
ලංකාවේ රාජ්‍ය සේවයේ තත්ත්වය ගැන අපි හැමෝම දන්නවා. ඒක සංකල්ප වශයෙන් වෙනසක් ඇතිකරන්න ඕන. ඒ සඳහා යම් යම් තීන්දු තීරණ ගන්න වේවි. රාජ්‍ය සේවයට අලුත් දේවල් එකතු කරන්න වේවි. එහෙම කළොත් පමණයි ජනතාවට හොඳ සේවයක් ලබාදෙන්න පුළුවන් වෙන්නෙ. එවිටයි ජනතාවාදී ආයතන බවට ඒවා පත්කළ හැකිවන්නෙ. මන්ත්‍රීවරු හැටියට අපිට වුණත් රාජ්‍ය ආයතනයකට ගියාම තේරෙවනවා මේ අයතන කොතරම් පිරිහිලාද කියලා.
Q මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කියා තිබෙනවා අයවැයට විරුද්ධව ඡන්දය දෙන බව. මේ විරෝධය අයවැයේ අඩුපාඩු තිබෙන නිසා නේද?
ජනතා විමුක්ති පෙරමුණයි, ඒකාබද්ධ විපක්ෂයයි ගිය පාරත් විරුද්ධව ඡන්දේ දුන්නනෙ. ඒක ඒ අයගේ ජොබ් එක. ඒ අය ජොබ් එක කරන්න එපැයි. ඒක ඉතිං අපිට අලුත් දෙයක් නෙවෙයි.