රණවිරුවන් අත්අඩංගුවට ගනිමින් ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව දඩයම් කිරීමට සැරසෙන බව විපක්ෂය විසින් ආණ්ඩුවට එල්ල කරන චෝදනාවකි.
මේ සම්බන්ධයෙන් මෙන්ම වත්මන් ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් සිදුකර ඇති කාර්යයන් සම්බන්ධයෙන්ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පිළිතුරු ලබාදුණි. අමාත්‍යවරයාගේ අදහස් පහතින් දැක්වේ.
ආණ්ඩුවේ ස්ථාවරත්වය
ආණ්ඩුව අස්ථාවර බව කියමින් විවිධ පුද්ගලයන් විවිධාකාර කටකතා පතුරුවනවා. මේ කටකතා පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන බලලෝබය තිබෙන්නේ. රජයට විවිධාකාර චෝදනා එල්ල කරනවා. මේ සියලු චෝදනා අපි තරයේ හෙළා දකිනවා. ඒවායේ මේවායේ කිසිම ඇත්තක් නැහැ. ආණ්ඩුවේ කිසිම අස්ථාවර භාවයක් නැහැ. ජාතික ආණ්ඩුවක් තුළයි අපි කටයුතු කරන්නේ.
මේ තුළ පක්ෂ ගණනාවක් එකතුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන යුද පිටියේ විරුද්ධව සටන් කරපු පක්ෂ දෙක දැන් එකට එකතුවෙලා සිටින්නේ. ඒ නිසා විවිධ මතවාද තිබෙනවා.
මතවාද තිබුණත් අපි රජයේ දිගු ජයග්‍රහණ වෙනුවෙන් මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා. ඒකාබද්ධ විපක්ෂය කුමන චෝදනා කළත් ආණ්ඩුව අපි ආරක්ෂා කරනවා. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. අපි එකතු වුණේ මේ රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් සොයන්නයි. එසේ විසඳුම් සොයාගෙන රට ශක්තිමතක් කිරීමයි ආපේ අරමුණ වී තියෙන්නේ.
රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය
කිසිම රණවිරුවෙකු අත්අඩංගුවට ගන්න ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒක රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. කොමදෝරු දසනායක සම්බන්ධ ප්රශ්නය ඇතිවෙලා තිබුණේ 2009 දී. හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ මහත්මයාගේ කාලයේ නාවික හමුදාවේ සම්පත් කියන පුද්ගලයාට විරුද්ධව ගොනු කළ පැමිණිල්ලකට දීර්ඝ කාලීන විමර්ශනයක ප්‍රතිඵලයක් හැටියටයි මේ කාලයේදී කොමදෝරු දසනායක අත්අඩංගුවට පත්ව සිටින්නේ.
මේ තුළ කිසිම දේශපාලන පළිගැනීමක් හෝ දේශපාලන ඇඟිලි ගැසීමක් හෝ කිසිම දෙයක් සිදුවී නැහැ. දීර්ඝ කාලීන විමර්ශනයක ප්‍රතිඵලයක් හැටියටයි මේ අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මමත් කනගාටු වෙනවා. කොමදෝරු දසනායක දක්ෂ නිලධාරියෙක්. නමුත් ඔහුට එරෙහිව තවත් චෝදනවාක් තිබෙනවා. ඒ ගැන කනගාටු වෙනවා.
අධිකරණයේ මේ නඩුව විභාග වෙනවා. ඔහු නිවැරදිකරුවෙකු නම් අධිකරණයෙන් නිදහස් වෙයි. වැරද්දක් කරලා ඇත්නම් ඔහුට එයට මුහුණ දීමට සිදු වෙයි. මම පැහැදිලිව කියන්නනට අවශ්‍යයි අපි රණවිරුවන් වෙනුවෙන් සිටින නමුත් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බව. යුද සමයේදී යම් අපරාධ සිදු කළ බවට චෝදනා තිබෙනවා නම් ඒවාට මුහුණදීමට ඔවුන්ට සිදුවෙනවා.
රණවිරු දඩයම් කළේ පසුගිය ආණ්ඩුව
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් තමයි මුලින්ම රණවිරු දඩයම ආරම්භ කළේ. මහේෂ් සේනානායක මහත්මයාට පවා ඒවගේ දේවල් සිදුවුණා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ ආණ්ඩු දේශපාලන පළිගැනීම් සිදුකළ සියලුම රණවිරුවන් අපි නැවත හමුදාවට සම්බන්ධ කරගෙන තිබෙනවා. හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙන්නේ අපි. කවුරුන් හෝ හමුදාව තුළ ඉඳිමින් අපරාධ සිදුකර තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් අපිට කිසිසේත්ම මැදිහත් වෙන්නට බැහැ.
කිහිපදෙනෙක් කරපු වැරදි නිසා ත්‍රිවිධ හමුදාවට අගෞරවයක් වීමට ඉඩදෙන්න බැහැ. ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි. ඉදිරියේදී සාම සාධක හමුදාවට අපේ හමුදාවන් යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හමුදාවේ කීර්ති නාමය අපි ආරක්ෂා කළ යුතු වෙනවා. කිහිප දෙනෙක් කරපු දේවල් නිසා හමුදාවට විවිධ පාර්ශ්වලින් චෝදනා එනවා. එවිට ත්‍රිවිධ හුමුදාවට කළු පැල්ලමක්. මේ කළු පැල්ලම් ඉවත්කර ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කිරීමයි අපේ අරමුණ.
රණවිරු ගැටලු විසඳීම
රජය රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. ජාතික ආණ්ඩුවේ අවුරුදු දෙක හමාරක කාලය තුළදී ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුව රණවිරුවන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වෙලා විශාල වශයෙන් විසඳුම් ලබාදී තිබෙනවා. රණවිරුවන්ගේ සැම ප්‍රශ්නයක්ම විසඳා තිබෙනවා කියලා මම කියන්නේ නැහැ. ඔවුන්ට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
නමුත් මූලික ප්‍රශ්නවලට අපි මැදිහත් වුණා. මේ වසර දෙකහමාරක කාලය තුළදී විසඳුම් ලබාදිය හැකි ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන්නා. රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ තිබෙන ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නා. රණවිරුවන්ගේ වයස අවුරුදු 55 න් පසුවත් වැටුපට අනුව සේවා විශ්‍රාම වැටුප 85%න් වැඩි කර ලබා දුන්නා. ආබාධිත රණවිරුවන්ගේ දුබලතා හේතුවෙන් මියගිය හොත් ඔවුන් යුද්ධයේදී මියගිය රණවිරුෙවකු සේ සලකා ඔවුන්ගේ යැපෙන්නන්ට ඔහුට හිමි සියලුම හිමිකම් ලබාදීමට කටයුතු සලසා තිබෙනවා.
ඒවගේම හමුදා සේවයේ වසර 10 ක හෝ 12 ට අඩු සේවා කාලයක් නිරතවී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවටන් විශ්‍රාම වැටුප ලබාදීමට සැලසුම්කර තිබෙනවා. ඒ වාගේම සිවිල් ආරක්ෂක බළකාය දෙපාර්තමේන්තුවක් බවට පත්කර සිවිල් ආරක්ෂක බළකායේ හතළිස් දාහක් රජයේ සේවයට බඳවාගෙන දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යනවා.
ඔවුන්ටත් වයස 55න් පසුව විශ්‍රාම වැටුපක් ලබාදීමට සලස්වා තිබෙනවා. මේ සියල්ලම අවුරුදු දෙක හමාරක් තුළ කරපු දේවල්. මීටත් වඩා තව බොහෝ දේ සිදුකරන්නට තිබෙනවා. නිවාස අමාත්‍යාංශය සමග එක්ව ආබාධිත රණවිරුවන්ට නිවාස ලබාදෙන්න 'විරු සුමිතුරු' වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ සියලු දේ සිදුකළත් රණවිරුන් වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැහැ කියලා අපිට හැමදාම චෝදනා කරනවා.
යුද්ධය අවසන් වුණේ 2009 වසරේදී. පහුගිය ආණ්ඩුවට බලය අහිමිවුණේ 2015. මේ කාලය තුළ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න බැරිවුණේ ඇයි කියලයි මම මේ චෝදනා කරන අයගෙන් අහන්නේ. අද මේ කෑගහන අය එදා මේ ගැන පාර්ලිමේන්තුවේ හඬක් නැගුවේ නැත්තේ ඇයි? ඒ නිසාම පැහැදිලියි මොවුන් මේ කෑගහන්නේ රණවිරුවන්ට ආදරේකට නෙවෙයි ඔවුන්ගේ බලය වෙනුවෙන් මේ ප්‍රශ්න පාවිච්චි කරන්නේ. මේ විදිහට දේශපාලනය කිරීම ගැන අපි කනගාටු වෙනවා.
මුහුද ආරක්ෂා කිරීම
යුද්ධය අවසන් වෙලා තිබෙන නිසා අපි දැන් අවධානය යොමුකරන්නේ අපේ මුහුද ආරක්ෂා කරන්න. ලංකාවේ මුහුදු මාර්ගයේ නැගෙනහිර බටහිර ගමන් මාර්ගය තුළ බොහෝ ගමනා ගමනයන් සිදුවෙනවා. මේ පද්ධතිය ආරක්ෂා කරගැනීමට හොඳ නැව් අවශ්‍යයි. ඒ වගේම වර්තමානනයට ගැළපෙන නාවික හමුදාවක් අපිට අවශ්‍යයි. අපි තවත් හොඳ නැවක් ලබන වසරේ අරගන්නවා.
නූතන නාවික හමුදාවක් ඇති කරන්න අපි රජය විදිහට විශේෂ අවධානයක් යොමු කරනවා. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල යුද නෞකා ලංකාවට එනවා. එය විශේෂ හොඳ තත්ත්වයක්.
මේ නිසාම අපේ සම්බන්ධතා වැඩිවී තිබෙනවා. නාවික හමුදාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී අපේ මුහුද ආරක්ෂා කිරීමයි අපේ අරමුණ වී තිබෙන්නේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් , මත්ස්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රටට විවිධ බලපෑම් තිබෙනවා. මේ නිසා හොඳ නාවික හමුදාවක් අපට අවශ්‍යයි.
සුදු වෑන් සංස්කෘතියක් නැහැ
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරපු ආකාරය පිළිබඳ මමත් කනගාටු වෙනවා. එය හෙළා දකිනවා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් නිල ඇඳුමෙන් සැරසී වරෙන්තුව රැගෙන ගියා නම් උචිතයි. මේ ගැන සාගල ඇමතිවරයා පරීක්ෂණයක් පවත්වනවා. ඒ ගැන ප්‍රකාශයක් කරයි. අපේ ආණ්ඩුවට සුදු වෑන් සංස්කෘතියක් නැහැ.
එවැනි යුගයකට යාමට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒවගේම යාපනයේ විනිසුරුවරයකුගේ වාහනයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. එහිදී එක් පොලිස් නිලධාරියෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ගැන මම කනගාටුවට පත් වෙනවා. මගේ දැනුවත්වීම අනුව යාපනගේ අවිගත් කණ්ඩායම් ඇත්තේ නැහැ. නගරවල ආරක්ෂාව සම්බන්ධයෙන් සීසීටීවී පද්ධති ක්‍රියාත්මක කර තිබෙන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය මගින් මේ වනතුරු යාපනයට සීසීටීවී පද්ධතියක් සවිකර නැහැ. ඉදිරියේදී එය ක්‍රියාත්මක කරයි කියලා මම හිතනවා.
කතා කිරීමේ නිදහස තිබෙනවා
එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙන් වෙනවා කියන චෝදනා පිළිගන්න බැහැ. දැනට පෙනෙන්න තිබෙන විදිහට නම් ඒකාබද්ධයේ පිරිසක් මේ පැත්තට එන ආරංචියකුයි තිබෙන්නේ. අස්ථාවරභාවය තිබෙන්නේ ආණ්ඩුවේ නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයේයි. පුංචි පුංචි ප්‍රශ්න ගැටලු එනවා. නමුත් ඒවා විසඳාගෙන යනවා. ජාතික ආණ්ඩුව තුළ ප්‍රජාත්‍රන්තවාදය තිබෙනවා.
ඕනෑම කෙනෙකුම ඕනෑම දෙයක් කියන්න පුළුවන්. රංජන් රාමනායක ඇමතිවරයා කියපු දේවල් අපි දැක්කනේ . බොහෝදෙනා කියනවා ඔහු පක්ෂයෙන් එළියට දානවා කියලා. එහෙම දෙයක් නැහැ. දැන් අපිට කතා කරන්න නිදහස තිබෙනවා. එහෙම කතා කළා කියන්නේ අස්ථාවරයි කියලා නෙවෙයි.
77 ජය සැමරීම
ජේ.ආර්. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් 77දී සිදු කළ පරිවර්තනය තුළින් මේ රටේ විශාල සංවර්ධනයක් සිදුවුණා. මේ ගැන අද කාලයේ තරුණ තරුණියන්ට අදහසක් නැහැ. විවෘත ආර්ථිකය නිසා තමයි අපේ රටට හැමදේම ලැබුණේ. නමුත් බොහෝදෙනා චෝදනා එල්ල කරන්නෙත් විවෘත ආර්ථිකයටමයි. 77 ජයග්‍රහණය සැමරීමේ චේතනාව මේ පිළිබඳ දැනුමක් ලබාදීමයි.