තමුන් ජීවත්වන කැලේ අයිතිය ලබා දෙන ලෙසත්, තම වරිගයේ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරදෙන ලෙසත් සිය පියාගේ කාලයේ පටන්ම ආදි වාසී ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, මේ වනතුරුත් මෙරට පාලනය කළ කිසිවෙකු එම ඉල්ලීම් ඉටුකරදීමට පියවර නොගැනීම කනගාටුවට කරුණක් බවත්, දැන් තමුන්ට කරන්නට ඉතිරිව ඇත්තේ මේ රටේ සෙසු මිනිසුන් සේම පාරට බැස උද්ඝෝෂණය කිරීම පමණක් බවත් දඹාන ආදි වාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැඇත්තෝ පැවසූහ.
කිරි කොරහ නැටීම
ආදි වාසී නායකයා මෙම අදහස් පළ කළේ අගෝස්තු මස 09 වැනි දිනට යෙදෙන ලෝක ආදි වාසී දිනයට සමගාමීව දඹාන කොටබකිනියේදී පැවැත්වෙන ජාතික ආදි වාසී දිනය නිමිත්තෙන් 'අද' පුවත්පත හා සංවාදයකට එක්වෙමිනි. අද තමුන්ට අවශ්‍යය සෑම දේම දිනාගන්නට සිදුව ඇත්තේ පාරට බැස උද්ඝෝසණය කිරීමෙන් බව පැවසූ ආදි වාසී නායකයා මෙරට පිහිටි සෑම ආදි වාසී ගම්මානයකම වෙසෙන වැදි ජනතාවගේ එකම ප්රශ්නය බවට පත්ව තිබෙන කැලේ අයිතිය දිනාගැනීම සඳහාද දැන් ඉතිරි වී ඇත්තේ එම විකල්පය පමණකැයිද පැවසීය.
"ආදි වාසීන් කියන්නේ තමුන්ට ආවේණික ගති සිරිත් චාරිත්‍ර වාරිත්‍ර අදහන පිරිසක්. ඒ අය මේ රටේ ගම්මාන ගණනාවක ජීවත්වෙනවා. ඒත් මේ හැමෝටම තියෙන්නේ එකම පොදු ගැටලුවක්. ඒ තමයි ඒ අයගේ වරිගේ පැවැත්මට තියෙන කැලේ අයිතිය අහිමි වීම.
අද මේ රටේ හැමදේටම උද්ඝෝෂණ කරනවා. පොඩි පොඩි දේටත් උද්ඝෝෂණ. අපි බලයට ආව හැම ආණ්ඩුවකින්ම කැලේ අයිතිය දෙන්න කියල ඉල්ලුවා. ඒත් අද අපේ වරිගේ කෙනෙකුට කැලේට යන්න බැහැ. මීයක් කඩාගන්න, දඩයමක් කරන්න කැලේට ගියොත් අල්ලලා නඩු දානවා. අද අපේ අයටත් ඉතිරි වෙලා තියෙන්නේ පාරට බැහැල උද්ඝෝෂණය කරන එක විතරයි. සමහර විට එහෙම කළොත් ඉල්ලීම් දිනාගන්න පුළුවන් වෙයි" යනුවෙන් ආදි වාසී නායකයා පවසයි.
හිටපු නායක තිසාහාමි ඇත්තේ ජීවත්වූ නිවස
ඔහු මෙසේද කියයි. “අපේ ගැටලු අද ඊයේ ඇති වුණ දේවල් නෙමෙයි. කාලෙක ඉඳලම අපේ මිනිස්සුන්ට ගැටලු තියෙනවා. ලොකුම ගැටලුව තමා ජීවත්වීමේ ගැටලුව. අද වෙනකොට මේ දඹානේ පවුල් 375ක් ජීවත් වෙනවා. මිනිස්සු විදිහට දෙතුන්දාහක් ජීවත් වෙනවා. ඒ වගේම නිල්ගල රතුගල, වාකරේ වගේ ගම්මාන 20ක විතර ආදි වාසී ජනතාව ජීවත්වෙනවා. මේ හැමෝටම තියෙන්නේ පොදු ගැටලු.
ඉස්සර මේ අය ජීවත් වුණේ කැලේ ඉන්න ඌරෝ, මුවෝ, ගෝන්නු වගේ නිදහසේ. හිතෙන විදිහට කැලේට යනවා. කඳුරකට යනවා. ගල්ගේකට යනවා. මීයක් කඩාගන්නවා. හිතුණොත් කැලේම නිදා ගන්නවා. එහේ බැරි නම් තව තැනකට යනවා. හරිම නිදහස් ජීවිතයක්.
හැබැයි මේ රට ආණ්ඩු පාලනයට ආවට පස්සේ ඒ නිදහස ටික ටික නැති වුණා. 1983න් පස්සේ සම්පූර්ණයෙන්ම නැති වුණා.
එතකොට නායකය මගේ අප්පිල ඇත්තො. උන්දැ ඒ කාලේ හිටිය ආණ්ඩුවල නායකයන්ට ඒ ගැන කීවා. එතකොට උන්දැට හම්බ උන උත්තරේ තමා කැලෙන් එළියට ඇවිත් හේනක් කොටාගෙන ජීවත් වෙන්න කියන එක. හැබැයි අප්පිල ඇත්තො එදා ඉල්ලුවේ කැලේ විනාශ කරන්න නෙමෙයි, කැලේ රැකගෙන ජීවත්වෙන්න දෙන්න කියලයි. හැබැයි ආණ්ඩුව දුන්න උත්තරේ නිසා ආදි වාසී මිනිස්සු විතරක් නෙමෙයි පිට අයත් ඇවිත් හේන් කපලා කැලේ සම්පූර්ණයෙන්ම විනාශ කළා.
අන්තිමට 83 දී මේ කැලේ මාදුරුඔය රක්ෂිතය බවට පත්කළා. ඒත් මේ වෙනකොට මේ වනාන්තරේ තිබුන දේවලුත් විනාශ වෙලා. දැන් ඒකේ ගස් කපනවා. සත්තු මරනවා. වැලි ටික අරන් යනවා. නිධන් හාරනවා.හැබැයි කවුරු මොනවා කළත් ඒ හැම චෝදනාවම එල්ලකරන්නේ අපේ ඇත්තන්ට. මේ කතාවලින් වැඩක් නැති තැන 1985දී අප්පිල ඇත්තන්ට අවස්ථාව ලැබුණ ජිනීවා සමුළුවට යන්න. හැබැයි උන්දැ අසනීප නිසා මම යන්න සූදානම් වෙද්දි මට ඒක තහනම් කළා. හැබැයි 1996දී මම ජිනීවා ගියා. රටවල් 136ක් එක්ක කතා කළා. ඒත් ඉතින් ප්‍රතිඵලයක් නම් නැහැ.
අද වෙනකාට අර හිසරුදාවට පිටකර බේත් බඳිනව වගේ මොනා හරි ඉල්ලුවොත් මොකක්හරි තාවකාලික විසඳුමක් දීල ආණ්ඩුව ඇඟ බේරා ගන්නවා. ඒ එකක්වත් නීත්‍යනුකූල නැහැ.අද දැන් එළියේ මහ සමාජයේ අය වගේම ආණ්ඩුව අපේ අයට දෝෂාරෝපණය කරනවා. අපේ වරිගේ විනාශ වෙලා. නටනවා. කවි කියනවා. වෙළෙඳාම් කරනවා කියලා. හැබැයි ඒ එක්කෙනෙක්වත් අපේ අය ඒ තත්ත්වයට පත් වුණේ ඇයි කියල කතා කරන්නේ නැහැ.
අර මාළුව වතුරෙන් උඩට අරන් අහනවලු ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේ තමා අපේ අයට තිබුණ දේවල් නැති කරලා දැන් අපේ අය අමාරුවෙන් ජීවත්වෙන්න හදනකොට ඒ ගැන විවේචනය කරනවා. මේ විදිහට ගියොත් තව ටික කාලෙකදි මේ පරම්පරාවට මොනවා වේවිද කියලා මට කියන්න බැහැ. අද මේ රැහේ කැකුළන්ට කැලේට යන්න බැහැ. සත්තු දකින්න බැහැ. අද ඉතින් ඒව ඉස්කෝලෙට ගිහින් තමා ඉගෙනගන්න වෙලා තියෙන්නේ. අත්දැකීම් නැහැ."
තම වරිගය වෙනුවෙන් එදා සිටම තමුන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එකම දෙයක් පමණක් බවද ආදි වාසී නායකයා පැවසීය.
ඕනෑම පරම්පරාවක් හරි ජාතියක් හරි මේ පොළොවේ රැඳෙන්න නම් මුලින්ම ඒ මිනිස්සුන්ට කන්න තියෙන්න ඕනි. කන්න හිඟ වෙලා ජාතියක්වත්, සංස්කෘතියක්වත් රැකෙන්නේ නැහැ. මිනිස්සු හොරකම් කරන්නෙත්, මංකොල්ල කන්නෙත්, බොරු කියන්නෙත්, ගහ බැණ ගන්නෙත්, බෙලි කපන්නෙත් මේ බඩ රැකගන්න ඕනි නිසයි.
ඒ නිසා මුලින්ම හිතන්න ඕනි මිනිස්සු ජීවත් කරවන්නේ කොහොමද කියලයි . ඒක නොකර මොන දේවල් කළත් වැඩක් නැහැ.
මට තියෙන සැලකිල්ලට අනුව මම මාළිගාවක් ඉල්ලුවොත් ඒක හදල දෙයි. හැබැයි මම ඒ මාළිගාවට වෙලා සැප වින්දට වැඩක් නැහැ. මම අනිත් අය ගැන හිතන්න ඕනි. ඒ නිසා මේ රැහේ පවතින්න නම් පළමුවෙන්ම මේ මිනිස්සු ජීවත්වුණ, මේ මිනිස්සුන්ගේ සංස්කෘතිය රැකුණු කැලේ අයිතිය ආයෙත් මේ අයට ලැබෙන්න ඕනි.
වෙළඳාමේ යෙදෙන ආදිවාසීන්
ඒත් අද අපිට අද කැලේට යන්න අවසර නැහැ. කැලේ තහනම් කරපු එක හරියට අපේ වරිගේ තහනම් කළා වගේ වැඩක්.
අපේ පරම්පරාව රකින්න කියල පහුගිය කාලේ බලයට ආව හැම ආණ්ඩුවම එක එක දේවල් කළා. ගෙවල් හදලා දුන්න. සංවර්ධනය කියලා එකක් කළා. ආදායම් වැඩි කරන්න ඕන කියලා එක එක දේවල් කළා. හැබැයි ඒ හැම දෙයින්ම වුණේ අපේ සංස්කෘතිය විනාශ වුණ එක විතරයි.
ඕනෑම පරම්පරාවක් සල්ලි පස්සෙ යනවා කියන්නේ ඒ පරම්පරාවේ විනාශය අත ළඟටම ඇවිත් කියන එකයි. අද අපේ පරම්පරාවත් ඒ තැනට ගේන්න මේ ආණ්ඩු කටයුතු කරමින් ඉන්නවා.ආදි වාසී කියන්නේ සැලසුම් ඇතිව ජීවත්වෙන කොටසක් නෙමෙයි. අපේ සැලසුම තමා අද කනවා, හෙට මොනව හරි ලැබුණොත් කනවා, නොලැබුණොත් බුදියගන්නවා කියන එක.
වෙළඳාමේ යෙදෙන ආදි වාසින්
ආදිවාසි නායකයාගේ නිවස
(විශේෂ ස්තුතිය ආදි වාසී නායකයන්ගේ භාෂා පරිවර්තක හා දඹාන රේඩියෝවේ සන්නිවේදක ඌරුවරිගේ විමලරත්න ඇත්තන්ට )
එන්.කේ. නිශ්ශංක - මීගහකිවුල