මේ දිනවල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් ලෙසින් කැසිනෝ පනත පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබෙන මොහොතක ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග කළ සංවාදයකි මේ.
Q ක්‍රමෝපාය සංවර්ධන පනත යනු කුමක්ද?
ක්‍රමෝපාය සංවර්ධන පනත කියන්නෙ ඕනම රටක දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිගැන්වීම සඳහා ඔවුන්ට යම් සහන සලසලා දෙන ගමන් අප විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟතාවට පත්වුණාම ඔවුන්ට ඒ පහසුකම් ලබාදීමට සකස් කළ පනතක්. ඒ තුළ රැකියා අවස්ථා, ආයෝජනයේ ස්වභාවය, බලපත්‍ර කිරීම, රටට ඵලදායී විදේශීය ආයෝජන ගෙනඒම වගේ කාරණා කීපයක් සම්පූර්ණ වෙනකොට අපිට හැකිවෙනවා අපි පහසුකම් දෙන ආයෝජකයා දිරිමත් කරන්න.
Q කැසිනෝ පනතට ආණ්ඩුව තුළින්ම විරෝධතාවක් එල්ල වෙමින් පවතිනවා නේද?
මෙතන කිසිම කැසිනෝ පනතක් නැහැ. වැරදි මතයක් තියෙන්නෙ. මේ පනතෙ තියෙන්නෙ සම්පූර්ණ විස්තීරණ නිකේතන ඉදිකිරීමට උදවු උපකාර ලබාදීම සහ පහසුකම් ලබාදීම. විස්තීරණ නිකේතන කියන්නෙ සංචාරකයන් ලෙසින් අපේ රටට පැමිණෙන අයට ඔවුන් බලාපොරොත්තු වෙන පහසුකම් සලසාදීම වගේම ඔවුන්ට විවේකීව ගතකිරීමට මෙන්ම ක්‍රීඩා කිරීමට පහසුකම් සපයාදීමේ ක්‍රියාවලියක්.
Q පසුගියදා කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රසිද්ධියේ පවසා සිටියා ධම්මික පෙරේරාට සහ රවී විජේරත්නට කැසිනෝ බලපත්‍ර 5 ක් ලබාදුන්නාය කියලා
අපි බලපත්‍ර කිසිවක් කිසිවෙකුට ලබාදීලා නැහැ. ඔවුන් විසින් 1988 ඉඳලා බදු ගෙවීම් කරගෙන යනවා. ඒවයින් තමයි ඔවුන් සෙල්ලම් කරන්නෙ සහ ස්ථාන පවත්වාගෙන යන්නෙ.
Q එහි පාර්ශ්වකරුවෙක් ලෙස ජේම්ස් පැකර්ට එම ව්‍යාපෘතීන්ට සම්බන්ධ විය හැකියි නේද?
ඒක මම දන්නෙ නැහැ. මොකද අපි ව්‍යාපෘති අනුමත කරන්නෙ, විස්තීරණ නිකේතනවලට. ඒක දාන්නෙ කවුද? ඇතුළෙ මොනවද වෙන්නෙ කියලා අපි හොයන්නෙ නැහැ.
Q මෙම පනත තුළින් අපේ රටේ කුඩා හෝටල් හිමියන්ට සහ ව්‍යාපාරිකයන්ට අත්වන ඉරණම කෙබඳුද?
ඔවුන්ට කිසිම හානියක් වෙන්නෙ නැහැ. කුඩා සංචාරක හොටෙල්වලට එන පිරිස වෙනයි, මහා පරිමාණයේ හොටෙල්වලට එන පිරිස වෙනයි. මේ නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට හානියක් වෙන්නෙ නැහැ. උදාහරණයක් හැටියම ගත්තම සුපිරි වෙළෙඳ සැල් තියෙනවා. ඒ වගේ තැන්වලින් බඩු ගන්න පිරිසක් ඉන්නවා. කම්කරුවෙක් ඒ වගේ තැනකට බඩු ගන්න යන්නෙ නැහැනෙ. ඒ වගේ අයට සුළු කඩවල් තියෙනවා.
Q රජයක් විදියට මෙම පනත සම්බන්ධව ජනතාවට නිල ප්‍රකාශයක් කළ යුතුයි නේද?
ආණ්ඩුව ජනතාවට දින 43 ක් ලබාදුන්නා මහජන අදහස්වලට. නමුත් ක්‍රමෝපාය සංවර්ධන පනතක දින 30 යි අදහස් දක්වන්න ලබාදෙන්නෙ. අපි වැඩියෙනුත් එක්ක ලබාදුන්නා. කිසිම කෙනෙක් උසාවි ගියේවත් මේක වැරදියි කියලවත් විරෝධයක් පළකළේ නැහැ. ඒ අනුව මහජනතාවගේ විරෝධයක් නෙමෙයි මෙතන තියෙන්නෙ. මේ රටට විදේශීය ආයෝජන එන එක වළක්වන්න විපක්ෂය ගෙනියන කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක්.
Q ජනතා විමුක්ති පෙරමුණ පවසනවා ඔබ හා ජේම්ස් පැකර් අතර රහස් සාකච්ඡා පැවැත්වෙන බව. මෙය ඇත්තක්ද?
එහෙම කිසිම රහස් සාකච්ඡාවක් අපි අතර නැහැ. සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව දැනුවත් කරලා තියෙනවා. ඊට වඩා කිසිම සාකච්ඡාවක් නැහැ.
Q ජේම්ස් පැකර්ගේ මුදල්වලින් පසඳ යාපාගේ ඡන්ද ව්‍යාපාරය කළ බවට පැතිරී තිබෙන කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේද?
ඔය වගේ බොරු කතාවලට ජනතාව නිවැරදි උත්තරයක් ලබාදීලා තියෙනවා. මගේ පුතා මාතරින් පළමු වැනියා වෙනකොට ජනතාව මේවා කියන දේශපාලඥයන්ට වඩා බුද්ධිමත් බව පේනවා. ඔය කතාව එක්ක තවත් ඒවා කීපයක් කිවුවා. නමුත් ජනතාව ඒවා කනකට ගත්තෙ නැහැ.