සල්පොනයිල් යූරියා ඇතුළු ඇටොලැක්ටේට් සින්තේස් (ALS) නිශේධක වල්නාශක සම්බන්ධයෙන් ලෝකයේ ඉතා ශීඝ්‍ර ලෙස වල්පැළෑටිවලට ප්රතිවිරෝධිතාව ඇතිවීමේ ප්‍රවණතාවයක් වාර්තා වී තිබේ. පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා ඒ සම්බන්ධයෙන් අවධාරණය කරන මතු කරුණු මෙසේ දක්වමු.
ලෝකය පුරා වල්පැළෑටි වර්ග 150 ක් පමණ මෙසේ ප්රතිවිරෝධීතාවට ලක්ව ඇති බව වාර්තා වෙයි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වල්නාශක අතරින් දුර්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ ලද පැමිණිලි අතර සල්පොනයිල් යූරියා ඇතුළු ඉහත වර්ගයේ නිශේධන වල්නාශක කාණ්ඩයේ සංයෝග කෙරෙහි අවධානය යොමු වී ඇත.
ලෝකයේ විවිධ රටවලින්ද මේ සඳහා සාක්ෂි ඉදිරිපත් වී ඇති අතර, මෙම තත්ත්වය වල්නාශක ක්රියාකාරීත්වයේ නිසඟ ගුණාංග හේතුවෙන් සිදුවිය හැකිය. මෙයට අමතරව ගොවි මහතුන් විසින් සිදුකරන වල්නාශක එකිනෙක මිශ්‍ර කිරීම, නිර්දේශිත මාත්‍රාවන් භාවිත නොකිරීම, එක් වගා කන්නයක් තුළ වාර කීපයක් භාවිත කිරීම වැනි අක්‍රමවත් පරිහරණ රටාද ඊට හේතු විය හැකි බව විද්‍යාත්මක පිළිගැනීමකි.
මෙම තත්ත්වය නිසි පරිදි වටහාගෙන ක්‍රමවත් වල්නාශක පරිහරණ රටාවකට යොමු නොවුණහොත් වල්නාශක මගින් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබීම මෙන්ම වල්නාශකවල දීර්ඝකාලීන ක්ෂේත්‍ර සඵලතාව අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැකිය. එසේම එවැනි අවස්ථාවලදී වල්නාශක වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමේ අවදානමද මතු වෙයි. එබැවින් සල්පොනයිල් යූරියා ඇතුළු ඇසටොලැක්ටේට් සින්තේස් නිශේධක වල්නාශක භාවිත කිරීමේදී ගොවි මහතුන් විසින් පහත සඳහන් පොදු මාර්ගෝපදේශ අනුගමනය කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් දෙයි.
භාවිතයට පෙර ලේබලයේ උපදෙස් අනිවාර්යයෙන්ම කියවා භාවිතයේදී එම උපදෙස් අනුගමනය කරන්න.
1. සල්පොනයිල් යූරියා ඇතුළු ALS නිශේධක අන්තර්ගත වල්නාශකයන්හී සියලුම ලේබලවල B සංකේතය සඳහන් කර ඇති බැවින් එවැනි වල්නාශක එකිනෙක ආදේශ කිරීමෙන් එනම් මාරුවෙන් මාරුවට භාවිත කිරීමෙන් හෝ වගා කන්න දෙකකට වඩා කන්න දෙකම වගා කරන්නේ නම් යල සහ මහ තුළදී හෝ යල පමණක් වගා කරන්නේ නම් යල කන්න 2 ක් හෝ මහ පමණක් වගා කරන්නේ නම් මහ කන්න 2 ක් ලෙස එක දිගට භාවිත කිරීමෙන් වැළකිය යුතුය.
2. සල්පොනයිල් යූරියා ඇතුළු ALS නිශේධක වල්නාශක සඳහා නිර්දේශිත වල්පැළෑටි කාණ්ඩ එකිනෙකට වෙනස් විය හැකි බැවින්, (උදාහරණයක් ලෙස ඒකවාර්ෂික තෘණ පළල් පත්‍ර හා පන් වර්ග ඊට ගැළපෙන පරිදි) දක්වා ඇති නිර්දේශිත මාත්‍රාවන් නියමිත කාල පරාසයක් තුළදී පමණක් භාවිත කිරීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ක්ෂේත්රය පූර්ව නිරීක්ෂණයකින් පසුව පමණක් අවශ්‍ය වල්නාශකය තෝරාගත යුතුය.3. කිසිදු අවස්ථාවකදී සල්පොනයිල් යූරියා ඇතුළු ALS නිශේධක වල්නාශක එකිනෙක මිශ්‍ර කිරීමෙන් වැළකිය යුතුය.
තවද වෙනත් වල්නාශක සමගද ඒවා කිසිදු අවස්ථාවක එකිනෙක මිශ්‍ර නොකළ යුතුය.4. ඔබගේ වගා ක්ෂේත්රයේ පවතින වල්පැළෑටි නිවැරදිව හඳුනාගෙන ඒ අනුව යෝග්‍ය සල්පොනයිල් යූරියා ඇතුළු ALS නිශේධක වල්නාශක තෝරාගත යුතුය. ලේබලය සඳහන් නිර්දේශිත වල්පැළෑටි හැර අෙනකුත් වල්පැළෑටි මෙම වල්නාශක මගින් මර්දනය නොවිය හැකි බැවින් එම වල්පැළෑටි මර්දනය කිරීම සඳහා නිර්දේශිත මිශ්‍ර කිරීමේ අනුපාතය හෝ මාත්‍රාව වෙනස් කළ යුතුය.5. වල්නාශක භාවිතයේදී සෑමවිටම අඩු පීඩන තත්ත්වයන් යටතේ රළු බිඳිති නිකුත්වන වර්ගයේ ඉසින යන්ත්‍ර සහ ප්ලැටිපෑන් හෝ ඩිප්ලෙක්ටර් වර්ගයේ නොසල පොදු නිර්දේශයක් ලෙස භාවිත කළ යුතුය. මෙය නොසල පොලිජෙට් ප්ලඩ්ජෙට් ඉම්පැක්ට් ආදී නම්වලින්ද භාවිත කෙරේ.6. සමහර සල්පොනයිල් යූරියා ඇතුළු ALS නිශේධක වල්නාශක සඳහා දක්වා ඇති භාවිත කිරීමේ සීමා (උදා - තෙත් කලාපයට පමණක් දක්වා ඇති නිර්දේශ) දැඩිව අනුගමනය කළ යුතුය. වල්නාශක ප්රතිවිරෝධය පිළිබඳ සැක පහළ කළ යුත්තේ පහත සඳහන් අවස්ථාවක් පරීක්ෂා කර බලා එසේ සිදුවී ඇති බවට තහවුරු කළ පසුය. එම අවස්ථා මතු දැක්වෙයි.
(අ) වසරක් පාසා හෝ වගා කන්නයක් පාසා එකම ක්රියාකාරීත්වයක් සහිත වල්නාශකයක් හෝ එකම වල්නාශක කාණ්ඩයක වල්නාශක කීපයක් භාවිත කර තිබීම.
(ආ) මුලින් සාර්ථක ලෙස මර්දනය වූ වල්පැළෑටියක් මර්දනය නොවී අනෙකුත් වල් විශේෂ පමණක් පාලනය වීම.
(ඇ) එකම වල්පැළෑටි වර්ගයක පාලනය වූ පැළෑටි අතර පාලනය නොවී ඇති පැළෑටි තිබීම හෝ
(ඇ) පාලනය නොවූ වල්පැළෑටි ගහනයක ශීඝ්‍ර වර්ධනය හා පැතිරීම
මෙම වල්නාශකය මගින් ශාකයේ වර්ධනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල 3 ක් වන වැලින් සහ ලියුසීන් සහ අයිසො ලියුසීන් නිෂ්පාදනය සඳහා දායක වන ඇසටොලැක්ටේට් සින්තේස් හෙවත් ඒඑල්එස් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය නිශේධනය කරයි. එනිසා එතුළින් ගසක වර්ධක සෛල විභාජනය වීම වළක්වා ශාකයේ අංකුර හා මුල් වර්ධනය නැවතීම සිදු වේ.
මේ සම්බන්ධයෙන් මතුවන දැනුවත් වීමේ අවශ්‍යතාවකදී වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හෝ ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන වෙත හෝ පළිබෝධනාශක රෙජිස්ටාර් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගන්නා ලෙස පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා 'අද' ට ප්‍රකාශ කළේය.