Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
මීතොටමුල්ල කුණුකන්ද නායයාමත් සමග මහනුවර නගරයේ කසළ බැහැර වන කටුගස්තොට කුණුකන්දද පුවත් මවන තැනක් බවට පත්විය. සැබැවින්ම කටුගස්තොට කුණු කන්දත් නායයයිද? මේ ඒ සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාවේ නාගරික යාන්ත්‍රික ඉංජිනේරු නාමල් ධම්මික දිසානයක මහතා සමග 'අද' කරන සංවාදයකි.
Q හදිසියේම රට පුරා ඇසෙන මේ කුණු කතාව මොකක්ද?
මිනිසා තමන්ගේ පාරිභෝජනයෙන් ඉවත දමන දේ කුණු යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනවා. අලුත් නගර සහ ජනාකීර්ණ නගරවල බැහැර වන කැළි කසළ ප්‍රමාණය වැඩියි.
කැළි කසළ බැහැර කිරීමේදී ඒවා කළමනාකරණය සඳහා ජනතාවට වගකීමක් තිබිය යුතුයි. පළාත් පාලන ආයතනයන්ටත් ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමේ වගකීමක් තියෙනවා. නමුත් මේ දෙපාර්ශ්වයටම ඒදේ කිරීමට නොහැකි තැන් තිබෙනවා. එවිට රජය එයට අනුබලය ලබාදිය යුතුයි. එතැනදී ජාතික වැඩසටහනක අවශ්‍යතාව මතු වෙනවා. රටට නැත්තෙ එවැනි ක්‍රමවේදයක්.
Q මේ කුණු ප්රශ්නය මෑත කාලීනව ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ අර්බුදයක් බවට පත්වන්නෙ කොහොමද?
77න් ඉස්සර මේ කැළි කසළ ප්රශ්නය ලොකුවට තිබුණෙ නැහැ. 77න් පසු විවෘත ආර්ථිකය සමග ප්ලාස්ටික්, පොලිතීන්, සිලිබෑග් වැනි දේ බහුලව ජනතාව අතරට පත්වුණා. ලංකාවේ පොලිතීන් ප්ලාස්ටික් භාවිතය පිළිබඳ පවතින නීතිරීති ප්‍රමණවත් නැහැ. අනික තියෙන නීති ක්‍රියාත්මක වනවා දැයි කියන සැකය තියෙනවා. හැම කුණු කන්දකම පොලිතීන්, ප්ලාස්ටික්, විද්‍යුත් උපාංග පිරිලා.
හැමදාමත් මීතොටමුල්ල, කරදියාන ගැන අරගල පෙන්වන ජනමාධ්‍ය කැළි කසළ බැහැර කිරීමේ යම් ක්‍රමයක් ගැන ජනතාව දැනුවත් කරන්න ජනමාධ්‍ය යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ පුවත් මවමින් ජනතාව කෝප කරවන සිදුවීම් පෙළගැස්වීමක් පමණයි.
මෙතැනදී රජයටත්, අධ්‍යාපනයටත් වගකීමක් තියෙනවා කසළ කියන්නේ ඉවත දැමිය යුතු දෙයක් නොව තවදුරටත් භාවිතයට ගතයුතු දෙයක් බව. අනික් අතට පොලිතීන්, ප්ලාස්ටික් අවම භාවිතය සහ තවත් ආකාරයෙන් ජනතාව අතර කැළි කසළ පාලනය කර ගත හැකි ක්‍රම හඳුන්වාදීම කළ හැකියි.
පොලිතීන් ඝනකම මයික්‍රො 20 සිට 40ට වැඩි කළා කියලා කැළි කසළ ගොඩට එකතු වන පොලිතීන් ප්‍රමාණය අඩුවන්නේ නැහැනෙ. අවශ්‍ය වන්නේ ඒ වෙනුවට භාවිතය අඩුවන තැනට ජනතාව දැනුවත් කිරීම සහ ඒවා භාවිතයෙන් ඈත්කිරීමයි. පවතින පොලිතීන් සම්පතක් ලෙස යොදාගත හැකි ක්‍රම සම්පාදනය කිරීමයි. දිනකට ලක්ෂ 20ක සිලිමලු ජනතාව භාවිත කරනවා.
ඇයි දිරා යන පොලිතීන් ලංකාවට භාවිතයට නියම කරන්න බැරි. ඒ වුණාට ලංකාවේ කර්මාන්ත ශාලාවල එම වර්ගය නිෂ්පාදනය කරලා රට පටවනවා. නොදිරන ඒවා අපේ පරිසරයට එකතු කර ගන්නවා.
Q මහනුවර නගරයේ කැළි කසළ බැහැර කරන කටුගස්තොට කුණු කන්ද පිළිබඳ පවතින බිය සැක ගැන කතා කළොත්?
මහනුවර නගරයේ ජනගහනය එක්ලක්ෂ විසිදහසක් වෙනවා. ඒත් නගරයට දිනකට ජනගහනය ලක්ෂ දෙකතුනක් පැමිණෙනවා. ඒ හැම කෙනෙකුම බැහැර කරන කැළි කසළවලට වගකියන්නෙ කවුද? මේවා මහනුවර ජනතාවගේ කැළි කසළ නෙවෙයි.
අපේ මහනුවර නගරය කොළඹ නගරයට වඩා විධිමත් කැළි කසළ බැහර කිරීම සඳහා කළමනාකරණයක් තියෙනවා කිව්වොත් සමහරවිට ඇතැමුන්ගේ හිත රිදෙන්න පුළුවන්. ඒත් ඇත්ත දැකිය යුතුයි. කොළඹ කරන්නේ පෞද්ගලික අංශය ලවා කසළ ඉවත් කිරීමයි.
ඒ අයට නිසි ප්‍රමිතියක් යටතේ ඒවා කරන්නේ නැහැ. නමුත් අපි දිරන, නොදිරන ප්ලාස්ටික්, පොලිතීන්, විද්‍යුත් උපාංග ආදි විවිධ අංශ යටතේ ඒවා රැස්කරනවා. අපි 2010 සිට මේ කටයුතු ආරම්භ කර 2024 දක්වා දිගුකාලීන ක්‍රියාදාමයක් පවත්වා ගෙන යනවා. මිලදී ගන්නවා.
Q මහනුවර නගරයේ දිනකට කැළි කසළ ටොන් 100ක් පමණ එකතු වෙනවා. එයින් ජනතාව ගෘහාශ්‍රිතව බැහැර කරන කැළි කසළ ප්‍රමාණය ටොන් 35යි ඉතිරි ටොන් 75 කාගේද?
ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්ත ශාලාවල ආපන ශාලාවල සහ පිටතින් එකතු වෙන දේවල්. එතැන්දී අපි 95%ක් එකතු කරනවා. ඉතිරි අයගෙන් කොටසක් තමා විසින්ම ඒවා බැහැර කර ගන්නවා. එයට අමතරව ඉතිරි අය කොතැනකට හෝ විසිකර තම වගකීමෙන් මගහරිනවා. එහෙම වෙනකොට ඒවත් අපේ පිට පැවරෙනවා.
මහනුවර නගරය ගත්තොත් ව්‍යාපාර 6750ක් තියෙනවා. එයින් වැඩිපුර පිටවන්නේ නොදිරන ඒවා. මහනගර සභා ආඥා පනත අනුව එහි 129 වගන්තිය යටතේ ගෘහස්ථ සහ වීදි කසළ පමණක් නගර සභාව එකතු කළ යුතුයි දක්වනවා. එයින් අනෙක් අතට පවසන්නේ ආපනශාලා ව්‍යාපාරික ස්ථාන කර්මාන්ත ශාලාවල කැළි කසළ ඉවත් කරදීමට මහනගර සභාව බැඳිලා නැහැ කියන එකයි.
නමුත් 65%ක් කැළි කසළ ව්‍යාපරිකයන්ගේ නම් ඒවා ඉවත්කර ගැනීමට ඒ අය ක්‍රමයක් සකස්කර ගත යුතුයි. ජපානය කොරියාව යුරෝපා රටවල් එවැනි ක්‍රම අනුගමනය කරනවා. අපේ රටටත් එවැනි ක්‍රම අවශ්‍යයයි.
අපි නගරයේ කැළි කසළ එකතු කිරීම හැරුණු කොට එවැනි ව්‍යාපාරික ස්ථානවල ඉවතලන කැළි කසළ ගණනය කර යම් ගාස්තුවක් අය කරනවා. මෙවැනිදේත් කළමනාකරණය සඳහා හොඳ මගපෙන්වීමක් වෙයි.
මහනුවර නගරය 1948 සිට පොදුවේ කැළි කසළ ඉවත් කළත් ව්‍යාපාරික ස්ථානයන් තමන්ගේ කැළි කසළ නගර සභාව ගෙන යන තුරු බලා සිටිනවා. ඔවුන් ව්‍යපාරයෙන් ලාභයක් උපයනවා නම්, කැළි කසළ ඔවුන්ගේ අපතයක් නම් ඒවා ඉවත්කර ගැනීමට යම් ක්‍රමයක් ඔවුන් සකස්කර ගත යුතුයි.
අපි 2014 සිට ව්‍යාපාරික ආයතනයන්ගෙන් එවැනි ගාස්තුවක් අය කිරීමට පටන් ගත්තා. ඇතැම් ජනමාධ්‍ය සහ ව්‍යාපාරිකයන් නිර්දය ලෙස අපව විවේචනය කළා. ඔවුන් පනත ගැන අවධානය යොමුකළේ නැහැ. දැන් කෑගසන කටුගස්තොට, ගොහාගොඩ කුණු කන්ද ගැන ඔවුන් එදා හිතුවේ නැහැ.
Q මහනුවර නගර සීමාවෙන් පිටත කටුගස්තොට, ගොහාගොඩ පිහිටි මේ කැළි කසළ අංගනය මහනුවර මහනගර සභාවට හිමිවන්නේ කොහොමද?
1933 අවුරුද්දේ අක්කර 32ක්වූ මෙම ගොහාගොඩ භූමිය මහනුවර මහනගර සභාව මිලදී ගෙන තිබෙනවා. ඒ සුද්දාගේ පාලන සමයේදීයි. එයින් අපේක්ෂා කළේ එවකට පැවැති බාල්දි වැසිකිළි එතැනට බැහැර කිරීම සහ ලාදුරු රෝගීන් සඳහා රෝහලක් හැදීමයි. එය පසුකාලීනව කැළි කසළ ඉවතලන අංගනය බවට පත්වුණා.
ඒ අතර මෙහි සේවය කළ කම්කරුවන් මහනගර සභාව සමග සාකච්ජා කර බදු ක්‍රමය යටතේ එහි නිවාස ඉදිකර ගත්තා. ඒ පවුල් ප්‍රමාණයෙන් විශාල වනවිට ඔවුන්ගේ දුදරුවන්ද ඒ භූමියේම තැනතැන නිවාස ඉදිකර ගත්තා.
Q ගොහාගොඩ කසළ අංගනය මේ වනවිට ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක කතාවක් බවට පත්වෙලා. 'කසළ කන්ද නායයයි' යනුවෙන් ජනතුව තුළ මේ වනවිට අනියත් බියක් ඇති කරලා. එහෙම වුණේ ඇයි?
එතැනදී ඇතැම් විද්වතුන් මහාචාර්යවරුන් හෝ මහජන නියෝජිතයන් නැත්නම් සමහර ජනමාධ්‍යද යොදාගෙන මේ කන්ද හරහා කළුයකෙක් මවා හුඹස් බියක් ඇති කිරීමට සමහර ව්‍යාපාරිකයන්ද උත්සාහ කරනවා.
දුහුවිලි වළාවක් නිකුත් වුණා කියලා පුවතක් නිර්මාණය කළා. ඒ කුණු ගොඩේ විතරක් නෙවෙයි. එම අංගනයේ පසෙක ඇති අපේ එම කාර්යාලය ඉදිරිපිට වැලිතලාවේත් එවැනි සුළිං වායු රැල්ලක් ඇතිවුණා.
Q මීතේන් වායුව සක්‍රීය විය හැකියි, විද්වතුන්ගේ පරීක්ෂණ අනුව අනාවරණය වීමත් සමග ජනතාව තුළ බියක් ඇතිවී තිබෙනවා. ඒ ගැන සොයා බැලුවාද?
මීතෙන් වායුව මෙපමණ යැයි කියලා කවුද මැන්නේ? කිනම් සාධක ඇතිවද මේ කන්ද නායයනවා යැයි ඒ අය කියන්නේ. දෙපැත්තට වැනෙන හෝ අනුමාන කතා නැතිව කැළි කසළ කන්ද නාය යනවාද නැද්ද හෝ එයින් මෙපමණ මීතේන් වායුවක් පිටවනවා හෝ මෙමගින් නිවාසවලට හානි වෙනවා කියන කාරණය වගකීමෙන් කිව යුතුයි. මේ කතා කිසිවෙකු විද්‍යාත්මකව සනාථකර නැහැ. කරන්නේ මතයක් නිර්මාණය කර පටු වාසි සඳහා ජනතාව උසිගැන්වීමයි. මේවා මහාචාර්යවරු වගකීමෙන් බැහැරව දේශපාලකයන් සහ ව්යාපාරිකයෙන්ගේ පටු අවශ්‍යතා සඳහා ප්‍රබන්ධය කර ඇති මිථ්‍යාවන් බව මම වගකීමෙන් කියනවා.
Q එහෙමනම් මෙතැන මීතේන් වායුව පිටවන්නේ නැද්ද?
ගොහාගොඩ කැළි කසළ කන්දේ සාමාන්‍යයෙන් 05%ක් උපරිමව තිබිය යුතු මීතෙන් වායුව 16%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පවතින කතාව බොරුවක්ද?
එහෙම නායයාමක් තියෙනවා නම්, මීතේන් වායුව පිට වෙනවා නම්, ඒ තැනට ගිහින් ඒ ගැන සම්පූර්ණ අධ්‍යයනයක් කළා යැයි කියන අය සාක්ෂි සහිතව ඒ හානිය ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා.
Q මෙතැන ජීවත් වන පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසෙනවා. එයින් එහාට ඔවුන්ට සිදුවන්නෙ කුමක්ද?
දැනට පවුල් 85ක් පමණ එහි වෙසෙනවා. එයින් පවුල් 56ක් මෙම අවස්ථාවේ අවශ්‍යතා අනුව අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුව තියෙනවා. එයින්ද මුල් අදියර යටතේ පවුල් 25ක් ඉවත් කළ යුතුයි.
Q ඇතැමුන් ඉවත් කිරීමේදී යම් අපහසුතාවක් සහ විරෝධක් පවතින බව ඔවුන්ගෙන් විමසීමේදී අපට පෙනීගියා. රජයේ කතා ගැන අපට විශ්වාසයක් නැහැයි ඔවුන් පවසනවා?
ඔව්. වන්දි ගෙවා පවුල් ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ අනුව පවුල් 25න් 17ක් 2011 සිට මේ දක්වා ඉවත්ව ගොස් තිබෙනවා. ඉතිරි අය වන්දි ප්‍රමණවත් නොවන බවට තර්ක කරමින් තවමත් රැඳී සිටිනවා.
අපි ඔවුන්ට පවතින වෙළෙඳ පොළ වටිනාකම යටතේ දැනට සිටින ප්‍රමාණයේ නිවසක් සාදාගැනීමට අවශ්‍ය පරිදි මුදලක් ලැබෙන ආකාරයෙන් උපරිම සාධරණය ඉටුකරන්න යැයි තක්සේරු දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. කිසිම පුද්ගලයෙකු ඉවත් කරන විට අසාධාරණයක් අලාභයක් පාඩුවක් සිදුවන තැනට අපි කටයුතු කරන්නෙ නැහැ කියන එක මහනගර සභාව වගකීමෙන් පවසනවා.
Q තවදුරටත් මෙතැනට කැළි කසළ බැහැර කරනවාද?
මෙතැනට ඒවා ගෙනවිත් දැමීමට බාධාවක් වන කිසිම කරුණක් මතුවී නැහැ. අපි අපගේ කටයුතු ක්‍රමවත්ව කරගෙන යනවා.
Q අංගනයට ඉදිරියේ සිදුවන්නෙ කුමක්ද?
ව්‍යාපෘති ගණනාවක් සඳහා යොදා ගන්නවා.
එකක් විදුලිය උත්පාදනය ඇතුළු කාර්යයන් සඳහා එක් ආයතනයක් අක්කර 06ක ප්‍රමාණයක් ඉල්ලා තිබෙනවා. එයට කැබිනට් අනුමැතිය ලැබී දැන් අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ කටයුතු සම්පාදනය කිරීමට අවුරුදු එකහමාරක් පමණ යයි. එම භූමිය වටා සනීපාරක්ෂක බිම් තීරයක් ඉදිකළ යුතු වෙනවා.
එය සැලසුම් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයට බාරදී තිබෙනවා. ඒ සඳහා මාස 02ක කාලයක් ඉල්ලා සිටියා. අපි ඒ කටයුතු නිම කරන්න මාස 03ක් යාවි. එතෙක් මේ කැළි කසළ බැහැර කිරීමත් එහෙමම සිදුවේවි.
අනික අපජල ව්‍යාපෘතියක් සඳහා අක්කර 02ක් වෙන්කළ යුතුයි. තවත් අවස්ථාවක් හැටියට ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහා අක්කර 02ක් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයක්ද ඉදිවෙනවා. තවත් ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තියෙනවා.
Q දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන්ගේ නොමනා බලපෑම ඔබගේ කරුණු දැක්වීම තුළ සඳහන් වුණා. එහෙම නම් කැළි කසළ සමග එතැන තියෙන මේ ගඳගහන දේශපාලනය සහ මුදල් බලය පැහැදිලි කළොත්?
කිසිම දේශපාලකයෙක් තමන්ට හිතවත් උදව් කරන ව්‍යාපාරිකයන් ධනවතුන් බලවතුන්ට පාඩුවක් කරන්නට කැමැති නැහැ. ව්‍යාපාරිකයෝත් බලපුළුවන්කාරයෝත් තමන්ගේ පැවැත්ම සඳහා දේශපාලකයන් ළඟට එකතු වෙනවා. එහෙම වුණාම ඒ අයට ඕනෑම නීතියකට පිටින් වැඩ කරන්න පුළුවන්. ජනමාධ්‍ය මේ ඇත්ත රටට අනාවරණය කළ යුතුයි.
අපි ව්‍යාපාරිකයන්ගේ කැළි කසළ දිරන නොදිරන, ප්ලාස්ටික් සිලිමලු ආදී වශයෙන් වෙන්කර තබන්න යැයි කිව්වත් සියල්ල එකට දමා අපට බාරදෙනවා. අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. එවිට ඒ අය දේශපාලකයෙකුට කතා කරනවා. දේශපාලකයා අපට අලුත් නියෝග දෙමින් තර්ජනය කරනවා. නිලධාරියා අසරණ වෙනවා. එහෙම කොහොමද මේ අර්බුදය ජයගන්නේ.
කුණුකඳු නිසා සමහර විට සමහර අයගේ ව්‍යාපාර ඉලක්කවලට බාධාවන්න පුළුවන්. එවිට මේ කන්ද එතැනින් ඉවත් කර ගන්න දේශපාලකයක් බළල් අත් විදිහට පාවිච්චියට ගන්නවා.
සමහර විට ව්‍යාපාරික ආයතනයවලින් හෝ වැඩබිම්වලින් කැළි කසළ ඉවත් කර දීම සඳහා ගෙවිය යුතු ගාස්තුව නොගෙවා දේශපාලකයන් හරහා ඒවා නොමිලයේ කරවා ගැනීමට බලපෑම් කරනවා.
මේවා අද රටේ නීතියක් සම්පාදනයට හෝ පවතින නීති ක්‍රියාත්මක කිරීමට හෝ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනයට පවතින බලවත් බාධක හැටියට මම දකිනවා.
Q එහෙමනම් කටුගස්තොට, ගොහාගොඩ කුණු කන්ද තවත් මීතොටමුල්ලක් නොවේ යැයි හිත හදාගත හැකිද?
අනිවාර්යයෙන්ම මේක කවදාවත් තවත් මීතොටමුල්ලක් වන්නේ නැහැ. වැරදි මතවලට රැවටෙන්න එපා කියලා ලියන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd