රාවණා බලය සංවිධානය ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධකමක් ඇති බවට විවිධ මත පළවෙනවා. ඒ සම්බන්ධව සහ රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සමග කළ සංවාද සටහනකි මේ.
Q වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබවහන්සේගේ අදහස?
අද රට අස්ථාවර වෙලා තියෙනවා. රටේ නායකයෙක් නෑ වගේ පේනවා. මොකද රනිල් මහත්තයා තව කීපදෙනෙක් එක්ක එක පැත්තකට අදිනවා. මෛත්‍රීපාල මහත්තයා තවත් කීපදෙනෙක් එක්ත තවත් පැත්තකට අදිනවා. ගෙදරක වුණත් දෙමවුපියන් විරසක වෙලා නම් දියුණුවක් වෙන්නෙ නැහැ. රටටත් එහෙමයි. මේ විදියට රටක් සංවර්ධනය කරන්න බැහැ. රට සම්පූර්ණයෙන් කඩාවැටිලා තියෙන්නේ. අද ව්‍යාපාරිකයන්ට බිස්නස් නැහැ. පොල් ගෙඩිය, හාල් කිලෝ එක රුපියල් සියයයි, මිනිස්සුන්ට කන්න විදියක් නැහැ. මේ අය හයිවේ එකක් බදාගෙන ඉන්නවා විතරයි.
Q නව වස්ථාවක් ගෙන ඒමට රජය ක්‍රියාකරමින් පවතිනවා. එයට බොහෝ පිරිස් විවේචන එල්ල කරමින් පවතිනවා නේද?
මේ වෙලාවේ ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් විශාල හානියක් සිදුවෙන්න පුළුවන්. මොකද මේ ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ආණ්ඩුකාරවරයාට සහ ජනාධිපතිවරයාට බලතල අඩු වීමක් තියෙනවා. උතුර වෙනම රාජ්‍යයක් කරා යෑමේ කටයුතු මේ හරහා සිදුවෙනවා කියන එක ඉතා පැහැදිලියි. මෙය මේ රටේ මිනිස්සුන්ටවත් ඕන ව්‍යවස්ථාවක් නෙමෙයි. යුඑන් එකට සහ ඩයස්පෝරාවට අවශ්‍ය ව්‍යවස්ථාවක් හැටියටයි පේන්නේ. ඒ නිසා මහා සංඝරත්නය විදියට මෙයට බලවත් විරෝධතාවක් තියෙනවා.
Q රටේ ඉහළ සංඝරත්නය තවමත් මෙයට පැහැදිලි ප්‍රකාශයක් සිදුකොට නැහැ නේද?
කාරක සංඝ සභාව කරන ප්‍රකාශ දිහා බැලුවාම කාරක සංඝ සභාවට තමයි බලය තියෙන්නේ. මහනායක හාමුදුරුවෝ කියන්නෙ කාරක සංඝ සභා දෙකක් එකතුවෙලා ගත්ත තීන්දුවක් බල රහිත වෙනවා කියල, කොහොමද ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවට වාසි පැත්තට හරවගන්න තමයි ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ කියලා. ඒ නිසා මහනායක හාමුදුරුවෝ ඉන්නවා ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ කියලා, ආණ්ඩුව මොන බෙරපදේ ගැහුවත් නටන්නෙ නැහැ කියලා. අපි අනිත් එක ව්‍යවස්ථාව හදන අය යුඑන් එකෙන් පඩි ගන්නවා නම් එකෙන්ම තේරුම් ගන්න ඕන කාටද මේක අවශ්‍ය කියලා.
Q නමුත් රජය පවසනවා නේද මෙය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා කියලා?
මේ ව්‍යවස්ථාව කියන එක කොටස් තුනකට බෙදලා තියෙනවා සිංහලෙන් ඒකීයභාවය, ඉංග්‍රීසියෙන් යුනයිටඩ්, දෙමළෙන් ඔරමිත්තනාඩු. එතකොට කොටස් වශයෙන් බෙදුන රටක් පාලනය කියන එක එකයි. ඒ නිසා රටේ ඒකීයභාවය රැකෙන්න ඕන. බුද්ධාගමට මුල්තැන දෙන්න ඕන. යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ ඔවුන් ජයගෙන බිමට ආවට පස්සේ බිමේදි අපි අනිවාර්යයෙන් පරාජය කරනවා. පාර්ලිමේන්තුවේදී ඒ ඡන්දය දෙන දේශප්‍රේමී මහත්වරුන්ට අපි කියනවා ඡන්දෙ දීලා ආපහු පාරට එන්න එපා, ඇවිත් ජනතාවගෙන් ගුටි කන තත්ත්වයට පත්වෙන්න එපා කියලා.
Q මේ තත්ත්වය මතද විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට බෝම්බ දැමීමක් සම්බන්ධව ප්‍රකාශයක් කළේ?
වීරවංශ මහත්මයා ඒ ප්‍රකාශය කළේ උපමාව උපමේයක් හැටියට. දැන් නරිබෑණා නාට්‍යයේ දුව නරියෙක්ට දෙනවා කියනවා. නමුත් නරියට දෙන්නෙ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඒකත්. මම දකින්නෙ වචන ටිකක් අල්ලගෙන මනුස්සයෙකුට පහර ගහනවා කියලා. ඒ නිසා එතුමා ප්රභාකරන්ගේ ගාණට දාලා කතා කරන්න එපා, එතුමා දේශප්‍රේමියෙක්. රටට එරෙහි වන ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ ඉන්න අය අත උස්සනවා නම් ඒකට මොනවද කළ යුත්තේ කියල මහජනතාව තීරණය කරයි.
Q සයිටම් ගැටලුව සම්බන්ධව රජයේ තීන්දුව ප්‍රකාශකොට තිබෙනවා. එය ප්‍රමාණවත් නොමැති බව සිසුන්ගේ පාර්ශ්වයෙන් චෝදනා නැගෙනවා?
සයිටම් එක තුවාලයක් වගේ මේකට නිසි විසඳුම මේ පාලකයෝ ලබාදෙන්නෙ නැහැ. ඒ නිසා රජයට අපි කියන්නේ මේ කළා වගේ ඉතිරි ටිකත් කරල දෙන්න. මිනිස්සුන්ට සේවය කරන්න තියෙන කාලෙ නැති කරන්න එපා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් මිනිස්සුන්ට එපා වුණේ පොඩි ප්‍රශ්න ලොකුවට අරගෙන ගියපු නිසයි. අද වන විට ඒ වගේ ප්‍රශ්න දාහක් විතර මේ රජය මවලා තියෙනවා. මේ ආණ්ඩුවත් ළඟදීම පාඩම් ඉගෙන ගනීවි කියල මම විශ්වාස කරනවා.
Q රාවණා බලය සංවිධානය ඒකාබද්ධ විපක්ෂය සමග ඩීල් එකක් ඇති බවට මත පළවෙනවා. මෙය ඇත්තක්ද?
අපේ කිසිම ඩීල් එක්ක නැහැ ඒකාබද්ධ විපක්ෂය එක්ක. මොකද පෙර ආණ්ඩුව තිබුණ කාලයෙත් අපි නොයෙක් ආයතනවලට පැනලා ඒවායේ වැරදි පෙන්නුවා. අපි රට බෙදන අය ලංකාවට එනකොට පාරට බැස්සා, පෙළපාළි ගියා. රහස් පොලීසිය අපේ පස්සෙන්මයි හිටියේ. අදත් ඒක නම් එහෙමයි. නමුත් අපිට මහින්ද මහත්තයලා එක්ක ඩීල් එකක් නැහැ. හැබැයි කාගේ සහයෝගයෙන් හරි මේ ආණ්ඩුව පෙරළලා දාන එක අපේ අරමුණ. මොකද මේ අය දිගින් දිගටම ගියොත් රටින් ගන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.
Q නමුත් පෙර පාලකයෝ වැරදි කළා නම් යළි මේ රජය පෙරළා දැමීමෙන් බලය යන්නේ ඔවුන්ටම නේද?
එහෙනම් ඔබ මට කියන්න වෙන කවුද ගේන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ගේනවද? ඔවුන්ට මොනවද කරන්න පුළුවන්. හිටපු පාලකයොයි, දැන් පාලකයොයි ගත්තම දෙගොල්ලොම යක්කු දෙන්නෙක් නම් අපි එළවළු කන යකා ගේනවා. මොකද මස් කන යකා ඔක්කොම කාලා අපිත් කන නිසා. හොඳ අය නැත්නම් ටිකක් හොඳ කෙනෙක්වත් ගේන්න එපැයි. යුද්ධය ඉවර කරපු නායකයා නරක් වෙන්න පුළුවන්කමක් නැහැනේ.
Q බොදුබල සේනා සංවිධානය සම්බන්ධව ඔබවහන්සේගේ අදහස?
ඒ සංවිධානය ගැනවත්, ඥානසාර හාමුදුරුවෝ ගැනවත් මට ලොකු අදහසක් නැහැ. ඒක වෙනත් සංවිධානයක්. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය විවේචනය කරන්න හෝ උස්සලා තියන්න හෝ මට එහෙම අයිතියකුත් නැහැ. වුවමනාවකුත් නැහැ.
Q නමුත් බොහෝ අය මෙම සංවිධාන දෙකම එකම ආකාරයේ සංවිධාන දෙකක් ලෙසින් හඳුන්වනවා නේද?
'රටට එරෙහි වන්නන්ට එරෙහිව අපි’ කියන තේමාව යටතේ තමයි රාවණා බලය සංවිධානය ක්‍රියාත්මක වන්නේ. අපිට බෞද්ධද, මුස්ලිම්ද, දෙමළද කියලා වෙනසක් නැහැ. රටට එරෙහිව කවුරුහරි නැගී සිටිනවා නම් ඒ පුද්ගලයාට අපි විරුද්ධයි. රටට හොඳක් කරනවා නම් අපි ඒ පුද්ගලයා එක්ක ඉන්නවා. ඒ සංවිධානය සහ අපි අතර කිසිදු සමානකමක් නැහැ.
Q රටේ සම්පත් විකිණීම සම්බන්ධව පසුගිය කාලයේ ඔබ සංවිධානය විශාල හඬක් නැගුවා?
අද වෙද්දි රටේ සම්පත් විකුණලා ඉවරයි. තවත් විකුණන්න දෙයක් නැහැ. අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරේ විතරයි අද ඉතුරුවෙලා තියෙන්නේ. ඒ දෙකත් කොහේහරි රටකට කිව්ව නම් හෝටලයක් දාන්න කියලා ඇවිත් දමාවි. එහෙම කරනවා නම් ඒ දෙන්නත් එක්කම තියලා විකිණුව නම් හොඳයි කියලයි අපි විශ්වාස කරන්නේ.
Q සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක යන අමාත්‍යවරුන් ස්වාමීන් වහන්සේලා සම්බන්ධව විවිධ ප්‍රකාශ පසුගිය කාලයේ සිදුකළා නේද?
සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක සම්බන්ධව මම නම් කතා කරන්නවත් දැන් කැමති නැහැ. ඒ තරම් පිළිකුල්. සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ද පන්දාහක් ගන්න බැරිවුණ මනුස්සයෙක්. හොර පාරෙන් පාර්ලිමේන්තුවට ගිහින් එක එකාගේ බැල මෙහෙවර කරනවා. රනිල් මහත්තයට කෙලින්ම බනින්න බැරි කෙනෙක් ඉන්නව නම් ෆොන්සේකා දාලා බන්නනවා. ඒකට කියන්නේ බැලමෙහෙවර කරනවා කියලා. පඩියට වැඩ කරන කුලීකාරයෝ. අනිත් පැත්තෙන් රන්ජන් කියන්නේ පිස්සු දොඩවන මනුස්සයෙක්. කාඩ්බෝර්ඩ් වීරයෙක් විතරයි. හිරිකිත මිනිස්සු ගැන මං නම් කතා කරන්නවත් කැමති නැහැ කිව්වේ ඒකයි.
Q මේ අය සම්බන්ධව පක්ෂයක් විදියට විනය ක්‍රියාමාර්ග ගතහැකියි නේද?
එහෙම ගන්නෙ නැහැ. මොකද ඒ අයගේ වුවමනාකම්නේ මේ අය ඉෂ්ට කරන්නේ. ඔවුන්ගේ කැමැත්ත අනුව බනින වැඩපිළිවෙළක් මේ තියෙන්නෙ. නැත්නම් අරුන්දික ප්‍රනාන්දුලා %360^ වැඩසටහනට ගියාට පහුවෙනිදා ඇමතිකම ගලවනව නම්, හාමුදුරුවන්ට බනිනකොට එපා කියන්න, විනය ක්‍රියාමාර්ග ගන්න රටේ ප්‍රධාන පුරවැසියන් දෙන්නට පුළුවන්නේ. එහෙම නොකර රට සවාරි එක්ක යනවා. රටකට ගිය කලක් මේ.
Q ඔබවහන්සේ ඉදිරි මැතිවරණයකදී ඉදිරිපත් වීමට අදහස් කර තිබෙනවාද?
මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියල එහෙම අදහසක් නැහැ. මේ තියෙන මැතිවරණ ක්‍රමය සහ ඉන්න මිනිස්සු දිහා බැලුවාම පාර්ලිමේන්තුවට ගිහින් මොනවා කරන්නද? ඒ නිසා දැනට එහෙම අදහසක් නැහැ.
Q කලකට පෙර ඔබවහන්සේගෙන් ඇසුණු සුමධුර කාව්‍යමය ධර්මදේශනා අද ඇහෙන්නෙ නැත්තේ ඇයි?
ඒක මෙහෙමයි. මට පෞද්ගලිකව ලැබෙන ආරාධනා අනුව පන්සල්වල සහ විවිධ ස්ථානවල කවි බණ කියනවා. නමුත් රූපවාහිනියේ බණ කියන එක නතර වෙලා තියෙනවා. ඒ ආයතනවලින් බයයි අපට බණ කියන්න දුන්නම ඉහළින් තර්ජන එයි කියලා. මොකද අපි අසාධාරණය වෙනුවෙන් දේශපාලඥයන් සමග, ආණ්ඩු එක්ක ගැටෙනවා. එහෙම දෙයක් තියෙන්නෙ. නැතුව මම කවි බණ කියන එක නතර කරලා නැහැ.