ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කොයි අතට ගමන් කරන්නේදැයි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සෑමදෙනාම පාහේ අවධානයෙන් සිටින කාල සීමාවක එම පක්ෂයේ ඉදිරි දේශපාලනය ගැන කතාබහ කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සම්බන්ධ කර ගතිමු.
Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තවමත් තිබෙනවාද?
මේ රටේ තවමත් මිනිස්සු පිළිගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහි අනන්‍යතාවයට කිසිම බාධාවක් වෙලා නැහැ. හිටපු ජනාධිපතිතුමාත් කියන්නේ පක්ෂයේ අනන්‍යතාව එක්ක යනවා කියලයි. ඒ නිසා පක්ෂයට කිසිම හානියක් වෙලා නැහැ.
Q දැනට පක්ෂය හසුරුවන්නේ කවුද? හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද? වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනද?
පක්ෂය පාලනය කරන්නේ වත්මන් ජනාධිපතිතුමා. පක්ෂයේ පරිපාලන කටයුතුවලට හිටපු ජනාධිපතිවරුන් දෙන්නගෙන් කිසිම බලපෑමක් නැහැ. මමත් පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් නිසා ඒ බව දන්නවා.
Q මධ්‍යම කාරක සභාවේ සංයුතිය සහ පාක්ෂිකයාගේ සැබෑ ජනමතය අතර තිබෙන සම්බන්ධය ගැළපෙනවාද? නැත්නම් වෙනසක් තිබෙනවාද?
අපිට එහෙම තක්සේරු කරන්න බැහැ.රැස්වීමකට සෙනඟ ටිකක් ආපු පලියට ඒ පාර්ශ්වයට බලයක් තියෙනවා, මේ පාර්ශ්වයට බලයක් තියෙනවා කියල කියන්න බැහැ. වර්තමාන ජනාධිපතිතුමාගේ පාර්ශ්වය ගත්තත්, හිටපු ජනාධිපතිතුමාගේ පාර්ශ්වය ගත්තත් කාටවත් පක්ෂයේ බලය උරගා බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට විපක්ෂයේ ඉන්නකොට නිකන් ඉඳලා පුරුද්දක් නැහැ. අපිට මතකයි එතුමා වීදි දම්වැල් හැදුවා, නළා පිම්බා, පාද යාත්‍රා ගියා.
ඒක එතුමාගේ දේශපාලන කලාව. ඒක තමයි එතුමා ක්‍රියාත්මක කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා ගැන හොඳටම දන්නවා. ඒ නිසා ජනාධිපතිතුමාවත්, පක්ෂයවත් කවුරුවත් කලබල වෙන්නෙ නෑ. ඒකෙන් එක්සත් ජාතික පක්ෂයට විරෝධී හඬක් මතුවෙනවා මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරෝධී හඬක් මතුවෙන්නෙ නෑ.
Q එම තත්ත්වය පක්ෂයේ ඉදිරි කටයුතුවලට බාධාවක් නොවන බවද ඔබ කියන්නේ?
ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන තමයි පොදු විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පෙනී සිටින්නේ. ඒක ඉතා පැහැදිලි කාරණාවක්. අනිත් එක ඔය රැස්වීම්වලට යන්න එපා කියල ජනාධිපතිතුමා කිසිම කෙනෙකුට කියල නැහැ. එහෙම ගැටුමක් පක්ෂය තුළ නැහැ. මම ඉතා පැහැදිලිව කියනවා මේ පක්ෂය කැඩෙන්නෙ නැහැ. මේ පක්ෂය බෙදෙන්නෙ නැහැ. අපි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට තරග කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පමණයි.
Q පක්ෂයට ආසන්නතම ජයග්‍රහණයක සේයාවක් තිබෙනවාද? ළඟම ඉලක්කය කුමක්ද?
ජනාධිපතිතුමා මේ දවස්වල කෙලින්ම සූදානම් වෙන්නේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට. දැන් අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් යනවා. 1991 දී මම පළමුවෙන්ම මහරගම නගර සාභාවට තරග කළා. එදා අති බහුතරයක් පළාත් පාලන ආයතන සමග අපි දිනුවා. අද රටේ එක්සත් ජාතික පක්ෂය ගැන එම පාක්ෂිකයා කලකිරිලා තියෙනවා. ඇත්තටම බෙදීමක් තියෙන්නේ අපේ පක්ෂයේ නොවෙයි, එක්සත් ජාතික පක්ෂයේ. අපි දැනට දිනාගෙන තියෙන පළාත් පාලන ආයතන ආරක්ෂා කර ගනිමින් තවත් බහුතරයක් දිනාගැනීමට කටයුතු කරනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයට නායකත්වය දෙන බවට දැනටමත් ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සහ පාක්ෂිකයන්ට කියල තියෙනවා.
Q ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන ඇමතිවරු ඉන්න බව ඔබ දන්නවාද?
ඒක එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකාබද්ධ විපක්ෂය කියන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමනේ. අපේ පැත්තෙන් බැලුවොත් ඒකෙ ඇති වැරැද්දක් නැහැ.
Q ආණ්ඩුවේ රහස් ක්ෂණයකින් එම කණ්ඩායම අතට පත්වන එක ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී ගැටලුවක් නෙවෙයිද?
මම හිතන්නෑ ඒතරම් පහත් තත්ත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පත්වේවි කියලා. එහෙම වෙන එකක් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකගන්න ඕන කියන තැන ඔක්කොම ඉන්නවා. මේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් විදියට ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා විනා අපි එක්සත් ජාතික පක්ෂය සමගවත්, එක්සත් ජාතික පක්ෂය අපි සමගවත් ලොකු සම්බන්ධයක් ඇතිවෙන එකක් නැහැ. මොනවා වුණත් මේ රටේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකනේ. පක්ෂ දෙකේ අනන්‍යතාවයක් තියා ගනිමින් තමයි අපි ජාතික ආණ්ඩු සංකල්පයට ශක්තියක් වුණේ.
Q ආණ්ඩුවේ සෑම කටයුත්තකදීම ඒකාබද්ධ විපක්ෂයේ විවේචන වැඩියි කියල පේන්නෙ නැද්ද?
අපේ පක්ෂයේ ඉන්න යූඑන්පී විරුද්ධ කොට්ඨාසය මොනම හේතුවක් නිසාවත් ජාතික ආණ්ඩුව සමග එකතු වෙන්නෑ. නැත්නම් ඉතිං ඇමතිකම් අරන් ඒ අයට ඉන්න තිබුණා. අපේ අය විපක්ෂයට ගියේ නැත්නම් කවුද මේක විවේචනය කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් යූඑන්පී එකට කඩේ යන එකනේ කරන්නේ. තනිකරම අනුර කුමාර දිසානායක යූඑන්පී එකට කඩේ යනවා. පාර්ලිමේන්තුවේ වෙන දේවල් බලන මේ රටේ ඕන කෙනෙකුට ඒක පේනවා. විපක්ෂය කරන්න ඕන කාර්යභාරය අද කරන්නේ ඒකාබද්ධ විපක්ෂය.
Q ඔබ එවැනි චෝදනාවක් කළාට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මහින්ද රාජපක්ෂ විරෝධී බලවේග එක්ව ආණ්ඩුවක් පිහිටු වූ නිසා නේද ඔබට මහ ඇමතිකම ලැබුණේ?
අපි මේ පළාත් සභාව පිහිටු වූයේ ජනවාරි 08 වැනිදා නෙවෙයි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත් නිසා තමයි මේ පළාත් සභාව පිහිටු වූයේ. කොහේදිවත් කියල නෑ අපි ඒ කණ්ඩායමේ ඉන්නවා කියල.
Q මේ වනවිට ආසන සංවිධායකවරුන්ගේ පත්කිරීම් අවසන් වෙලාද?
තවත් පත්කිරීම් කිහිපයක් කරන්න තියෙනවා.
Q මහින්ද හිතවාදියෙක් වූ උපාලි කොඩිකාර අයින් කර ඔබට මහරගම ආසන සංවිධායකකම ලබා දුන්නා?
මහින්ද මහත්තයා එක්ක එහෙම හිතවත් අය ඉන්න පුළුවන්. ඒ දවස්වල ප්රේමදාසමහත්තයට හිතවත් අය හිටියා. දැන් සජිත් මහත්තයට හිතවත් අය ඉන්නවා. රනිල් මහත්තයට හිතවත් අය ඉන්නවා. එහෙම හිතවත් අය ඉන්නවා.
Q මහරගම ආසනයේ පාක්ෂිකයන්ගේ සහය කොයි වගේද? පසුගිය කාලයේදී පාක්ෂිකයන්ගේ වර්ධනයක් තිබෙනවාද?
මම බලමණ්ඩලය කැඳෙව්වාම ඒකෙ ලේකම්තුමා ඇතුළු ඔක්කොම ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට්ටමින් බැලුවොත් වර්ධනයක් වෙලා තියෙනවා. මොකද පසුගිය කාලෙ කලකිරිලා විශාල පිරිසක් ගෙදරට වෙලා හිටියා. අද ඒ සියලුදෙනා මාත් එක්ක එකතුවෙලා ඉන්නවා. අද මහින්ද මහත්තයාගේ කාලයටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හොඳ සාධාරණයක් වෙලා තියෙනවා.
මොකද මහින්ද මහත්තයා හැමදාම කළේ කවුරුහරි යූඑන්පී එකෙන් පනින කෙනෙක් අරගෙන ඇවිල්ලා අපේ එක්කෙනෙක් එළවපු එකනේ. දැන් එහෙම වෙන්නෙ නැහැ. බස්නාහිර පළාත් සභාවේ මහින්ද මහත්තයාගේ පාර්ශ්වයේ, මෛත්‍රීපාල මහත්තයාගේ පාර්ශ්වයේ කියල නැහැ ඔක්කොටම ඇමතිකම් දීලා තියෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා පාක්ෂිකයන් ආරක්ෂා කරගනිමින්, සාධාරණයක් කරමින් හොඳට වැඩේ කරගෙන යනවා.
Q ඉදිරි මැතිවරණ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සූදානම කොයි වගේද? කවුද ඒ සඳහා නායකත්වය දෙන්නේ?
බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා විදියට ඉදිරි මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට මම තමයි නායකත්වය දෙන්නේ. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු දැනටමත් කියා තිබෙනවා මගේ නායකත්වය පිළිගන්නා බව. මේ සඳහා නායකත්වය දෙන්න කියල ඔවුන් ඉල්ලා තිබෙනවා.
Q පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් කොළඹ දිස්ත්‍රික්කයේ සිටියදී ඔබට ගැටලුවක් වෙන එකක් නැද්ද?
එතුමාලට පුළුවන් එතුමාලගෙ වැඩේ කරන්න. මම පළාතේ ප්‍රධාන ඇමතිවරයා හැටියට මගේ වැඩේ කරනවා. මම මහ ඇමති හැටියට හයිය දෙනකොට, පාර්ලිමේන්තු ඇමතිවරු අනිත් පැත්තෙන් හයිය දෙනකොට අපේ පක්ෂය තවත් ශක්තිමත් වෙනවා.
Q විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරන්නේ කොයි ආකාරයටද?
පළාත් පාලන ආයතන මහ ඇමතිවරයාගේ යටතේ තිබෙන නිසා එහෙම අවශ්‍යතාවයක් අපිට පැන නැඟිල නැහැ. කාටහරි ගැටලුවක් තිබේ නම් ඒක විසඳලා දෙන්න පුළුවන්. මොකද සභාපතිවරයා කළ රාජකාරිය කරන්න ව්‍යවස්ථාවෙන් මට බලය තියෙනවා.
Q ඒ කියන්නේ බස්නාහිර පළාත් සභාවෙන් කවුරුවත් පත් කළේ නැද්ද?
කඩුවෙල මහ නගර සභාවට පමණක් අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් පත් කළා.
Q ඇයි ඒ ආයතනයට විතරක් පත් කළේ? තවත් ආයතන තියෙනවා නේද?
මංජුල බුද්ධදාස මන්ත්‍රීවරයා විතරයි මගෙන් පත්කිරීමක් ඉල්ලුවේ. ඒ නිසයි කඩුවෙලට ඔහු පත් කළේ. වෙනත් කවුරුවත් එහෙම ඉල්ලුවේ නැහැ.
Q වෙනත් කෙනෙක් ඉල්ලුවොත් එවැනි පත්කිරීමක් කරන්න සූදානම්ද?
ඒක මගේ කැමැත්ත පරිදියි සිද්ධ වෙන්නේ. අකමැති නම් පත්කරන්නේ නැහැ.