පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ දැන ගැනීම සඳහා තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාව දැඩිව කියා සිටින එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ විජේපාල හෙට්ටිආරච්චි මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු. එ.ජා.ප.ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගමනක් යා යුත්තේ ඇයි දැයි එම මන්ත්‍රීවරයා පැහැදිලි කළ ආකාරය පහතින් දැක්වේ.
Q තනි එක්සත් ජාතික පක්ෂයක අවශ්‍යතාව මතුවුණේ ඇයි
අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පසුගිය කාලය තුළ යහපාලන ජාතික ආණ්ඩුවේ වැඩ කරද්දී අපි ජනතාවට ලබා දුන් පොරොන්දු ටිකක් තිබුණා. උදාහරණයක් විදියට අපේ පක්ෂයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අයට සාධාරණයක් කරන බව කිව්වා. අවුරුදු ගාණක් සමෘද්ධිය නොතිබූ අපේ පාක්ෂිකයන්ට ඒක ලබාදෙන බව කිව්වා. ඒ දේවල් එකක්වත් අපට කරන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් පළිගත්ත අයට ඇමතිකම් දීලා තියෙනවා. උදාහරණයක් විදියට පෙට්‍රෝලියම් එක, ලංගමය වැනි තැන්වලට මේ වනතුරු සහනයක් ගන්න බැරි වුණා. මේ වෙනකම් ගුරුවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ගන්න බැරි වුණා. ඒ තත්ත්වය තුළ එක්සත් ජාතික පාක්ෂිකයන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපට ඡන්දේ දුන්නෙ නෑ. ඒ මිනිස්සු කල්පනා කළා වැඩක් වුණේ නැති නිසා ඡන්දය නොදා ඉන්න. පසුගිය කාලය තුළ පෙට්‍රෝලියම්, වරාය වැනි ප්‍රධාන අමාත්‍යාංශ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි අයට. ඒ නිසා අපේ මිනිහෙකුට ඒ කිසිම තැනකින් රැකියාවක් දුන්නේ නැහැ. ඒ අය දුන්නු රැකියා ගත්ත බොහෝ දෙනෙක් පවුල් පිටින් ඡන්දේ ඉල්ලුවා. ඒ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට මේ කට්ටිය නම්ම ගන්න බැරි වුණා.
උදාහරණයක් විදියට ගාල්ල දිස්ත්‍රික්කයේ ගතහොත් චන්දිම වීරක්කොඩි ඇමතිවරයා පෙට්‍රෝලියම් එකේ රැකියා දෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට රැකියා නැති නිසා ඔවුන් කලකිරීමට පත්ව සිටිනවා. අර්ජුන රණතුංග ඇමතිවරයා වරායේ රැකියා දෙනකොට, නිශාන්ත මුතුහෙට්ටිගම වරායේ රැකියා දෙනකොට අපේ මිනිස්සුන්ට නැහැ. මුතුහෙට්ටිගම කියන්නේ ජනාධිපතිතුමාගේ වේදිකාව ගිනි තියපු අය. ඒ මිනිස්සුන්ට රැකියා ලැබෙන කොට වේදිකාව හදපු මිනිස්සු බලාගෙන ඉන්නවා රැකියාව නැතිව. ඒ අය දැඩි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් ජීවත් වෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ඒ වගේම සමෘද්ධි ප්‍රශ්නයත් එහෙමම තමයි. හැම මිනිහෙක්ම බලාපොරොත්තු වූ එකක් තමයි සමෘද්ධිය අඩු වශයෙන් ගමක 70 දෙනෙකුටවත් හම්බ වේවි කියලා. ඒක හම්බ වුණේ නැහැ. සජිත් මහත්තයා ඉද්දි සමෘද්ධිය සියයට දෙසීයකින් වැඩි කළ නිසා ඒක ලැබුණේ නැහැ. ඒ නිසා ලක්ෂ හයක් මිනිස්සු බලාගෙන ඉන්නවා සමෘද්ධිය හම්බ වෙනකම්. ඒ ලක්ෂ හයේ ඡන්ද සම්පූර්ණයෙන්ම අපෙන් අහිමි වුණා. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. අවුරුදු තුනකුත් ගිහින් මේවා ඒ මිනිස්සුන්ට කරන්න බැරි වුණා නම්, තවදුරටත් එයාලගේ බලාපොරොත්තුවක් නැහැ.
ඒ වගේම පොහොර සහනාධාර ප්‍රශ්නයත් ඒ වගේමයි. ගොවිතැන් කරන ප්‍රදේශවල ජනතාව නිතර මතක් කරනවා පොහොර සහනාධාර ගැටලුව. ඒ අයට මුදල් ලබාදෙන එක වැඩක් නැහැ. එයාලට ඕන නොමිලේ පොහොර නැත්නම් 350ට පොහොර සහනාධාරය. ඒක නැති වුණා. ගොවි ජනපදවල සියලු ඡන්ද අපට අහිමි වුණේ මේ නිසා තමයි.
ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විවිධ තීන්දු තීරණ ගන්නවා ආණ්ඩුවේ කටයුතුවලට බාධා වන පරිදි. දූෂිතයන්, මිනීමැරුම්වලට හසු වූවන් ගැන අධිකරණය හරහා කටයුතු කරද්දි දෙගොල්ලෝ දෙපැත්තට චෝදනා කර ගන්නවා. ජනාධිපතිතුමා කියනවා මට මේක කරන්න දුන්නෙ නැහැ කියලා. අගමැතිතුමා කියනවා මට මේ තීන්දු ගන්න දුන්නෙ නැහැ කියලා. මේ දෙගොල්ලෝ එහාට මෙහාට බෝලේ පාස් කරපු එක විතරයි වුණේ. නමුත් අල්ලපු කිසිම හොරෙක් නැහැ. කොහෙන් හරි අල්ලන්න යද්දී ඒවා යට යනවා. ඒවාට කිසිම විසඳුමක් නැහැ. බොහෝ දෙනෙක් කිව්වේ හොරු, මිනීමරුවෝ අල්ලන්න, ලසන්ත වික්‍රමතුංගලාගේ ප්‍රශ්න, එක්නැලිගොඩලාගේ ප්‍රශ්න විසඳන්න කියලා. ඒවාට විසඳුම් නැහැ. මේවා එක අණක් යටතේ සිදුවිය යුතුයි. නියෝගයක් දිය යුත්තේ එක පුද්ගලයෙකු පමණයි. දෙතුන් දෙනෙකුට නියෝග දෙන්නත් බෑ. දෙතුන් දෙනෙකුගෙන් අහලා කරන්නත් බෑ. පසුගිය කාලයේදී එවැනි දේවල් ගොඩක් සිදු වුණා. වැඩවර්ජනයක් එද්දි අගමැතිවරයා ගන්න තීරණය නෙමෙයි ජනාධිපතිවරයා ගන්නේ. සමහර විට අගමැතිවරයා තීන්දුවක් ගත් පසුව ජනාධිපතිවරයා අවසන් සාකච්ඡාවේදී වෙනත් විසඳුමක් දෙන්න යනවා. මුදල් ඇමති බියර් ප්‍රශ්නයක් ගැන, බාර් වහන වෙලාව ගැන කියා රට ගිය අවස්ථාවේදී ජනාධිපති ඒ තීරණේ වෙනස් කර තිබුණා. ජනාධිපති ඉන්න කැබිනට් එකේ තමයි ඔය තීරණ ගත්තේ.
ජනාධිපතිවරයාගේ එවැනි ක්‍රියා නිසා එක්සත් ජාතික පක්ෂය දැඩි අපහසුතාවට පත්වුණා. ඒ නිසා නියෝග එක තැනකින් එන ක්‍රමයක් හදන්න ඕන. ඍජුව එක් අයෙක් තීන්දු ගන්න ඕන. පසුගිය කාලයේදී එවැනි තීන්දු ගත්තේ නැහැ. මේ ප්‍රශ්න නිසා පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ න්යායපත්රයට මේ රට පාලනය කරන්න බැරි වුණා. මේ ක්‍රමයට යන්න ගියොත් නැවත ඉදිරි අවුරුදු දෙකහමාර තුළත් සිදු වෙන්නේ මේකම තමයි. එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු අපට ඉෂ්ට කරන්න බැරි වුණා. ඒ නිසා අපි තීන්දු කළා අපට තනි ආණ්ඩුවක් හදන්න ඕන කියලා. එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හදාගන්නා අවස්ථාවේදී අඩුපාඩු තිබුණොත් ඒවා හදාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමැති අය ඉන්නවා නම් ඒ අයටත් අපි එන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ඒ අය එන්න ඕන එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අනුව කටයුතු කිරීමට. අපට බලපෑම් කරන්න ඒ අයට දෙන්න බැහැ. පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමට පත්වුණා. ඒ නිසා අලුත් ආණ්ඩුව හදනකොට කැබිනට් සංශෝධනත් සිදුවෙන්න ඕන. සමහර දුර්වල, වයෝවෘද්ධ කට්ටිය අයින් කරලා අලුත් තරුණ ජවයක් තියෙන අයට අවස්ථාවන් දෙන්න ඕන. ඒ ගැන පක්ෂ නායකත්වයට අපි කියලා තියෙනවා. අගමැතිවරයාගේ ප්රශ්නය ගැනත් අපි සලකා බලා තියෙනවා. ඊළඟ ජනාධිපතිවරණය එද්දී ඉල්ලනවාද නැද්ද කියලා තීරණය කරලා, එහෙම ඉල්ලන්නෙ නැත්නම් වෙනම නමක් යෝජනා කරලා එයාව අපි ප්‍රමෝට් කරන්න ඕන.
Q එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය දැඩි වෙහෙසක් දරා පිහිටුවාගත් යහපාලන ආණ්ඩුවේ ඉරණම කුමක් වෙයිද
ජනතාව යහපාලන ආණ්ඩුව පිළිගෙන නැහැ. මේ රටේ කොමිෂන් සභා ඇතිකරලා, තොරතුරු දැන ගැනීමේ පනත ඇතිකරලා, නීතියේ ආධිපත්‍ය තහවුරු කරලා සිදුකළ කටයුතු මේ රටේ ජනතාව අනුමත කළා නම්, අපට මිනිස්සු ඡන්දේ දෙන්න ඕන. අපට සියයට 33ක් හා ජනාධිපතිවරයාට සියයට 14ක් දීලා තියෙනවා. මේ දෙක එකතු කළාම මිනිස්සු කියාවි මහින්දට වඩා අපට වැඩියි කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ආයතන වශයෙන් ගත්තාම අපි අලුත් ඡන්ද ක්‍රමයත් එක්ක පැරදුණා. අපි අවංකව පිළිගන්න ඕන අපි පැරදුණා කියලා. ඒ කියන්නේ අපේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කරලා නැහැ කියන එක. පාසල් දරුවන් ලක්ෂ 45කට %සුරක්ෂා^ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. නමුත් මිනිස්සු ඒ ගැන බලලා නැහැ. මිනිස්සු එකම දෙයයි බැලුවේ මහින්ද රාජපක්ෂ ලකුණ විතරයි. එයාගෙන් ඉල්ලන කෙනා හොරෙක්ද, කණෙක්ද, බිහිරෙක්ද, ගණිකාවක්ද, පාතාල සාමාජිකයෙක්ද කියන කිසිදු දෙයක් බලලා නැහැ. ගම්වලට ගියාම ඒක පේනවා. සමහර තැන්වල කිසිදු දෙයක් දන්නැති, අඩුම තරමින් වචනයක් කතාකර ගන්න බැරි, යමක් කියවා අවබෝධයක් ගන්න බැරි අයටත් ඡන්දේ දීලා තියෙනවා. සමහර තැන්වල විදුහල්පතිවරයා පරාදයි, කුඩුකාරයා දිනලා. සමහර තැන්වල උගත් පුද්ගලයන් සිටියදී සනීපාරක්ෂක කම්කරුවන් දිනලා. අපි හොඳ කණ්ඩායම් දාලා තියෙනවා. මේ පාර ඡන්දේ දුන්නේ වැඩවලට නෙමෙයි. එහෙම දෙනවා කියන එක බොරු කතාවක්. වැඩවලට එක ඡන්දයක් දුන්නෙ නැහැ. මම කෝටි ගාණක වැඩ කරලා තියෙනවා. නමුත් මිනිස්සු ඡන්දේ දුන්නේ නැහැ.
Q ඒ කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සමග මින් ඉදිරියට කිසිම ගනුදෙනුවක් නැහැ කියලද
ඇත්තටම අපි කැමැති නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන් එක්ක ආණ්ඩුවක් කරගෙන යන්න. පැරදුණු මිනිස්සු, හොරකම් කරපු මිනිස්සු ඒකේ ඉන්නේ. මේ ගැන අපි අගමැතිතුමාටත් කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වාගෙන යන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා අපට බය වෙන්න කාරණයක් නැහැ. අපට විශ්වාසයක් තියෙනවා මුස්ලිම්, දෙමළ මිනිස්සු අපිත් එක්ක ඉන්න විත්තිය. ඒ වගේම බහුතරය ගන්න අවශ්‍ය නිසා අපිත් එකතු වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට අපි ආරාධනා කර තිබෙනවා. අපේ පැත්තට දහයක් විතර එනවා කියලා තියෙනවා. ඒ අය අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ අය ඉන්න ඕන හැබැයි එක්සත් ජාතික පක්ෂ ලකුණ යටතේ. අපෙන් ආසන සංවිධායකකම් අරගෙන කටයුතු කරන්න කැමැතියි කියන පිරිසකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ඒ අය ගත්තොත් අපට 116ක් විතර එනවා. අයවැය ලේඛනය සම්මත කරගන්නා අවස්ථාවේදී ටී.එන්.ඒ. සංවිධානයේ සහායත් අපට ගන්න පුළුවන්. අලුතෙන් අපට සම්මත කරගන්න තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණයි. ඒකටත් මිනිස්සු කැමැති නැත්නම්, හාමුදුරුවරුන් කැමැති නැත්නම් ඒ විදියේ අකැමැති දේවල් කරන්න අපි උත්සාහ කරන්නෙ නැහැ.