ඉස්සෙල්ලා විකුණන්නේ වෛද්‍ය උපාධිය වෙන්න පුළුවන්. ඊට පසුව ගුරු විද්‍යාල පුහුණුව, හෙද පුහුණුව යනාදී හැමදේම වෙළෙඳ පොළේ අලෙවි වේවි
ආචාර්ය ලියනගේ අමරකීර්ති
ඕනෑම රටක අධ්‍යාපනය මූලික අයිතියක් විය යුතුය. අධ්‍යාපනය විකුණුම් භාණ්ඩයක් බවට පත් වූවාට පසු සියලු ක්ෂේත්රවල ගැටලුකාරී තත්ත්වයන් මතුවෙයි. වඩා හොඳම දේ ඉතාම සුදුසු අයට තමාගේ කුසලතාව, බුද්ධියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමයි. මේ සම්බන්ධව කරුණු දැක්වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතාය.
“පෞද්ගලික විශ්වවිද්‍යාල අනාගතයේදී කොපමණ ආරම්භ කළත් අපේ රටේ වැඩ කරන පන්තියේ, සාමාන්‍ය පන්තියේ තියා මධ්‍යම පන්තියේ අයටත් බෑ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඒතරම් මුදලක් ගෙවන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල කොපමණ ආරම්භ කළත් රාජ්‍ය විහ්වවිද්යාලවලට ඇතුළත් වන ළමයි සංඛ්‍යාවේ විශාල අඩුවීමක් වෙයි කියා හිතන්න බැහැ. නමුත් ගැටලුව තිබෙන්නේ සල්ලි ගෙවන්න පුළුවන් පිරිසට සල්ලි දීලා බඩුවක් ගන්නවා හා සමානව ඉක්මනින් සහතිකයක් ගන්න පුළුවන් තත්ත්වයට පත්වීමත්, මේ තත්ත්වය නිසා අධ්‍යාපනය හෑල්ලු වන තත්ත්වයක් නුදුරු අනාගතයේදී ඇති වීමත්.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සම්බන්ධව පුළුල් දැක්මක් පවතිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලය කියන්නේ ඉංජිනේරුවන්, වෛද්යවරුන්පමණක් හදන තැනක් නොවේ. මනුෂ්‍ය ජීවිතයට අදාළ වන සියලුම දේවල් ඉගෙනගන්න තියෙන, රසවින්දනය දියුණු කරන, විචාර බුද්ධිය දියුණු කරන වගේම තාක්ෂණික, වෘත්තියමය ඥානය වශයෙන් ගොඩක් දේවල් ලබාදෙන තැනක්. නමුත් මුදලට සහතික දෙන ආයතනවලින් අධ්‍යාපනය සම්බන්ධව ඒ වගේ පුළුල් අදහසක් ඇති වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි.
අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා විෂයයන් ලට එන ශිෂ්‍ය ප්‍රමාණය පවතින තත්ත්වයේම තියේවි. මන්ද පෞද්ගලික විශ්වවිද්‍යාලවල එවැනි විෂයයන්වලට සහතික දෙන තත්ත්වයක් ඇති වෙයි කියා හිතන්න බැහැ. වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ වගේ විශාල මිලකට විකිණිය හැකි සහතිකයක් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාදෙන්න කටයුතු කරන නිසාත්, මහන්සියෙන් තොරව මෙම විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය හැකි නිසාත් අනාගතයේදී එම විෂයයන්වලට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පැමිණීමේ අර්බුදයක් ඇති විය හැකියි.
තව පැත්තකින් ගත්තොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කෝටියක්, කෝටි එකහමාරක් ගෙවිය හැකි පිරිස ඒවාට ගියහොත් කෙනෙක්ට කියන්න පුළුවන් සාමාන්‍ය පවුල්වල ළමයින්ට වැඩි තරගයක් නැතිව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පැමිණෙන්න පුවළුන් කියා.
අධ්‍යාපනය මූලික මිනිස් අයිතිවාසිකමක් විය යුතුයි. අධ්‍යාපනය විකුණුම් භාණ්ඩයක් බවට පත්වූවාට පසුව ඉස්සෙල්ලා විකුණන්නේ වෛද්‍ය උපාධිය වෙන්න පුළුවන්. ඊට පසුව ගුරු විද්‍යාල පුහුණුව, හෙද පුහුණුව යනාදී හැමදේම වෙළෙඳ පොළේ අලෙවි වන මට්ටමට වැටෙන්න පුළුවන්.
ඊළඟ ගැටලුව තමා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිය කෝටියකට තිබුණත්, කෝටි දෙකකට තිබුණත් ඒවට සල්ලි දීලා යන අය රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන අයට වඩා සුදුසුකම්වලින් ඉතාම පහළ නම් එහි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන සුදසුකම් ඉතාම පහළ මට්ටමක තිබෙන කෙනෙකු කෝටි 05 ක් දීලා උපාධිය කරනවා නම් ඒක ලොකු වැරැද්දක්. ඒ නිසා සාපේක්ෂ සාධාරණයක් රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන තැනදිම තිබිය යුතුයි. මන්ද රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඉතාම දක්ෂ අය අරගෙන, ඊට වඩා ඉතාම පහළ මට්ටමේ අය කෝටි ගණන් දීලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යනවා නම් ඒක ලොකු වැරැද්දක්.
උදාහරණයක් විදියට ඇමෙරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් පවතිනවා. ලෝකයේ පළමු විශ්වවිද්‍යාලයත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. නමුත් ඒ විශ්වවිද්‍යාලවලට සල්ලි තිබූ පමණින් යා නොහැකියි. ඔවුන්ගේ බඳවාගැනීමේ පටිපාටියක්, සුදුසුකම් පරීක්ෂා කිරීමක් පවතිනවා.
මෙම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම ලේසි පහසු දෙයක් නොවෙයි. බුද්ධිමය, කුසලතාමය, ප්‍රායෝගික මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වගේ සියලු දේ පරීක්ෂාවට ලක්කරලයි බඳවාගැනීම් සිදුකරන්නේ. නමුත් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ලෝකයේ කොහේවත් සල්ලි දීලා විශ්වවිද්‍යාලයකට යන්න බැරි අයට මෙම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන් නම් ඒ තුළ විශාල ගැටලුවක් පවතිනවා.
උපාධියෙන් පසු රැකියා අවස්ථා ලබාගැනීමේදී පවා මෙහි විශාල ගැටලුකාරී තැන්වලට මුහුණදෙන්න වෙනවා. විශ්වවිද්‍යාල ඇතුළට යන්නේ නියම සුදුස්සාද යන ගැටලුව පවතින මොහොතක එම වෘත්තීන්වලට යන්න කලින් පරීක්ෂාවට ලක්වීමක් තිබිය යුතුයි. මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ යුත්තේ මේ අය අදාළ වෘත්තියට යන විට නියම සුදුස්සෙක්ද කියා පරීක්ෂාවට ලක් කිරීමයි. නැතිනම් මේ රටේ සියලු දේ තුළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙනවා. මෙහිදී වඩා හොඳම දේ වන්නේ ඉතාම සුදුසු අයට තමාගේ කුසලතාවට, බුද්ධියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමයි.
සටහන - සරසි නෙත්මිණි