Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
මේ වන විට ක්‍රමයෙන් රට තුළ විදුලි අර්බුදයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ටෙන්ඩර් කැඳවීමක් තොරව විදුලි ඒකක මිලදී ගැනීම, වියළි කාලගුණය හේතුවෙන් විදුලි නිෂ්පාදනයට බාධා ඇතිවීම වැනි හේතු ඒ සඳහා බලපා තිබෙන බවට රාවයක් පැතිර යයි. මේ සියලු කරුණු පිළිබඳවත්, ශ්‍රී ලංකවේ වත්මන් විදුලි නිෂ්පාදය හා අනාගත තත්ත්වයන් පිළිබඳවත් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ජලාශ වල ජල ධාරිතාව හා වත්මන් විදුලි නිෂ්පාදනය
ලංකාවේ විදුලි බල උත්පාදනය සඳහා තිබෙන්නේ ජලාශ 6යි. කාසල්රී, මවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, සමනල වැව. මේ හයේ තිබෙන සමස්ත ධාරිතාව 32%ක් පමණ වෙනවා. දිනයක ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 9%ත් 10%ත් අතර ප්‍රමාණයක තමයි දැන් තිබෙන්නේ. මේ වන විට තාප විදුලියෙන් විදුලි නිෂ්පාදනය 89%ක් 90%ක් අතර ප්‍රමාණයක තිබෙනවා. ඉතිරි බොහෝම අඩු ප්‍රමාණය සුළං හා සූර්ය විදුලියෙන් නිපදවනවා.
89%ක් 90%ක් පමණ වන තාප විදුලි නිෂ්පාදනයෙන් 50%ක් පමණ නිපදවෙන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන්.
මහවැලි ගඟ ආශ්‍රිතව තමයි ලක්ෂපාන බලාගාර සංකීර්ණය තිබෙන්නේ. ලක්ෂපාන බලාගාර සංකීර්ණයට අවශ්‍ය ජලය ලබගන්නේ කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශවලින්. එයින් මාවුස්සා ජලාශය තමයි විශාලම ජලාශය. මේ දෙක ගත්තත් 34%ක පමණ ප්‍රමාණයක තමයි ජලය තිබෙන්නේ.
ජල විදුලි නිෂ්පාදනය නැති වුණොත් බීමට ජලය නැති වෙනවා
ලක්ෂපාන බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය නවතා දැමුවහොත් පහත් ප්‍රදේශවලට බීමට ජලය නැති වෙනවා. අපිට ජල විදුලි නිෂ්පාදනය නවත්වන්න බෑ. මොකද එවිට තමයි ජනතාවට බීමට ජලය ලැබෙන්නේ. ඒ ප්‍රමාණය තීරණය කරන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින්. ජල විදුලි නිෂ්පාදනය ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි සිදුකරන්න බැහැ.
වර්ෂාව ලැබුණත්, නැතත් මහවැලි අධිකාරිය, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩය, ලංකා විදුලි බල මණ්ඩලය යන ආයතන සති දෙකක පමණ වරක් රැස්වී තීරණය කරනවා ජල විදුලි නිෂ්පාදනය පිළිබඳව. මෙවැනි කාලයකදී ජල විදුලි නිෂ්පාදනයට ප්‍රමුඛතාව ලැබෙන්නේ නෑ. වැස්ස ඇති කාලයකදීත් එය අපට තනියම තීරණය කරන්න බෑ.
මේ වනවිට කාසල්රී හා මවුස්සා කැලේ ජලාශවලින් පානීය ජල අවශ්‍යතා සඳහා නිකුත් කරන ජලයෙන් විදුලි උත්පාදනය කරනවා. මහවැලි අධිකාරියෙන් ගොවිතැනට නිකුත් කරන ජලයත් යොදාගෙන අපි විදුලිය නිෂ්පාදනය කරනවා. දැනට ජලාශවල තිබෙන ජලය අපි ආරක්ෂා කරන්නේ බීමට හා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්.
කුකුළේ ගඟ ව්‍යාපෘතිය හා පරිසර සංවිධාන ක්‍රියාත්මක වීම
කුකුළේ ගඟ විදුලි බලාගාරය ඉදිකිරීමට යාමේදී ජනතාව විරුද්ධ වෙනවා. කුකුළේ ගඟ විශාල ජලාශයක් නෙවෙයි. තිබෙන කුඩා ජලාශයකින් ජල විදුලිය නිෂ්පාදය කිරීමට තමයි සැලසුම් කර තිබුණේ. මේ ජලාශය නිර්මාණය කළානම් පහළ ප්‍රදේශවලට බීමට ජලය ලබාගැනීමටත්, කෘෂිකර්මාන්තයට ජලය ලබාගැනීමටත් අවස්ථාව තිබෙන අතරේම විදුලිය නිෂ්පාදනය කිරීමටත් අවස්ථාව තිබුණා. නමුත් අන්තවාදී පරිසර සංවිධානවල ක්‍රියාත්මක වීමෙන් මෙය නැවතුණා. දැන් ජනතාවට තේරෙනවා ඇති ලංකාවේ ඉහළ ප්‍රදේශවල නිර්මාණය කළ ජලාශ නිසා බීමට හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය තිබෙනවා කියා.
ජලාශ ඉදිකිරීමෙන් ලැබෙන ප්රතිලාභ
ජලාශ ඉදිකිරීම හරහා රටට ලැබෙන තවත් වාසියක් තමයි විශාල ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවස්ථාව තිබීම. පසුගිය වසරේ මැයි මාසයේදී විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. මෙයින් කොළඹ යට වුණා. නමුත් කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශ නොතිබුණා නම් කොළඹ ඊට වඩා තුන් ගුණයකින් පමණ යටවීමට හැකියාවක් තිබුණා. කුකුළේ ගඟ වේල්ල ඉදිකිරීමට ඉඩ දුන්නානම් කළුතර ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට හැකියාව තිබුණා.
ජනතාවත් කැපකිරීම් කළ යුතුයි
ජනතාවත් කැපකිරීම් කරන්න ඕන. එයින් මුළු රටටම ප්රතිලාභ ලැබෙනවා. කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශ ඉදිකරන විට හැටන් නගරය සම්පූර්ණයෙන්ම යට වුණා. නමුත් ඒ අය කැපකිරීම් කරපු නිසා අද ජනතාව ප්රතිලාභ ලබනවා. මිල අඩු බලාගාර ඉදිකිරීමට නොදෙනවා නම් අපිට පිරිවැය වැඩි මාර්ගවලට යොමුවීමට සිදුවෙනවා.
විදුලිය කැපීමක්
අපිට තිබෙන තාප විදුලි බාලාගාර උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක කර ගැනීමට හැකි වුවහොත් විදුලිය කැපීමක් සිදුවෙන්නේ නෑ. නමුත් රජයට වගේ අපිට බොරු කියන්න බෑ. අපි ඉංජිනේරුවෝ. ජනවාරි මාසයේ සිට නොරොච්චෝලේ බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියත්මකයි. නොරොච්චෝලේ මෙගාවොට් 300 ජනන යන්ත්‍ර තුනක් තිබෙනවා.
කෙරවලපිටියෙත් මෙගාවොට් 300ක බලාගාරයක් තිබෙනවා. කැළණිතිස්ස 160 බලාගාරයක් තිබෙනවා. නමුත් මෙගාවොට් 300 ක ජනන යන්ත්‍ර දෙකක් එකපාර හදිසි බිඳවැටීමක් සිදුවුවහොත් අඛණ්ඩ විදුලි සැපයීමක් ලබාදීම අපහසුයි. වෙනදාට මෙවැනි බිඳවැටීම් සිදුවූ විට ජලවිදුලි නිෂ්පාදනය වැඩිකර විදුලිය ලබාගන්නවා. නමුත් මේ වන විට පවතින වියළි කාලගුණය නිසා එය සිදුකිරීමට හැකියාවක් නෑ.
කොහොම වුණත් මෙයට මුහණ දෙන්න මෙගාවොට් 60ක යන්ත්‍රයක් ගෙන්වා තිබෙනවා. එයින් රජය විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 28ක් වැනි වැඩි අගයකට. එසේ මිලදි ගන්නා විදුලිය තමයි ජනතාවට රුපියල් 2.50ට රුපියල් 3.00 දෙන්නේ. මීට අමතරව හෝටල් හා කර්මාන්ත ශාලාවලින් රුපියල් 36ක් වැනි ඉහළ මිලක් ගෙවලා විදුලි ඒකක මිලදී ගන්නවා.
වත්මන් විදුලි ඉල්ලුම හා නිෂ්පාදනය
දැනට ලංකාවේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40ක් පමණ වෙනවා. එයින් 50%ක්ම නිපදවන්නේ ගල්අඟුරු බලාගාර වලින්. එක් ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම රුපියල් 5ක් පමණ වෙනවා. ගල්අඟුරු බලාගාර නිසා තමයි ලංකාවේ විදුලි ඉල්ලුම මේ තරම් හරි සපුරාලීමට හැකියාවක් තිබෙන්නේ. ජලවිදුලි නිෂ්පාදනය 10%ක් පමණ වෙනවා. විදුලිබල මණ්ඩලයේ තිබෙන තාප විදුලි බලාගාරවලින් 18%ක් පමණ විදුලිය සපයා ගන්නවා. පෞද්ගලික අංශයෙන් 22%ක් පමණ මිලදී ගන්නවා.
පුනනර්ජනනීය බලශක්තිය නිපදවීම
අපට විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 16ක් පමණ වැය වෙනවා. ආයතනයත් ලාභ ඇතිව ක්‍රියාත්මක විය යුතුයි. පාඩු ලැබුණොත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගන්න වෙනවා. මහා භාණ්ඩාගාරය කියන්නෙත් ජනතාවගේ මුදල්. අපි සඳහන් කරන මිලට වඩා විදුලිය නිපදවීමට ඇත්තේ මූලාශ්‍ර දෙකක් පමණයි. එකක් ජල විදුලිය. එහි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 2ටත් වඩා අඩුයි. ගල්අඟුරු බලාගාරවලින් විදුලි ඒකකයක් නිර්මාණය කිරීමට රුපියල් 5ක් පමණ වැය වෙනවා.
වර්තමානයේ සුළං බලයෙන් විදුලිය නිපදවීමට රුපියල් 23ක් පමණ යනවා. නමුත් ටෙන්ඩර් කැඳවීම හරහා එක සමාගමට එක් ඒකකයකට රුපියල් 12.50ක මිලකට මෙගාවොට් 20ක් නිපදවීමට ලබාදුන්නා. සූර්ය විදුලියත් දැනට මිලදී ගන්නේ රුපියල් 23 බැගින්. එයත් අඩු විය යුතුයි. තරගකාරී මිල කැදෙව්වොත් එම ඒකකයක් රුපියල් 12ත් 15ත් අතර අගයකට මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් එය විදුලි ගැටලුවට විසඳුමක් නෙමෙයි.
සූර්ය බලය තිබෙන්නේ දවල්ට පමණයි. සමහර මාසවල සුළං බලයෙන් නිපදවිය හැකි ප්‍රමාණය පසුගිය කාලයේදී අඩු වුණා. සූර්ය බලයෙන් ලබාගන්නා විදුලිය බැටරි මගින් ගබඩාකර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එයින් වෙන්නේ තවත් පිරිවැය වැඩි වීමක් පමණයි. අපේ රට කිසිදු රටක විදුලි බල පද්ධතියක් හා සම්බන්ධ වී නෑ. යුරෝපයේ රටවල් අතර විදුලි පද්ධති එකිනෙකට සම්බන්ධයි. එතකොට එක් රටක විදුලි නිෂ්පාදය අඩුවුවහොත් තවත් රටකින් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. මේ හේතු නිසා අපිට තාක්ෂණික වශයෙන් සීමා තිබෙනවා. අනෙක් අතින් විදුලි බල පද්ධතියේ ස්ථාවර තත්ත්වය බිඳවැටී යම් ගැටලු ඇතිවෙන්නත් පුළුවන්.
තාප බලාගාර අවශ්‍යයි
මේ ගැටලු විසඳා ගැනීමට නම් අපි තාප විදුලි බලාගාර ඉදිකළ යුතු වෙනවා. පුනර්ජනනීය බලාගාර හොඳ නෑ කියල නෙමෙයි මම කියන්නේ. ඒවායේ තාක්ෂණික සීමා තිබෙනවා. සියයට 100%ක් සුළං හා සූර්ය බලයෙන් විදුලිය නිපදවිය නොහැකියි. නමුත් මෙවැනි දෙයක් කළ හැක්කේ ඉතාමත් සංවර්ධිත රටවල් වලට පමණයි. උදාහරණයක් ලෙස වස විස නැති එළවළු වල මිල සාමාන්‍යයෙන් ඉහළයි. ඒ වගේ තමයි සුළං හා සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට වැඩි පිරිවැයක් යනවා.
පුනනර්ජනනිය බලශක්තිය කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක්. යුරෝපයේ ජර්මනිය, ඉතාලිය වැනි රටවල් පුනනර්ජනීනය බලශක්තියට යොමුව තිබෙනවා. නමුත් ඒ රටවල විදුලි බිල ඉතාමත් ඉහළයි. ජනතාවගේ ආදායම ඉහළ නිසා විදුලි බිල වැඩිවූවාට ජනතාවට ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. විවිධ පාර්ශ්ව පුනනර්ජනනීය බලශක්තියට යොමු වීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වන්නේ පරිසර ආරක්ෂණයයි.
නමුත් මීට යටින් තිබෙන දේ තමයි සුළං හා සූර්ය බලයෙන් විදුලිය නිපදවන්නේ පෞද්ගලික අංශයයි. ඒවා වැඩිමිලට විකිණීම හරහා යම්කිසි ලාභයක් එම පාර්ශ්ව ලබාගැනීමයි අපේක්ෂාව. නමුත් ඔවුන් කියන්නේ ගල්අඟුරු බලාගාර ඉදිකරන්නේ නැතිව ඉමු. පරිසරය ආරක්ෂා කරමු කියලයි. සූර්ය හා සුළං බලයෙන් විදුලිය අඩු මිලක් යටතේ නිපදවිය හැකිනම් අපිත් කැමතියි. නමුත් ඊට යටින් තිබෙන්නේ ගඳ ගහන කතාවක්. අපිට බේරිල්ලක් නෑ මිල ගණන් කැඳවන්නේ නැතිව සුළං හා සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23 යටතේ මිලදී ගන්න කියලා. මේක මහා රණ්ඩුවක්.
විදුලි බිල ඉහළ ගියහොත් කර්මාන්ත ක්ෂේත්රයේ කඩා වැටීමක්
අපේ රටේ විදුලි මිල ඉහළ ගියහොත් කර්මාන්ත කඩා වැටීමකට ලක්විය හැකියි. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය යම් බිඳවැටීමකට ලක්ව තිබෙනවා. ඇතැම් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් බංග්ලාදේශයට ගොස් ඇඟළුම් කර්මාන්ත ආරම්භකර තිබෙනවා. එක් කාරණයක් වන්නේ ලංකාවේ විදුලි මිලට සාපේක්ෂව බංග්ලාදේශයේ විදුලි මිල අඩුවීම. ශ්‍රමයේ මිල අඩුවීමත් එක් හේතුවක් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් තිබියදී වැඩි මිලට විදුලිය නිපදවීම නෙමෙයි, හැකිතාක් අඩුම මිලක් යටතේ විදුලිය නිපදවීමට පියවර ගැනීමයි කළ යුත්තේ.
ජනතාවට දෙන පණිවුඩය
අපට තිබෙනවා ජනක සැලැස්මක්. මෙය අවුරුදු දෙකින් දෙකට යාවත්කාලීන කරනවා. නමුත් මේ ජනක සැලැස්ම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් යනවා. වියළි කාලගුණ තත්ත්වය නෙමෙයි විදුලි අර්බුදයට හේතුව. අපි කාලයෙන් කාලයට අඩු වියදම් බලාගාර සැලැස්මට නොයෑමයි. උදාහරණයක් ලෙස 2013 වසරේදී සාම්පූර් බලාගාරයක් ඉදිකිරීමට නියමිතව තිබුණා. මෙය 2017 වසරේදී ඉදිකර අවසන් කිරීමට තිබුණා. පසුව එය 2020 දක්වා කල් ගියා. දැන් කියන්නේ එය ඉදිනොකරන බවයි. අඩු වියදම් බලාගාර ඕනකමින් ඉදිකරන්නේ නැතිව ඉන්නවා.
නමුත් අනපේක්ෂිත තත්ත්වයන් පැමිණ විට කරන්නේ හදිසි විදුලිය කියලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිය මිලදී ගැනීමයි. ඒ වගේම සාම්පූර් බලාගාරය නොමැති නිසා වැඩි මිලට ඩීසල් විදුලි බලගාර ගෙන්වීමට යනවා. කෙරවලපිටියේ තවත් මෙගාවොට් 300ක හා හම්බන්තොට මෙගාවොට් 160ක තාප බලාගාර දෙකක් නිර්මාණය කරන්න කියලා අපිටම කියන්න වෙලා තිබෙනවා.
එහෙම නොවුණොත් ඉදිරියේදි වැස්සත් විදුලිය කපන්න වෙනවා. විදුලි ඉල්ලුම සාමාන්‍යයෙන් වාර්ෂිකව 6%කින් පමණ ඉහළ යනවා. 2013 වසරේදී නොරොච්චෝල අන්තිම බලාගාරය ඉදිවූවාට පසුව මේ දක්වා එකම යන්ත්රයක්වත් පද්ධතියට ඇවිත් නෑ. නමුත් අවුරුද්දකට මෙගාවොට් 150ක පමණ ඉල්ලුම වැඩිවීමක් සිදුවනවා.
ඉල්ලුම දෙන්න බැරිවුණාම කරන්නේ ටෙන්ඩර් කැඳවීමක් තොරව පෞද්ගලික අංශයෙන් තමන්ගේ හිතවතුන්ගෙන් විදුලිය මිලට ගැනීම හා විදුලි බලාගාර ඉදිකිරීමයි. මෙය කුමන්ත්‍රණයක්. එය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ජනතාවට කියන්න තිබෙන්නේ මේ ගැන අවධානයෙන් ඉන්න කියලයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd