ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 99ක් නීතිවිරෝධී ආකාරයට ඉන්දියාවට පවරන බවට පසුගිය කාලය පුරා රට තුළ කතාබහක් ඇතිවිය. මේ හේතුවෙන් මෙම ක්‍රියාව නවතා දමන ලෙස ඉල්ලමින් විපක්ෂ‘යේ පක්ෂ හා ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති විවිධ විරෝධතා පැවැත්වීය.
මීට අමතරව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩවර්ජනයක්ද දියත් කළ අතර, එහිදී තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමක් සිදුනොකරන බබට වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට ආණ්ඩුව පොරොන්දු වූ බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය.
එහෙත් එම පොරොන්දු කඩකරමින් සිටින බවට, වෘත්තීය සමිති සඳහන් කරන අතර මේ හේතුවෙන් ඒ පිළිබඳව 'අද' ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සමග කතාබහක නිරත විය.
චීන වරාය ටැංකි සංකීර්ණය ඉදිකිරීම
1920 වසරේ සිට ඉදිකරලා 1930 වසරේ අගභාගයේදී මෙම ටැංකි සංකීර්ණයේ තෙල් ගබඩා කරන්න පටන් ගත්තා කියලා තමයි සඳහන් වෙන්නෙ. මෙය බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදිකරන ලද්දක්. ආරම්භයේදී තෙල් ටැංකි 101ක් තිබිලා තියෙනවා. හැබැයි ටැංකි 102ක් තියෙනවා කියලා නම් කරලා තියෙනවා. එතැනදී යම් විශ්වාසයක් මත අංකයක් අත හැරලා දාලා තමයි ගණනය කරලා තියෙන්නෙ.
මෙම තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකක් වශයෙන් තියෙන්නෙ. ඉන් එක් කොටසක් ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ තියෙන්නෙ. එතැන ටැංකි 14ක් තියෙනවා. අනෙක් පැත්තේ කොටසේ 85ක්. මෙතැනදී ඉදිකරලා තිබුණු ටැංකි 101න් එක් ටැංකියක් දෙවැනි ලෝක යුද්ධ කාලේ ගුවන් යානයක් කඩා වැටිලා විනාශ වෙලා තියෙනවා. මීට අමතරව දෙවැනි ලෝක යුද්ධ සමයේ සිදුවූ තවත් අනතුරකින් තව ටැංකියක් විනාශ වෙලා තියෙනවා. දැනට තියෙන්නේ ටැංකි 99යි.
ටැංකි ධාරිතාව
එක් ටැංකියක ධාරිතාව කියුබික් මීටර් 12,500ක්. මේ අනුව සම්පූර්ණ ටැංකි තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් විතර ගබඩා කරන්න පුළුවන්.
චීන වරායේ ටැංකි ඉදිකිරීමේ අරමුණ
මේ තරම් විශාල ටැංකි ප්‍රමාණයක් ඉදිකරලා තියෙන්නේ ලංකාවටම තෙල් ගබඩා කරගන්න විතරක් නොවෙයි. මේක සැලසුම් කරලා තිබිලා තියෙන්නේ මුළු ආසියාවටම තෙල් බෙදන්න. දෙවැනි ලෝක යුද්ධය වෙලාවේදීත් මේකෙන් උපරිම වැඩක් අරං තියෙනවා. මොකද ත්‍රිකුණාමලය යුද උපායමාර්ග අතින් ඉහළ තැනක් ලෙස තමයි සැලකෙන්නෙ.
ටැංකි සංකීර්ණයේ අයිතිය රටට ලැබීම
1948 වසරේදී රටට නිදහස ලැබුවත් තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය අප රටට හිමිවුණේ නැහැ. මේ නිසා 1957 වසරේදී මෙම ටැංකි සංකීර්ණය රටට පවරා ගන්න කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ කතාබහට අනුව 1964 වසරේදී මෙහි අයිතිය හිමිවෙනවා.
ඒවගේම 1961 වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතිවෙනවා. මෙතැනදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එංගලන්තයට පවුන් දෙලක්ෂ පනස්දහසක් ගෙවලා තමයි 1964 වසරේදී මෙම ටැංකි සංකීර්ණය ලබාගත්තෙ. ඉන් පසුව තෙල් සංස්ථාව තෙල් පුරවමින් වැඩකටයුතු කරගෙන ආවා.
අතහැරලා දාලා තිබුණු ටැංකි සංකීර්ණයක් බව නැගෙන චෝදනා
ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. මම මුලින් කිව්වනේ මේ ටැංකි මගින් ආසියාවට වුණත් ඒ කාලේ තෙල් දෙන්න පුළුවන් වෙලා තිබුණා කියලා. මේ නිසා 1964 වසර ගත්තාම ලංකාවේ තෙල් භාවිත වුණේ බොහොම අඩුවෙන්. මේ නිසා රටට අවශ්‍ය පරිදි එම ස්ථානයේ තෙල් ගබඩා වුණා. ඒ වගේම කියන්න ඕන මෙම තෙල් ටැංකි සංකීර්ණයෙන් දුම්රිය තෙල් ප්‍රවාහන ක්‍රමයේදී දුම්රියවලට තෙල් පටවන්න ලේසිම තැනක්.
1977 වනතෙක් මේ තුළින් ප්‍රයෝජන රාශියක් සිදුවුණා. ඒත් 1977 පස්සෙ විකුණන තැනට ගමන් කළානේ. එතැනදී පාලකයන්ගේ වරදක් තිබුණා, ටැංකි සංකීර්ණයෙන් වැඩ නොගැනීම පිළිබඳව. ඒ වගේම 2002 වසරේදී සාකච්ඡාවක් වෙලා තිබුණා සිංගප්පූරු සමාගමක් ඔවුන්ගේ තෙල් දාන්න මෙම ගබඩා ගැනීම පිළිබඳව. ගබඩා කරන්නේ ලීටරයකට ගාණක් ගෙවීමේ ක්‍රමයකට ඒක සිදුවෙන්න තිබුණෙ. එත් ඒ දේ සිදුවුණේ නැහැ.
තෙල් ටැංකි විකුණා දැමීමේ උත්සාහය
රටට විවෘත ආර්ථිකය පැමිණීමත් සමග සෑමදේම විකුණා දැම්මේ දිශාවට ගමන් කළේ. මේ අනුව 1987 වසර වනවිට මෙම තෙල් ටැංකි සංකීර්ණය ඇමෙරිකාවට විකුණන්න සැලසුම් කළා. ඒ වනවිට මෙම තෙල් ටැංකි ටික දෙස වගේම ත්‍රිකුණාමලය වරායට චීනය, ඇමෙරිකාව, ඉන්දියාව ඇහැගහගෙන හිටියේ. මේ නිසා ඇමෙරිකාව මෙම තෙල් ටැංකි ටික ගන්න උත්සාහ කළා. එතැනදී ඉන්දියාව යම් විරෝධතාවක් එල්ල කළා.
රජීව් ගාන්ධි අප රටට දන්වලා තියෙනවා මේ ස්ථානයට ඇමෙරිකාව හෝ පිට කෙනෙකුට ඇතුළු වෙන්න දෙන්න බැහැ, ඒක ලංකාවට වගේම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියලා. එහෙම ඉන්න කොට එදා පැවැති යුද්ධය ගැන ඉන්දියාව සාම ගිවිසුමකට එනවා.
එතැනදී කියනවා සම්පූර්ණයෙන්ම ත්රස්තවාදීන්ගේ ආයුධ ඉවත් කරනවා කියලා. සාමගිවිසුමේ 03 වැනි වගන්තියේ තියෙනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට ගන්න ඕන කියලා. ඒත් ඔවුන් ලබාදුන් පොරොන්දුව ඉටුකළේ නැහැ. ඒක නිසා ඒ ගිවිසුම අවලංගුයි.
2003 වසරේදී ඇතිකර ගත් ගිවිසුම
2003 වසරේදී ඇතිකර ගත්තේ තාවකාලික ගිවිසුමක්. මෙම ගිවිසුමට අනුව ටැංකි 99ක් අවුරුදු 35කට ඉන්දියාවට පවරනවා කියලා කිව්වා. ඇතිකර ගත්තේ තාවකාලික ගිවිසුමක් නිසා ගිවිසුමේ සඳහන් කරනවා මාස 06ක් තුළ බදු ගිවිසුමකට එළඹිය යුතුයි කියලා. ඒත් කුමන හෝ හේතුවකට එම ගිවිසුම ඇතිකර ගත්තේ නැහැ. මේ නිසා වසර 35ක ගිවිසුම අවලංගුයි. මේ තත්ත්වය මත තෙල් ටැංකිවල අයිතිය අප රටට සතුයි.
බදු ගිවිසුමක් නොමැති වුවත් බදු ගෙවීම
මේක හරි විහිළු වැඩක් විදියට තමයි සිදුවෙන්නෙ. ඒ කියන්නේ ඉන්දියාව මෙම ටැංකි භාවිත කිරීමේදී බදු වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවනවා. මේ අනුව එක් ටැංකියකට වසරකට අප රටට හිමිවන්නේ ඩොලර් දහසක් වගේ මුදලක්.
චීන වරාය තෙල් ටැංකිවල ඇති වැදගත්කම
දැනට තෙල් සංස්ථාව සතුව තියෙන කොලොන්නාව, මුතුරාජවෙල ටැංකිවල තෙල් ගබඩා කරන්න පුළුවන් වෙන්නෙ රටට අවශ්‍ය ඉන්ධනවලින් සති දෙකකට පමණක් අවශ්‍ය ඉන්ධන පමණයි.ඒ මෙම සංකීර්ණය තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගබඩා කරගන්න පුළුවන්. ඒක රටට විශාල වාසියක්. ඒ වගේම තෙල් නැවත් දින 03ක් වැනි කාලයකදී ගොඩබාන්න පුළුවන්. මේ නිසා නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ වගේම මෙම ටැංකි හරහා දුම්රිය තෙල් ප්‍රවාහන ටැංකිවලට ඍජුවම ඉන්ධන පුරවන්න පුළුවන්.
මීට අමතරව උතුරු නැගෙනහිරට වගේම, අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් මෙමගින් ඉන්ධන මුදාහරින්න පුළුවන්. එහෙම කළොත් අපට වාර්ෂිකව එම ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කිරීමට යන වියදම නවත්වා ගන්න පුළුවන්. පැහැදිලිවම කියනවානම් එම මුදල රුපියල් ලක්ෂ 7,000ක ඉතිරියක්.
වර්තමාන තත්ත්වය
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තෙල් ටැංකි පර්යන්තය ඛනිජ තෙල් සංස්ථාවට පවරාගන්න වර්තමාන විෂය බාර අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ අනුව සංස්ථා නිලධාරීන් කිහිපදෙනෙකු පරීක්ෂා කරන්න එම ස්ථානයට ගියා. ඒත් ඉන්දීය සමාගමේ බලධාරීන් අපේ නිලධාරීන්ට ඒ සඳහා ඇතුළත් වෙන්න දුන්නෙ නැහැ. එවන් තත්ත්වයක් තිබියදී, මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට වර්තමාන ආණ්ඩුව සැලසුම් කළා.
එකට සංස්ථා සේවකයන් විරෝධතා දැක්වුවා. මීට අමතරව මේ වසරේ අප්‍රේල් 24 වැනිදා එක්දින වැඩවර්ජනයක් සිදුකළා. මෙම වර්ජනය අඛණ්ඩව සිදුකරන්න සැලසුම් කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු එදිනම රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සඳහා වෘත්තීය සමිතිවලටත් ආරාධනා කළා. එහිදී සඳහන් කළා මෙම ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමක් සිදුනොකරන බවට.
පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගියා. දැනට ලැබෙන තොරතුරු අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව හවුලේ මෙම ස්ථානය පවත්වා ගෙන යන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන බවට වර්තා වෙනවා. මෙය වෘත්තීය සමිති සමග ඇතිවූ එකඟතාවන් කඩ කිරීමක්. මේ පිළිබඳව අප දැඩිව අධ්‍යයනය කරමින් තියෙන්නෙ.
එම කටයුතුවලදී මේ පිළිබඳව තහවුරු වුණොත් පසුගිය අප්‍රේල් 24 වැනිදා තාවකාලිකව නතර කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ සතිය තුළදී ආරම්භ කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ කාගෙවත් තනි වරප්‍රසාද ප්රතිලාභ ලබාගන්න නෙවෙයි. මේරහේ අගනා සම්පත් රැකගැනීමට.
වර්ජනය හරහා රටට බලපෑම් ඇතිවීම
ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. තෙල් කියන්නෙ මෙරටට අතිශය වැදගත් දෙයක්. එහෙම දෙයක් අපි ආරක්ෂා කරගන්න ඕන. ලංකාව ගත්තාම දැනටමත් ඉන්දීය ඔයිල් සමාගම අලෙවිසැල් විශාල ප්‍රමාණයකින් ඉන්ධන බෙදාහරිනවා. මෙතැනදී ඔවුන් සීමාවක ඉඳන් තමයි ඒදේ කරන්නෙ. මොකද ඔවුන් දන්නවා ඔවුන් භාවිත කරන ඉන්ධන ටැංකි භාවිත කරන්නෙ නීත්‍යානුකූලව නොවෙයි කියලා.
එත් ඔවුන්ට මෙම ස්ථානවල නීත්‍යානුකූලභාවය ලබාදුන්නට පස්සෙ ඔවුන් අනිවාර්යයෙන්ම ඉන්ධන පිරවුම්හල්වලට සංස්ථාවෙන් ලබාදෙන මුදලට වඩා රුපියලක් දෙකක් අඩුවෙන් මුල් කාලයේදී ඉන්ධන ලබාදෙන්න පුළුවන්. එහෙම වුණොත් පිරවුම්හල් හිමියන් එම ඉන්ධන ලබාගන්නවා.
එතකොට සංස්ථාවට ඉන්ධන අලෙවි කරන්න වෙන්නෙ නැහැ. එතකොට තෙල් සංස්ථාව නිකම්ම නැතිවෙලා යාවි. ඊට පස්සෙ තෙල් ඒකාධිකාරිය ඔවුන්ගේ අතට යනවා. ඊට පස්සෙ ඔවුන් හිතූහිතූ ගණන්වලට තෙල් අලෙවි කරාවි. එතකොට මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.
අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම
මෙම ස්ථානය රැකගන්න අපි ගොඩක් උත්සහා කළා. මෙම උත්සාහයන්ට අනුව මෙම තෙල් ටැංකි සංකීර්ණයේ සම්පූර්ණ අයිතිය නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීමට පසුගිය පෙබරවාරි 09 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරලා තියෙන්නෙ.