ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථිකමය වශයෙන් පමණක් නොව පාරිසරික සහ දේශගුණික වශයෙනුත් බැටකමින් සිටින තත්ත්වයකට පත්වෙමින් පවතී.
එදිනෙදා ජීවන රටාව තුළ කුමන වගකීම් ගැන සිතුවත් සොබාදහම වෙත අප ඉටු කළයුතු වගකීම් ගැන සිතීම අතින් අප සිටින්නේ ඉතාමත් පහළ මට්ටමකය. ඒ නිසාමදෝ සොබාදහම නොයෙක් ආකාරයෙන් අපට දඬුවම් ලබාදෙමින් සිටියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නිෂ්පාදන සහ කර්මාන්ත ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය අසේල කුලතුංග මහතා සමග 'අද' මේ සංවාදය ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකාව මේ මුහුණ දෙමින් සිටින පාරිසරික සහ දේශගුණික විපර්යාස පිළිබඳවයි.
Q මෙරට කාලගුණයේ සහ දේශගුණයේ යම් අසාමාන්‍ය වෙනස්වීමක් ඇති වී තිබෙනවා නේද?
පැහැදිලිවම මේ විපර්යාසයත් අද ඊයේ ඇති වුණ දෙයක් නෙවෙයි. පසුගිය ශත වර්ෂයක් තුළ මානව සහ ස්වාභාවික හේතු පදනම් කරගෙනයි අපි මේ කතා කරන දේශගුණික විපර්යාස ඇති වී තිබෙන්නේ. පසුගිය වසර කිහිපයේ මෙම වෙනස්වීම තදින්ම අපිට දකින්නට ලැබුණා.
Q අපට ලැබෙන වර්ෂාපතනයේ වෙනදාට වඩා අඩුවක් දකින්නට ලැබෙනවාද?
වර්ෂාපතනයේ අඩුවක් සිදුවීමට වඩා මෙතන තිබෙන්නේ වර්ෂාපතනයේ තීව්‍රතාව වැඩි වීමක්. විශේෂයෙන් වර්ෂාව නිසි කලට නොලැබීමත්, වර්ෂාව ලැබීමේදී දැඩි තීව්‍රතාවයකින් එසේ නැත්නම් කෙටි කලක් තුළ ඉතා දැඩි වර්ෂාපතනයක් ලැබීමත් අපට දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය ගංවතුර, නාය යෑම්, නියඟ ආදී විපත්තිදායක අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.
Q ඒ අනුව බැලුවාම ශ්‍රී ලංකාව යම් අහිතකර දේශගුණික විපර්යාසයකට මුහුණ දෙමින් සිටිනවා යැයි කීම නිවැරදිද?
පැහැදිලිවම නිවැරදියි. අපට එදිනෙදා සමාජයේදී වුණත් නිතර අසන්නට, අත්විඳින්නට ලැබෙන දේවල් තමයි පරිසරයේ උණුසුම වැඩි වීම, වියළි කාලගුණය දිගු කලක් පැවතීම, වර්ෂාව දැඩිව ඇති වීම කියන කාරණා. මෙය විද්‍යාත්මකව විග්රහ කරනවා නම් යම් ප්‍රදේශයක කලින් වසර වලට සාපේක්ෂව දෛනික උෂ්ණත්වයන්ගේ විචලනය වන ආකාරයේ වෙනස්කම් දැකගන්න පුළුවන්. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක්. දූපත් රාජ්‍යයන්ට මෙවැනි දේශගුණික විපර්යාස ඉතාමත් තදින් බලපානවා. ඒ වගේම ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් වීමත් මේ තත්ත්වයට හේතුවක් වී තිබෙනවා.
Q ශ්‍රී ලංකාව කාන්තාර කරන ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා පසුගිය දිනවල කතාබහක් ඇති වුණා. මෙය ඇත්තක්ද?
මෙරට වන ගහනයේ ශීඝ්‍ර අඩුවීමක් මේ වෙද්දි පෙන්නුම් කරනවා. ඊට මානව ක්‍රියාකාරකම් වගේම සංවර්ධන ව්‍යාපෘති පවා බලපානවා. සිදුවන අධික පරිසර විනාශයත් එක්ක වන වගා ඇති කළත් ඒ ඇති කරන ප්‍රමාණය විනාශ වන ප්‍රමාණයට සාපේක්ෂව අඩුයි. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති වලදී සිදුවන පාරිසරික විනාශයන්ට ප්‍රමාණවත් හානි පූර්ණයක් දකින්නට ලැබෙන්නේ නැහැ. අපේ ඉඩම් පරිභෝජනයේ ඇති අවිධිමත්භාවයත් මීට හේතුවක් වී තිබෙනවා. ඉතිං මේ හේතු සාධකයත් සමග කාන්තාරකරණය ඇති වීම ක්ෂණිකව නොවුණත් අනිවාර්යයෙන්ම ඉදිරියට යද්දී එවැනි තත්ත්වයක් ක්‍රමයෙන් නිර්මාණය විය හැකියි.
Q මෙවැනි විපර්යාසයන්ට ශ්‍රී ලංකාවේ දකින්ට ලැබෙන හේතුකාරක මොනවාද?
අපි දන්න දෙයක් තමයි මේ වෙද්දී අපේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60%- 70%ත් අතර ප්‍රමාණයක් සපුරා ගන්න වෙලා තිබෙන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන්. ඊට අමතරව වියදම් අධික ඩීසල් බලාගාර පවා බහුලව භාවිත වෙනවා. ගල්අඟුරු දහනයෙන් සහ ඉන්ධන දහනයෙන් නිකුත් වෙනවා පරිසරයට හානිදායක වායූන්.
ඒ වගේම ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහන ප්‍රමාණය අධික වීමත් ඊට සාපේක්ෂව මාර්ග පද්ධතිය වැඩිදියුණු නොවීමත් නිසා වාහන තදබදය වැඩි වීම හේතුවෙන් හරිතාගාර වායූන් නිකුත් වීම වැඩි වී තිබෙනවා. ඒ වගේම බහුලව අපට දකින්නට ලැබෙන අවිධිමත් ඉඩම් පරිභෝජන රටාවත් මේ තත්ත්වයට හේතුකාරක වී තිබෙනවා. ඊට අමතරව සිදුකරන විශාල සංවර්ධන ව්‍යාපෘති මගින් වන පාරිසරික විනාශයට නිසි හානි පූර්ණයක් නොවීම තවත් හේතුවක් වෙනවා.
Q මේ හානිකර තත්ත්වයන් අවම කිරීමට ගත හැකි පියවර මොනවාද?
පළමුවෙන්ම සිදුකළ යුත්තේ මේ ගැටලුව අප සියලු දෙනාටම බලපාන, අප සියලු දෙනාම වගකිව යුතු ගැටලුවක් බව තේරුම් ගැනීම. ශ්‍රී ලංකාව තවමත් ඒ තත්ත්වයේ නැහැ. අපි තවම ඉන්නේ අපේ කුණු අසල්වැසියාගේ ගෙවත්තට බැහැර කරන නොදියුණු මානසිකත්වයක. අද යුරෝපා රටවල් ගත්තොත් එහි ජනතාව පවා මෙය සිය ජාතික වගකීමක් ලෙස සලකනවා.
ශ්‍රී ලංකාවටත් මෙය ජාතික වගකීමක් ලෙස සලකා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඊළඟ කාරණය තමයි අපි මීටත් වඩා වැඩි වශයෙන් පාරිසරික හානිය ඉතා අවම විකල්ප බලශක්ති ක්‍රමවේදයන්ට අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම යම් පාලිත තත්ත්වයන් තුළ විධිමත් අයුරින් කැළිකසළ බැහැර කිරීම සහ කළමනාකරණය සිදුකර ගැනීම, සංවර්ධනය සහ නිෂ්පාදන ක්‍රියාවලිය පරිසරය සුරැකීම කියන කාරණය සමග සමීප කළ යුතුය.
තවත් කාරණයක් තමයි ඉඩම් පරිභෝජනය සහ සම්පත් පරිභෝජනය විධිමත් සහ පාලනයක් සහිතව සිදුවීමත් වැදගත් වෙනවා. මේ විසඳුම් ක්‍රියාත්මක කිරීම අපහසු නැහැ. ඊට අවශ්‍ය සම්පත් දායකයන්, දැනුමැති පිරිස් මේ රටේ බොහෝ සිටිනවා. අවශ්‍ය වන්නේ වගකිවයුත්තන්ගේ නිසි අවධානය මීට යොමු වීමයි.