එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළ හෙවත් ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීය. එළඹෙන මැයි මාසයේ 12,13 සහ 14 යන තෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් එය පැවැත්වීමට රජය මේවනවිට සූදානම් වෙමින් පවතී. මේ අතර මෙම වෙසක් උත්සවය සහ ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උලෙළෙහිජ්යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය පූජ්‍ය තම්පලාවෙල ධම්මරතන හිමියන් සමග 'අද' අපි සාකච්ඡා කළෙමු.
Q ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටට වැදගත්වන්නේ කෙසේද?
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වීම වැදගත් වෙන්නේ ලෝකයේ ඉන්න බෞද්ධ නිකායන්වල ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් අප රටට පැමිණෙන නිසා.එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ වනවිට සාමාජික රටවල් 192 ක් සිටිනවා. එක්සත් ජාතීන්ගේ බෞද්ධ වැඩසටහනට රටවල් 85 ක් සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
රටවල් 85 ක බෞද්ධ නායකයන් ලංකාවට පැමිණ පවත්වන පළමු වෙසක් උත්සවය ලෙස මෙය ඉතිහාසගතවෙනවා. ඒක අපට සුවිශේෂයි. ඒ වගේම අපේ රට ථේරවාදී රටක් ලෙස පැවතුණත්,ථේරවාද, මහායාන, වජ්රයාන,තන්ත්රයාන, සෙන් ආදි සියලුම නිකායන්හි බෞද්ධ නායකයෝ ලංකාවට පැමිණෙනවා.
මේ තරම් වටිනා අවස්ථාවක් මෑත ඉතිහාසයේ ලංකාවට ලැබුණේ නැහැ.
1956 දී බුද්ධජයන්තිය සැමරීම ලංකාවේ බොහොම ඉහළින් සිදුකළා. එයට පසුව සිදුවන විශාලතම බෞද්ධ මුණගැසීම ලෙසින් මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය හඳුන්වාදෙන්නට පුළුවන්. මේ හරහා පණිවුඩ කිහිපයක්ම ලබාදෙනවා.වසර 30 ක යුද්ධයෙන් පසු ලංකාව සමකාමී රටක් ලෙසට මුළු ලෝකයම පිළිගන්නවා. ඒ වගේම ලංකාව තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිතකර තිබෙනවා, නිදහස ඇතිවී තිබෙනවා.
නිදහසේ මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න, ඇවිදින්න ලියන්න කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ලංකාවේ ජාතික ආණ්ඩුවක් ඇතිකිරීමත් සුවිශේෂයි. මොකද ජාතික ආණ්ඩු හදපු හැම රටක්ම දියුණුවක්. මේ නිසා තමයි 2017 වසරේ ජාතිකවත් වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පවත්වන්නේ.මෙම උත්සවය පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා කළ ඉල්ලීම තායිලන්තයට ගෙන ගියේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමා.ඒ හරහා ලංකාවට මෙම උත්සවය ලැබුණා. මේ සියලු කාරණා හරහා ශ්‍රී ලංකාව, ලෝකයේ බෞද්ධ මධ්‍යස්ථානය ලෙස පිහිටුවාගන්නට අපට පුළුවන්කම ලැබෙනවා.
Q උත්සවය සඳහා සහභාගි වන විදෙස් නියෝජිතයන් පිළිබඳ කතා කළොත්?
තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය, කොරියාව, චීනය යන රටවල සංඝරාජ පදවිය හොබවන හාමුදුරුවන්වහන්සේලා සියලුදෙනා ලංකාවට වඩිනවා. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහත්මයා, මොංගෝලියාවේ ජනාධිපතිතුමා මේ සඳහා සහභාගි වීමට සූදානමින් සිටිනවා.
ආසියාවේ සියලුම රටවල ඉහළ පෙළේ අමාත්‍යවරුන් මේ සඳහා සහභාගි වීමට කැමැත්ත පළකර තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ ආගමික නියෝජිතයන් සහ රාජ්‍ය නායකයන් යන මේ දෙපිරිසම ලංකාවේදී මුණගැහෙනවා.ඒ අනුව ලංකාව බෞද්ධ රටක් ලෙස ලෝකයට ගෙනයාමට අපට අවස්ථාව ලැබෙනවා.
Q මෙහිදී පවත්වන සම්මන්ත්රණ මොනවාද?
ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහගාමීව අධ්‍යාපනික සම්මන්ත්රණ කිහිපයක්ම පවත්වන්න අපි තීරණයකර තිබෙනවා. ඒ අනුව ප්‍රධානම සම්මන්ත්රණ හතරක් පවත්වනවා. බෞද්ධ ආර්ථික සහ සංචාර දියුණු කිරීම පිළිබඳ එක් සම්මන්ත්‍රණයක් පවත්වනවා. බෞද්ධ ව්‍යාපාරිකයන් රටට පැමිණීම තුළින් දුප්පත්කම තුරන් කිරීමට, බෞද්ධ ව්‍යාපාර දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳ අපි සොයා බලනවා.
මෙරට සංචාරක ව්‍යාපාර දියුණුකිරීමේ ක්‍රම පිළිබඳවත් සොයා බලනවා.එපමණක් නොවෙයි මේ හරහා රටවල් 85 ක නව මිත්‍රත්වයක් ගොඩනගාගැනීමටත් අපි කටයුතු කරනවා. මේ සියලු කාරණා තුළින් බෞද්ධ බැංකුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණොත් එය සුවිශේෂී ජයග්‍රහණයක් වෙනවා.
අන්‍යොන්‍ය සංස්කෘතීන් අතර අවබෝධතාව දියුණුකරගැනීම සම්බන්ධයෙන් තවත් සම්මන්ත්‍රණයක් පවත්වනවා.ඒ හරහා ලෝක සාමය ස්ථාපිත කළ හැකිවන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවත් අපි කතාබහ කරනවා. ක්‍රිස්තියානි,කතෝලික,මුස්ලිම්, හින්දු, මේ සියලු ආගමික නායකයන් මේ සමුළුවට සම්බන්ධ වෙනවා. මේ තුළින් සංහිඳියාව පිළිබඳ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වෙනවා.
ඒ වගේම ලංකාවේ බෞද්ධ කියන මහා ජාතිය විසින් සුළු ජාතීන්ට කරදර කරන බවට ලෝකයට නරක ප්‍රචාර පැතිර ගොස් තිබෙනවා. මෙම කාරණය පිළිබඳ ඇත්ත තත්ත්වය ලෝකයට කියාදීමක් මෙම සම්මන්ත්‍රණයේදී සිදුවෙනවා.
ඊට අමතර ලෝකයේ මාධ්‍ය එකතුවෙන් සම්මන්ත්‍රණයක් පවත්වනවා. ලෝකයේ බොහෝ රටවල තිබෙන බෞද්ධ නාළිකා සියල්ලම පාහේ මෙම සමුළුවට එකතුවෙනවා. ඒ හරහා ලෝකයේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය මධ්‍යස්ථානයක් ශ්‍රී ලං‘කාවේ පිහිටුවීමට අපි අදහස් කරගෙන සිටිනවා.
එහිදී විවිධ භාෂාවලින් ධර්ම කරුණු ප්‍රචාරණය කිරීමට ඇති හැකියාව පිළිබඳවත් අපි සොයා බලනවා. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකය සමග කිහිප ආකාරයකින් සම්බන්ධතාව දියුණුකරගැනීමට අවස්ථාව ලැබෙනවා.
Q මෙම කමිටුවේ උප සභාපතිවරයා ලෙස ඔබ වහන්සේගේ කාර්යභාරය කුමක්ද?
මෙම කමිටුවේ උපසභාපති ලෙසට මගේ කාර්යභාරය වී තිබෙන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සිතුම් පැතුම් අනුව මේ උත්සවය සංවිධානය කිරීමට ලංකා රජයට මඟපෙන්වීමයි. වෙසක් උත්සවය කියන්නේ පහන් පත්තු කිරීම විතරක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව සිදුකෙරෙන කටයුතුවලට අදාළව එම අදහස් ඉස්මතු කරගැනීම සඳහා මෙම උත්සවය යොදාගැනීම එක් කාරණයක්.
ඒ වගේම ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සම්බන්ධතාව සකස් කර මෙම කටයුතු පහසුකිරීම තමයි මම සිදු කරන්නේ. ඒ වගේම ලෝකයේ බෞද්ධ නායකයන්ට අරාධනා කිරීමේදී මගේ මඟපෙන්වීම වැදගත් වෙනවා. ඒ වගේම දින තුනක උත්සවය සංවිධානය කිරීමේදී එය සිදුවිය යුත්තේ කෙසේද කියා මඟපෙන්වීමට සොයා බලා කටයුතු කිරීමත් මගේ කාර්යයක්.
ඒවගේම අධ්‍යාපන සම්මන්ත්රණ හතර සඳහා විද්වතුන් සොයා ගැනීමත්, ඒවා සඳහා ගැළපෙන මාතෘකා තීරණය කිරීමත්, ඒවායින් ලබාගත යුතු ප්‍ර‘යෝජනය පිළිබඳ කියාදීමත් මගේ වගකීම වෙනවා. මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළසියලු කාරණා සාර්ථකයි.
Q උත්සවය පවත්වන තෙදින වැඩපිළිවෙළ පිළිබඳ කතා කළොත්?
පළමු දිනයේ ආරම්භක සම්මන්ත්‍රණය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනවා. ඒ වෙසක් මස 12 වැනිදා. එහිදී රාජ්‍ය නායකවරුන්, සංඝරාජවරුන් විශේෂ ප්‍රකාශ සිදුකරනවා. ලංකාවේ සංස්කෘතිය පිළිබිඹු වන සංස්කෘතිකාංග ඉදිරිපත් කරනවා.
සවස් වරුවේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මහතා සමුළුව අමතනවා. ඉන්පසුව ප්‍රධාන දේශනය ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහචාර්ය රවී ලැන්කැස්ටර් මහත්මයා සිදුකරනවා. බෞද්ධ සමාජ සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය පිළිබඳ ඔහු කතා කරනවා.
රාත්‍රියේ පාර්ලිමේන්තු සංකීර්ණ ආශ්රිත වෙසක් කලාප විවෘත කරනවා. අපේ රටේ බෞද්ධ අනන්‍යතාව පිළිබිඹුවන ආකාරයේ දැවැන්ත වෙසක් කලාපයක් අපි මෙහිදී ඉදිරිපත් කරනවා.
දෙවැනි දිනය සමන්ත්‍රණ වෙනුවෙන් වෙන් කෙරෙනවා. ශාස්ත්‍රීය සාකච්ඡා පමණයි මෙදින සිදු කරන්නේ. එදින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ සංස්කෘතික සංදර්ශනය පවත්වනවා. තුන්වැනි දිනය පවත්වන්නේ මහනුවර කෙන්ද්රකරගනිමිනුයි. එහිදී මේ නායකයන් සියලු දෙනා දුම්රියෙන් කන්ද උඩරටට ගමන් කරනවා.
දළදා මාලිගාවේ විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙයට සමගාමීව පැවැත්වෙනවා.ඉන්පසුව මාළිගාවේ මහ මළුවේදී මෙම නායකයෝ සියල්ල එකතුවී අවසන් සභාව පවත්වනවා. එහිදී සියලු නායකයන් සමග එක්ව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ මහනවර ප්රකාශනය අපි මෙහිදී ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව මෙම සියල්ලන්ම එකතුව ලෝකයට සාමය ලැබේවා යැයි කියා ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් පවත්වනවා. එය අවසන් කළාට පසු විශේෂ දළදා පෙරහරක් පවත්වනවා. ඒ සමගම උත්සවයේ වැඩකටයුතු අවසන් වෙනවා.
Q මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන පණිවුඩය කුමක්ද?
මුළු රට පුරාම වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒවගේම රාජ්‍ය වෙසක් උත්සවය වට්ටාරම රජමහා විහාරයේදී පවත්වනවා. මේ ලැබුණු මහඟු අවස්ථාවට හැකි ඕනෑම ආකාරයකින් සම්බන්ධ වෙලා මෙම උත්සවය සාර්ථක කරගන්න දායක වෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඡායාරූප - ඉසුරු පෙරේරා