වසර 20කට ආසන්න කාලයක් විදෙස් ධර්මදූත මෙහෙවරෙහි යෙදී සිටින යතිවරයාණන් වහන්සේ නමක සමග උන්වහන්සේගේ සේවාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව 'අද' සාකච්ඡා කළෙමු.
උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ පවත්වාගෙන යන 'බ්ලූ ලෝටස්' විහාරයද සුවිශේෂී විහාරයක් වන අතර, එය අාරම්භ කර මේ වනවිට වසර පහළොවක් සම්පූර්ණ වී තිබේ. මේ සියලු කරුණු සම්බන්ධයෙන් උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පේරාදෙණියේ සිරිසුජාත හිමියන් පැවසුවේ මෙවැනි අදහසකි.
Q මුලින්ම ඔබවහන්සේ ඇමෙරිකාවට වැඩි ආකාරය පිළිබඳව කතා කරමු?
මම ඉස්සරලාම ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයට ගියේ 1997දී. ඇමෙරිකාවට ගිය මුල් දවස්වල ඒ රටේ ඉන්න ලංකාවේ අය එකතු වෙන ස්ථානයක හිටියා. ලංකාවේ පන්සලක වතාවත් ටික කරගෙන අවුරුදු පහක් විතර හිටියා. මෙහෙම කාලය ගතකරද්දි මට හිතුණා මීට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා. ඒ අනුව ඒ පන්සලෙන් යන්න තීරණය කළා.
එහෙම වුණත් මට යන්න තැනක් තිබුණේ නැහැ. එහෙම ඉද්දි චිකාගෝ නුවර පල්ලියක ධර්ම වැඩසටහන් පවත්වන්න මට අවස්ථාව ලැබුණා. ඒ පල්ලියේ පියතුමා හරිම කරුණාවන්තයි. එතුමා මීට කලින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග කටයුතු කරලා තිබුණෙ නැහැ.
කොහොම වුණත් මට ධර්ම වැඩසටහන් කරගෙන යන්න ඒ පල්ලියේම කොටසක් වෙන්කරලා දුන්නා. මට නවතින්න වෙනත් ස්ථානයක් ලැබුණා. මම නවාතැන් ගත් ස්ථානයේ උදවියගේ උපකාරයෙන් ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගත්තා.
මේ සියලු දෙනාගේ උපකාර, සහයෝගය මැද පල්ලියේ ධර්ම වැඩසටහනක් පටන් ගත්තා. පළවෙනි දවසේ ඇවිත් හිටියේ තුන්දෙනයි. වැඩසටහන කරගෙන යන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ තුන්දෙනා ඉඳගෙන හිටියා. මමත් ඉස්සරහින් වාඩිවෙලා හිටියා. භාවනා කරනවා වගේ වාඩිවෙලා හිටියා. මම මොනවත්ම කිව්වෙ නැහැ.
නිදහසේ එදා දවස ගෙවුණා. ඉතින් මම හිතුවා නැවත මේ අය එන්නෙ නැතිවෙයි කියලා. එහෙම වුණත් ඊට පස්සේ සතියේ අරවගේම ඒ තුන්දෙනා ඇවිත් හිටියා. එදා සුළුවෙන් ධර්ම වැඩසටහනක් කළා. ඊට පස්සෙ සුපුරුදු පරිදි හැමදාම සෙනසුරාදාට ඒ අය පල්ලියට එන්න පුරුදු වුණා, ධර්ම වැඩසටහන්වලට සහභාගි වෙන්න. මේ විදිහට අවුරුදු නවයක්ම ගතවුණා. ඒ වෙද්දි මගේ ධර්ම වැඩසටහන් සාර්ථකව පවත්වා ගෙන යන්න පුළුවන් වුණා.
Q ධර්ම වැඩසටහන් සඳහා විරෝධයක් එල්ල වුණේ නැද්ද?
මම මේ ධර්ම වැඩසටහන් කරන පල්ලිය තිබෙන්නෙ නගරය මැද. ඊට අමතරව තව පල්ලි හයක් ආසන්නයේ තිබෙනවා. මගේ ධර්ම වැඩසටහන්වලට මේ පල්ලි හය විරුද්ධව නැගී සිටියා. දවසක් මට විරෝධය දක්වලා අපේ පල්ලිය ඉදිරියෙන් සාමකාමී පෙළපාළියක් ගියා.
එහෙම වුණත් මම ඉන්න පල්ලියේ පියතුමා කිව්වා මේ දේවල්වලට බය වෙන්න එපා, වැඩකටයුතු කරගෙන යන්න, අපි උදවු කරන්නම් කියලා. මේ විදිහයට වැඩ කරගෙන යද්දි දහවැනි අවුරුද්දට ආසන්න කාලයේදී ඒ පල්ලිය විකුණන්න ඔහු තීරණයක කළ බව පල්ලියේ පියතුමා මට දැනුම් දුන්නා. ඇමෙරිකානු බෞද්ධයන්ගේ සහාය ඇතිව බොහොම අඩු මුදලකට ඒ පල්ලිය මිලදී ගන්න මට හැකිවුණා. පසුව ඒක අපේ පන්සල වුණා.
අපේ පන්සලේ තිබෙන වෙනස තමයි එක් පැත්තක බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිනවා. අනිත් පැත්තේ ජේසුතුමා ඉන්නවා. තවත් පැත්තක මරියතුමිය ඉන්නවා. මේ පල්ලිය අවුරුදු 150ක් විතර පරණ පල්ලියක්. ඇමෙරිකාවේ වසර 300ක ඉතිහාසයට වසර 150ක පල්ලියක් කියන්නෙ ඓතිහාසිකයි. මම ඒ දෙවල් කඩලා දැම්මානම්, එතැනම බුදුදහම විනාශ වෙනවනේ.
පල්ලිය අරගත්තට පස්සෙ මම කිව්වේ මම අවුරුදු නවයක් ජේසුතුමා සමග කටයුතු කළා. ඉතුරු කාලය තුළත් ජේසුතුමා ඉන්න එක ගැන මට ප්‍රශ්නයක් නැහැ කියලා මම කිව්වා. එහෙම කියලා ලංකාවෙන් අඩි 10ක බුදු පිළිමයක් ගෙන්වා ගත්තා. 'බ්ලු ලෝටස්' බෞද්ධ විහාරය බිහිවුණේ ඒ විදිහට. ඇමෙරිකාවේ තිබෙන පන්සල් දිහා බැලුවාම ශාසනික වශයෙන්, ධර්මය වශයෙන් අපි ලොකු සේවයක් කරනවා.
ඒවගේම මෙවැනි තැනක් වෙන තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. බුදු දහමේ නොවන කෙනෙක් අපේ පන්සලට ආවත් බොහොම හොඳින් පැහැදෙනවා. එකක් ප්‍රතික්ෂේප කරලා අපේ දේ විතරක් හරි කියලා මම කියන්න ගියේ නැහැ. අපට සහජීවනයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා මම ඔප්පුකරලා පෙන්නුවා. මේ වෙද්දි අපේ පන්සල අන්තර ආගමික මූලස්ථානයක් බවට පත්වෙලා. මේ වෙද්දි ඇමෙරිකාවේ තවත් විහාර පහක් අපි ආරම්භ කළා. ඔස්ට්‍රියාවේ, ස්විස්ටර්ලන්තයේත් පන්සල් පටන් ගත්තා.
Q බුදුදහම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ තිබෙන පිළිගැනීම කෙබඳුද? වෙනත් ආගම් අදහන පිරිස් බාධාවන් ඇතිවුණේ නැද්ද?
ඇමෙරිකානු ජාතිකයන්ට කිසිදු ප්‍රශ්නයක් නැහැ ඒ ගැන. අපි කොහේ ගියත් බුදු පිළිමයක් දැක්කොත් අපට හිතෙන හැඟීම අපේ පන්සලේ තිබෙන ජේසුතුමන් දැක්කාම ඇමෙරිකන් ජාතිකයන්ට ඇතිවෙනවා. ඔවුන්ගේ උපතින් ලැබුණු සංස්කෘතිය මම නැති කළේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දකිද්දිත් ඔවුන් ඒ වගේම සතුටක් ලබනවා.
ඇමෙරිකාවේ අගමික නිදහස බොහොම හොඳින් තිබෙනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම ඇදහීමේ නිදහස තිබෙනවා. මම හිතන විදිහට ආගම ඇදහීමේ නිදහස ලෝකයේම තිබිය යුතුයි. එතකොට ආගමික ගැටුම් අඩුවෙනවා.
Q ලංකාවේ බෞද්ධයො සහ ඇමෙරිකාවේ බෞද්ධයො අතර ඔබවහන්සේ වෙනසක් දකිනවාද?
ලංකාවේ බුදු දහමේ වටිනාකම ලංකාව තුළ නැතිවෙලා, විනාශ වෙලා ගිහින් කියලා මට හිතෙනවා. ඒ මොකද ලංකාව තුළ කුමක් හෝ පැටලීමක් සිදුවෙලා තියෙනවා. මිනිස්සු ධර්මය කියලා විශ්වාස කරන්නෙ වෙන දෙයක්. ඔළුබක්කෝ නටන්න, පෙරහර කරන්න, තොවිල් නටන්න තමයි බෞද්ධයො කැමති. ඒක හරියට හිසේ රදේ හැදුණාම පෙනඩෝල් බොනවා වගේ කියලයි මම කියන්නෙ.
සංස්කෘතිය රකින්න අවශ්‍යයි කියලා හැමදෙනාම බොහොම මහන්සි වෙලා වැඩ කරනවා. නමුත් අවශ්‍ය දේ කවුරුත්ම කරන්නෙ නැහැ. සංස්කෘතිය පැත්තකින් තියලා ඒකට වැඳවැඳ ඉන්නවා. සංස්කෘතියත් කියලා දෙයක් රටක හෝ ජාතියක තියෙනවා නම් අපි ඒවා ආරක්ෂා කරන්න අවශ්‍යයි. නමුත් ධර්මය වගේ දෙයක් තිබෙන්නෙ ආරක්ෂා කරන්න නෙවෙයි. ඒක පිළිපදින්න තිබෙන්නෙ.
මෙතැන තමයි පැටළිල්ල තිබෙන්නෙ. ලංකාවේ මිනිස්සු පිළිපදිනවාට වඩා ආරක්ෂා කරන්න යනවා. පිළිපැදීමයි ආරක්ෂාව වෙන්නෙ. සංස්කෘතිය ආරක්ෂා කරන එක වෙනම වැඩපිළිවෙළක්. නමුත් ඒක බුදුහාමුදුරුවන්ගේ වැඩපිළිවෙළ නොවෙයි.
ධර්මය පිළිපැද්දොත්, ධර්මයේ හැසිරුණොත්, ඒ පිළිබඳ විශ්ලේෂණය කළොත් අපි මීට වඩා ප්රබුද්ධ ජාතියක් බවට පත්වෙයි. යුරෝපය ආදී බටහිර රටවල බුදුදහමින් ගන්න ප්‍රයෝජන දකිනවිට අපට අපේ මිනිස්සු ගැන කනගාටුයි. ඇමෙරිකාවේ අපේ පන්සලෙන් මේ වනවිට ඇමෙරිකානු ජාතිකයෝ තුන්දාහකට වඩා පන්සිල් ගෙන බෞද්ධයෝ බවට පත්වෙලා තිබෙනවා.
Q ලංකාවේ සිදුවන සිදුවීම් දෙස ලංකාවෙන් පිටත සිටින භික්ෂූන් වහන්සේ නමක් ලෙස දකින්නෙ කෙසේද?
පළමු වැනි දේ ලංකාවේ හරි නීතියක් නැහැ. නීති තිබුණත් කවුරුත් නීති පිළිපදින්නේ නැහැ. ඒ නිසා මම හිතන්නෙ මුලින්ම රටවැසි හැමෝටම පිළිපදින්න පුළුවන් එක් නීතියක් තිබිය යුතුයි. ඇමෙරිකාව වගේ රටවල ජනාධිපතිටත්, සාමාන්‍ය ජනයාටත් එක නීතියක් තිබෙන්නේ.
ආගමික සහජීවනය නැතිවී ගොස් තිබෙන්නෙ රටේ නීතියක් නැති නිසා. මොකද එක එක කොට්ඨාසයට එක එක නීති තිබෙන්නෙ. ජනාධිපතිතුමාට එක නීතියක්, ඇමතිවරුන්ට තව නීතියක්, හාමුදුරුවරුන්ට තවත් නීතියක්, අනිත් ආගම්වලට වෙනම නීතියක්. මෙහෙම බලද්දි කොහේවත් හරි නීතියක් නැහැ.
නමුත් ඇමෙරිකාව වගේ රටවල හැමෝටම එක නීතියක් තිබෙන්නේ. ඒ නිසා කවුරුත් නීතියෙන් එහාට නොයා හැමෝම නීතිය පිළිපදිනවා. නීතියෙන් එහාට ගියොත් ඉවරයි. ලංකාවේ ඒ තත්ත්වෙ නැහැනේ. ඒ නිසා තම තමන්ගේ දේවල් රැකගන්න කියලා හැමෝම සටන් කරනවා. එතකොට ගැටුම් ඇතිවෙනවා. රටේ නීතිය හරියට තිබෙනවානම් මේ විදිහෙ ගැටුම් නැහැ.
Q අන්තවාදය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මතය කුමක්ද?
මිනිස්සු වැරදි කරන්න පුළුවන්. මිනිස්සු අන්තවාදී වෙන්න පුළුවන්. ඒක මිනිස් ලක්ෂණයක්. නමුත් මම හිතන්නේ නැහැ බෞද්ධ අන්තවාදීන් ඉන්නවා කියලා. බෞද්ධයෙක් නම්, අන්තවාදියෙක් නොවෙයි. බෞද්ධ නොවන අය තමයි අන්තවාදීන් වෙන්නෙ.
නියම බෞද්ධයා අන්තවාදී නැහැ. තමන්ගේ ආගම අදහන කෙනා අන්තවාදීයෙක් නෙවෙයි. බුද්ධාගමේ නියම ක්‍රමය තමයි කොන්දේසි පනවා නොගැනීම. නමුත් අපි කොන්දේසි පනවාගෙන ඒක රකින්න සටන් කරනවා.
අපි උදාහරණයකට වතුර ගමු. වතුරට හැඩයක් නැහැනේ. දමන භාජනයේ හැඩය ගන්නවා. බුද්ධ ධර්මයටත් හැඩයක් නැහැ. වතුර වගේ ඕනෑම තැනක ගලනවා. බුදුහාමුදුරුවෝ අපට බුදුදහම ලබාදෙද්දි ඒකට ඉන්දියානු හැඩය දැම්මේ නැහැ. ඒ නිසා තමයි ලෝකෙ පුරාම බුදු දහම පැතිරුණේ.
බුදුදහම ලංකාවට ආවාම ඒක ලංකාවේ හැඩය ගත්තා. ඇමෙරිකාවට ගියාම ඇමෙරිකාවේ හැඩය ගත්තා. දැන් ලංකාවේ බුදුදහම ගැන හිතන්නෙ නැතුව අර හැඩයට සටන් කරනවා. ඒ හැඩය ඇතුළේ පොඩි පොඩි හැඩයක් පවා ඇතිවෙලා තිබෙනවා. අපි හැමකෙනාම මේ හැඩය අල්ලා ගෙන ඉන්නේ නැතිව ධර්මය අල්ලගන්න පුළුවන්නම් ඒක වටිනවා.
Q විදේශිකයන් තුළ ලංකාවේ බෞද්ධයන් ගැන තිබෙන අදහසක කෙබඳුද?
ඇමෙරිකාවේ අපේ පන්සල ආශ්‍රය කරන විදේශිකයන් ලංකාව දකින්නේ අපි තුළින්. අපි හැසිරෙන ආකාරයෙන්. මගේ භාවනා වැඩසටහනකට පැමිණි එක් කාන්තාවක් මට කිව්වා එයා ඊළඟ ආත්මෙ ලංකාවේ උපදින්න කැමතියි කියලා. එහෙම ප්‍රාර්ථනා කරනවා කිව්වා. මිනිස්සු තුළ ඒ ආකාරයට පුදුම ගෞරවයක් තිබෙනවා ලංකාව ගැන.
ඇතැම් වෙලාවට මාධ්‍යය තුළ පළවන සිදුවීම් නිසා අසතුටු වෙන අවස්ථාත් තිබෙනවා. නමුත් සියලු දේ ගැන මධ්‍යස්ථව හිතන්න කියලා මම ඔවුන්ට කියනවා. කොහොම වුණත් මිනිස්සු අපේ රටට පුදුම ආදරයක් තිබෙන්නේ.
මීට වසර විස්සකට විතර කලින් මම ඔවුන්ට කිව්වාම මම ශ්‍රී ලංකාවෙන් ආවේ කියලා. ඔවුන් ඇහුවේ ඒ රට තියෙන්නේ දකුණු අප්‍රිකාවෙද කියලා. මුලින් දැනගෙන හිටියෙ නැහැ ලංකාව ගැන. අපි වැදගත් පණිවුඩයක් දීලා තියෙන නිසා ඔවුන් අපේ රටට සලකනවා.
ජාතියක් හැටියට ආගමක් හැටියට තමන් අදහන ආගමට ගරු කරන්න පුරුදුවෙන්න. ඒ ඒ ජාතීන්ට ගරුකරන්න කිසිවෙකුට නිග්‍රහ කරන්න පුරුදු වෙන්න එපා. ඒ විදිහට නීතිගරුකව ධර්මානුකූලව ජීවත්වෙන්න පුළුවන්නම් අපිට රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රී ලාංකික ජනතාවට මම කියන පණිවුඩය ඒකයි.