Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට එරෙහිව හා හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් සංස්ථාවට ලබාදෙන ලෙස පවසමින් ඛනිජ තෙල් සේවක සංගම් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය තාවකාලිකව අවසන් වූයේ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළ පසුවය.
තෙල් බෙදැහැරීම සඳහා හමුදාව යෙදවීමත්, අගෝස්තු 01 වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එකඟවීමත් තුළ ඔවුහු සේවයට වාර්තා කිරීමට එකඟ වූහ.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවේ අප්‍රසාදය පළවූ අතර, බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ රජයේ ප්‍රතිපත්ති ලෙස ගනු ලබන තීරණ සඳහා විරෝධය පළකළ නොහැකි බවයි.
එය අනුමත කරමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ, "අපි ඉතා සාධාරණ තැනකට මේ ගිවිසුම ගෙනත් තිබෙනවා. මේ යටතේ කිසිදු බිම් අඟලක් වෙනත් රටකට ලබාදෙන්නෙ නැහැ. බදු මුදලකට ලබාදීමයි සිදුකරන්නෙ. කවුරු හරි උද්ඝෝෂණය කරනවා නම්, අපි අහන්නේ එක දෙයයි. වරාය අධිකාරිය උපයන මුදලින් හම්බන්තොට වරායේ ණය ගෙවීමට අවුරුද්දකට මිලියන 9000 බැගින් ගෙවන්න වෙනවා.
මේ වෙද්දි මිලියන 40,000ක් ගෙවලා තිබෙනවා. තවදුරටත් මේ ණය ගෙවන්න බැහැ කියලා වරාය අධිකාරිය කියනවා. ඒ වගේම 2020 වනවිට මේ ණය ප්‍රමාණය වසරකට මිලියන 15,000ක් දක්වා වැඩිවෙනවා. අපි අහන්නෙ මේ ණය ගෙවන්නෙ කවුද කියන කාරණය. මේක වෘත්තීය සමිතියකටද, නැතිනම් වෙනත් කාරණයකටද කියන දේ නෙවෙයි වැදගත් වෙන්නෙ.
රටක් විදිහට අපි ණය ගෙවන්න කොහොමද කියන එක. විකල්පයකට අපි යනවිට ඒකට එකඟ නැතිනම් ජනතාවගේ පරිප්පු, සීනි, පිටිවලින් ගන්න බදු මුදල් වැඩිකරලා එකතු වෙන මුදලින් මේ ණය ගෙවමු කියලද මේ කියන්නෙ" යනුවෙනි.
විජයදාසට විරෝධය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙවරද කැබිනට් මණ්ඩලය රැස්වුණ අතර මෙහිදී හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම පිළිබඳව පළමුව සාකච්ඡා විය. ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ඇමති මහින්ද සමරසිංහයි.
එහිදී අදහස් දැක්වූ ඇමති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමෙන් ගැටලු රැසක් මතුවන බවයි. දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කරමින් විජයදාස රාජපක්ෂ කරුණු ඉදිරිපත් කරනවිට ඊට අමාත්‍යවරු විරෝධය පළ කළහ.
එහිදී අදහස් දැක්වූ ඇමති සරත් අමුණුගම මෙසේ පවසා සිටියේය. විපක්ෂයට අවශ්‍ය යෝජනා කැබිනට් එකට ඉදිරිපත් කරන්න එපා. මේ වගේ යෝජනා ඉදිරිපත් කිරීමෙන් සිද්ධවෙන්නේ හෙට දවසේ පත්තරවල මේ කරුණු ඵල වෙන එකයි.
එමෙන්ම මේ හරහා රජයට විරුද්ධව මහජන බලයක් ඇති වන බවත් ඇමති අමුණුගම පෙන්වා දුන්නේය. චීන සමාගමකට හම්බන්තොට වරාය ලබාදීම උචිත නොවන බවත්, මේ නිසා ගැටලු රැසක් මතුවන බවත් ඇමති චම්පික රණවක මීළගට පවසන්නට විය. එමෙන්ම එය මානව හිමිකම් ගැටලුවක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
චීනයට හම්බන්තොට වරාය ලබාදීමෙන් ඇතැම් රටවල් විරුද්ධ විය හැකි බවත් පෙන්වා දුන් චම්පික ඊට විරුද්ධත්වය පළ කළේය. චම්පිකගේ අදහසට මහින්ද විරුද්ධ විය.
එහෙම ප්‍රශ්නයක් නැහැ. මානව අයිතීන් පිළිබදව මමත් හොඳට දන්නවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයෝජන රැසක් සිදුකර ඇත්තේ චීනයයි. ඇමෙරිකාවට හොඳ නම් අපි චීනයෙන් ආධාර ගත්තාම මොකද වෙන්නේ. හම්බන්තොට වරාය පිළිබඳව ඉන්දියාවෙන් විමසූවිට මුදල් නෑ කිවුවා. එම නිසයි චීන ආයෝජකයන් සහභාගි කරවා ගත්තේ යැයි මහින්ද සමරසිංහ කියන්නට විය.
මෙම අවස්ථාවට එක් වූ ඇමති රාජිත සේනාරත්න පැවසුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් නගර සංවර්ධනය කර ඇත්තේ චීනය බවයි. එම නිසා චීනයෙන් ආධාර ලබැගැනීම ගැටලුවක් නොවන බව ඔහු කියනන්ට විය.
මමත් ආර්ථික විද්‍යාව දන්නවා
පවතින ගැටලු නිරාකරණය කරමින් තමයි මම වරාය චීනයට ලබාදෙන්නේ 99 අවුරුදු බද්ද අහෝසි කර ඉඩම් ලබාදීම ද සිදුකර තිබෙනවා. සාධාරණ විදිහට හිතන්න යැයි මහින්ද සමරසිංහ යළිත් ප්‍රකාශ කළේය.
මෙයට එක්වෙමින් ඇමති මංගල කියන්නට වූයේ නවීන විදිහට හිතන්න ඕනි. ගෝත්‍රික විදිහට හිතන්න එපා. එහෙම හිතුවොත් රටවල් සංවර්ධනය කරන්න බැහැ. දියුණු කරන්නත් බැහැ යනුවෙනි.
මේ ව්‍යාපෘතිය අවබෝධයෙන් යුතුව කරන හොඳ වැඩක්. දේශපාලන න්යායපත්ර ඊට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇමති සරත් අමුණුගම යළිත් කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ 'පසුගිය රජය සමයේ ලබාගෙන ඇති ණය ගෙවීමට විශාල මුදලක් අවශ්‍යයි. හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදලක් ලක් රජයට ලැබෙන බව මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබෙනවා.
ඒ මත පදනම්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ආධාර ලබා දුන්නා. මෙය සමහරුන්ට තේරෙන්නේ නැහැ. ආර්ථිකයේ ගැටලු තිබෙනවා. හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පසුගිය මැතිවරණ සමයේ මම හම්බන්තොටට පැමිණ ප්‍රකාශ කළ පරිදි ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.
හම්බන්තොට වරාය පවත්වාගෙන යාමට වසරක් තුළ රුපියල් මිලියන 9100ක් වැය වන බැවින් වරාය බදු දීම තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක විදේශීය ආධාර ලැබෙනවිට විදෙස් සංචිත වැඩි වන බව හා බැංකු පොලී අනුපාත අඩුවන බවට ඇමති මහින්ද සමරසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක් බව සඳහන් කළ ඇමති සජිත් ප්‍රේමදාස කියා සිටියේ මේ සඳහා ප්රචාරාත්මක වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවයි. රජය සිදුකරන හොඳ වැඩ ජනතාවට ලබාදීමට ප්රචාරාත්මක වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ප්‍රේමදාස ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ආයෝජන දිරිමත් කළ යුතුයි. රට ආපස්සට යන්න දෙන්න බැහැ. චීනය ලන්ඩන් නුවර දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකරනවා. දැනට චීනයේ නිෂ්පාදන ලන්ඩන් නුවර දක්වා නැව් මගින් ප්‍රවාහනය කිරීමේදී දින 26ක් ගත වෙනවා.
නමුත් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ගත වන්නේ දින 09ක් පමණයි. රටක් ගොඩනැගිය යුත්තේත් ඒ පිළිබඳව අවධානය යොමු කරමිනුයි. හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබෙන වාසි පිළිබඳව දයා ගමගේද අදහස් පළ කළේය.
මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදහස් දැක්වූයේ ඉන් පසුවයි.
මෙම ව්‍යාපෘතියේ ගැටලු ගණනාවක් තිබුණා. ඉඩම් 99 අවුරුද්දකට බදුදීම , වැඩි ඉඩම් ප්‍රමාණයක් චීනයට පැවරීම වැනි ගැටලු මේ වනවිට නිරාකරණය කර තිබෙනවා. මේ වෙනවිට හොඳ තත්ත්වයක් ඇති වූ නිසයි මම අනුමැතිය ලබාදුන්නේ.
පසුගියදා ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සඳහන් කළා යහපාලන රජය හොඳ වැඩ රැසක් කළත් එ පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් නොමැති බව.
පෝට් සිට් විදේශීය රටවලට විකුණපු එකයි, හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ යුතුයි. සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් එය ඉදිරිපත් කළ යුතුයි යැයි ජනාධිපතිවරයා පැවසීමත් සමග ඒ වෙනුවෙන් සියල්ලෝම එකඟතාවට පැමිණියහ.
උපකුලපතිගේ බිරිඳත් විරෝධතාවල
රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පාලක මණ්ඩලය පත් කිරීමේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවිට අමාත්‍ය චම්පික රණවක සදහන් කළේ මෙය ගැටලුවක් බවත්, ශිෂ්‍ය අරගල මේ නිසා වැඩි වී ඇති බවත්ය. ඊට පිළිතුරු ලබාදුන් ඇමති එස්. බී. දිසානායක සඳහන් කළේ මේ පිළිබඳව ජනතා අදහස් ලබාගැනීම් 04ක් සිදු කර ඇති බවයි.
එමගින් අනාවරණය වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සිසුන් විසින් දියත් කර ඇති විරෝධතා සියයට 80ක් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. එය කුඩා කණ්ඩායමක ගැටලුවක් බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මෙම විරෝධතා පසුපස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද සිටිනවා. ශිෂ්‍යයන් ඔවුන්ට බියේ විරෝධතාවලට සහභාගි වෙනවා. මට දැනගන්න ලැබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ බිරිඳත් මෙම විරෝධතාවලට සම්බන්ධ බව කෙසේ හෝ ඉන්පසු අමාත්‍ය මණ්ඩලය විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලක මණ්ඩලය පත් කිරීමේ යෝජනාව සම්මත කරන ලදී.
නව සභාපතිවරයෙකු සහ අධ්යක්ෂ මණ්ඩලයක් යටතේ අගෝස්තු මස 01 සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාර සේවා ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මසකට කෝටි 20ක් රෝහලේ නඩත්තු කටයුතු වෙනුවෙන් රජය මගින් ලබාදීමටද මෙහිදී එකඟතාව හිමිවිය.
ලෝක බැංකු නියෝජිත හමුව
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ පවුල් සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ලෝක බැංකුව සහයෝගය ලබාදීමට තීරණය කර ඇත. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ලෝක බැංකු නියෝජිත පිරිසක් අතර අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සහ පවුල් සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සහ ගුණාත්මකභාවය අනෙකුත් රටවලට ආදර්ශයක් බව ලෝක බැංකු නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දුන්හ. මෙම නියෝජිත පිරිස ඉදිරි දිනවලදී රත්නපුරය සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කර පවුල් සෞඛ්‍ය සේවාව පිළිබඳව අධ්‍යයනයක නිරතවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාත්මක 'ඊ හෙල්ත්' ව්‍යාපෘතිය, නොමිලේ අක්ෂි කාච සහ ස්ටෙන්ස් ලබාදීම, අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කිරීම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ජනතාවට වෙත සිදුකර ඇති සේවාවන් පිළිබඳව ලෝක බැංකු නියෝජිත පිරිස මෙහිදී කරුණු විමසා සිටියහ. ජනතාවට උචිත සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීමට එවැනි ක්‍රියාමාර්ග ඉවහල්වන බවත්, මෙම වැඩපිළිවෙළ අගය කරන බවද, ඔවුහු මෙහිදී අවධාරණය කර සිටියහ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන්, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය දීපිකා ආටිගල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වැඩේ ඉවර වෙන්න කලින්ම උපදේශක ගිහින්
පුත්තලම පොලිස් ස්ථානයේ අලුතින් ඉදිකරන ලද කාන්තා හා ළමා කාර්යාංශය විවෘත කිරීම හා ප්‍රජා පොලිස් සේවය පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්වුණි. එම උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. කෙසේ වෙතත් හදිසි කාරණයක් හේතුවෙන් ජනාධිපතිවරයා මේ සඳහා සහභාගි වූයේ නැත.
මේ පිළිබඳව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරට හදිසියේම දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ ජනාධිපති ලේකම්වරයෙකුගෙනි.
එමගින් කියවුණේ පුත්තලම පොලිස් ස්ථානයේ පැවැත්වීමට නියමිත උත්සවයට ජනාධිපතිවරයා සහභාගී නොවන බවයි. එබැවින් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත ආරාධනාවක්ද සිදුකළේය. එය ජනාධිපතිවරයාගේ දැනුම්දීමක් බවද ඔහු රංගේ බණ්ඩාර අමාත්‍යවරයා වෙත මෙහිදී සැලකර සිටියේය.
නියමිත පරිදි උත්සව සභාව ආරම්භ විය. පොලිස්පතිවරයාටත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මැදිව පාලිත රංගේ බණ්ඩාර වෙත අසුන් පනවා තිබිණ. කතා තුනකට පමණක් සීමා වී තිබූ එම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකිරීමේ කාර්යය පැවැරී තිබුණේද රංගේ බණ්ඩාරටයි.
උත්සව සභාව ආරම්භවී මද වේලාවක් ගත වූ පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වික්ටර් ඇන්තනී එම ස්ථානයට පැමිණියේය. වර්තමානයේ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ඔහු එම ස්ථානයට පැමිණියේ ප්‍රධාන දේශනය සිදු කරන්නේ කවුරුන් විසින්ද යන්න විමසමිනි.
ජනාධිපතිවරයා නොපැමිණෙන බැවින් ඔහු වෙනුවෙන් එම අවස්ථාව ලබා ගැනීම ඔහුගේ අරමුණ විය. කෙසේ වෙතත් සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියෙකු ඔහුට සැලකර සිටියේ ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති පාලිත රංගේ බණ්ඩාර සහභාගි වී සිටින බවයි. ප්‍රධාන දේශනයද ඔහු විසින්ම සිදු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද සංවිධායක නියෝජිතයාගෙන් වික්ටර් ඇන්තනීට දැනගන්නට ලැබිණ.
ඒ මේ අත බලමින් සිටි වික්ටර් ඇන්තනීට අසුන් ගැනීමට ස්ථානයක් පවා තිබුණේ නැත. එම අවස්ථාවේ පසු පෙළක අසුන්ගෙන සිටි අයෙකු ඉන් නැගිට ඇන්තනීට සිය අසුන පරිත්‍යාග කළේය.
පොලිස්පතිවරයාත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් සිය දේශන සිදු කිරීමෙන් අනතුරුව ප්‍රධාන දේශනය පාලිත රංගේ බණ්ඩාර විසින් සිදුකරන ලදී. වික්ටර් ඇන්තනී පසුපෙළක අසුන්ගෙන සිටින බව ඔහු රංගේ බණ්ඩාර දැක ගත්තේද වේදිකාවට ගොඩ වූ පසුවයි.
ප්‍රධාන දේශනය නිමා වීමෙන් පසුව පොලිස් නිලධාරීන්ට ත්‍යාග හා සහතික ප්රදානය කිරීමේ වාරය උදාවිය. එම කටයුත්ත ඉටු කිරීමට වේදිකාවට ගොඩ වූ රංගේ බණ්ඩාර වික්ටර් ඇන්තනී මහතාද වේදිකාවට කැඳවා ගත්තේය. උත්සව සභාව අවසානයේ තේ පැන් සංග්‍රයක් භුක්ති විඳින්නටද ප්‍රධාන ආරාධිතයන් ඇතුළු සියලු දෙනාට අවස්ථාව උදා විය.
තේ පැන් සංග්‍රහය අතරතුරදීම සුහද කතා බහක් මත ගොඩනැගුණු සංවාදය සංග්‍රහයෙන් අනතුරුව ද මද වේලාවක් යනතුරු සිදුවිය. එහෙත් සියලු දෙනාගේම අවධානය යොමු වූ මොහොතක් උදාවිය. ඒ වික්ටර් ඇන්තනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙනෙන තෙක් මානයක හෝ නොසිටි බැවිනි.
පළමු අත්හදා බැලීම
පාර්ලිමේන්තුවේ විදේශ විනිමය පනත් කෙටුම්පත සංශෝධනය සහිතව වැඩි ඡන්ද 78කින් සම්මත විය. එහිදී පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට විද්‍යුත් ඡන්ද ක්‍රමයට සිය මනාප ලබාදීමට මන්ත්‍රීවරුන්ට හැකිවිය. කථානායකවරයා පවසා සිටියේ, මෙය පළමු අත්හදා බැලීම බවයි.
ඒ අනුව පෙරදී මන්ත්‍රීවරුන් විසින් සිය මහපට ඇඟිල්ලේ සලකුණ ලබාදී තිබූ අතර, මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මහපට ඇඟිලි සලකුණු ප්‍රශ්නයක් හටගැනීම හේතුවෙන් වෙනත් ඇඟිලි සලකුණු ලබාදීමට කටයුතු කර තිබිණි. ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් ලබාදී තිබූ ඇඟිල්ලෙන් ඡන්දය ලබාදීම සඳහා අදාළ බොත්තම එබීමට සිදුවිය.
දෙක මාරුවීම
පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නොසිටීම හේතුවෙන් විපක්ෂයෙන් චෝදනා එල්ල විය. එහිදී මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ, විදේශ අමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට ගොස් නොමැති බවත්, ඔහු පාර්ලිමේන්තුවට සහභාගි වී නොමැති බවත්ය.
එවිට ඇමති ගයන්ත ඊට පිළිතුරු දෙමින් ''ඔබතුමාට දෙක මාරු වෙලා. එතුමා කිවුවේ පාර්ලිමේන්තුවට එනවා කියලා නෙවෙයි කැබිනට් මණ්ඩලයට යනවා කියලා'' යැයි සිනහසෙමින් කියා සිටියේය.
එයා මෙයා නම් මට කරන්න දෙයක් නෑ
පාර්ලිමේන්තුවේදී බදාදා දින අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව විවාදයට ගැනුණු අතර, ඊට එක්වෙමින් මන්ත්‍රී මරික්කාර් සඳහන් කර සිටියේ, තුවක්කුවක් දැක්කාම කලිසම තෙමාගන්න පඟර නැට්ටන් තමාට චෝදනා කරමින් කියවන්නට එන බවයි. එසේම තමන්ව මැරයෙකු ලෙසට හඳුන්වා දෙන්නට ඔවුන් උත්සාහ දැරීම පිළිබඳ තරයේ හෙළා දකින බවත්, ඔවුන් රට අකර්මණ්‍ය කර දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කරන බවත් පවසා සිටියේය.
මෙහිදී වහා නැගී සිටි මන්ත්‍රී විමල්, ''මං කිවුවේ මරික්කාර් කියන මැරයාගේ ගෝලයෝ දාලා වෘත්තීය සමිති නායකයන්ට ගැහුවා කියලා. මෙයා කියලා කිවුවේ නෑ. ඒ මෙයා නම් මට කරන්න දෙයක් නෑ'' යැයි පවසා සිටියේය.
සයිටම් එපා! ජාතික විරෝධතාවක්
සයිටම් විරෝධී ජන පවුර යනු සයිටම් ආයතනයට එරෙහිව තැන තැන කළ අරගලයන් එක් මධ්‍යස්ථානයක් වෙත කැඳවූ සිවිල් සංවිධානයකි. ඒ සඳහා දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දෙමවුපිය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් ඇතුළු සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සිටියි.
මේ සියලු සංවිධානවල ස්ථාවරය වන්නේ, නීති විරෝධී සයිටම් වසා දැමිය යුතු බවයි. පසුගිය 25 වැනිදා සයිටම් විරෝධී ජනපවුර විසින් පාගමනක් හා රැලියක් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා විශාල ජනතාවක් එක්ව සිටියහ.
මෙහිදී සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරන යෝජනා හතරක් සම්මත කරගත් අතර, අගෝස්තු 02 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් සුදු වෑන් රථයකින් පැහැර ගැනීමත් එදින විශේෂ මාතෘකාවක් විය. එහිදී එක් එක් සංවිධාන නියෝජනය කරමින් නායකයෝ අදහස් දැක්වූහ. ජවිපෙ නියෝජනය කරමින් එහිදී ජවිපෙ නායක අනුර දිසානායකද කතාවක් පැවැත්වීය.
''රාජිත කියන්නෙ පල්හොරෙක්. ධීවර වරාය අඩු මිලකට බදු දීලා රටට කෝටි ගාණක පාඩුවක් කළා. කිරිඇල්ල පාරවල්වලින් කොමිස් ගහනවා. එස්.බී. කියන්නෙත් ඒ විදියෙම වංචාකාරයක්. ඒ අය එළියේ. සයිටම් විරෝධී අරගලයේ ඉන්න ළහිරු ඇතුළු සිසුන් ඇතුළෙ. ඇතුළෙ ඉන්න ඕන අය එළියේ. එළියේ ඉන්න ඕන අය ඇතුළේ'' අනුර දිසානායක කීවේය.
මෙහිදී වෘත්තීය සමිති නියෝජනය කරමින් කතාව සිදුකළේ ලාල්කාන්ත විසිනි. ඔහුගේ කතාව වෙනස් ආකාරයක් ගත්තේය. ඔහු පැමිණි සිටි පිරිසට සහ වේදිකාවේ සිටි සිවිල් සංවිධානවල නියෝජිතයන්ට සහ දේශපාලඥයන්ට සිය අසුන්වලින් නැගී සිටින ලෙස ඉල්ලා සිටියේය. සියලු දෙනාම ඊට එකඟත්වය දැක්වූහ. 'සයිටම් එපා' යනුවෙන් සටන්පාඨ කියන ලෙසත්, අගෝස්තු 02 වැනිදා විරෝධතාව සාර්ථක කරන බවට සපථ කරන ලෙසත් ඔහු සැමගෙන් ඉල්ලා සිටියේය. සියලු දෙනාම උස් හඬින් ඒ බව පවසා සිටියහ.
“සයිටම් විරෝධී ජනපවුර සියලු දෙනා අරගලයට කැඳවන්නත්, අරගලය ජයග්රහණයෙන් පසු විසුරුවන්නත් සූදානම්. ඒ වගේම අපේ අරගලයට විනයක් තියෙන්න ඕනෑ. එහෙම තමයි අරගල කරන්නෙ. අපි අගෝස්තු 02 වැනිදා විරෝධතාවක් කරනවා. ආණ්ඩුවට ඇහෙන්නේ නැත්නම් අපි ඊටත් එහා ක්‍රියාමාර්ග ගන්න සූදානම්” ලාල්කාන්ත පවසා සිටියේය.
බිමල්ගෙන් ඇමතිවරු දෙදෙනෙකුට සයිටම් ගැන පාඩමක්
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් බිමල් රත්නායකගෙන් සයිටම් ගැන විමසීමක් කළහ. “ඇත්තටම මන්ත්‍රීතුමා මේ සයිටම් එකේ අවුල මොකක්ද? අපට මේ රාජිතලා, කිරිඇල්ලලා කියන්නෙ බොරුවක් කියලා නම් තේරෙනවා” ඇමතිවරයෙක් බිමල් රත්නායකගෙන් විමසා සිටියේය.
මන්ත්‍රීවරයා සෑහෙන වෙලාවක් ගෙන සයිටම් නීති විරෝධී තත්ත්වයන්, ප්‍රමිතිය සහ ජවිපෙ ස්ථාවරය පිළිබඳව ඇමතිවරුන් දෙදෙනාට විස්තරයක් කළේය. මේ පැහැදිලි කිරීම අසා සිටි ඇමතිවරු දෙදෙනා විමසා සිටියේ “දෙපැත්තටම සාධාරණයක් වෙන විසඳුමක් නැද්ද?” යනුවෙනි. “තියෙනවා. නීති විරෝධී සයිටම් වහන්න ඕනෑ. ඊට පස්සේ ඇතුළේ ඉන්න සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන්න වෛද්‍ය සභාව යෝජනා කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනෑ. එතකොට හරි” බිමල් රත්නායක කියා සිටියේය.
මෙම ස්ථානයට විජිත හේරත් මන්ත්‍රීවරයාද පැමිණියේය. “ආණ්ඩුවේම ඇමතිවරුන්ගෙන් රාජිතට, කිරිඇල්ලට, එස්.බී.ට ලොකු විරෝධයක් තියෙනවා මේ සයිටම් ප්රශ්නය නිසා ආණ්ඩුවත් අප්‍රසාදයට පත්වෙලා කියලා. ඒ නිසා ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු එයාලගේ යෝජනාවක් දාලා කියලත් ආරංචියි” විජිත හේරත්, බිමල් රත්නායකට කීවේය.
ශ්රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි
ව්‍යවස්ථාදායක සභාව පසුගිය අඟහරුවාදා සියලු පක්ෂ නියොජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ශ්රීලනිපය එකඟ නැහැ. ජනාධිපතිතුමා මැතිවරණයේදී කිව්වා. නමුත් ඒක එතුමාගේ පෞද්ගලික අදහස.
එතකොට එතුමා ශ්‍රීලනිපයේ සභාපති නොවෙයි. නමුත් දැන් එතුමා පක්ෂයේ සභාපති. අපේ පක්ෂයේ ස්ථාවරය විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියන එක” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවේදී නිමල් සිරිපාල ද සිල්වා සිය පක්ෂයේ ස්ථාවරය පවසා සිටියේය.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පක්ෂ නියෝජිතයන් නිමල් සිරිපාල ඇමතිවරයාට විරෝධය පළකර සිටියේය. මේ වනවිට පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එකඟතාව පළකර ඇති අතර, ශ්රීලනිපය හා පක්ෂ කිහිපයක් පමණක් ඒ සඳහා විරෝධය පළකරයි.
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු වැලිකඩ
ඛනිජ තෙල් සටනින් බදාදා පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මෙහිදී දැඩිව එල්ල විය. කොලොන්නාව, නිමාව සංස්ථා සංකීර්ණයේ වෘත්තීය සමිති සමග බලධාරීන් පැවැත් වූ සාකච්ඡාවලට වෘත්තීය සමිති එකඟ වන තත්ත්වයක් තිබියදී වෘත්තීය සමිති නායකයෝ ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
මෙම කරුණ වෘත්තීය සමිති නායකයන් විසින් මහින්ද රාජපක්ෂට සහ පාර්ලිමේන්තුවේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන මගින් දැනුම් දුන්හ. වෘත්තීය සමිති නායකයන් පිරිස වැලිකඩ පොලීසියට ගෙනැවිත් තිබෙන බවද එම ඇමතුම්වලින් කියැවිණි.
ඉන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව දෙවනත් වන පරිදි විරෝධය පළකළ අතර, සභාවේ කටයුතු විනාඩි 45කට පමණ නැවැත්වීමට කථානාකවරයාට සිදුවිය. ඉන් පසුව දිනේෂ්, විමල්, ඩලස්, ප්‍රසන්න, නාමල්, පියල්, සනත්, සිසිර ඇතුළු මන්ත්‍රීවරු 20ක් පමණ වැලිකඩ පොලිස් ස්ථානයට ගියහ.
අත්අංඩංගුවේ පසුවන වෘත්තීය සමිති නායකයන් බැලීමට තමන්ට අවශ්‍ය යැයි මන්ත්‍රී පිරිස දැනුම් දුන්නද පොලීසිය ඒ සඳහා ඉඩ ලබා නොදුන්නේය. කෙසේ නමුත් සිරමැදිරිය අසලට ගිය මන්ත්‍රී පිරිස වෘත්තීය සමිති නායකයන් සමග කතාබහ කළේය. පොලීසියට ගෙනා පසුව බිත්තියට හේත්තු කර තමන්ට පහර දුන් බව ඔවුහු පවසා සිටියහ.
සමහරෙක් තමන්ගේ මුහුණ පෙන්වමින් පහරදුන් ස්ථාන පෙන්වීය. මේ අවස්ථාවේදී විමල් වීරවංශ සිය ෆේස්බුක් ගිණුම හරහා මෙම සිද්ධිය සජීවීව ප්‍රචාරය කරමින් තිබිණි. සනත් නිශාන්ත ද වීඩියෝ කරමින් සිටියේය. වීඩියෝ කිරීම වහාම නතර කරන ලෙස එහිදී පොලීසිය දැනුම් දුන්නේය. ''ගහන්න හොඳනම් වීඩියෝ කළාම මොකද?'' සනත් නිශාන්ත කියා සිටියේය.
පොලීසිය විසින් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය වීඩියෝ කිරීමට පටන් ගත්තේය. මෙම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට දුරකථන ඇමතුමක් පැමිණියේ මේ අවස්ථාවේදීය. 'යස් සර් නෝ සර්' භාෂාවෙන් ඔහු පිළිතුරු ලබාදෙන ආකාරය දෙස මන්ත්‍රී පිරිස බලා සිටියහ. ''කාගෙන්ද කෝල් එක පොලිස්පතිගෙන්ද?'' පියල් නිශාන්ත විමසූ විට පොලිස් නිලධාරියා නිහඬව සිනහ වෙමින් සිටියේය.
''අයිජීපී වෙන්න බැහැ. මෙයා පූජිතගේ උත්තර දුන්නු විදියට ඇමතිගෙන් තමයි කෝල් එක ආවේ.'' නැවතත් පියල් පැවසූ විට මන්ත්‍රී පිරිසද සිනහ වූහ. වෘත්තීය සමිති නායකයන්ට ඇප ලබාදීම සඳහා මන්ත්‍රී පිරිස පැය හතරක් පමණ වැලිකඩ පොලිස් ස්ථානයේ රැඳී සිටියහ.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd