වත්මන් ආර්ථික අර්බුදය, වැට් සංශෝධනය, පාලන මිල ආදී කරුණු පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කළ සාකච්ඡාවකි මේ.
වැට් බදු සංශෝධනය
කබලේ හිටිය මිනිහා කෙලින්ම ලිපට ඇදලා දැම්මා. 11%ක්ව තිබුණ වැට් බදු මුදල 15% දක්වාත් මෙතෙක් වැට් බදු නොමැතිව තිබූ භාණ්ඩවලට 15%ක වැට් බද්දක්ද පනවනු ලැබුවා. මේ අනුව භාණ්ඩවල මිල ඉහළ යා යුත්තේ වැට් බදු සංශෝධනයට අනුව එකතු වූ මුදලටයි. ඒත් මේ රටේ වෙළෙන්දෝ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ දමලා තියෙන්නේ. දුරකථන ගාස්තු ගතහොත් වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්දත් එක්ක බදු එකතුව 17%ක්. ඒ වගේම බදු ඉහළ දමන විට 27%ක බදු මුදලක් අයකර ගත්තා. 27%ට බද්ද බද්දක් එකතු කරගෙන 29% ක් වෙලා තිබුණා. මේ අනුව දුරකථන ගාස්තු මත පැනවී තිබෙනා මුදල ආසන්න වශයෙන් 46%ක්. ඒත් සමහර දුරකථන සමාගම් අයකරන බදු මුදල 56%ක්. තවත් සමාගමක් 48%ක් අය කරනවා. බදු වැඩි කළේ එක සමාන මුදලක්. හැබැයි සමාගම් අයකරන බදු මුදල එකිනෙකට වෙනස්.
ආර්ථික අර්බුදය මත ජනතාවට බදු බර පනවා තිබෙන බවට ආණ්ඩුවේ ප්‍රකාශය
ඒක විහිළු සහගත ප්‍රකාශයක්. වර්තමාන ආණ්ඩු බලයට පත්වුණේ ජනතාවට සහන දෙනවා කියලා. එහෙම කියලා බලයට පත්වෙලා ජනතාව මත අධික ලෙස බදු බර පැටවීම සාධාරණ නැහැ. රටේ ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙනවා නම් මුලින්ම රට වෙනුවෙන් කැපකිරීම කළ යුත්තේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්. ඒ වගේම පාර්ලිමේන්තුව රැස්වෙන දවසට වියදම් කරන මුදල කප්පාදු කළ යුතුයි. ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ලබාදෙන වැටුප් හා දීමනාවලින් යම් මුදලක් රජයට ගත යුතුයි. ඔවුන්ට ලබාදෙන ප්‍රවාහන පහසුකම්, දුරකථන පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් ප්‍රමාණයත් සීමා කළ යුතුයි.මොකද මහජන නියෝජිතයන් පැමිණිලා තියෙන්නේ රටට සේවය කිරීමට. ඒ කියන්නේ සමාජ සේවයක් කරන්න. මේ නිසා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් මුලින්ම කැපකිරීම් කළ යුතු වන්නේ මේ රටේ මහජන නියෝජිතයන්. ඒත් සිදුවන්නේ සියලුම කැපකිරීම මහජනතාව මත පටවලා මහජන නියෝජිතයෝ චූන් එකේ ඉන්න එක.
පාලන මිල
ඒක මාධ්‍ය සංදර්ශනයකට සීමාවෙලා තියෙන්නේ. පසුගිය වසරේ පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදන දෙකකට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 23කට පාලන මිල පනවලා තියෙනවා. රටේ වෙළෙඳුන් පාලන මිල ක්‍රියාත්මක නොකරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදන දෙකකට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 23කට පාලන මිල පනවලා තියෙනවා. රටේ වෙළෙඳුන් පාලන මිල ක්‍රියාත්මක නොකරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන පාරිභෝගික අධිකාරිය. ඒත් අධිකාරිය තම යුතුකම් කොටස නිසි ලෙස ඉටුකරන්නේ නැහැ.
ගැසට් නිවේදනවලට අනුව සම රහිත කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 480ක්. වියළි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 410ක්, පරිප්පු කිලෝවක මිල 169ක්, කට්ට කරවල කිලෝවක මිල රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝවක මිල රුපියල් 425ක්, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 325ක් හා කිලෝවක් රුපියල් 810ක්, සස්ටජන් ටින් එකක් රුපියල් 810ක්. තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 87ක්, මුං ඇට කිලෝවක් 285ක්, ආනයනික වියළි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 400ක්, කොත්තමල්ලි කිලෝවක් රුපියල් 350ක්, උළුඳු කිලෝවක මිල රුපියල් 300ක්, උම්බලකඩ කිලෝවක මිල රුපියල් 1740ක්, කහ කිලෝවක් රුපියල් 800ක්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 400ක්, සාමාන්‍ය සිමෙන්ති කිලෝ 50ක් හා ලයිටි සිමෙන්ති, මෙසනරි සිමෙන්ති කිලෝ 50කුත් රුපියල් 870ක්. ඒත් මේ භාණ්ඩ ලිස්ට් එකේ බහුතර භාණ්ඩ ප්‍රමාණයක් ආණ්ඩුව සඳහන් කරන මිල යටතේ මිලදී ගන්න බැහැ.
දුරකථන ගාස්තු ඉහළ යාම
දුරකථන ගාස්තු වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම ජනතාවට දරාගන්න බැහැ. මේ නිසා වැට් බදු සංශෝධනය වහාම අවලංගු කළ යුතුයි. වැට් බදු සංශෝධනය නිසා දුරකථන ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මේ මස 15 වන දින ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසම ඉදිරිපිට දුරකථන පාරිභෝගිකයන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් පවත්වා, නියාමන කොමිෂන් සභාවේ ඊ මේල් ලිපිනයට විරෝධතා දැක්වීමේ ඊමේල් පණිවුඩ යවනවා. බදු මුදල ඉවත් කරනතුරු රට පුරා විවිධ ක්‍රියාමාර්ග ගන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ පිළිබඳ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කරමින් ඉන්නේ.
තේ, ආප්ප, කිරි තේවල සහතික මිල
ඒ සඳහා සහතික මිලක් නොවෙයි නියම වුණේ. ඒක සිදුවුණේ එකඟතාවයක්. ඒ එකඟතාවය අනුව තේ එකක් සහ ආප්පයක් රුපියල් 10 බැගිනුත්, කිරි තේ එකක් රුපියල් 25කටත් දෙන්න එකඟතාවයක් ඇතිවුණා. සමහර කඩ හිමියෝ එම මුදලට භාණ්ඩ අලෙවි කළා. ඒත් සමහර කඩ හිමියෝ එම මුදලට භාණ්ඩ අලෙවි කළේ නැහැ. එකඟ වූ මිලට භාණ්ඩ අලෙවි කළ සමහර අය භාණ්ඩවල ප්‍රමිතිය හා ප්‍රමාණය විවිධ කප්පාදු කිරීම්වලට ලක් කළා. මේ නිසා ජනතාවට සහනයක් වන වැඩක් කරනවා නම් ඒවා විධිමත් ලෙස සිදුකළ යුතු වෙනවා.
මිල දර්ශන හා තරාදි නීතිය
සෑම වෙළෙඳ සැලකම අලෙවි කරණ භාණ්ඩවල මිල දර්ශනයක් පවත්වාගෙන යා යුතුයි. එම මිලදර්ශනය ජනතාවට ඉතාමත් පහසුවෙන් දැකගත හැකි තැනක ප්‍රදර්ශනය කළ යුතුයි. එම නීතිය උල්ලංඝනය කරනා වෙළෙඳ සැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය පාරිභෝගික කටයුතු අධිකාරියට තියෙනවා. මේ රටේ පාරිභෝගිකයෝ දන්නවා බොහෝ වෙළෙඳ සැල්වල මිල දර්ශනයක් නැහැ කියලා. මිල දර්ශනයක් ප්‍රදර්ශනය කරන සමහර වෙළෙඳ සැල්වල ප්‍රදර්ශනය කරලා තියෙන මිල දර්ශනය දැක බලාගැනීමට පහසු නැහැ. ඒ වගේම පාන් ගෙඩියේ බර කිර මැන බැලීමට වෙළෙඳ සැල්වල තරාදියක් තිබිය යුතු බවට නීතියක් ගෙන ආවා. ඒත් ඒවා නිකන්ම නිකන් මාධ්‍ය සංදර්ශනයක් විතරයි. පාන් ගත්තොත් විවිධ බර යටතේ විවිධ මිල ගණන්වලට විකුණනවා. ඒ සඳහාත් ක්‍රමවේද සකස් විය යුතුයි.
වී හා හාල් මිල
රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. ගොයම කැපිලා වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන විට ජනතාවට දැනෙන ආකාරයට හාල් මිල අඩුවෙනවා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. වී කිලෝව රුපියල් 25ට 30ට යනකොට හාල් මිල 80යි 100යි. හැබැයි එහෙම සිදුවෙන්න බැහැ. මොකද එක්කෝ ගොවියාට වැඩි මිලක් ලැබිලා පාරිභෝගිකයා අපහසුතාවයන්ට පත්වෙන්න ඕන, නැත්නම් පාරිභෝගිකයාට සහන ලැබිලා වී මිල අඩුවෙලා ගොවි ජනතාව අපහසුතාවයන්ට පත්වෙන්න ඕන. දැන් සිදුවෙලා තියෙන්නේ වී මිල අඩු වෙලා ගොවියෝ දැඩි ලෙස අසරණ වෙලා ඉන්නවා. ඒ වගේම හාල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ අනුව වර්තමානයේ සිදුවෙන්නේ වෙළෙඳ පොළ විකෘතිතාවයක්. මේ පිටුපස ජාවාරම්කාර වෙළෙඳුන් පිරිසක් ඉන්නවා. මේ නිසා වෙළෙඳ පොළ විකෘතිතාවයට වහාම විසඳුම් ලබාදිය යුතුයි.