මාගේ පැවරුණු රාජකාරි අවසන් කර අද නැවතත් මාගේ මාතෘ භූමිය බලා පිටත්ව යන්නෙමි. 2015 පෙබරවාරි 24 වැනිදා කොළඹට ළඟා වූ මම, ශ්‍රී ලංකාවේ 20 වැනි චීන තානාපතිවරයා වශයෙන් රාජකාරි ඇරඹුවෙමි. ගත වූ අවුරුදු දෙකකුත්, මාස නමයක කාලය තුළ මම දිවයිනේ පළාත් නමයක පිහිටි දිස්ත්‍රික්ක 25හිම සංචාරය කළෙමි. එසේම ශ්‍රී ලාංකේය මිතුරන් බොහොමයක් ඇතිකර ගත් අතර, චීන - ලංකා සබඳතා බාධා ජය ගනිමින් නව සංවර්ධන අවස්ථා වෙත ගමන් කරනු දුටුවෙමි.
චීනයත්, ශ්‍රී ලංකාවත් අතර ඉහළ මට්ටමේ සමීප අන්‍යෝන්‍ය සබඳතාවක් හා විශ්වාසයක් ගොඩනැගී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පදවි ප්රාප්තියෙන් අනතුරුව චීනයේ නිල සංචාරයක යෙදෙමින් ජනාධිපති ෂි ජින්ග් පින්ග් හමුවී චීන - ලංකා සබඳතා තිරසාරව ශක්තිමත් කරගත හැකි දිශානතිය පිළිබඳ ගැඹුරු ඉඟියක් පළකළේය.
දෙරටෙහි නායකයෝ කලාපීය හා ගෝලීය අවස්ථාවන්හි මනා සන්නිවේදනයක් ගොඩනගා ගත්හ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථක නිල සංචාරවල යෙදෙමින්, ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ එක මාවතක්, එක තීරයක් සමුළුවටද සහභාගි වෙමින් චීන ලංකා ප්‍රායෝගික සබඳතා වඩාත් ගැඹුරු කළේය.
කථානායක කරු ජයසූරිය මහතාත්, චීනයේ ජනතා දේශපාලන උපදේශකත්ව සමුළුවේ සභාපති යුෂෙන්ග් ෂෙන්ග් මහතාත් සංචාරවල නිරත වූහ. විවිධ ක්ෂේත්රවල පාර්ශ්වික සබඳතා හා හුවමාරු කරගැනීම් අඛණ්ඩව පුළුල් විය.
චීනයත්, ශ්‍රී ලංකාවත් අතර වාසි සහගත සහයෝගිතාව නව සංවර්ධනයක් කරා පියනගමින් දෙරටේම ජනතාවට දැනෙන ප්රතිලාභ අත්කර දී ඇත. වර්තමානයේ චීනය
ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කාරුවාද, විශාලතම යටිතල පහසුකම් ඉදිකිරීමේ හවුල්කරුවා ද, වැඩිම ආයෝජන, පරිත්‍යාග හා ආධාර ලබාදෙන රට බවටද පත්ව ඇත.
ශ්‍රී ලංකාවත්, චීනයත් අතර ආර්ථික සහයෝගිතාව රැකියා ලක්ෂයකට අධික සංඛ්‍යාවක් උත්පාදනය කර ඇති අතර, තාක්ෂණික හා කළමනාකරණ අංශයේ දසදහස් ගණනකට පුහුණුව ලබා දී රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට අනුපමේය සේවයක් ඉටුකොට ඇත. ක මාවතක් එක තීරයක් ප්රවේශයේ මගපෙන්වීම ඔස්සේ උපරිම උපදෙස් ලබාගැනීමේ සංකල්පය යටතේ බද්ධ දායකත්වය සැපයීම හා වාසි බෙදාහදා ගැනීම මගින් චීන ලංකා සහයෝගිතාව ඉදිරියට ගමන් කරයි. චීන - ලංකා ප්‍රායෝගික සබඳතාව සංවර්ධනය වීම තවදුරටත් පහසු කරමින් වරාය නගරය හා හම්බන්තොට පුළුල් සංවර්ධන ව්‍යාපෘතිය එකවර ක්‍රියාත්මක වෙයි.
චීනයත්, ශ්‍රී ලංකාවත් සැබැවින්ම මිතුරන්ය. චීනයට බලපෑ වෙන්චුආන් භූමිකම්පාව වැනි විපත්වලදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව ලබාදුන් අනගි සහයෝගය චීන ජනතාවට කිසිදා අමතක නොවනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට ස්වාභාවික විපතක් පැමිණෙන විට චීන රජයත්, ජනතාවත් කම්පා වන අතර, හැකි පමණින් ලංකා රජයටත්, ජනතාවටත් සහාය දෙනු ඇත. වඩාත් පොහොසත්, වඩාත් සමෘද්ධිමත්, වඩාත් නූතන, වඩාත් කාර්මික වූ ශ්‍රී ලංකාවක් බිහි කරනු පිණිස අවංකත්වයෙන් මිත්රශීලිභාවයෙන් හා ප්‍රායෝගිකත්වයෙන් යුතුව චීන ජනතාව උදව් උපකාර කරනු නියතය.
සහස්වසක චීන - ලංකා මිත්‍රත්වය සංස්කෘතික හුවමාරුවෙන් හා අන්‍යෝන්‍ය හැදෑරීමෙන් බැබළෙන නව යුගයකට එළැඹෙණු ඇත. චීනයත්, ශ්‍රී ලංකාවත් ඉපැරණි ශිෂ්ටාචාර වන අතර බුදුදහම වසර 1600ක් තිස්සේ දෙරටේම පොදු සංස්කෘතික උරුමයක් වී ඇත. බුදුදහම, සංචාරක කර්මාන්තය හා අධ්‍යාපනය ඔස්සේ සිදුවන සංස්කෘතික හුවමාරුව මට සතුටකි.
එය දිනෙන් දින ජනප්‍රියත්වයෙන් වර්ධනය වෙයි. දෙරටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මනා සබඳතාවක් පවත්වා ගනිමින් දැනුම හුවමාරු කර ගනිති. චීනය යනු ශ්‍රී ලංකාවට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන දිශාන්තයකි. විවිධත්වයෙන් යුතු චීන සංචාරකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට දායක වෙනවා මෙන්ම දෙරට අතර ජනතාවගේ අවබෝධය හා මිත්‍රත්වයද වැඩි කර ඇත. චීන රජය ශ්‍රී ලංකාවට රාජ්‍ය ශිෂ්‍යත්ව 100කට වඩා වාර්ෂිකව සපයන අතර, 2000කට අධික පිරිසකට පුහුණු වැඩසටහන් සපයනු ලැබේ. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල 15කට චීන රාජ්‍යතාන්ත්‍රික ශිෂ්‍යත්ව ක්‍රම ස්ථාපිත කර ඇත. චීන පිල්හාර්මනික් වාද්‍ය වෘන්දය ෂාඔලින් වුෂු කණ්ඩායම හා අනෙකුත් චීන සංස්කෘතිකාංගවලට මෙරටින් උණුසුම් පිළිගැනීමක් ලැබේ. ශ්‍රී ලාංකේය මිතුරන් වැඩි වැඩියෙන් චීන බස ඉගෙන ගන්නා අතර, ඔවුන් අනාගතයේදී චීන - ලංකා මිත්‍රත්වයේ තානාපතිවරු වනු ඇත.
ඉතිහාසය යනු අභිවෘද්ධියත්, පරිහානියත් පෙන්වන කැඩපතකි. චීනය සහ ශ්‍රී ලංකාව අතර වේගයෙන් වර්ධනය වන මිත්‍රත්වය දෙරටේ ඓතිහාසික සබඳතාව නොනැවැත්විය හැකි බව පෙන්වයි. මේ වසරේදී චීන - ලංකා තානාපති සබඳතා ගොඩනගා ගෙන අවුරුදු 60ක් සම්පූර්ණ වෙයි. හැට වසරක තානාපති සබඳතාව තුළ ලැබූ ජයග්‍රහණ ගැන අපි ආඩම්බර වෙන්නෙමු. වර්තමානයේදී එක මාවතක්, එක තීරුවක් ප්රවේශයේ උපදෙස් යටතේ චීන - ලංකා සබඳතා වේගවත් ගමනකට ප්‍රවේශ වී ඇත. දිගු කලක පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා හා අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතාව දෙරටේම යහපත උදෙසා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරනු ඇති බවටත්, ඉන්දීය සාගර කලාපයේ සාමය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇති බවටත් මට විශ්වාසයයි.
ප්‍රිය මිත්‍රවරුනි, ශ්‍රී ලංකාව මගේ දෙවැනි නිවහන බවට පත්විය. සුන්දර දේශයක අවංක හා මිත්‍රශීලි මිතුරන්, කඳු, ගංගා හා මල් සුපිපි ගස්වල සුන්දරත්වය මාගේ මතකයේ සදා පවතිනු ඇත. මෙහිදී ලද අත්දැකීම් මාගේ දිවියේ මිහිරි හා ස්ථිර මතක සටහන් වනු ඇත. ඒවා මාගේ ජීවිතයේ මිල කළ නොහැකි සම්පත්ය.
මෙම අවස්ථාවේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත්, ගරු කථානායක කරු ජයසූරිය මහතාටත් පොදුවේ ශ්‍රී ලාංකේය ජනතාවටත් මට ලබාදුන් සහයෝගය වෙනුවෙන් මාගේ හෘදයාංගම කෘතවේදීත්වය පළ කරමි. අනාගතයේදී මා කොතැනක සිටියත් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයෙන් පසුවන අතර, චීන - ලංකා සබඳතා සංවර්ධනය කරන්නට උනන්දු වන්නෙමි.සැබෑ අවංක මිතුරෝ ගතින් දුරස් වුවද අත්හැර නොයති.
ආයුබෝවන්, වාසනාවන් ශ්‍රී ලංකා. !