පසුගිය පාර්ලිමේන්තුව තුළ විශාල ආසන ප්‍රමාණයක් හිමි නොවුණත් ජනතා ප්‍රශ්න වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම ලෙසට ජනතා විමුක්ති පෙරමුණට ජනතා ප්‍රසාදය හිමි විය.ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුව සකස් කර ගන්නා විට විපක්ෂයේ කාර්යභාරය මනාව ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණයට මැතිවරණ දිස්ත්‍රික්ක 22 කටම තරග කරනු ලබයි. ජ.වි.පෙ.ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග කතා බහක නිරත විය.
Q හෘද සාක්ෂියේ සම්මුතිය කියන්නේ මොකක්ද?
ජනතාවට සතුටින් සිටිය හැකි ජීවිතයකුත්, ස්ථාවර රටකුත් ගොඩනැගීමේ වැඩපිළිවෙළට තමයි හෘද සාක්ෂියේ සම්මුතිය කියලා කියන්නේ.
Q බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ගැන කතා නොකර, අන්පක්ෂවල ප්‍රතිපත්ති ගැන කතා කළා. මෙවැනි දෙයක් සිදුවෙලා තියෙන්නේ ඇයි?
අපේ රටේ දේශපාලන සංස්කෘතිය විශාල පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ගොඩනැගීමට අපේ මැතිවරණ වේදිකාවේදී කතා කළේ අපේ ප්‍රතිපත්ති ගැන සහ අපේ මතය සමාජ ගත කිරීමට ඒවගේම අනෙකාගේ මතයේ තිබූ දුර්වලතාවන් හා ඔවුන් මෙරට පාලනය කර තියෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම දේශපාලනඥයන්ගේ වගකීමක්.
Q ප්‍රධාන පක්ෂ දෙක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය කුමක්ද?
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති පිළිබඳව 1970 වසරේදීත්, 1977 වසරේදීත්, 1994, 2000 දී, 2005 දී, 2010 දීත් ඇහුවා වගේම බැලුවම ඉතිහාසය පුරාම දේශපාලන ප්‍රතිපත්ති ගැන අප අහලා තිබෙනවා. මේ නිසා මේ දේශපාලන පක්ෂ දෙකටම අලුත් වෙන්න හෝ අලුත් දැක්මක් නොමැති බවට මේ වනවිට ඔප්පු කරලා තියෙන්නේ. වැටුප් වැඩි කිරීම පිළිබඳව පොරොන්දුව විවාහ වුණාම සල්ලි දෙන බවට සඳහන් කරන පොරොන්දුව තරුණ තරුණයන්ට කාර් රථයක් ගන්නා පොරොන්දුව වැනි පොරොන්දු තමයි දීලා තියෙන්නේ.
විවාහ ගාස්තුව රුපියල් දහසේ සිට පන්දහස දක්වා වැඩි කරපු මහින්ද මහත්තයා කියනවා අලුත විවාහවෙන යුවලකට රුපියල් ලක්ෂ දෙකක් දෙනවා කියලා.
රනිල් මහත්තයා කියනවා එයාගේ ආණ්ඩුව ආවාම තරුණ තරුණියන්ට කාර් ගන්න පුළුවන් කියලා.
Q අගෝස්තු 17 න් පසු පුළුල් ජනතා පෙරමුණක් හදන්නේ ඇයි?
විශේෂයෙන්ම අපි අපේ රටේ බලය අත්පත් කරගත යුතුයි. ඒ සඳහා න්‍යායපත්‍රයක් අපි සකස් කර තියෙනවා. ඒ සඳහා මෙවර පාර්ලිමේන්තුවේදී අප පක්ෂයට ලැබෙන බලය, අලෝකයක් සහ ධෛර්යයක් කර ගන්නවා. ඒ මත පදනම්ව මේරටේ පුළුල්තම මහජන ව්‍යාපාරය ගොඩනගනවා. මෙම ව්‍යාපාරය ගොඩනගන්නේ 2020 බලය හුවමාරු කරගැනීමටයි.
Q බොහෝ මැතිවරණවලදී පක්ෂවලට ජයග්‍රහණය අත්වුණේ පාවෙන ඡන්ද මත. පාවෙන ඡන්ද වෙවර කෙසේ හැසිරේවිද?
ජනතා විමුක්ති පෙරමුණ හිතනවා ඉදිරි පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය ගැන සිතා එම වාසිය අපට ලබාදේවි කියලා. මොකද පසුගිය පාර්ලිමේන්තුව තුළ ජනතා විමුක්ති පෙරමුණ ඉටු කළ කාර්යභාරය පිළිබඳව විශාල ජනතා ප්‍රසාදයක් අපිට ලැබී තියෙනවා. ඒ වගේම ජනතාව සාම්ප්‍රදායික මතයෙන් මිදිලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදෙන බවටත් විශ්වාසයි.
Q ජාතික ආණ්ඩුවක් වගේ ඉන්න කණ්ඩායම් දෙකට ඡන්දය ලබාදෙන ජනතාවට අගෝස්තු 17 වැනිදායින් පසු හිමිවෙන්නේ මොනවද?
දැනට තියෙන ආණ්ඩුව ගත්තොත් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගත්තොත් එම කණ්ඩායමට ඇතුළත්වී ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් ඉන්නවා. පක්ෂ දෙක වෙන් වෙලා ඉන්නවා කියලා පෙනුනට මේ අය ඉන්නේ එකට. මේ නිසා ජනතාවට විෙශ්ෂ ෙදයක් ලැෙබන්නේ නෑ.
Q සැප්තැම්බර් පළමුවැනිදා සිට රැස්වන පාර්ලිමේන්තුව නිවැරදි ලෙස ගමන් කරන්න කුමක්ද සිදුවිය යුත්තේ?
පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ජනතා විමුක්ති පෙරමුණට ලබාදිය යුතුයි. අපට පසුගිය පාර්ලිමේන්තුවේ තිබුණේ මන්ත්‍රීධුර 03 ක්. අපි තුන් දෙනා ජනතා ප්‍රශ්න ගැන විශාල ලෙස කතා කළා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ සිදුවන දේ ජනතාවට දැනගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා තිබූ බාධක ඉවත් කර පාර්ලිමේන්තුව තුළ සිදුවන දෑ ජනතාවට දැනගැනීමට සැලැස්සුවා. මේ කාර්ය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ශක්තිමත් බලයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබිය යුතුයි.
Q මෙරට ගොඩනගන්න නම් කුමක්ද කළ යුතු වෙන්නේ?
ආර්ථිකය ගොඩනගන්න ඕන. ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට බෙදී යන්න ඕන. ඒ කියන්නේ ජනතාවට නිවාසයක්, දරුවාට හොඳ අධ්‍යාපනයක් ජනතාවට නිරෝගී සම්පන්න ජීවිතයක් සකස් වෙන්න ඕන. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍යපාලනයක් ඇති විය යුතුයි. ඒ වගේම නීතියේ ආධිපත්‍යය, ජාතික සමගිය, ජාතික ආරක්ෂාවක් සකස් විය යුතුයි.
Q මේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවාද?
අපි ඉදිරිපත් කර තියෙන හෘද සාක්ෂියේ සම්මුතිය තුළ ඊට අදාළ වැඩපිළිවෙල තියෙනවා. ඒ වැඩපිළිවෙල තුළ අපේ රට තුළ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියා තියෙනවා ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට බෙදීයන්නේ කොහොමද? සෞඛ්‍ය, අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සහ හැම පවුලකටම නිවාසයක් ලැබෙන්නේ කොහොමද? රටේ ජාතික ආරක්ෂාව, විදේශ සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? කාර්යක්ෂම රාජ්‍යපාලනයක් ලබාදෙන්නේ කොහොමද? සහ අපේ රටත් අපේ ජනතාවත් ශක්තිමත් කරන්නේ කොහොමද කියලා.
Q මේ දේවල් කරන්න සල්ලි හොයා ගන්නේ කොහොමද?
දැනට පවතින රාමුව තුළ සිටිමින් බැලුවොත් එක ප්‍රශ්නයක්, ඒක අප ගොඩනගන ආර්ථිකය තුළින් සහ විදේශ ආධාර තුළින් ලබාගන්න සැලසුම් සකස් කර තියෙනවා.
ප්‍රධාන පක්ෂ දෙක ඉදිරිපත් කර තියෙන ප්‍රතිපත්ති දෙක තුළින් ලබාදී තිබෙන පොරොන්දු ඉටු කිරීමට රටේ සල්ලි තියෙනවාද?
ප්‍රධාන පක්ෂ දෙකේ පොරොන්දු ගත්තොත් තියෙන්නේම බොරු පොරොන්දු, ඔවුන් මේ පොරොන්දු ලබාදීම පටන් ගත්තේ 70 දශකයේ ඉඳලා. එදා ඉඳලා පක්ෂ දෙකම ලබාදුන් පොරොන්දු ලබාදුන්නේ පොරොන්දු දිගුවක් ලෙස. ලබා දීපු පොරොන්දු ඉටු කළානම් මේ රට කොච්චර ලස්සන රටක්ද? ඒත් ප්‍රධාන පක්ෂ දෙකම කළේ ඡන්දය ලබාගැනීම සඳහා බොරු පොරොන්දු ලබාදීමයි. මෙවර සිදුකර තියෙන්නෙත් ඒකම තමයි. පක්ෂ දෙකෙන් ඉදිරිපත් කර තියෙන පොරොන්දු වලින් 10% ක් වත් ඉටු කරන්න බැහැ.
Q ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා අනුර කුමාර දිසානායකද?
ඒක ජනතාව තීරණය කළ යුතු දෙයක්. අපි කවදාවත් තනතුරු තාන්නමාන්න ලාභ ප්‍රයෝජන බලාගෙන දේශපාලනය කෙරුවේ නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ. ජනතාව අප තියන්නේ කොතනද ඒක භාර අරගෙන ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා.
Q ජ.වි.පෙ.ට ඡන්දය දුන්නත්, එ.ජා.ප.ට ඡන්දය දුන්නත් එක හා සමානයි කියලා සන්ධානය සඳහන් කරනවා?
යටින් ගහන ගේම තියෙන්නේ ඔය කියන පක්ෂයේ. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරන්නේ විවෘතව, අපේ දේශපාලනය රටට කියන එකත්, රටට හංගලා අපි කිසි දෙයක් කරන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි අධ්‍යාපන ඇමති, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක්, උසස් අධ්‍යාපන ඇමති, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අපේක්ෂක ලැයිස්තුවේ. මුදල් ඇමතිවරයා රනිල් මහත්යාගේ අපේක්ෂක ලැයිස්තුවේ. ධීවර ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ ලැයිස්තුවේ. ඒ වගේ එකට කටයුතු කරන ගමන් ඒ අය මෙහෙම කියනවා.
Q ජනතාවාදී පාලනයක් රට තුළ ඇතිවීමට නම් රට තුළ සිදුවිය යුත්තේ කුමක්ද?
පළමුව අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. ඊට පස්සේ දේශපාලන ව්‍යාපාරය ගරු සේවාවක් බවට පත් කළ යුතුයි. අධිකරණ පද්ධතිය ස්ථාපිත කළ යුතු වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත හරහා අප රටේ තොරතුරු දැනගැනීමට සැලැස්විය යුතුයි. සෑම රාජ්‍ය නිලධාරියෙකුම වග වන නිලධාරියෙකු වන බවට පත් කරන්න ඕන. රාජ්‍ය ආයතන ස්වාධීන ආයතන බවට පත් කළ යුතුවෙනවා.
Q ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා සැප්තැම්බර් පළමු වැනිදා සිට රට පාලනය කිරීමට කටයුතු කළොත් මොකද වෙන්නේ?
කවුරු ආණ්ඩු කළත්, ආණ්ඩු කරවන කණ්ඩායමක් අවශ්‍යයි. ඒ කියන්නේ හොඳ විපක්ෂයක් අවශ්‍යයි කියන එක. ඒ කාර්යභාරය භාර ගන්න ජනතා විමුක්ති පෙරමුණ ලෑස්තියි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කළ යුතුයි. එසේ සිදුවුවහොත් කවුරු ආණ්ඩු කළත් ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩු මෙහෙයවන හැටි අපි දන්නවා.