සමස්තයක් ලෙස රටතුළ පවතින දේශපාලන දේහයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, එම තත්ත්වයන් සඳහා වන ආණ්ඩුවේ ස්ථාවරත්වයත් පිළිබඳ මේ වනවිට ජනතා අවධානය ඉහළ මට්ටමක පවතී. එකී වාතාවරණය තුළ ඒ පිළිබඳ විමසන්නට ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා සංවාදයකට එක්වීමු.
පවතින ආර්ථිකයට දේශපාලනමය විග්‍රහයක් කළොත්?
ආර්ථිකමය වශයෙන් අපි විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒක වෙන් වෙන්ව කියන්න අමාරුයි. භාණ්ඩාගාරයත් මුදල් අමාත්‍යාංශයත් මේ සියලුදෙනා හැකි උපරිමයෙන් ඉටුවිය යුතු කාර්යයන් කරගෙන යනවා. ඒක තමයි මේ වෙද්දි පවතින තත්ත්වය.
ජිනීවා යෝජනාව හරහා රටට යම් බලපෑමක් වේවිද?
ජිනීවා වලදී එක යෝජනාවක් ගේනවා. එය සාමාජික රටවල් අතට ලැබෙන්නට සලස්වලා තියෙනවා. අපේ පැත්තෙන් අපි කියනවා ජිනීවා වලට ලංකාවේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය නැහැයි කියන ස්ථාවරයේ ලංකාව ඉන්නවයි කියන එක.
ජයලලිතා ලංකාවට දිගින් දිගටම සිදුකරන බලපෑම ඔබ දකින්නේ කොහොමද?
එය ඇයගේ දේශපාලන අවශ්‍යතාවන් අනුව සිදුවන්නක්. මොකද ද්‍රවිඩ ජනතාව මිලියන 50 ක් 55 ක් පමණ ඉන්න පළාතක ආසන 35 – 40 ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයක් විදියට පීඩනය තබාගත යුතුයි. ඒ සැර සහිත දේශපාලන අවශ්‍යතාව රැකගන්න නම් ඇය මේ රටේ දෙමළ ජනතාව වෙනුවෙන් ඇයගේ සුදුසු සහ නුසුදුසු සියල්ල කියවනවා. ඒ කියවන්නේ ඇයගේ දේශපාලන උවමනාවමතයි.
ජයලලිතාගේ හඬනැගීම ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම දක්වා යයිද?
එහෙම යන්න තරම් චරිතයක් නෙවෙයි ජයලලිතා කියන්නේ. ජයලලිතා වුණත් ඒක බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඊළාම් තියෙන කාලෙ, ඒ කියන්නෙප් රභාකරන් ජීවත් වුණු කාලෙත් ජයලලිතා බොහොම බයෙන් හිටියෙ.
ෆේස්බුක් පිළිබඳ ගොඩනැගී පවතින කතාබහ පිළිබඳව යමක් ඔබට පැවසිය හැකිද?
ෆේස්බුක් තහනම් කරනවා යැයි කියන එක විශ්වග ම්මානයක් සඳහා වන වැඩපිළිවෙළ සඳහා සහ තාක්ෂණ මෙවලම් තුළ පවතින හැකියාවන් අනුව තහනම් කිරීම සම්බන්ධව මගේ පිළිගැනීමක් නෑ. එහෙම දෙයක් තහනම් කිරීම කියන එක නව තාක්ෂණයත් සමග කළ හැකි දෙයක්ද නෙවෙයි සහ කරන්නට උත්සාහ ගතයුතු දෙයකුත් නොවෙයි.
උදාහරණයක් විදිහට කිව්වොත් ඔය ෆේස්බුක් ප්රශ්නය ආවේ ළමයි දෙන්නෙක් සියදිවි නසාගැනීමේ සිදුවීම මත. ලෝකෙතියෙන ප්‍රධානම ගුවන් යානයක් කඩාගෙන වැටුණා කියල ගුවන් තොටුපළවල් වලට මිනිස්සු නොගිහින් ඉන්නෙ නෑ. ෆේස්බුක් වලින් එවන් සිදුවීමක් වුණායැයි කියලා ෆේස්බුක් තහනම් කිරීම නෙවෙයි කළ යුත්තේ. දෙමව්පියන් සහ පාසල්වල ගුරුවරුන් ඒ පිළිබඳ උනන්දුවක් දැක්විය යුතුයි. තාක්ෂණය නතර කරන්න බැහැ.
එහෙනම් මෙයින් ප්‍රකට වන්නේ තාක්ෂණය භාවිතයේදී ජනතාවගේ නොදියුණුභාවයද?
නෑ. ඒක ජනතාවගේ තාක්ෂණික නොදැනුවත්කම නොවෙයි. ඇතැම් පුද්ගලයන්ගේ මානසික තත්ත්වය පිළිබඳ ගැටලුවක්.
මාධ්‍ය සංවර්ධනයේ ඉදිරිදැක්මක් තියෙනවාද?
අලුත් දේවල් දිගින් දිගටම කරගෙන යනවා. අපිට ඉලක්ක හදන්න දෙයක් නෑ. තාක්ෂණය ඒ තරමටම දියුණුයි.
පළාත් සභා ද්විත්වයේ මැතිවරණ උණුසුම තුළ බස්නාහිර සහ දකුණේ ජය්රගහණ ගැන කියන්න ඔබට පුළුවන්ද?
ඔව්. උණුසුමක් නෑ. ජයග්‍රහණය කරනවා. බොහොම පැහැදිලිවම ජයග්‍රහණය කරන ඉලක්කයක් තියෙනවා.
මැතිවරණයෙන් පසු එකී පළාත්වල සංවර්ධනයේ ඉලක්ක මොනවාද?
අනිවාර්යයෙන්ම දකුණේ සහ බස්නාහිර පමණක් නෙවෙයි දිවයින පුරා සමස්ත ක්‍රියාදාමය තුළම වැඩපිළිවෙළක් තියෙනවා සහ ක්‍රියාත්මක වෙනවා.
මෙම වසර තුළදී රට තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවර්ධන වැඩසටහන් මොනවාද?
අයවැය බැලුවනම් සම්පූර්ණයෙන්ම තියෙනවා. මාසයක් තිස්සේ කතා කළේ ඔය ගැන.
උතුරේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි සියල්ල සිදුකළා සහ සිදුකරනවා යැයි ඔබ හිතනවාද?
නෑ. සියලු දේ ලබාදීලා නෑ. ආණ්ඩුව කිසිවෙලාවක සියලු දේ ලබාදීලා අවසාන යැයි කියලත් නෑ.
රටේ සංවර්ධනය සීමා වන්නේ මාර්ග සංවර්ධනයට පමණක්ද?
විපක්ෂය නම් එහෙම කියනවා. වරාය, ගුවන්තොටුපළ වගේ බෞද්ධ ශාසනය ආදී සියලු දේ සංවර්ධනය කරද්දී මාර්ග සංවර්ධනයත් ඒකට ඇතුළත් වෙනවා. ඒ වගේම ග්‍රාමසේවක පත්වීම්, ගුරු පත්වීම්, උපාධිධාරීන් 52000 කට පත්වීම් ආදී මානව සම්පත් දියුණුවට හා සංවර්ධනයට ගත හැකි බොහෝ දේ සිදුකර තිබෙනවා. පාරවලුත් ඒ අතරතුරේ හදනවා.
රටේ සංවර්ධනය පිළිබඳ විපක්ෂය හා අනෙකුත් පක්ෂ නගන මත වලට ඔබට කියන්නට ඇත්තේ කුමක්ද?
ඒක හොඳයි. විපක්ෂයත් කියනවනම්, ඒ අයගේ යුතුකම් මනාව සිද්ධවෙනවානම් හුඟක් හොඳයි.
විපක්ෂයේ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුවෙනවා කියල ඔබ හිතනවාද?
නෑ. එහෙම ඉටුවෙනවායැයි මං හිතන්නෙ නෑ. කොහෙත්ම එහෙම හිතන්නෙ නෑ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යා හැකිද?
එය ජනතාව අතේ තිබෙන තීන්දුවක්. අපිට කළ හැක්කේ වැඩ කරන එක පමණයි. වැඩවල ප්‍රතිඵල ලෙස ජනතාව ඒ පිළිබඳව තීන්දුව ගනීවි.