ලොතරැයි මණ්ඩලය පිළිබඳව මහජනතාව තැබූ විශ්වාසය දිනෙන් දිනම බිඳවැටෙමින් පවතින බැවින් එම මණ්ඩලය ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතු යැයි පෙරේදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
ඒ, විවිධ මිල ගණන් යටතේ මුද්‍රණය කළ හා මිල සඳහන් නොකළ ලොතරැයිපත් කිහිපයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමිනි. ලෙතරැයියට පැනවූ රුපියල් පහක බදු මුදල සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 'අද' ඇසූ පැනයන්ට මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.
Q ලොතරැයි මණ්ඩලය ජනාධිපතිතුමා යටතට පවරා ගන්නා ලෙස ඔබ යෝජනාකර තිබුණා?
ලොතරැයි මණ්ඩලය ජනාධිපතිතුමා යටතට පවරාගත්තෙ නැත්තම් ලොතරැයි අලෙවි කරගන්න බැරිවෙනවා. මොකද ලොතරැයිය රඳා පවතින්නේ මහජන විශ්වාසය මතයි. ඒ විශ්වසනීයභාවය අද නැතිව ගිහින්. උපරිම ලෙස නිසිපරිදි දිනුම් ඇඳලා, වැඩි දිනුම් ලබාගන්න අවස්ථාව ලබාදීලා වංචා දූෂණ අක්‍රමිකතාවලින් තොරව රජය මේ දේවල් කරනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. මම පැහැදිලිවම ඔප්පු කළා පෙබරවාරි 04 වැනිදා දිනුම් අදින ලද 1419 වැනි ගොවිසෙත ලොතරැයිය වංචා සහගතයි කියලා.
ඒකෙ ලොතරැයි රුපියල් 20ටත්, තවත් ලොතරැයි රුපියල් 30කටත්, තවත් ඒවා මිල සඳහන් නොකරත් අලෙවි වෙලා තියෙනවා. ඒ වගේම එක ලොතරැයියක මිලත් නෑ, දිනුම් අදින දිනෙත් නෑ. එතකොට අපි මේ ලොතරැයි ව්‍යාජයි කියලයි සලකන්නේ. මේ පිළිබඳව මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් ලංකා ඉතිහාසයේ වෙලාම නැහැ. දිනුම් ඇදීමේ දිනය හතර වැනිදා, දිනුම් වාරය 1419, ලොතරැයිය ගොවිසෙත, මිල ගණන් තුනයි. විස්සයි, තිහයි, මිලක් නැති එකයි. තෑගිත් එකිනෙකට වෙනස්. මේ ඇදලා ඉවරවුණ ලොතරැයිය මහා දූෂිත ගනුදෙනුවක්. ඒ පිළිබඳ සොයන තෙක් වත් හිඳින්නේ නැතිව, ජනාධිපතිවරයා වහාම සිදුකළ යුත්තේ ලොතරැයි මණ්ඩලය පවරාගෙන පරීක්ෂණයක් කරලා දඬුවම් දෙන්න කලින් අධ්යක්ෂ මණ්ඩලයක් අලුතෙන් පත්කිරීමයි.
Q මේක වංචාවක් ලෙස දකිනවා නම් ඇයි අදාළ අංශවලට විරුද්ධව පැමිණිලි නොකරන්නේ?
පැමිණිල්ලක් කරන්න දෙයක් නැහැනේ. අපි දැන් මේ පැමිණිල්ල රටටම කරලා තියෙනවනේ. මාධ්‍යවලට කිව්වාම ජනාධිපතිවරයා දැනගන්නවනේ. ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් අමාත්‍ය ධුරය දරණ කාලෙක මේ වගේ සිද්ධියක් වුණා නම් මෙලහකට බහුජන සංවිධාන, ඇමෙරිකානු තානාපති කාර්යාල අරවා මෙව්වා කියලා ඇමතිවරයාට වහාම ඉල්ලා අස්වෙන්න බලකරයි. උදාහරණයක් ලෙස විභාග ප්‍රශ්න පත්‍ර හදන්න අධ්‍යාපන ඇමතිගේ කිසිම සම්බන්ධයක් නෑනේ. ඒවට අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වෙන එක වැරදියිනේ. පළාත් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර හදන්නේ ඒ ඒ පාසල් මට්ටමින්.
ඈත පළාතක වාර විභාග ප්‍රශ්න පත්‍රයක ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් වුණාම අපේ කාලෙ පත්තරවල දැම්මේ අධ්‍යාපන අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි කියලයි. එහෙම නම් මේ වගේ දැවැන්ත, මුළු රටක්ම නොමඟ යවන විදිහට ලොතරැයි ගැහුවාම ඇමතිවරයාට මොකක්ද වෙන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ මුදල් ඇමති ඉන්න එක තමයි අපිට හොඳ. මොකද ආණ්ඩුව ඉවර කරන්න අදාළ කටයුතු කරමින්, වැට් ආරවුල් හදමින් මහ බැංකු ගැටලුව, අල්ලස් හා දූෂණ කොමිසමේ ඔහුට විරුද්ධව තියෙන චෝදනා, රේගුව, දේශීය ආදායම් එකේ ඇති අර්බුද යටතේ හොඳම දේ තමයි එතුමා තව ටිකක් කල් ඔය විදිහටම හිතුවක්කාර වැඩ කරන් යන එක.
Q මුදල් ඇමතිවරයා ඔය අපේක්ෂා කරන විදිහට දිගටම හිතුවක්කාර වැඩ කරයිද?
තවදුරටත් මෙහෙම යනකොට ආණ්ඩුව ඉවර වෙනවානේ. ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑනේ. මහ බැංකුවේ විශ්වාසනීයභාවය දැන් ඉවරයි. මහ දවල් මහ බැංකු හොරකම කළා. විපක්ෂය පන්දාහේ නෝට්ටු කෝටි එක්දහස් පන්සීයක් අච්චුගහලා ඡන්දෙට බෙදුවා කියලා ප්‍රකාශ කරලා රුපියල් පන්දාහේ නෝට්ටු පිළිබඳ තිබූ විශ්වාසය නැති කළා. ලොතරැයි මණ්ඩලය පිළිබඳ තැබූ විශ්වාසය දැන් ඉවරයි.
මැජන්සි කියලා පෞද්ගලික ආයතනයකට බදු එකතු කරන්න දීලා දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව ඉවර කළා. මහ බැංකු කටයුතු පෞද්ගලීකරණය කරලා (ජාතික ගෙවීම් වේදිකාව) National Payment Platform එකක් ගෙනාවා. එයට මහ බැංකුවත් විරුද්ධයි. රේගු දෙපාර්තුමේන්තුවේ රේගු බදු වෙනස්කරලා කාර් කෑලි මාරු කරපු ඒවා වගේ දේවල් කරන්න කරන්න මේ මුදල් අමාත්‍යවරයාට ආසියා ෆැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා විදිහට සම්මාන ලැබෙනවා. ඉතින් මේ වගේ හොඳ මුදල් ඇමති කෙනෙක් තමයි ඒකාබද්ධ විපක්ෂයට ඕන.
Q ලොතරැයි ගැටලුව නිසා රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වුණා. ඒ තත්ත්වය දිගින් දිගටම සිදුවෙයිද?
මේ නිසා තමයි අපි කියන්නේ අපි හෙළිදරව් කරපු ගොවිසෙත ලොතරැයියෙන් පස්සෙ නැවත මේ මුදල් අමාත්‍යවරයාටවත්, ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයටවත් ලොතරැයි ගැන විශ්වාසයක් ගොඩනගන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනාධිපතිවරයාට මේක පවරාගන්න කියලා.
Q ඒ කියන්නේ ජනාධිපතිවරයා ලොතරැයි මණ්ඩලය පවරා ගත්තොත් හැමදේම නිවැරදි වෙයි කියලා විශ්වාස කරනවා කියන එකද?
නැහැ. අපි එහෙම හිතන්නේ නැහැ. නමුත් ආණ්ඩුව වෙනස් කරන තෙක් වෙන විකල්පයක් නෑනේ මේකට. ඒ නිසා මේ වැඩ බැරි ඔක්කොම අවුල් කරන ආණ්ඩුව ගෙදර යවන එක තමයි තියන විකල්පය. ආණ්ඩුව යවන තෙක් අතුරු ක්‍රියාමාර්ගයක් ලෙස ලොතරැයි මණ්ඩලය ජනාධිපතිවරයා යටතට ගතයුතුයි කියලයි අපි හිතන්නේ.
Q ඒකාබද්ධ විපක්ෂයට අනුව ලොතරැයියේ මිල ගණන් මේ වෙලාවේ සටහන් විය යුත්තේ කිනම් මිලකටද?
ලොතරැයියට රැපියල් 5ක බද්දක් පැනවූ ගමන් පහේ බද්දට විරුද්ධව පළමුවැනියට කතා කළේ මම. ලංකාවේ කවදාවත් ලොතරැයියකට බද්දක් පනවලා නැහැ. රුපියල් පහක පැනවූ බද්දට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුණා. අපි කෙලින්ම කිව්වා ලොතරැයි මිල වැඩි කරන්න එපා කියලා. අපි කිව්වා රටේ සාමාන්‍ය මිනිසුන්ට ඔරොත්තු දෙන්නෙ නෑ වගේම ලක්ෂ ගණන් මිනිසුන්ගේ රක්ෂා අවස්ථා අහිමි වන බව. ඒවා මොකුත් අහන්නෙ නැතිව හිතුවක්කාර විදියට “කවුරු කිව්වත් අපි කරනවා* කියලා චණ්ඩි කතා කියලා, මුදල් ඇමතිට කියලා මේක කළා. දැන් ටෙන්ඩර් පටිපාටි වෙනස් කරලා ලොතරැයි මුද්‍රණය කරන්න දීලා තියෙන්නේ යාළුවන්ට. මුද්‍රණාල කීපයයි ලොතරැයි මුද්‍රණය කරන්නේ. මේවට වග කියන්න කෙනෙක් නෑ. මේක ලොකු ප්‍රශ්නයක්.