එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය, දෙමළ බෙදුම්වාදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් යුද අපරාධ විමර්ශනය අරඹන මෙන් ආණ්ඩුවට සිදුකරන පීඩනය අඩු කරගැනීමට රණවිරුවන් බිලිදීම අරඹා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (20දා) පැවසීය.
ඒ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ලුතිනන් කර්නල්වරුන් වන ෂම්මි කුමාරත්න සහ ප්‍රබෝධ සිරිවර්ධන යන නිලධාරීන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සූදානමක් තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. යම් අයෙකු සාක්ෂිකරුවෙකු වන්නේ එම තැනැත්තා පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නාට පසුව බව පැවසූ ඒ මහතා, නඩුවක් ගොනු කළ විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි නමුත්, විමර්ශන කටයුත්තක් ගැන කතා කිරීමට නීතිමය බාධාවක් නොමැති බව කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 15 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. මහා සංඝරත්නය ඇතුළු දේශප්‍රේමීන් අධිකරණය තුළත්, ඉන් පිටත් ගෙනගිය දැවැන්ත අරගලය හේතුවෙන් තමයි ඒ අයට ඇප ලැබුණේ. ලබන මාසය ආණ්ඩුවට ඉතාම දුෂ්කර කාලයක් වෙනවා. යුද අපරාධ විමර්ශනය ආරම්භ නොකළා කියලා ලබන මාර්තු මාසයේ ජිනීවාවල රැස්වෙන මානව හිමිකම් සභාවෙන් ලංකාවට දැවැන්ත පීඩනයක් එල්ලවීමට නියමිතයි.
ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ බෙදුම්වාදීන් මේ කාරණය මත ආණ්ඩුවට දැවැන්ත පීඩනයක් එල්ල කළා. එක්නැලිගොඩ අතුරුදන් කළාය කියා චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි අයගෙන් උසස්ම නිලධාරීන් දෙදෙනා වන ලුතිනන් කර්නල්වරුන් වන ෂම්මි කුමාරත්න සහ ප්‍රබෝධ සිරිවර්ධන යන මහත්වරුන් මේ පීඩනය සමනය කරගැනීම සඳහා පුංචි බිල්ලක් විදියට ලබාදීමට නියමිත බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවා කියන ව්‍යාජ චෝදනාව ගොනුකරමින් පොලීසිය 2017.02.14 වැනිදා උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නිලධාරීන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලබන බදාදා නඩුවේදී මෙම රණවිරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත වේවි කියලා රණවිරුවන් තුළත්, යුද හමුදාව තුළත් බලවත් කැළඹීමක් ඇති වී තිබෙනවා.
මේ උත්සාහ කරන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, දෙමළ බෙදුම්වාදීන්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් යුද අපරාධ විමර්ශනය අරඹන මෙන් තිබෙන පීඩනය අඩු කරගැනීමට පුංචි බිල්ලක් දීමටයි. මාර්තු මාසයේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරන විට රණවිරුවන් රංචුවක්ම අත්අඩංගුවේ සිටියොත් තමයි බෙදුම්වාදීන් සතුටු වෙන්නේ.
මුලින්ම කියන්න ඕන මෙතන තියෙන්නේ නඩුවක් නෙවෙයි. මහේස්ත්‍රාත් උසාවියේ විමර්ශනයක්. නඩු ගොනු කළාට පස්සෙ ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කළ නොහැකියි. නමුත් විමර්ශන කටයුත්තක් ගැන කතා කිරීමට කිසිම නීතිමය බාධාවක් නෑ. කෙනෙක් සාක්ෂිකරුවෙකු වන්නේ ඔහු පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නාට පසුවයි. එතෙක් සාක්ෂිකරුවෙකු නොවෙයි.
මෙතනදි මේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනාට නැගෙන චෝදනාව තමයි හමුදාවේ දැනටත් සේවය කරන ඔවුන් යටතේ එදා සේවය කළ දෙදෙනෙකුට මේ අය දුරකථනයෙන් කතාකර තිබීම. එම පුද්ගලයන් දෙදෙනාගෙන් පොලීසිය ප්‍රශ්න කරන්න ඉන්න නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවා කියන චෝදනාව නගා තිබෙනවා. මේ විදිහට ගත්තොත් අද මම කිසියම් පුද්ගලයෙක් එක්ක කතා කරනවා, හෙට පොලීසිය කියනවා අපි එයාගෙන් ප්‍රකාශයක් ගන්න හිටියේ. මෙයා ගිහින් එයාට කතා කළා, ඒක සාක්ෂිකරුවන්ට බලපෑමක් කියලා.
මගේ නඩුවේදී මටත් ඔය චෝදනාව එල්ල වුණා. සාක්ෂිකරුවන්ට ඔස්ට්‍රේලියාවට ගිහින් බලපෑම් කළා කියලයි දින 13 ක් මාව ඇතුළෙ තිබ්බේ. නමුත් අපේ නීතිඥවරුන් මේ ගැන තර්ක කළා. මොකද කෙනෙක් සාක්ෂිකරුවෙක් වෙන්නේ පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නාට පස්සෙයි. එතෙක් සාක්ෂිකරුවෙක් නෙමෙයි. මගේ නීතිඥයන් උසාවියට ඉදිරිපත් කළ ඒ තර්කය උසාවිය පිළිගත් නිසා මට ඇප හිමි වුණා" යනුවෙන් පවසා සිටියේය.