Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලපෑමක් වන අයුරින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීම තුළ පාර්ලිමේන්තුවේදී වැඩි වශයෙන් විචේචනයට ලක්වූයේ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපායි. නමුත් ඒ වන විට ඔහු රටේ නොමැති වීම තුළ මෙම විවේචනය දැඩි විය. මේ නිසාම ජවිපේ නායක අනුර කුමාර දිසානායක ඇමති ෆයිසර් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්ද ඇසුවේය.
විදෙස්ගතව සිටි ඇමති ෆයිසර් මුස්තාපා ලංකාවට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු පැමිණියේ සඳුදාය. එදින උදෑසනම ෆයිසර් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ චෝදනාවලට පිළිතුරු දීමටය. නමුත් තමා පිළිතුරු දීමට සූදානමින් සිටින බව ෆයිසර් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණේ නැත.
කථානායක කරු ජයසුරිය සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව ආරම්භයේ කටයුතු අවසන් කර අයවැය කාරක සභා විවාදය ආරම්භ කරන තුරු ෆයිසර් මේ බව නොකීවේය. පසුව අයවැය විවාදයේ අවස්ථාව ලබාගත් ෆයිසර් සිය පැහැදිලි කිරීම් කරන්නට වුවද විපක්ෂය බාධා කිරීම් කළේය.
'මෝල්ටාවේ පළාත් පාලන සමුළුව තිබුණා. 2019දී එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට අවශ්‍යයි. එයට අයදුම්පත්‍රයක් දාන්න තිබුණා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ අවසරය ඇතිව කැබිනට් අනුමැතිය ඇතිවයි ගියේ. මම රටෙන් පැන්නෙත් නැහැ, පෞද්ගලික කාර්යයකට ගියෙත් නැහැ. මම නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට රටේ නායකයා වන ජනාධිපතිගේ අවසර අරගෙනයි ගියේ'
ෆයිසර් එසේ පවසන විට මන්ත්‍රී සිසිර කුමාර බාධා කිරීමක් කළේය.
'ඇමතිතුමා මෝල්ටාවේ පළාත් පාලන ඡන්දෙ තියන්න කලින් ලංකාවේ පළාත් පාලන ඡන්දෙ තියන්නකෝ'
සිසිරගේ කතාවට ෆයිසර් මෙසේ කීවේය.
'උසාවියේ නඩුවට සමහර අය කිව්වා මුස්තාපාට එදිරිව මුස්තපා කියලා, ෆයිසර් එදිරිව ෆයිසර් කියලා. පළාත් පාලන ඇමති හැටියට මම සද්භාවයෙන් ක්‍රියා කළේ. මේ නඩුව දාන්න කලින් මම මගේ කර්තව්‍යය හරියට කළා. පළාත් පාලන ඡන්ද කෙටුම්පත සකස් කරද්දී සියලුම පක්ෂවලට සාධාරණය ඉටුකළා,
හැබැයි පෙර පව්වලට වන්දි ගෙවන්න වෙනවා. මාව 'බිලි බෝයි' කරන්න සමහර අය හොයනවා. මාව 'බිලි බෝයි' කළාට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම රටට, පාර්ලිමේන්තුවට, දේශපාලන පක්ෂයට සාධාරණය ඉටුකරනවා. ජනවාරි ඡන්දෙ තියන්න බැරි වීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි' යැයි කියනවිටම මන්ත්‍රී අනුර කුමාරද ප්‍රශ්නයක් යොමු කළේය.
'මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ ඔබතුමා ඔය කියන දේවල් නෙවෙයි. පෙබරවාරි මාසේ දාපු ගැසට් එකකට නොවැම්බර් වෙනකම් අඩුපාඩුවක් තියෙනවා කියල දැනගෙන හිටියෙ නැද්ද. අනික මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ සමීපතමයෝ. ඔබතුමාට එරෙහිවයි මේ නඩුව දාල තියෙන්නේ. ඒකයි මේ නඩුව ෆයිසර්ට එරෙහිව ෆයිසර් වෙන්නේ'
එයටද ෆයිසර් පිළිතුරු දුන්නේ තරමක් ආවේගයෙනි.
'රටේ ඕනෑම කෙනෙකුට අධිකරණයට යන්න පුළුවන්. හැබැයි මේ නඩුවෙන් පස්සෙ විශ්වාස භංග 02ක් දාල තියෙනවා. ජනතා අධිකරණයට වුණත් මම යන්න ලෑස්තියි*
එවිට අනුර දිසානායකද මෙසේ කීවේය.'ජනාධිපතිතුමාට හෘද සාක්ෂියක් තියෙනවා නම් මේ ගැන හොඳට දන්නවා' එයට දිනේෂ් ගුණවර්ධනද එක්විය.
'මෝල්ටාවට ගියාට අපි පළි නැහැ. දැන් ඉන්නේ ලංකා පාර්ලිමේන්තුවේනෙ. පොඩ්ඩක් උත්තර දෙන්න'
'හරි හරි කියන්න'
'කාන්තා නියෝජනය 25% වැඩි කරන්න හරි ඡන්දෙ තියෙන්න එපැයි... කෝ දැන් ඡන්දයක් නෑනේ..'
'අපි උසාවි නියෝගයට ගරු කළ යුතුයි. අධිකරණය ස්වාධීනයි. අපි ඒ තීන්දුව පිළිගත යුතුයි'
රෝහිත අබේගුණවර්ධනද එයට එක්වෙමින් මෙසේ කීවේය.
'ෆයිසර් කියනවා එතුමා මෙයට සම්බන්ධ නැහැ කියලා. නමුත් මුළු රටම දන්නවා මේකට සම්බන්ධ කවුද කියලා. තමුන්නාන්සෙට බාලගිරියා කියල කිව්වා'
එසේ එම සංවාදය අවසන් වන විටම ඊළඟ කතාවට අනුර කුමාරට අවස්ථාව හිමි විය.
'මීළඟ කතාව අනුර කුමාර* යැයි කථානායක නිවේදනය කරන විටත්, ෆයිසර් නොනැවතී පිළිතුරු දෙන්නට විය.
*ෆයිසර් ඔයා වාඩි වෙන්න... දැන් මම කතා කරන්නේ*
අගමැති රනිල් ඉන්දියානු සංචාරය නිමකර ලංකාවට පැමිණීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහභාගී වූ මෙම කණ්ඩායම් රැස්වීමේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් වේ යැයි මන්ත්‍රීවරුන් සිතුවද මුලින්ම සාකච්ඡා වූයේ වෙනත් කරුණකි.
'අපේ පක්ෂෙ කවුරු හරි මන්ත්‍රී කෙනෙක් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා නම් නායකයන්ව දැනුවත් කරලා එය කරන්න අවශ්‍යයි. එහෙම නැතිව මාධ්‍ය සාකච්ඡා තියන්න බැහැ. මම රටේ නැති කාලේ මාධ්‍ය සාකච්ඡා තියල තියෙනවා. ඒ ගැන මම දන්නෙත් නැහැ. මම නැතිනම් සභා නායකගෙන්, ආණ්ඩු පක්ෂයේ සංවිධායකගෙන් අවසර අරගෙන ඒවා තියන්න තිබුණා. එහෙම කරලත් නැහැ.
ඒ වගේම තමයි මාධ්‍ය සාකච්ඡා තියලා ජනාධිපතිතුමාව විවේචනය කරලා. මේවා හරි නැති වැඩ. කවුරුත් එහෙම කරන්න
ලෑස්ති වෙන්න එපා' යැයි අගමැති රනිල් කිව්වේ දැඩි ස්වරූපයෙනි.
පසුව පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළ අතර, පක්ෂය දිනවීමට සැවොම එක්ව කටයුතු කරන ලෙසද අගමැති ඉල්ලීමක් කළේය.
පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බවට දෙපාර්ශ්වයේම බොහෝ දෙනෙකුගේ අදහස විය. නමුත් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කළේය.
'ආණ්ඩුවේ ඇමතිකම් අතහැරලා නිදහස් පක්ෂෙ අය විපක්ෂයට ආ යුතුයි. අයවැයට විරුද්ධව ඡන්දෙ දිය යුතුයි'
මන්ත්‍රී ගාමිණී ලොකුගේ සිය පාර්ශ්වයේ අදහස් නිදහස් පක්ෂයට දැන්වීය. ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ සාකච්ඡා පසුවට කල් තැබීය.
නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පවසා තිබුණේ මෙසේය.
'ඇමතිතුමා කොහොමද සාකච්ඡා' යැයි එජාප මන්ත්‍රීවරුන් අසනවිට නිදහස් පක්ෂයේ ගම්පහ නියෝජනය කරන ඇමතිවරයකු මෙසේ කීවේය.
'අපි අපේ දෑත පුළුවන් තරම් දිගු කළා. ඒත් ඒ අය දෑත් දිගු කරන්න සූදානම් නැහැ'
මේ සම්බන්ධයෙන්ම කුරුණෑගල දිසාව නියෝජනය කරන නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු පවසා තිබුණේ
'අපිට එකතු නොවුණා කියල ප්‍රශ්නයක් නැහැ. මට නම් මගේ ආසන ටික දිනවන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනින් ඡන්දයකට යා යුතුයි' කියාය.
මේ සම්බන්ධයෙන් ඇමති විජිත් විජයමුණි සොයිසා පාර්ලිමේන්තුවේදීම මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙවැන්නකි.
'එක එකා කියන විදිහට ආණ්ඩුවෙන් යන්නත්, එක එකා කියන විදිහට එන්නත් අපි සූදානම් නැහැ. ටී.එන්.ඒ එක එක්ක එකතුවෙලා ආණ්ඩුව හදනවා කියල සමහරු කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා ආණ්ඩු හදනවා කියන්නේ බරපතළ දෙයක්. මොකද රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අපි ඊළඟ ඡන්දයට එන්නේ අත ලකුණින්. අපි ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කරනවා. පක්ෂය කැඩෙන්න දෙන්න බැහැ. අපේ පක්ෂය විනාශ කරන්න දෙන්න කාටවත් ඉඩදෙන්න බැහැ. අපේ පක්ෂයේ කොටසක් රජය සමග ඉන්නවා. තව කොටසක් විපක්ෂය සමග ඉන්නවා. ගමේ බලය ලබාගන්න දෙපිරිසම එකතුව වැඩ කළ යුතුයි'
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2014 සිට 2017 වසර දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11,030කි. නමුත් මෙම පැමිණිලි විභාග කිරීම මන්දගාමී බව බදාදා පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක කරු ජයසුරියට පැමිණිලි කළහ. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියල්ලන්ම පැවසුවේ අල්ලස් කොමිසම ශක්තිමත් කළයුතු බවයි. එහිදී ඇතිවූයේ මෙවන් සංවාදයකි.
(පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක)
'අල්ලස් පැමිණිලි විමර්ශනයට අදාළව නඩු පැවරීම් අඩුයි. මේ අල්ලස් හා දූෂණ කොමිසම සිදුකරන පර්යේෂණවල ප්‍රතිඵල ලබාගැනීමට නම් විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුයි. අඩුම තරමේ විශේෂ අධිකරණයක් හෝ ඇති කරන්න.
අල්ලස් කොමිසමේ විභාග කරන පැමිණිලි සංඛ්‍යාව 2016 සිට අඩුවෙමින් තිබෙනවා. 2017 වසරේ මාස 06ටම විභාග කර තිබෙන්නේ පන්සිය ගණනක්. නමුත් ආණ්ඩුව පත්වුණ 2015 වසරේ පැමිණිලි විභාග කිරීම 3000ට ආසන්නව පැවතිලා තිබෙනවා. අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කරලා බල බින්දට පස්සේ අල්ලස් කොමිසමේ පැමිණිලි විභාග කිරීම අඩුවෙමින් තිබෙනවා. අල්ලස් කොමිසම කාර්යක්ෂම කරන්න පුළුවන් නිලධාරීන් ටිකක් පත්කරන්න කියා අපි ආණ්ඩුවට කියනවා*
(කථානායක කරු ජයසූරිය)
'ව්‍යවස්ථා කමිටුව මගින් අමතර නිලධාරීන් 50ක් අල්ලස් කොමිසමට ලබාගැනීමට අවසර ලබාදී තිබෙනවා. ඒ අය ඉතා ඉක්මනින් බඳවා ගනීවි.
(පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ)
'මම මන්ත්‍රීවරයෙක් විදිහට ගිහිල්ලා පැමිණිලි
02ක් කර තිබෙනවා. එක පැමිණිල්ලක් 2015දී සිදුකළේ. අද වෙනකම් ඒ ගැන කිසිම තොරතුරක් නැහැ. අනිත් පැමිණිල්ල කළේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. ඒ ගැනත් කිසිම තොරතුරක් නැහැ. ඉබිගමනේ යන අල්ලස් කොමිසම යම් වේගවත් බවක් ඇති කළ යුතුයි*
(පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා)
'මමත් අල්ලස් කොමිසමට පැමිණිලි 02ක් කර තිබෙනවා. රජයේ පාර්ශ්වයේ ඇමතිවරුන් දෙදෙනෙකුට විරුද්ධව ගිය අවුරුද්දේ පැමිණිලි කළේ. තවම ඒ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් කරලා නැහැ'
(පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි)
'මමත් මන්ත්‍රීවරුන් 06ක් සමග ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. ඒක තවම විභාග කරලා නැහැ. නමුත් මීට වසර ගණනකට කලින් වෙනත් කවුද දාපු පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් තියෙනවා. ඒ නිසා පැමිණිලි විභාග කිරීම කඩිනම් කළ යුතුයි. අද බොහෝ දෙනා එන්න බැරිව හැංගි හැංගි ඉන්නවා. මහා සංඝරත්තනය උපයෝගී කරගනිමින් එන්න බයේ හැංගි හැංගි ඉන්නවා'
(ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක) - ගංවතුර ආධාරවලට කෙහෙල්ගෙඩි බෙදුවා කියල මට ෆේස්බුක් එකේ අපහාස කළා. මම කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට ඒක සීඅයිඩී එකට පැමිණි කළා. අදාළ පුද්ගලයා අහුවුණා. ඒක නිතීපති එකට දැම්මා කිව්වා. මාස ගණනක් ගිහිල්ලා. නමුත් අද වෙනකම් කිසිම දෙයක් නැහැ. මට මෙහෙමනම් සාමාන්‍ය මිනිහෙක්ට කොහොම වෙයිද?'
(පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති)
&මම 2005 සුනාමි අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. අද වනතුරු ඒ අණ්ඩුවෙන්වත්, මේ ආණ්ඩුවෙන්වත් එයට කිසිම දෙයක් සිදුකර නැහැ. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව*
මොනරවිල කැප්පෙටිපොළ විරුවාණන්ගේ‘ 199 වැනි සැමරුම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘'අනාගතය අපි' තරුණ ව්‍යාපාරය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි. 'ලස්සන රටක් ලස්සන ජීවිතයක්' මැයෙන් විචිත්‍රවත්ව පැවති මෙම උත්සවය භික්ෂූන් වහන්සේලා, සාහිත්‍යවේදීන්, කලාකරුවන්, දේශපාලඥයන් ඇතුළු පිරිසකගෙන් සමන්විත විය. මෙහිදී කැප්පෙටිපොළ විරු සමරු දේශනය පැවරී තිබුණේ ජානිපෙ නායක විමල් වීරවංශටය. විමල් දේශනයට සහභාගී වීමට පෙර ගුණදාස අමරසේකර ශූරීන්ගේ ධාතුසේන කෘතිය කියවා අවබෝධයක් ලබාගෙන තිබුණි.
'මම ඔබතුමාගේ ධාතුසේන පොත බැලුවා. ඒකෙන් මගේ දේශනයට අවශ්‍ය තොරතුරු රැසක් සොයාගැනීමට ලැබුණා. ඔබතුමා අපූරුවට පෙර-අපර ගළපලා තියෙනවා. එදා කාශ්‍යප ධාතුසේනගෙන් දායාද ඉල්ලුවා. අපේ ජන ව්‍යවහාරයේ නැති අතීත කතාවකුත් තියෙනවා. මිගාර සෙනෙවියා ගැන අප්රකටයි. හැබැයි මිගාර තමයි කුමන්ත්රණකාරයා' වේදිකාවේ අසුන්ගෙන සිටි ගුණදාස අමරසේකර අසලට පැමිණි විමල් කීවේය.
'එහෙනම් විමල් තරුණයන්ට දැනෙන විදියට කතාව කරන්න* අමරසේකරගේ පිළිතුර විය. එම කතාබහෙන් පසුව සභාව ඇමතීමේ අවස්ථාව විමල්ට හිමි විය.
“දැන් බලන්න 2014දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එකට සිටි ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන. මිගාර සෙනවියා කාශ්‍යප පාවිච්චි කළා වගේ රනිල් වික්‍රමසිංහලා, චන්ද්‍රිකා කුමාරතුංගලා මෛත්‍රීපාල සිරිසේනව පාවිච්චි කළා. පාවිච්චි කළා විතරක් නොවෙයි කිරුළ තමන් අතට ගත්තා. කිරුළ මෛත්‍රීගේ හිස මත පැලඳුවූවාට පාලනයේ සුක්කානම තිබෙන්නේ මිගාර හෙවත් වික්‍රමසිංහ අතෙයි. කිරුළ හිසේ තිබෙන මිනිහා සිතනවා, ‘%දැන් ගමන යන්නේ ගාල්ලට’ කියලා. නමුත් සුක්කානම අතේ තියන මිනිහා රැගෙන යන්නේ බදුල්ලට. මේක තමයි අද අපි ඉස්සරහ රඟ දැක්වෙන වර්තමාන ධාතුසේන කතන්දරේ.
අපි දැන් ඉන්නේ එක්තරා විදියකින් පශ්චාත් ධාතුසේන අවදියක. ඒ නිසා අපට එක්කෝ සිදුවෙනවා අලකමන්දාවට වෙලා ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියන්න ‘මහත්තයෝ දැන් රට පාලනය කරන්නේ 'මිගාර සෙනවියා’ කියලා. එහෙම නැතිනම් අපට සිදුවෙනවා '‘මුගලන්' කෙනෙකු සොයාගෙන මේ යන ගමන අනෙක් පැත්තට හරවන්න. ඒ හැර වෙනත් උත්තරයක් අප ජාතිය ඉදිරියේ නිර්මාණය වී නැහැ* යැයි විමල් එම දේශනයේදී පැවසීය.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ නමකගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ගියේය. ආරක්ෂකයන් සුළු පිරිසක් සමග එහි ගිය මෛත්‍රී රෝහලේ පිටුපස ගේට්ටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළේය. ආරක්ෂක නිලධාරියෙක් හා නිලධාරිනියක් එම ගේට්ටුවේ රාජකාරි කරමින් සිටියහ. ජනාධිපතිවරයාගේ අාරක්ෂක නිලධාරීන් ගේට්ටුව අසලට ගොස් ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, රෝහල් ආරක්ෂක අංශයෙන් එයට ඉඩක් නොලැබිණි. අවස්ථා කිහිපයකදී ජනාධිපති ආරක්ෂක නිලධාරීන් පැවසුවේ ජනාධිපතිවරයා මෝටර් රථය ඇතුළේ සිටින බවත්, ඉක්මනින් ඔහුට ඇතුළට යෑමට ඉඩ දෙන ලෙසත්ය. රෝහලට ඇතුළු වීමට පමාවන්නේ ඇයි දැයි බැලූ මෛත්‍රී මෝටර් රථයේ වීදුරුව පහත් කළේ මුහුණ දුටුවිට ආරක්ෂකයන් යෑමට ඉඩ දෙතැයි සිතාගෙනය. එහෙත් එහි සිටි රෝහල් ආරක්ෂක නිලධාරිනිය ජනාධිපතිවයාට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව පැවසුවාය.
'සර් මමත් පොළොන්නරුවේ කෙනෙක් තමයි. ඒත් මේ ගේට්ටුවෙන් කාටවත් ඇතුළට යන්න දෙන්න බැහැ. එහෙම කවුරුහරි ඇතුළට යැවුවොත් අපේ පඩියෙන් කපාගන්නවා' ඇය තවදුරටත් කරුණු පැහැදිලි කළාය. ඉන් පසුව ජනාධිපතිවරයා වෙනත් ගේට්ටුවකින් ඇතුළට ගියේය. පසුව එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න රෝහල් ආරක්ෂක නිලධාරීන්ට බැණ වැදුණේය. එම ගේට්ටුවෙන් රෝහල ඇතුළට ගිය රාජිත නිලධාරීන්ට පැවසුවේ මේ ගැන සොයා බලන ලෙසයි. කෙසේ වුවද මේ සිදුවීම දැනගත් බොහෝ දෙනා ජනපති වරයාගේ ක්‍රියාවට ප්‍රසාදය පළ කළහ.
රුපියල් ලක්ෂ 1,300ක් ආයෝජනය කර සූරියවැව පොළ අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා පසුගියදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මුල්ගල් තබා අවසන් වනවාත් සමග ප්‍ර‘දේශයේ ගොවීන් විශාල පිරිසක් පෙළපාළියකින් එහි පැමිණියේ මේ ව්‍යාපෘතියට විරෝධය පළකිරීමට නොව ඊට සිය ප්‍රසාදය පළකිරීමටය.
ඔවුන් පැවසුවේ &අපට නායකයෝ නම් එමටයි. ඒත් පසුගිය කාලයේ ගොවියෝ ඉන්න මේ පළාතේ පොළ දියුණු කරන්න ඕනකමක් ඒ ඇත්තන්ට තිබුණේ නෑ. බලවත් උදවිය අපිව තුට්ටුවකට මායිං කළේ නෑ' කියාය.
“දැන් ඉතිං බය වෙන්න එපා, වැඩේ කෙරෙනවානේ, තව මොනවද අඩුපාඩු?* සජිත් ඇසුවේය. එවර ගොවීන් කීවේ “පසුගිය කාලයේ තොග පොළක් කියලා එකක් හැදුවා. ඒකට වහලක් නෑ' කියාය.
“මම ඒකත් හදලා දෙන්නම්* සජිත් කියද්දී වියපත් මාතාවක කීවේ “පුතේ අපි මෙච්චර කල් උයන්න පිහින්න ගත්තේ අපිරිසුදු වතුර. මෙව්වා කාට කියන්නද ඉතිං. ඊයේ ඒකටත් පිළියමක් කළා කියලා දැනගන්නට ලැබුණා' කියාය. සජිත් කීවේ “ඔව් අම්මේ මං ඊයේ %විහාරගල වලව මව් නදී ප්‍රජා ජල ව්‍යාපෘතිය^ සංවර්ධනය කරන්න ලක්ෂ 189ක් දුන්නා. පවුල් 3,081කට ඒකෙන් වතුර ලැබෙනවා. දකුණු ආසියාවේ ප්‍රජා නායකත්වයෙන් ක්‍රියාත්මක වන ලොකුම ජල ව්‍යාපෘතිය ඒකයි. අම්මලා අපිරිසුදු වතුර බීපු කාලේ දැන් ඉවරයි* කියාය.
පසුගිය සතියේ දේශපාලන ලෝකයේ වැඩිපුරම අවධානයට ලක්ව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගි කිරීමේ සාකච්ඡා ගැනය. සමගිය සඳහා සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය විසින් කමිටු දෙකක් පත්කර තිබිණි. නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න සාකච්ඡාවලට සහභාගි වූහ.
ඒකාබද්ධ පාර්ශ්වය නියෝජනය කළේ සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චිය. කමිටු දෙක අතර තීරණාත්මක සාකච්ඡා දෙකක් පසුගිය සතියේ පැවැත්විණි. පළමු සාකච්ඡාව පැවැත්වුණේ සෙනසුරාදාය. ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදීය.
එකතු වීමකට පෙරාතුරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන්න ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානතම කොන්දේසියක් විය. ඒ අනුව සාකච්ඡා ආරම්භ කරමින් ඒකාබද්ධ විපක්ෂය දැනුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවය.
'මුලින්ම ඔයාලා ආණ්ඩුවෙන් අයින් වෙන්න. ඔයාලා ආණ්ඩුවේ ඉන්නවා නම් අපට එකට මැතිවරණයකට යන්න බැහැ. එහෙම වුණොත් ඔයාලත් ආණ්ඩුවේ පාර්ශ්වයක් නිසා අපට එකම වේදිකාවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැහැ. එතැනදී ජනතා විශ්වාසය බිඳවැටෙනවා. එහෙම වුණොත් අපට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ' සී.බී. රත්නායක පෙන්වා දුන්නේය.
'හවුල් ආණ්ඩු ගිවිසුම දෙසැම්බර් මාසයෙන් පස්සේ අවසන් වෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරලා තීන්දුවක් ගන්න පුළුවන්' නිමල් පැවසීය.
'දෙසැම්බර් ගිවිසුම ඉවරයි කියලා බැහැ. ඉදිරියේදී එන ඕනෑම ඡන්දයකදී ජයග්‍රහණය කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා ආණ්ඩුවෙන් ඉවත් නොවී බැහැ* පවිත්‍රා කීවාය.
'අපට තියෙන අත්දැකීම් එක්ක ජනාධිපතිවරයාගේ හැසිරීම විශ්වාස කරන්න බැහැ. එකතු වීම ගැන ඔයාලගේ තියෙන උනන්දුව අවංකද කියන කාරණය අපි බලන්න ඕන* මහින්ද යාපා කීවේය.
'එහෙම කරන්න එපා. අපි ඒ තැනට තත්ත්වය හදාගෙන යනවා* නිමල් පැවසීය.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැයකට ආසන්න කාලයක් පැවැති නමුත් සාකච්ඡා නිමා කෙරුණේ අවසන් තීන්දුවක් නොමැතිවය. සාකච්ඡාව අවසන් කර නැගිටින ගමන් නිමල් පවිත්රාට කීවේ 'මෙයාලා මොනවා කළත් කමක් නැහැ ඔයාවත් අපේ පැත්තට එන්න* කියාය.
'අපෝ මාව නම් අමාරුවේ දාන්න හදන්න එපා. මම මේ සාකච්ඡාවලට ආවෙත් මහින්ද මහත්තයා යන්න කියපු හින්දා. නැත්නම් මම මේකට ගෑවෙන්නවත් කැමැති නැහැ* පවිත්‍රා ගත් කටටම කීවාය.
ඉන් පසුව නැවත මෙම සතිය ආරම්භයේදීම කමිටු දෙක හමුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් වෙන්නම ඕන. අපට අදම ඒ ගැන තීන්දුවක් අවශ්‍යයි* සාකච්ඡාව පටන් ගද්දීම පවිත්‍රා කීවාය. නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් අදහස් දැක්වූ නිමල් කීවේ ඒ ගැන තීන්දුවක් ගන්න තව දින දෙකක් අවශ්‍ය බවයි.
'ජනාධිපතිවරයාත් ලංකාවට ආවාම අපි මේ ගැන කතා කරලා බලලා තීන්දුවක් කියන්නම්. එතෙක් අපට දවස් දෙකක් කල් දෙන්න' නිමල් කීවේය.
ඒ අනුව සාකච්ඡාව විනාඩි දහයකදී අවසන් කෙරුණේ ජනාධිපතිවරයා පැමිණි පසු නිදහස් පක්ෂයේ තීන්දුව දැනුම් දෙන පොරොන්දුව මතය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතේදී රැස්විය. එහිදීද විශේෂ අවධානය යොමු කෙරුණේ දෙපාර්ශ්වයේ සමගි සාකච්ඡා සම්බන්ධවය.
'මොකද දැන් මේ සාකච්ඡාවල තත්ත්වය? හැමතැනම මිනිස්සු මේ ගැන කතාවෙනවා. මොකක්ද ප්‍රගතිය?' මහින්ද ඇසුවේ කමිටු සාමාජිකයන් වන සී.බී., මහින්ද යාපා සහ පවිත්‍රා දෙස බලමිනි.
'සෙනසුරාදා තිබ්බ සාකච්ඡාවේදී අපි එයාලට දැනුම් දුන්නා එකතු වෙන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා' සී.බී. පැවසීය.
'එයාලා ආණ්ඩුවේ ඉන්න ගමන් මේ සාකච්ඡා කරන්න හදන්නේ. අපි මොකටද ආණ්ඩුවේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්නේ? ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැත්නම් සාකච්ඡා කරලා වැඩක් නැහැ' ප්‍රසන්න පැවසීය.
'මේක හරියට ගෙදර මනුස්සයා අනියම් භාර්යාවක් අරගෙන ඉන්න ගමන් තමන්ගේ නීත්‍යනුකූල බිරිඳටයි දරුවන්ටයි සාකච්ඡා කරන්න එන්න කියනවා වගේ වැඩක්නේ. අනියම් භාර්යාව අතහරින්නේ නැතුව ඒකත් කරන ගමන් තමන්ගේ භාර්යාව ළඟට ගන්න බැහැ නේ* සනත් කීවේය.
'ඒක ඇත්ත. අපිත් එක්ක මේ අය එකතු වෙන්න හදන්නේ අපට තියෙන ආදරයකට නෙමෙයි නේ. ඔය හදන්නේ ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි හරහා ඡන්ද ටික එකතු කර ගන්නයි. හැමදාම මේ සෙල්ලම කරන්න බැහැ නේ' ප්‍රසන්න පැවසීය.
'මුලින් ආණ්ඩුවෙන් අයින් වෙන්න කියන්න. එතකොට අපට බලාගන්න පුළුවන් මේ අයගේ වුවමනාව අවංක එකක්ද කියලා' ලොහාන් පෙන්වා දුන්නේය.
'ඒගොල්ලෝ කියනවා දෙසැම්බර් වෙන කොට ආණ්ඩු ගිවිසුම ඉවරයි කියලා* මහින්ද යාපා පැවසීය.
'ඒක විශ්වාස කරන්න බැහැ. විශ්වාසය තහවුරු කරන්න නම් ආණ්ඩුවෙන් අයින් වෙලා පෙන්වන්න කියන්න. එහෙම නොවුණොත් අපට මේක ලොකු ප්‍රශ්නයක් වෙයි. අපි එක තීන්දුවක ඉන්න ඕනේ* වෙල්ගම අවධාරණය කළේය.
'මෙයාලට ආණ්ඩුවෙන් අයින් වෙන්න බැරි නම්, ඉස්සරහට හොඳ අවස්ථාවක් එනවානේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. එහෙම නම් එයාලට කියන්න අපිත් එක්ක එකතු වෙලා අයවැය පරද්දන්න එන්න කියලා* ලොකුගේ පැවසීය.
'මේ හදන්නේ ආයෙත් වතාවක් අපිව රවට්ටන්න. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න බැහැ' නාමල් කීවේය.
'මෙහෙම ගියොත් මිනිස්සුන්ගේ හිත්වල අපි ගැන තියෙන විශ්වාසයත් බිඳ වැටෙනවා. ඒ හින්දා ඉක්මනට තීන්දුවකට යන්න ඕනේ' ප්‍රසන්න පෙන්වා දුන්නේය.
'මේ සාකච්ඡාවල අවසානයක් තියෙන්න ඕන. අදත් සාකච්ඡාවක් තියෙනවා. අපේ ස්ථාවරය ඒගොල්ලන්ට කියන්න. එයාලා කියන දේවල් ගැන මාවත් දැනුවත් කරන්න' මහින්ද අවසන් තීන්දුව දෙමින් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd