Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් පසු අනාවරණය වූ කාරණා හමුවේ ඔහුට එල්ල වූ චෝදනා පිළිබඳ විමර්ශන අවසන් වනතුරු සිය විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රවි කරුණානායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
පසුව පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් සේවය කරන බවද හෙතෙම එහීදි කියා සිටියේය.
බැඳුම්කර කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසුව සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කළහ.
ඒ සමගම රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට ජනාධිපති මෛත්‍රී පවා අගමැති රනිල්ට පවසා තිබුණේ රවි කරුණානායක සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගන්නා ලෙසයි.
සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ අදහසක් නොමැති බවත්, ජනාධිපතිවරයා තමාට ඉල්ලා අස්වීමට නොපැවසූ බවත් වරෙක රවි කරුණානායක පැවසීය.
තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින විට බදාදා පැවති කැබිනට් රැස්වීමට පවා ඇමති රවි කරුණානායක සහභාගි නොවූ අතර, කැබිනට් රැස්වීම නිමා වීමට ආසන්න මොහොතේ ජනාධිපති කාර්යාලයට පැමිණ ඔහු ජනාධිපති සහ අගමැති හමු විය.
ජනාධිපති මෛත්‍රී අගමැති රනිල් සහ ඇමති රාජිත සමග දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව රවි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට තීරණය කළ බව අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ සියල්ලෝම ඉදිරියේ රවි තමා වෙනුවෙන් කරුණු දැක්වු අතර, එහිදී ජනාධිපති අගමැති සහ රාජිත කියා ඇත්තේ වත්මන් තත්ත්වය සහ තම දේශපාලන අනාගතය ගැන සිතමින් යහපත් තීරණයක් ගන්නා ලෙසයි. මේ මොහොතේ ඉල්ලා අස්වන්නේ නම් වඩාත් සුදුසු බව ඔවුන් රවිට ක්‍රමයෙන් පැහැදිලි කිරීමෙන් පසුව රවි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබේ.
අපේ ප්‍රතිපත්ති වලට එකඟ නැහැ
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබූ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ ඇමතිවරුන් ප්‍රසිද්ධියේම පවසා තිබුණි.
කැබිනට් රැස්වීම ආරම්භ වීමට ප්‍රථම මෛත්‍රී පාර්ශවයේ ඇමතිවරුන් අගමැති රනිල් හමුවූ අතර, ඔවුන් එක හඬින් කියා සිටියේ රවි කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
''අගමැතිතුමා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තොත් ඒකට විරුද්ධව ඡන්දෙ දෙන්න අපිට බැහැ. මේ සිදුවෙන දේවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ නැහැ. ඒ නිසා රවි කරුණානායක ඇමතිතුමා ගෞරවනීයව ඉල්ලා අස්වෙනවා නම් තමයි හොඳ''
''මේ සිදුවීම්වලදී ජනමතයට අනුව කටයුතු කරනවා නම් අපි කැමතියි අගමැතිතුමා''
නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පැවසූ කාරණා අසා සිටි අගමැති රනිල් පිළිතුරු දෙමින් පැවසුවේ,
''එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කියන්නෙත් මේ දේම තමයි. මම රවි එක්ක කතා කරලා විසඳුමක් ගැන බලන්නම්'' යනුවෙනි.
අගමැති මෛත්‍රී කණ්ඩායමේ ඇමතිවරුන්ට පිළිතුරු දුනි.
පසුගිය ආණ්ඩුව සමය හා සසඳන විට බැඳුම්කර සිදුවීම ලූනු බිකක් වැනි සිදුවීමක් යැයි සෞඛ්‍ය ඇමති රාජිත පවසා තිබුණි.
කැබිනට් මණ්ඩලයේදී මෙම ප්‍රකාශය පිළිබඳවද සාකච්ඡා වූ අතර, හොරකම් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බව එහිදී ජනාධිපතිවරයා කියන්නට විය.
බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම අදාළ සිදුවීම් ඉතාම කෙටි කාලයක් තුළ සොයා ගනිමින් කටයුතු කරන ආකාරයටම පසුගිය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන්ද කටයුතු කරනවා නම් සුදුසු බව ඇමති හරීන් මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය අඟහරුවාදා පවසා තිබුණි.
මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී පැවසුවේ,
''හොරු අල්ලන්න පුළුවන් නම් ජනාධිපති කොමිෂන් එකක් නෙවෙයි දහයක් වුනත් දාන්න මම ලෑස්තියි... කොතැන උනත් හොරුන්ට මම විරුද්ධයි'' යනුවෙනි.
බලය තාවකාලිකයි - සේවය සදාකාලිකයි
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට විශේෂ දිනයක් වූයේ රවි කරුණානායක එදින විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට පැතිරී ගිය රාවය නිසාය. එම රාවය සත්‍යයක් බව පසක් කරමින් රවි කරුණානායක පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුතුවේ තොරතුරු ගැන සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පවත්වන්නේ පෞද්ගලික සමාගමක් නිවසක් බදු දීම සම්බන්ධවයි. බැඳුම්කර කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ විනිශ්චයකාරවරුන් අවස්ථා කිහිපයකදීම මැදිහත් වුණා.
ඔවුන් ඔහුට අවවාද කළා. පිටු 8803ක වාර්තාවක් පැය 48ක් වැනි කෙටි කාලයකින් විමර්ශනය කරන්න නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්ෂණයක්. පසුගිය ආණ්ඩුවේ විමර්ශන සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන ලෙස මම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති ලිපි ගොනු 86ක් සම්බන්ධයෙනුත් මේ ආකාරයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
''මම මගේ අමාත්‍ය ධුරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්න. අවුරුදු 20ක් පමණ අසාධාරණයට ලක්වුණ අපේ පාක්ෂිකයන්ට සාධරණය ඉටුකරන්න. රටට සාධාරණය ඉටුකරන්න. මම තනතුරු පාවිච්චි කළේ සේවය කරන්න මිසක් බලය හා වරප්‍රසාද භුක්ති විඳින්න නොවෙයි. බලය තාවකාලිකයි. සදාකලික වන්නේ අප කළ සේවයයි.
නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නැහැ. ඔවුන් බලය සදාකාලික බව සිතනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙන ගැහුවත් ඔවුන්ට කමක් නැහැ. මට එල්ලකර තිබෙන චෝදනා කිසිම පදනමක් නැහැ. ඒ කිසිවකට මම සම්බන්ධ නැහැ. නමුත් ඇතැමුන් සහ මාධ්‍ය මාව වැරදිකරුවා කරලා ඉවරයි.
ඔවුන් මාව කුරුසයට තබා ඇණ ගැසිය යුතු බව පවසනවා. මේ අභියෝගයන්ට මුහුණදීමට ශක්තිය මට තිබෙනවා. යහපාලන රජය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණ දියත්වන බව මට පැහැදිලි වෙනවා. මේ කුමන්ත්රණකරුවන්ට ආණ්ඩුව විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුළු රටටම ආදාර්ශයක් වෙමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා''
එසේ ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වුණ රවි කරුණානායක මන්ත්‍රීවරයා පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගත්තේය.
අඩියක් පස්සට යාරයක් ඉදිරියට
රවි කරුණානායක ඉල්ලා අස්වීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම බෙහෙවින් සතුටු වූයේ පක්ෂය පිරිසුදු කිරීමේ කටයුත්ත යම් තරමකට හෝ සාර්ථක වූ බව පවසමිනි. එපමණක් නොව ඇතැම් නියෝජ්‍ය ඇමතිවරුද සතුටකින් සිටින අයුරු දැක ගත හැකි විය.
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා දෙසට ගොස් මන්ත්‍රීවරයකු අසල අසුන් ගත්තේය. ඔහු මේ මන්ත්‍රීවරයාට රහසින් පැවසුවේ ''අඩියක් පස්සට යෑම යාර ගණනක් ඉදිරියට යෑමේ'' ආරම්භයක් බවයි.
අපිටම වළ කපා ගත්තා
යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇදි පුද්ගලයන්ට ආණ්ඩුව පත් වූ පසු සිදුවූයේ වළ කපා ගැනීමක් යැයි ඇමති හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 800කට වැඩි මුදල් ලබාගත් බව පවසමින් ඇතැමුන් තමන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ඔහු එහිදී පැවසීය.
''මම ඩිජිටල් ඇමති වුණාට ටෙලිකොම් එකේ කිසිම තීරණයක් මට ගන්න බැහැ... කිසිම දේකට මට මැදිහත් වෙන්නත් බැහැ. ආණ්ඩුව හදන්න දර දිය ඇදපු අපිට මඩ ගහන්න දැන් එක එක කල්ලි සූදානම් වෙනවා.
ආණ්ඩුව පත්වෙලා වසර දෙකකටත් වඩා වැඩි කාලයක් ගත වුණත් මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා හොයන්න අපිට බැරි වුණා. මම ඒ ගැන ලැජ්ජා වෙනවා.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය හොයන ජනාධිපති කොමිසම බොහොම වේගයෙන් වැඩ කරනවා. නීතිපතිතුමත් එතනදී බොහොම කාර්යක්ෂමව වැඩ කරනවා. ඒ ගැන සතුටුයි. බැඳුම්කර සිදුවීමේ පිටු 8600ක වාර්තාවක් කියවලා තොරතුරු දෙන්න නීතිපතිතුමාට සතියයි ගත වුණේ.
හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ අත්සන් දෙකක් ගළපගන්න අවුරුදු දෙකකටත් වඩා කාලය ගතවෙලා තියෙනවා. මේ නිසා පහුගිය කාලයේ සිදුවුණ වංචා දූෂණ හොයන්නත් ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා මම ජනාධිපතිතුමාට කියනවා.
හෙල්පින් හම්බන්තොට වංවාවේ ඉඳන් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදීන් ඝාතනය, පහරදීම්, මාධ්‍ය ආයතන වෙත පහරදීම්, මිග් යානා ගනුදෙනුව, රජයේ මුදල් හා දේපළ අවභාවිත කරපුවත් මේ විදිහටම ඉක්මනින් හොයලා දඬුවම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ජනාධිපතිතුමාට කියනවා'' යැයි හරීන් එහිදී වැඩිදුරටත් පවසන්නට විය.
වැඩේ ඉක්මන් කරන්න
පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී පැවැති අතර, මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමති චන්ද්‍රානි බණ්ඩාර, මනෝ ගනේෂන්, ෆයිසර් මුස්තාපා, අජිත් පී පෙරේරා, ලසන්ත අලගියවන්න, ජවිපෙ නායක අනුර කුමාර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක් සහභාගි විය.
එහිදී මූලික සාකච්ඡාව අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, අගමැති පිටව ගිය පසු පැවති සාකච්ඡාවේදී දැඩි උණුසුම් වාද විවාද ඇති විය. ෆයිසර් මුස්තාපා, අනුර කුමාර, අජිත් පී. පෙරේරා සහ මහින්ද දේශප්‍රිය අතර මෙලෙස උණුසුම් වාද විවාද ඇතිවූයේ මැතිවරණය හැකි විගස පවත්වන ලෙස ඉල්ලමිනි.
මෙම සාකච්ඡාව අවසන් කර පාර්ලිමේන්තුවේ කමිටු කාමරයෙන් පිටතට පැමිණි පසුව අනුර කුමාර, අජිත් පී. පෙරේරා හා මහින්ද දේශප්‍රිය සයිටම් හා ටියුෂන් පිළිබඳ කතාබහක නිරත විය.
ටියුෂන් බරපතළයි
උසස් පෙළ අධ්‍යාපනය හදාරන දරුවෙකුට සාමාන්‍යයෙන් ටියුෂන්, ගමන් වියදම් සහ කෑම බීම සඳහා රුපියල් 30,000ක් පමණ වැය වන බව මහින්ද දේශප්‍රිය ඔවුන්ට පැවසීය.
එය අසා සිටි අජීත් පී. පෙරේරා, අනුරට පැවසුවේ,
''බණ්ඩාරගම ළමයෙක් සාමාන්‍ය පෙළ පාස් වෙලා ඩී.එස් එකට ආවා උසස් පෙළට. මේ ළමයගේ ටියුෂන් පංති ගාස්තුව විතරක් රුපියල් 12,750ක් යනවා කියල මට කිව්වා. සයිටම්වලට වඩා ටියුෂන් බරපතළ වෙලා තියෙන්නේ දැන්''
තවත් අරගලයක්?
පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධ විමර්ශන බොහොමයක් අවසන් වී තිබුණද මේ සම්බන්ධ නීතිමය කටයුතු මන්දගාමී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි පෙළ මැති ඇමැතිවරුන් පිරිසක් සාකච්ඡා කළේ එම කටයුතු වේගවත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
හරීන් ප්‍රනාන්දු, රුවන් විජයවර්ධන, නිරෝෂණ පෙරේරා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන කණ්ඩායම දින දෙක තුනක්ම මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ඇමති විජයදාස රාජපක්ෂ මේ සම්බන්ධ අධිකරණ කටයුතු මන්දගාමීව සිදුකරන බව අජිත් පී. පෙරේරා විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
කෙසේ වුවද මෙම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද දැනුවත් කර ඔවුන්ගේ සහයෝගයෙන්ද අරගලයක් දියත් කිරීමට ඔවුන් සූදානමින් සිටියි.
ඩීල් දාන හැටි දැක්කද?
බදාදා පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරතුරදී පාර්ලිමේන්තු පුස්තකාලය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන ආකාරය එහි යන එන කාටත් දැකිය හැකි විය. වෙනම පුටු තුනක් එක පෙළට තබාගෙන ඔවුහු බර සාකච්ඡාවක යෙදී සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සමග මලික් සමරවික්‍රම මෙම කතාබහේ යෙදී සිටි අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානයකට ලක්ව තිබුණි. රවි කරුණානායක සහ බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මෙහිදී සාකච්ඡා වූ බව පසුව ආරංචි විය.
මෙම සාකච්ඡාව අඩුම වශයෙන් පැය එකහමාරක් පමණ පැවැත්විණි.
''ඩීල් දාන හැටි දැක්කද? දැක්කෙ නැත්නම් ගිහින් බලාගන්න'' ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකාට පවසන්නට වූ අතර, ඔවුන් වරින් වර ගොස් එම දසුන දැක බලා පැමිණියහ.
හොරු නොරකින ඇමතිවරු
එදිනම පාර්ලිමේන්තු භෝජනාගාරයේදී හමුවූ මන්ත්‍රීවරුන්ගේ වැඩි අවධානය යොමුව තිබුණේ රවි කරුණානායක ඇමතිවරයා සහ බැඳුම්කර සිද්ධිය පිළිබඳවයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබුණේද මේ ගැනය.
දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුණගැසුණි. ''රවිට දැන් මොකද වෙන්නේ?'' කියා එම මන්ත්‍රීවරුන් විමසූ විට ඇමතිවරුන් දෙදෙනාම පවසා සිටියේ වැරදි කළ අයට දඬුවම් ලැබිය යුතු බවයි. වංචා දූෂණ වලට සම්බන්ධ අය ඇමති ධුරවලින් ඉවත්විය යුතු බවද ඔවුහු පවසා සිටියහ.
''අපි හොරු රකින්නේ නෑ මන්ත්‍රීතුමා'' ඔවුන් දෙදෙනාගේම අදහස එය විය.
රනිල්ට මලික්ට ගැලවෙන්න දෙන්න බැහැ එක් මේසයක පද්ම උදය ශාන්ත සහ ජයන්ත සමරවීර කතාබහ කරමින් සිටියහ. එහිදී පද්ම උදය ශාන්ත කීවේ,
''මේ ප්‍රශ්නෙදි තනිකරම රවි කරුණානායකව විතරක් හිර කරලා තියෙනවා. ආණ්ඩුව බලන්නේ ඇත්ත හොරු වහන්නයි. ඒක හින්දා තමයි රවි කියන්නේ ඉල්ලා අස්වෙන් නෑ කියලා. එහෙම කියන්නේ තව හොරු ඉන්න නිසයි. රවිට අමතරව තව කිහිප දෙනෙක් හෙළිදරව් වෙන්න ඕන. ඒ නිසා මේක වහගන්න ආණ්ඩුව උත්සාහ දරාවි'' යනුවෙනි.
එවිට ජයන්ත කීවේ,
''මේ හොරු ටික රටට හෙළිකරන එක අපේ යුතුකමක්. මේකට අනිවාර්යයෙන්ම පුට් නෝට් කල්ලිය සම්බන්ධයි. ඒකට මේකෙන් සල්ලි ගියා. අගමැති උපදෙස් දුන්නා කියල අර්ජුන් මහේන්ද්‍රන් මීට කලින් කිව්වනේ. මලික් සමරවික්‍රම මේක යටින් හිටියා'' ලෙසයි.
ඒ නිසා මේකට විරුද්ධ සිදුකරන සටන තවත් පුළුල් කරන්න ඕන. සියලුදෙනා ගෙන්වලා විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු අපි අරගලයේ ඉන්න ඕන'' පද්ම උදයශාන්ත අනතුරුව පවසා සිටියේය.
ආණ්ඩුව හැමදාම කියන නෙළුම් කවි, ගොයම් කවි
ඊට යාබද මේසයේ සිටි විමල් වීරවංශ කීවේ,
''අගමැති හැමදාම ඇවිත් කතා කරන්නේ හැමදාම කියන නෙළුම් කවි, ගොයම් කවි වගේ කුණු කන්ද ගැන විතරයි. එකම දේ හැමදාම කියනවා. මේ ආණ්ඩුවට කුණු කන්දක්, ණය කන්දක් තියෙනවට අමතරව දැන් රවි වගේ කුණු කන්නොත් ලැබිල තියෙනවා. අගමැති මේ කුණු කන්නෝ ගැන කතා කරන්නෑ''
මෙම මේසයේ විමලවීර දිසානායක, සිසිර ජයකොඩි හා කාංචන විජේසේකර සිටියහ.
''රවි කරුණානායක මුහුණුවරින් එළියට පෙනුනට අර්ජුන් මහේන්ද්‍රන් පත් කළ විෂය භාර ඇමති විදියට හිටියේ අගමැති රනිල්. ඒ හින්දා රනිල්ට මේ කාරණයෙන් ගැලවී යන්න ඉඩ දෙන්න බැහැ. ඔහුත් මේකේ කොටස්කරුවෙක්. රනිල් ගැලවෙන්න හදන උත්සාහය පරාජය කරන්න අපි මොනවා හරි කරන්න ඕන'' යනුවෙන් එහිදී විමලවීර දිසානායක කීවේය.
මෛත්‍රී අයින් නොකරන හේතුව
පසුගිය සෙනසුරාදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ලේ හා පස්සර ආසනවල රැස්වීම්වලට කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ, චාමික බුද්ධදාස සහභාගි වූහ. ‘
''වෙල්ගම ඇමතිතුමා බදුල්ලට ආවට පස්සේ පාට වැටිලනේ'' පිරිස තේ පානය කරන අවස්ථාවේදී ඉන්දික කීවේය.
''මගේ හිත කොහොමත් හොඳයිනේ බං... ඒ හින්දා තමයි පාට වැටිලා තියන්නේ'' වෙල්ගම ඊට උත්තර දුන්නේය.
''සර් මෙහෙට ආවට පස්සේ මං දැක්කා ඩිලාන් කියල තියෙනවා පිටගම්කාරයා කියලා'' ඉන්දික පැවසූ විට වෙල්ගම කීවේ
''ඔව් ඔව් ඒකනම් ඇත්ත... මාත් එක්ක වෙන ඇරියස් එකක් ඩිලාන්ට තියෙනවා''
ඒ ඇරියස් එක මොකද්දැයි ප්‍රසන්න ඇසූ විට
''නෑ නෑ මචං ඩිලාන් එක්ක වෙන නෝනලා ඉන්නෙ නැහැනේ... ඔක්කොම දාල යනවා... හැබැයි මං ළඟට එන අය දාල යන්නෙ නෑ.. ඉන්නවා'' වෙල්ගම දුන් උත්තරයට සියලුදෙනාම සිනහ වූහ.
''මෛත්‍රී අපිව මේ වෙනකොටත් අයින් කරලා... ප්‍රසන්න කිව්ව හේතුව හින්දා තමයි අපිව අයින් කරන්න බැරිව ඉන්නේ'' වෙල්ගම කතාව වෙනත් පැත්තකට යවමින් පැවසූ අතර, ප්‍රසන්න ඇසුවේ ''මොකද්ද සර් ඒ කතාව'' කියාය.
''ඇයි ඔයා කියල තිබුණේ පොදුජන පෙරමුණට අපි යන නිසා අයින් කරනව නම් ඉස්සෙල්ලාම අයින් කරන්න වෙන්නේ මෛත්‍රීව කියලා. ඒක හින්දා තමයි අයින් කරන්නැතිව ඉන්නේ. 113 ගැන මෛත්‍රී කියාගෙන යනවා... අපි 113 හදාගත්තට පස්සේ මෛත්‍රීගේ නෙමේ කාගෙවත් අවසර ඕන නෑ.. මහින්ද මහත්තයා පුටුවෙ වාඩි කරවනවා'' වෙල්ගම දැඩිව පවසා සිටියේය.
අම්මව පටලවාගෙන තාත්තගෙ දේශපාලන ගමන නවත්වන්න හිතනවා නම් ඒක වැරදිලා
පසුගිය ඉරිදා ජාඇල පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මන්ත්‍රණයට නාමල් රාජපක්ෂ සහභාගි විය. රැස්වීම අවසන් වී ශාලාවෙන් පිටතට යෑමට නාමල් උත්සාහ ගත්තද ජනතාවගේ තෙරපුම නිසා ඔහු විනාඩි 20ක් පමණ සිරවී සිටියේය.
කාරණය කුමක්දැයි විමසා බලද්දී වැටහුණේ රැස්වීමට පැමිණි තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකු නාමල් වටකරගෙන සෙල්ෆි ඡායාරූප ගන්නා නිසා මෙම තෙරපුම ඇතිවී තිබෙන බවය. පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරාගේ නිවසට ගිය නාමල් ඇතුළු පිරිස තේ පානය කරන අතරතුරදී ශිරන්ති රාජපක්ෂ සම්බන්ධව කතාබහක් ඇතිවිය.
''ඇත්තටම අම්මා වැරදි කරලා නැහැ. ආණ්ඩුව කතා හදලා මවලා රටට පෙන්වන්න හදනවා වෙනත් කතාවක්. මේ වෙලාවේ රවිගේ සිද්ධියත් එක්ක ආණ්ඩුව පත්වෙලා ඉන්න අසීරුවෙන් ගොඩ එන්න තමයි අපේ අම්මා පටලවන්න හදන්නේ'' නාමල්ගේ පිළිතුර විය.
''ආණ්ඩුවේ මහත්වරු කරන දේවල් මටයි, තාත්තටයි දරාගන්න පුළුවන්. මොකද අපි දෙන්නා විතරයි අපේ ගෙදරින් දේශපාලනය කරන්නේ. අම්මව පටලවගෙන තාත්තගේ දේශපාලන ගමන නවත්වන්න ඒ අය හිතනවා නම් ඒක වැරදිලා'' නාමල් දැඩිව කියූ කාරණය අවට සිටි අය ඉතා ඕනෑකමින් අසා සිටියහ.
ඒකාබද්දේ මන්ත්‍රීවරු හිස් කොළයකට අත්සන් තියලා
ඒකාබද්ධ විපක්ෂය විසින් අත්සන් කළා යැයි කියන විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සොයා ගැනීමට විජිත හේරත් මන්ත්‍රීවරයා කටයුතු කරන අතරේ ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන්ද මේ පිළිබඳව විමසා සිටියේය. එයට හේතුව වී තිබුණේ විශ්වාසභංග යෝජනාවේ නීතිමය ප්‍රශ්නයක් තිබෙන බවට ඇතිවූ විවේචනයක් නිසාය.
නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි. ඒ යෝජනාවේ ඇති කරුණු පිළිබඳව තමන් නොදන්නා බවකි. ඒ පිළිබඳව කරුණු දැන සිටියේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පමණි. එයට හේතුව වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර තිබුණේ හිස් කොළවලට වීමය. අත්සන් ලබාගැනීමෙන් අනතුරුව යෝජනාව සකස් කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයාට පසුව දැනගන්නට ලැබිණි.
කුණු පොල් ගෙඩියේ කොයි බෑයත් එකයි
දූෂණ විරෝධී හඬ සංවිධානයේ විශේෂ හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් මෙම සාකච්ඡාවට එක්විය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ ආණ්ඩුව වංචා දූෂණ යට ගසමින් හොරු ආරක්ෂා කරන පිළිවෙත ජනතාවට හෙළිදරව් කළ යුතුය යන්නය. “පහුගිය ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කියලා බලයට ආපු මේ ආණ්ඩුව දැන් වංචා දූෂණ යටගහනවා.
එහෙම කරන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවත් ආපු දවසේ ඉඳලා කරන්නේ වංචා දූෂණ නිසා. දූෂණ මර්දන කමිටු කාර්යාලය වහලා පටන් ගත්තෙ ඒක” වසන්ත සමරසිංහ කීවේය.
''ඔව්, දැන් බැඳුම්කර වංචාව නිසා මේ ආණ්ඩුවට වංචා දූෂණ ගැන කතා කරන්න බැහැ. දැන් ආණ්ඩුවට සිදුවෙලා තියෙන්නේ පරණ හොරුයි අලුත් හොරු ආරක්ෂා කරන්න වෙන එක. දැන් රවි කරුණානායක තියාගන්නවද අයින් කරනවද කියන ප්‍රශ්නෙට ආණ්ඩුව මුහුණ දීලා. අපූරු වැඩේ කියන්නේ රවි ඉවත් කරලා දාන්න යන්නෙ තිලක් මාරපන'' සුනිල් හඳුන්නෙත්ති කීවේය.
''ඇවන්ට් ගාඩ් වංචාව නිසා ඉල්ලා අස්වුණු තිලක් මාරපන බැඳුම්කර ගනුදෙනුව නිසා ඉල්ලා අස්වෙන රවි වෙනුවට පත්කරන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් වෙලා. අර කතාවක් තියෙනවා කුණු පොල් ගෙඩියේ කොයි බෑයත් එකයි කියලා. මේ ආණ්ඩුවේ හොඳ ඇමතිවරු හොයන්නේ කොහෙන්ද?'' වසන්ත සමරසිංහ කීවේය.
''අපි මේ හොරු ගැන හෙළිදරව් කරන්න ඕනෑ. දඬුවම් දෙන පොලීසියේ උසාවියේ වැඩක් නමුත් මේවා ජනතාව දැනගන්න ඕනෑ'' සුනිල් හඳුන්නෙත්ති කීවේය. මේ අනුව හොරු රකින හොරු හෙළිදරව්ව නම් තේමාව යටතේ පසුගිය ආණ්ඩුවේත් මේ ආණ්ඩුවේත් වංචා දූෂණ ගැන සියලු තොරතුරු ඉදිරියේදී එකින් එක හෙළිදරව් කිරීමට දූෂණ විරෝධී හඬ සංවිධානය තීරණය කළේය.
ජනාධිපති කොමිසම් පත්කරන්න ජනාධිපති බය වෙලාද?
මීට මාස දෙකකට පමණ ඉහතදී උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විශාල කතාබහක් ඇතිවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කර තිබුණේ විශේෂ නියෝජිතයන් පිරිසක් ගෙන්වා උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව ලබාගන්නා විශේෂඥ වාර්තාවකින් පසුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
නමුත් පසුගියදා නෝර්වේ නියෝජිතයන් පිරිසක් පැමිණ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව කියා සිටියේ එම ව්‍යාපෘතියට නිසි පරිසර ඇගයීම් වාර්තාවක් හෝ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කර නොමැති බවයි. නමුත් එම නියෝජිතයන් කියා තිබුණේ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් නොවන බවයි.
මේ පරස්පරතාව සමන්ත විද්‍යාරත්න විසින් ප්‍රශ්න කළේය. නමුත් එයට නිසි ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි. මේ පිළිබඳව විජිත හේරත් මන්ත්‍රීවරයා සමන්ත විද්‍යාරත්නගෙන් විමසා සිටියේය. “ඇත්තටම ප්රශ්නය තිබුණේ පරිසර ඇගයීම් වාර්තාවක් නොතිබුණ එක. දැන් ආපු විශේෂඥයොත් ඒ බව කියනවා නමුත් මේක නවත්වන්නේ නැත්තේ ඇයි?” විජිත හේරත් විමසා සිටියේය.
''අපිටත් තියෙන ප්රශ්නය ඒක තමයි. අපි මීට කලින් ජනාධිපතිතුමා හමුවුණාම කිව්වා මේ ව්‍යාපෘතිය ගැන ජනාධිපති කොමිසමක් දාන්න කියලා. එතකොට කිව්වා පිටරටින් විශේෂඥයෝ ගේනවා කියලා. ගෙනාවට පස්සෙ ඒ අය කියනවා ප්‍රශ්නයක් තියෙනවා නමුත් කරගෙන යන්න කියලා.
ඒක නිසා තමයි අපි කිව්වේ ජනාධිපති කොමිසමක් දාන්න කියලා. ඒත් දැන් ජනාධිපතිතුමා කොමිෂන් දාන්න බයවෙලාද කොහෙද? බැඳුම්කර වංචාවෙන් හොරු ටික හෙළි වුණා වගේ උමා ඔය ව්‍යාපෘතියට වගකිව යුතු අය හෙළිවෙයි කියලා එතුමා බයවෙලා ඇති. ඒ නිසා කොමිෂන් පත්කරන්නේ නැහැ'' සමන්ත විද්‍යාරත්න කියා සිටියේය.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd