කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහයන් විසින් ජාතික සහ ගෝලීය ප්රවණතා පිළිබඳ රචිත තීරු ලිපි එකතුවක් 'සිව්මාන' නමින් මාර්තු මස 15 වැනිදා පස්වරු 3.00ට කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.
ආචාර්ය වීරසිංහයන් මෙරට මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්රයට සුවිශාල සම්ප්රදානයක් සිදුකළ විද්වතෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් මෙන්ම බුද්ධිමතෙකු වශයෙන්ද මතවාදී තලයේදී ජනමාධ්‍ය ඇතුළු විවිධ මහජන කක්ෂයන්හි ප්‍රබල භූමිකාවක් හිමි කර ගැනීමට හේ සමත් විය. අදට ද ඔහු නොකඩා සිය ශාස්ත්‍රීය සම්ප්රදානය රට වෙනුවෙන් කරමින් සිටී.
සිව්මාන තීරු ලිපි තුළින් ආචාර්ය වීරසිංහයන් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, දෘෂ්ටිවාදී, පාරිසරික, විද්‍යා, තාක්ෂණික, දාර්ශනික ආදී ක්ෂේත්‍ර විශාල සංඛ්‍යාවක් පිළිබඳ ලිපි රචනා කර තිබේ. ආචාර්ය වීරසිංහයන් විසින් අවධානයට පාත්‍ර කරන කේන්ද්‍රීය ක්ෂේත්රයක් වන්නේ ලෝකයේ දෘෂ්ටිවාදී (Ideology) ගොඩනැගීම්ය. ඔහුගේ රචනාවන්හි මූලික තේමාවක් වශයෙන් ද විශද වන්නේ මෙම දෘෂ්ටිවාදී බෙදීමයි.
දෘෂ්ටිවාදයක් යනු කිසියම් තනි පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ සමාජයක් විසින් පිළිගන්නා විශ්වාසයන්ගේ එකතුවකි. දෘෂ්ටිවාදයක් යනු නිතැතින්ම ප්‍රතිමානීය දැක්මකි (normative vision). ප්‍රතිමානීය වශයෙන් මෙහිදී ගැනෙන්නේ කිසියම් පරමාදර්ශී සම්මතයක් හෝ ආකෘතියක් මුල් කරගැනීමයි. යමක් සිදු කිරීම සඳහා ඇති වඩාත් යථාවිධ සහ නිවැරදි ම ක්‍රමය (normal or correct way) එම පරමාදර්ශී සම්මතය ම බව දෘෂ්ටිවාදයක දී පිළිගැනේ.
20 වැනි සියවසේ සෑහෙන තරම් කාලයක් ක්‍රියාත්මක වූ නිරවි යුද්ධය (Cold War) බොහෝ දෙනෙකු පවරනු ලබන්නේ දෘෂ්ටිවාදී බෙදීමකටයි. ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර ලෝකයේ ඇතැම් රටවල් එක් දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන සිටි අතර, සෝවියට් සමූහාණ්ඩුව ප්රමුඛ කරගත් තවත් රටවල් තවත් දෘෂ්ටිවාදයක් පදනම් කරගෙනත් සිටියේය. සෝවියට් දේශය මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටිවාදයක් පාදක කර ගත් අතර, ඇමෙරිකාව සහ බටහිර ලෝකයේ රටවල් නැමුණේ ලිබරල් ප්රජාතන්ත්රවාදටය.
දෘෂ්ටිවාදයක් යනු මිනිසුන් හා බැඳුණු සංසිද්ධීන් හෝ ප්රපංචයන් සම්බන්ධයෙන් අමූර්ත වූ අර්ථයක් (abstracted meaning) ගෙනදෙන්නකි. ඕනෑම දේශපාලනික හෝ ආර්ථික නැමියාවක් තුළ දෘෂ්ටිවාදයක් පෙන්නුම් කිරීමට ඉඩ තිබේ. අල්තූසරියානු අර්ථයෙන් (Althusserian sense) සඳහන් කරන්නේ නම් දෘෂ්ටිවාදයක් යනු පැවැත්ම පිළිබඳ සැබෑ තත්ත්වයන්ගේ පරිකල්පනීය සම්බන්ධයකි. දෘෂ්ටිවාදය පිළිබඳ අදහස ප්‍රංශ විප්ලවය දක්වා ඈතට ඇදී යයි.
හංගේරියානු සමාජ විද්‍යාඥයෙකු වූ කාර්ල් මැන්හයිම් (Karl Mannheim) පෙන්වා දෙන පරිදි නැපෝලියන් බොනපාට් විසින් දෘෂ්ටිභාෂකයන් (ideologues)වශයෙන් හඳුන්වනු ලැබූ කොට්ඨාසය හැඳින්වීම සඳහා උපහාසාත්මක අර්ථයෙන් යෙදූයෙදුම ඔස්සේ දෘෂ්ටිවාදය නම් යෙදුම සමාජගත වූ බවයි.
කෙසේවෙතත්, අද වනවිට පශ්චාත්-දෘෂ්ටිවාදී (post-ideological) තත්ත්වයක් ඇති වී තිබෙන බව ෂාක් රන්සියර්,(Jacques Rancière), ඇලන් බදියුආදී දාර්ශනිකයෝ විශ්වාස කරති. නැගෙනහිර කොමියුනිස්ට් බල කඳවුර (Eastern Communist Bloc)බිඳ වැටීමත්, ඊට පෙර බර්ලින් තාප්පය කඩා දැමීමත් සමගින් පශ්චාත් දෘෂ්ටිවාදී කතිකාව පෙරමුණට පැමිණියේය.
ආචාර්ය ටියුඩර් වීරසිංහයන් විසින් සිය තීරු ලිපි මාලාව රචනා කරනු ලබන්නේ මෙවැනි වපසරියක් තුළය. ඇන්තනි ගිඩන්ස්, උල්රිච් බෙක් වැනි පශ්චාත් කාර්මික සමාජ විද්‍යාඥයන්ගේ අදහස (post-industrial sociologists)වන්නේ ලෝකයේ සුභසාධනය කේන්ද්‍ර කරගත් දේශපාලන ව්‍යායාමය ප්‍රතිස්ථාපනය කරමින් පශ්චාත් දෘෂ්ටිවාදී ලෝකය තුළ අවදානම් කළමනාකරණය පෙරට පැමිණ ඇති බවයි.
එනම් මිනිසුන්ට සුභසාධනය ලබා දීම වෙනුවට ඔවුනට ඇතිවන සහ ඇති විය හැකි අවදානම කළමනාකරණය යන ආස්ථානය කරා ආණ්ඩු යොමු වෙයි. මෙහිදී පුද්ගලභාවය කෙරෙහි ප්‍රමුඛත්වය හිමි වේ. සාමූහික අර්ථයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය හැඩගැස්වීම අතපසු කෙරේ. ඒ ඔස්සේ අධිකාරීත්වය කෙරෙහි පවත්නා වූ සමාජ සම්බන්ධතාද අලුත් මානයක් කරා පරිණාමය වී තිබේ.
ආචාර්ය වීරසිංහයන් විසින් සිය සිව්මාන තීරු ලිපි එකතුව මගින් හසු කර ගැනීමට උත්සාහ ගැනෙන්නේ ද පශ්චාත් දෘෂ්ටිවාදී තත්ත්වයන්ට ගැළපෙන ජාතික සහ ගෝලීය ප්රවණතා යැයි පැවසීම සදොසක් නොවේ. සිරියානු අර්බුදය, ගෝලීය පරිසර ගැටලූව, රියෝ + 20, කොමියුනිස්ට්වාදයේ බිඳ වැටීම සහ දෘෂ්ටිවාදය, ගෝලීය සංක්‍රමණ, ගෝලීය අධ්‍යාපන අර්බුදයේ ජාතික ස්වරූපය ආදී තීරු ලිපි මගින් විග්රහ කිරීමට උත්සාහ දරා ඇත්තේ මෙම පශ්චාත් දෘෂ්ටිවාදී ලෝකයේ යම්යම් පර්යාවලෝකයන්ය.
විශේෂයෙන් නව ගෝලීය පාරිසරිකවාදී දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් ආචාර්ය වීරසිංහයන් විසින් ගෙන එනු ලබන සංවාදය සිංහල භාෂක සමාජයේ පුරෝගාමී තත්ත්වයක් පෙන්නුම් කරයි. මක් නිසාද යත් මෙරට බොහෝ මාධ්‍ය සහ අධ්‍යයන පරිස්ථිතීන්හි දී අවධානය හෙළිදරව් වන්නේ පරිසර ගැටලුව සම්බන්ධයෙන් ගොඩනැගෙන ඒකමානීය මතයකි.
එය බටහිර ලෝකයේ අධිපති මාධ්‍යය විසින් ප්‍රචාරය කෙරෙන මතය ම වේ. ඇතැම් පරිසර අධ්‍යයනයන් සම්බන්ධයෙන් මූල්‍ය සම්පාදනය කෙරෙන්නේ ම විවිධ අරමුණු සහිත ආයතන සහ සංවිධාන වන අතර, ඒ ඔස්සේ විද්‍යාත්මක නොවන සහ තහවුරු නොකරන ලද තොරතුරු සියුම් ලෙස ජනගත කරමින් (well-funded misinformation campaigns) නව දෘෂ්ටිවාදයක් ගොඩනැගීමේ ව්‍යායාමයක් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී. උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම ඉහළ යෑම පිළිබඳ ගොඩනගන ලද මතය ද අභියෝගයට ලක්වෙමින් පවතී. මෙනයින් ආචාර්ය වීරසිංහයන්ගේ වෑයම බොහෝ අංශවලින් ඇස් අරවන්නක් බව පෙනේ.
දර්ශන අශෝක කුමාර