මේ වර්ෂය ආරම්භ කළේ පරිසර හිතකාමී දේශයක් ගොඩනැගීමේ අරමුණින් පරිසරයට අහිතකර පොලිතින් වැටලීමත් සමගය. පොලීසියේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය එක්වෙමින් ජනවාරි පළමුවැනිදා සිට වැටලීම් සිදුකළ අතර, පැවති පළාත් පාලන මැතිවරණයද පොලිතින්වලින් තුරන් වූ එකක් විය. එක් අතකින් සාමකාමී මැතිවරණයක් පැවතීමට මෙයද හේතුවක් විය හැකිය. දැන් පවතින තත්ත්වය පිළිබඳ විමසීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ අජිත් වීරසුන්දර මහතා අපි %අද^ හා සම්බන්ධ කර ගත්තෙමු. මේ පිළිබඳ ඔහු මෙසේ අදහස් දැක්වීය.
Q තහනම් කරන ලද පොලිතින් ප්ලාස්ටික්වල වැටලීම්වල තත්ත්වය මේ වන විට කුමන අයුරින්ද සිදුවෙන්නේ?
මැතිවරණ කාලයේ වැටලීම් කටයුතු නිසි ආකාරව සිදුකරන එක තාවකාලිකව නතරකර දමා තිබුණා. නමුත් පසුගිය සතියේ සිට නැවතත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ඒ මගහැරුණ කාලසීමාව තුළ නැවතත් තහනම් කරන ලද පොලිතින්, ලන්ච්ෂීට් වෙළෙඳ පොළට ඇවිත් තිබෙනවා.
කලින් රුපියලක් දීල ගත්ත ලන්ච්ෂීට් එක දැන් රුපියල් තුනක් වගේ ප්‍රමාණයක් වෙනවා. මෙය තහනම් කර දැනට මාස කිහිපයක් ගත වුවත් විකල්ප නිෂ්පාදනවල මිල අඩුවීමක් තවමත් පෙනෙන්නට නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නේ?
මේවායේ ප්‍රධාන ප්රශ්නය තමයි තහනම් කරන ලද නිෂ්පාදන තවමත් වෙළෙඳ පොළේ පැවතීම. අපි ඔවුන්ගේ තහනම් කරන ලද පොලිතින් නිෂ්පාදන අවසන්කර ගැනීම සඳහා යම් කාලයක් ලබාදුන්නත් තවමත් හොර රහසේ මෙම නිෂ්පාදන බෙදාහැරීම් කටයුතු සිදුවෙනවා. අපි වැටලීම් සිදුකරද්දී මෙවැනි දේවල් වෙළෙඳුන් අලෙවි කරන්නේ හෝ බෙදාහැරීම් සිදුකරන්නේ නැහැ. ඒ නිසා ඒවා බොහෝ විට අපට අසුවෙන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලයේ හොර රහසේ බෙදාහැරීම් හා නිෂ්පාදනය කිරීම් සිදුවෙනවා.
Q ජෛව හායනයට ලක්වන පොලිතින් නිෂ්පාදනය කරන ආයතන කොපමණ ප්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරිය යටතේ දැනට ලියාපදිංචි වී තිබෙනවාද?
දැනට එවැනි ආයතන 30ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා. නමුත් මේ සියල්ලගේම ජෛව හායනයට ලක්වන නිෂ්පාදන සියල්ලම වෙළෙඳ පොළට නිකුත් කරලා නැහැ. මේ සඳහා ඉතා හොඳ වෙළෙඳ පොළක් සකස් වෙන්න නම් මුලින්ම තහනම් වූ පොලිතින් ඉවත්කරන්නට ඕන. සාමාන්‍යයෙන් අඩුවට යම් දෙයක් වෙළෙඳ පොළේ තිබියදී එවැනිම ආදේශකයක් මිල අධික ලෙසින් වෙළෙඳ පොළට ආවම එවැනි දේ ගැනීමට ලාංකේය පාරිභෝගිකයා කිසිසේත්ම පෙළඹෙන්නේ නැහැ. මොකද පාරිභෝගිකයා කොච්චර පරිසර හිතකාමී වුවත්, වැඩි මිලක් දීලා එය ගන්න පෙළඹෙන්නේ නැහැ. හැමෝම බලන්නේ ලාභ දෙයක් ගන්නනේ.
Q ඔවුන් හා පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවා හොඳ වෙළෙඳ පොළක් ආවොත් පහසු මිලකට දෙන්න පුළුවන් කියලා. එවැනි වෙළෙඳ පොළක් තවම සකස් වෙලා නැද්ද?
ව්‍යාපාර ක්ෂේත්රයේ ඉන්න ඕනෑම කෙනෙක් උත්සාහ කරන්නේ යම් දෙයක් නිෂ්පාදනය කරලා වැඩි ලාභයක් ලබන්න. ඒ නිසා තමයි ඔවුන් පරිසරයට අහිතකර තහනම් කළ පොලිතින් නිෂ්පාදනය කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා පරිසර හිතකාමී පොලිතින් වෙළෙඳ පොළ තුළ ප්‍රචලිත වෙන්න තව ටික කලක් යයි.
Q රජයෙන් මෙවැනි ජෛව හායනයට ලක්වන පොලීතින් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා යම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවාද?
මෙවැනි නිෂ්පාදන ආයතනවලට අලුතින් යන්ත්‍රෝපකරණ ගෙන ඒමට, තිබෙන යන්ත්‍රෝපකරණ ජෛව හායනයට ලක්වන පොලිතින් නිෂ්පාදනය කරන්න පුළුවන් ආකාරයට සකස් කරන්න ණයක් ගත්විට ඒ සඳහා 50෴ක සහනයක් ලබාදෙන්න මෙවර අයවැය තුළින් අනුමත වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් හා ක්‍රියාපටිපාටිය දැනගන්න අපව දැනුවත් කරන ලෙස අපි ඒ කර්මාන්ත හිමියන්ට දැනටත් දැනුම් දීම් සිදුකරලා තිබෙනවා. ඒ ඔස්සේ අපි අපේක්ෂා කරනවා ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමට.
Q මේ දක්වා වැටලීම් කොපමණ ප්‍රමාණයක් සිදුකර තිබෙනවාද? එය සිදුකරන්නේ කෙසේද?
ඒ පිළිබඳ නියමිත දත්ත වාර්තාව මේ වන විට සකස් කරමින් පවතිනවා. දැනට අපි 200කට අධික ප්‍රමාණයක් වැටලීම් සිදුකර තිබෙනවා. මෙම වැටලීම් සිදුකරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින්. අපි වැටලීම් සඳහා යන විට පොලීසියේ සහයෝගයද ලබාගන්නවා. අපි ඔවුන් සමග තමයි වැටලීම් කටයුතු සිදුකරන්නේ. ඔවුන්ගේ සහයෝගය අපිට අත්‍යවශ්‍ය නිසා අපි ඔවුන්ට මේ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදුන්නා.
අපි කර්මාන්තයක් හෝ වෙළෙඳ පොළ පරීක්ෂා කරන්න යන විට ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම අපි සාම්පල් ගන්න විට පොලීසියේ සහයෝගය තිබෙන එක ඉතා වටිනවා.
පරිසර අධිකාරය ලෙසින් මේ පිළිබඳ තීරණ ගැනීමේ බලතල පොලීසියට ලබාදීමට අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා. මොවුන්ට මේ බලතල හිමිවෙන්නේ ජාතික පරිසර ආරක්ෂක පනතින්. පොලීසියට තවමත් සෘජුව මැදිහත් වීමේ හැකියාවක් නැහැ.
ඇතැම් රසායනික නිෂ්පාදන පරිසරයට අහිතකරයි. ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්වලින් සකස් කළ සෙල්ලම් බඩු පාරිභෝගික සේවා අධිකාරිය මගින් ඇල්ලුවත්, තවමත් ලංකාවට එවැනි නිෂ්පාදන අඩු මිලට තොග වශයෙන් පැමිණෙනවා. එවැනි දේවල් ගැන යම්
Q ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන්නේ නැද්ද?
අපි එවැනි දේ පිළිබඳ සෘජු ක්‍රියාමාර්ග මෙතෙක් අරගෙන නැහැ. නමුත් තීන්ත වර්ග (paint) පාවිච්චි කරනකොට ඒවායේ අනිවාර්යයෙන් ප්‍රමිතියක් තිබෙන්නට අවශ්‍යයි. ඒ නීතිය දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ සියල්ල වැටලීම් සිදුකරනවා. සෙල්ලම් බඩු ගැන හෝ රට තුළ එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වැටලීම් කිරීමේ බලය තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියටයි.
Q මෙවැනි දේ අවසානයේ එකතු වන්නේ පරිසරයටයි. ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරියටත් ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා නේද?
අපි එවැනි අහිතකර දේවල් වළක්වන්න නොයෙක් අවස්ථාවල පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව සියල්ල එකතු වී තමයි ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ. අපේ ආයතන සියල්ල එකතුව ගන්න ක්‍රියාමාර්ග තමයි නොයෙක් ආයතන හරහා ක්‍රියාත්මක වන්නේ.
Q ඉදිරියේදී ඔබ අධිකාරිය මෙවන් පරිසරයට අහිතකර තවත් දේවල් පිළිබඳ යම් පියවරක් ගන්න අපේක්ෂා කරනවාද?
පරිසරයට අහිතකර පොලිතින් තහනම් කරන්න ලැබීමම අපි ලැබූ විශාල ඉදිරි පියවරක්. අපි ඉදිරියේදී තව තවත් එවැනි පරිසරයට අහිතකර දේවල් තහනම් කරන්න අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් ඉදිරියට යන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. ඇත්තෙන්ම රසායනික ද්‍රව්‍ය වලින් පරිසරයට හා සෞඛ්‍යයට ඉතාම ප්‍රබල බලපෑමක් සිදුකරනවා. එවැනි දේ පිළිබඳවත් අපි තීරණයක් ගන්න අපේක්ෂා කරනවා.
Q ජනවාරි පළමු වෙනිදා සිට දියත් කළ තහනම් කරන ලද පොලිතීන් වැටලීමේ මෙහෙයුම කවදා වන තෙක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවාද?
වැටලීම් නිරන්තරයෙන් පැවැත්වෙනවා. එය දිර්ඝ කාලීනව සිදුකරන දෙයක්. අපේ පරීක්ෂාවත් සමග මේ තහනම් කළ පොලිතින් කොපමණ කලක් ලංකාව තුළ තිබෙන්නේද යන්න තීරණය වෙනවා.
Q මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොලිතින් තහනම් කළා. ඒ අනුව ලංකාවේ පොලිතින්වලින් තොර සාමකාමී මැතිවරණයක් ක්‍රියාත්මක වුණා. ඒ ගැන යමක් සඳහන් කළොත්?
මේ පාර පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ සැරසිලි සඳහා පොලිතින් ඉතාම අවම වශයෙන් තමයි භාවිතයට ගෙන තිබුණේ. ඉතිහාසයේ මෙතෙක් නොදුටු සාමකාමී මැතිවරණයක් පවත්වන්න එයත් එක් අතකින් හේතුවක් වුණා. නැතිනම් මැතිවරණය කාලයේ පොලිතින් සඳහා විශාල වියදමක් දරා සිදුකරන සැරසිලි නිසා පරිසරයට සිදුවන හානියත් ඉහළයි. නමුත් මෙවර එසේ මැතිවරණය නිසා පොලිතින් පරිසරයට එකතු වුණේ නැහැ. ඒ වගේම එනිසා පරිසරය දූෂණය වීමක් සිදුවුණෙත් නැහැ. මේ සඳහා පොලිතින් තහනම් කළ දෙය 95%ටත් වඩා සාර්ථක වෙලා තිබෙනවා.