හෙද සේවාවේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන පසුබිමක එයට විරෝධය පා ඊයේ (22දා) ප්‍රධාන රෝහල් ඉදිරිපිටට පැමිණි හෙද නිලධාරීහු උද්ඝෝෂණ ව්‍යාපාරයක යෙදුණහ. සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කර තිබූ එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථකභාවයත්, ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතාගෙන් මෙලෙස විමසීමක් සිදු කළෙමු.
Q ඊයේ පැවැති විරෝධතාව සාර්ථකද?
අපි රටේ ප්‍රධාන රෝහල් ගණනාවකම ඉදිරිපිට විරෝධතා පැවත්වූවා. ඊට අමතරව රෝහල්වල හෙද කාර්යමණ්ඩලය එකතු කරගෙන රෝහල් තුළ විරෝධතා රැස්වීම් පැවැත්වුවා. අපි එය ප්‍රධාන රෝහල් ගණනාවක සාර්ථක අයුරින් පවත්වනු ලැබුවා. මුලින් අපි ඊයේ දිනයේ වැඩ වර්ජනයක් සිදුකරන්නයි සංවිධානය කර තිබුණේ.
නමුත් පසුගිය සඳුදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ (පාලන) අතිරේක ලේකම්වරයා වන අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී ඔහු අපට පැවසුවා රජයෙන් මේ ගැටලු සාකච්ඡාවට දිනයක් ලබාගැනීම සඳහා මැදිහත් වන බව. එහෙයින් වැඩ වර්ජනය නවතා සහයෝගය ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීමට ඇහුම්කන් දීමක් ලෙස අපි වැඩවර්ජන ක්‍රියාමාර්ගය නැවැත්වුවා. ඒ වෙනුවට අපේ විරෝධතාව තවදුරටත් තිබෙන බව දැන්වීම සඳහා මෙලෙස ඊයේ විරෝධතාව දක්වා සිටියා.
Q හෙද නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් විරෝධතාවට සහාය දැක්වූවාද?
අපි විශ්වාස කරනවා හෙද නිලධාරීන් පන්දහසත්- හයදහසත් අතර පිරිසක් මේ විරෝධතාවට එක්වන්නට ඇති බව.
Q හෙද සේවාවේ පවතින ගැටලු ඔබ සංගමය රජයට ඉදිරිපත් කරන්නේ කොපමණ කාලයක සිටද?
යහපාලන ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ තිබෙන කාලයේදී පවා මේ සම්බන්ධයෙන් ඇමතිවරයා සමග සාකච්ඡා කළා. 2015 වසරේ නැවත සාකච්ඡාවක් කැඳෙව්වා. 2016 මාර්තු, පෙබරවාරි මාසවල අපි උද්ඝෝෂණය කළා. නමුත් බලධාරීන් අපේ ගැටලුවලට ඇහුම්කන් දුන්නේ නැහැ. අපි මේ නිසා මේ වසරේ මාර්තු පළමුවැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළා. එයටත් ඇහුම්කන් නොදුන් නිසා තමයි අපට සිද්ධ වුණේ රෝහල් තුළ විරෝධතා සංවිධානය කරන්න.
Q රජයෙන් ගැටලුවලට කිසිම යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බවද ඔබ පවසන්නේ?
අමාත්‍යවරයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. නිලධාරීන් යම් යම් උත්සාහ අරන් තියෙනවා. නමුත් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන තරම් එම උත්සාහයන් ඵල දරලා නැහැ.
Q ඔබේ ඉල්ලීම් අතර පවතින්නේ මොනවාද?
දැනට තිබෙන ශ්‍රී ලංකා හෙද ව්‍යවස්ථාව අලුත් කළ යුතුයි. එය අපේ එක ඉල්ලීමක්, මීළඟ එක තමයි අපේ බරපතළ වැටුප් විෂමතාවක් තිබෙනවා. ජ්‍යෙෂ්ඨ හෙදියන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා. ඒ වගේම විෂමතා ඉවත්කළ අයගේ හිඟ වැටුප් කපලා තිබෙනවා. ඒ අනුව අපි කියනවා විෂමතා ඉවත් කර හිඟ වැටුප් ලබාදෙන්න කියලා. මීළඟට අතිකාල දීමනා අපට ඉතාම පහළ අගයකිනුයි ගෙවන්නේ. සාමාන්‍ය පැයකට ගෙවන මුදලටත් වඩා අඩු මුදලක් අපේ අතිකාල ලෙස ගෙවන්නේ.
එය ලෝකයේ කොහේවත් නැති ක්‍රමයක්. එය වහාම වෙනස් කරන ලෙස අපි ඉල්ලනවා. මීළඟට අනතුරු දීමනාව රුපියල් පන්දහස දක්වා වැඩි කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ප්‍රජා සෞඛ්‍ය හා ප්‍රජා මානසික හෙද සේවාව ආරම්භ කරන ලෙස මේ ඉල්ලීම් අතර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේද සකසන්න, උපාධියට ගැළපෙන ලෙස විධිමත් වැටුප් තලයක් ලබාදෙන්න කියන ඉල්ලීම ඇතුළත් ඉල්ලීම් දහයක් අපි ඉදිරිපත් කර තිබෙනවා.
Q අනෙක් හෙද සංගම් මේ ඉල්ලීම් සමග එකඟද?
ඒ අය තමන්ගේ දේශපාලන බලය ගොඩනගන්න මැදිහත්වීම් සිදුකරමින් ඉන්නේ. සමන් රත්නප්‍රිය 06 වැනිදා වැඩ වර්ජනය කරනවා කියලා 04 වැනිදා ඔවුන්ගේ සංගමේ වාර්ෂික සමුළුවට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමතිවරයාට ආරාධනා කරනවා. හතර වැනිදා සමුළුවක් කරලා 06 වැනිදා වැඩ වර්ජන කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
ඒ විදිහට හෙද හෙදියෝ ගොනාට අන්දන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හාමුදුරුවෝ පසුගිය දිනක ක්ෂණික වැඩවර්ජනයක් කළා. එය ක්ෂණික වීම නිසාම අසාර්ථක වුණා. ඒ නිසා ඔවුන් ආණ්ඩුවට තහවුරු කර දී තිබෙනවා හෙද හෙදියන්ට ක්ෂණික වැඩ වර්ජන කරන්න බැරි බව. ඒවායින් වෘත්තීය සමිති අඩපණ කරලා දුර්වල කරලා පාලකයන් ඉදිරියේ දණගස්වලා තිබෙනවා. අපි ඒවා අනුමත කරන්නේ නෑ. ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග අපි ගන්නවා.
Q රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව වෘත්තීය සමිති ඉල්ලීම්වලට පිළිතුරක් ලෙස රජය ඉදිරිපත් කරනවා නේද?
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම හැමෝටම එක විදිහටයි හම්බ වුණේ. සෞඛ්‍ය සේවාවේ ඉන්න කනිෂ්ඨ සේවකයාගේ සිට එම වැඩිවීම සිදු වුණා. නමුත් හෙද සේවාවේ සුවිශේෂී ප්‍රශ්න තියෙනවා. ඒ ගැටලු විසඳන්න රජයට පුළුවන්. කිසිම රාජ්‍ය ආයතනයක අතිකාල සේවයට සාමාන්‍ය වැඩ කරන පැයකට ගෙවන මුදලට වඩා අඩු ගාණක් ගෙවන්නේ නැහැ. නමුත් හෙද සේවාවේ බරපතළ අසාධාරණයක් සිදු කරනවා. තවදුරටත් ආණ්ඩුව මේවා ඉවසන් ඉන්න කියනවා නම් එය පුදුම ඉල්ලීමක්.
Q මෙවරත් යහපත් ප්‍රතිචාර නොලදහොත් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කෙබඳුද?
අපි සැලසුම් කර තිබෙනවා අප්‍රේල් 13, 14 අවුරුදු දින දෙකේ සේවයේ නොයෙදී ගෙදර ඉන්න. ඒ දවස් දෙකේ වැඩට නාවොත් රුපියල් 750 ක් වගේ පාඩු වෙන්නේ. නමුත් වැඩට ආවොත් ප්‍රවාහන පහසුකම් හරියට නැති නිසා ඒ මුදලට වඩා වැඩි මුදලක් සේවයට එන්න හෙද නිලධාරියෙකුට වැය වෙනවා. ඒ නිසා අවුරුදු දවස් දෙකේ ගෙදර ඉන්න කියලා හෙද නිලධාරීන්ගෙන් ඉල්ලනවා.