අල්ලස් කොමිසම සහ එෆ්.සී.අයි.ඩිය අකර්මණ්‍ය කිරීමට යම් උත්සාහයක් පවතින්නේද යන සැකය ගත වූ සතියේ ජනමාධ්‍ය හරහා කතාබහට ලක්විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එෆ්.සී.අයි.ඩිය තමන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යමින් සිටින කතාවකි.
එම සාර්ථකත්වය යනු පාලකයන් අපේක්ෂා කරන ඉබි ගමන හෝ නොසලකා හැරීමද? නැතහොත් ජනතාව අපේක්ෂා කරන කල් නොමරා යුක්තියට සාධාරණය ඉටු කිරීමට වගවීමද යන ප්රශ්නය ඒ අතර ජනමතය බවට පත්විය.
අල්ලස් කොමිසම අකර්මණ්‍ය කළේ කවුද? ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රේමදාස යුගයේ දූෂිතයන් ගෝල්ෆේස් ගෙනැවිත් උල තබන බවට පුරසාරම් දෙඩුවාය. කෙසේ වුවද එම සමයේ අල්ලස් කොමිසමට නිසි කොමසාරිස්වරුන් පත් නොකිරීම නිසා එය අකර්මණ්‍ය වී යැයි සිවිල් සංවිධාන චෝදනා කළේය.
මහින්ද රාජපක්ෂ සමයේ කොමසාරිස්වරුන් පත් කිරීමේ බලතල සියල්ල ජනාධිපතිවරයා අතට ගත්තේය. එයට අමතරව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 18 වැනි ඒකාධිපති ව්‍යවස්ථාවක් සම්පාදනය කළේ යැයි ප්‍රබල ජනතා විරෝධයක් එල්ල විය. එය සන්ධාන ආණ්ඩුව ගෙදර යැවීමටද හේතුවක් විය.
ජනාධිපති මෛත්‍රී සහ රනිල් අගමැතිවරයා ප්‍රධාන ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම යළිත් ස්ථාපනය කළේය.
ජනතාව දහසක් ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් හොරු සියල්ල අදින් පසු කම්මුතුයි යනුවෙන් කතා කළේ මහින්ද සන්ධානයේ හොරු රැල ගෝල්ෆේස් ගෙන ගොස් උල තබන හැටි බැලීමට ය.
ඒ සමගම ස්වාධීන කොමිසම්වල වගකිවයුත්තන්ට වෙනත් ආයතනවලද තනතුරු බෙදා දී ඔවුන් රූකඩ බවට පත්කරගත් මහින්ද රෙජීමය රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කළේ යැයි ජනතාව මොර දුන්හ.
එපරිදිම මෙදා රනිල්ගේ ජාතික එෆ්.සී.අයි.ඩිය සහ අල්ලස් කොමිසම දූෂිත බවට ප්‍රසිද්ධියේ චෝදනා කළහ.
කෙසේ වෙතත් අල්ලස් කොමිසම පක්ෂග්රාහීව කටයුතු කරන බව දක්වමින් මෛත්‍රී ජනාධිපතිවරයා විසින් එහි අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් වන තැනට කටයුතු කළේ යැයි නීති අංශ පෙන්වා දෙයි.
විශ්වාසවන්ත සහ වඩා අපක්ෂපාති අයෙකු හරහා එම කටයුතු පවත්වා ගෙනයාම සඳහා වෙනත් අයෙකු පත් කළ පසු කොමිසම තවත් කාර්යක්ෂම වනු ඇතැයි ජනතාව විශ්වාස කළහ. ජනතාව දැන් පවසන්නේ මහ පුටුව පෙරළීම කොමිසම අකර්මණ්‍ය කිරීමට ගත් උත්සාහයක් වශයෙන් නම් එය එතරම් යහපත් තත්ත්වයක් නොවේ.
නව කළමනාකාරීත්වය යටතේ ඇසෙන්නේද කොමිසම අකර්මණ්‍ය වී අල්ලස් නඩු ගොඩගැසී විමර්ශන යටපත්ව ඇති කතාවකි. ඇතැමුන් පවසන්නේ මෛත්‍රී විසින් දූරදර්ශී දැක්ම සහ යහපත වෙනුවෙන් කළ වෙනසින් පසු කොමිසම තවත් අගාධයට පත්ව හතර ගාතෙන් ඇද වැටී යන එනමං නැති තැනට ඔත්පල වූ කතාවකි.
පාට පක්ෂය කුමක් වුවත් දේශපාලන හිතවතුන් රැකගත යුතු නිසා මෙම ආයතන අකර්මණ්‍ය කරවීමේ උත්සාහයක ජාතික ආණ්ඩුවද නිරතව සිටින්නේ යැයි ජනතාව කරන චෝදනාව නිවැරදි කිරීමට වසර තුනක් ගතවීද ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නොහැකි වීම පිළිබඳ ජනතාවට ඇත්තේද කුකුස පමණි.
බැරි පොරොන්දු දී ආණ්ඩුවක් පිහිටුවීමේ බරපතළ පාපය දැන් යහපාලන ඇත්තන්ට දැනී ඇතැයි යමෙකු පවසති. මැයි දිනය දා කැම්බල් පිටියේ සිටි රාජිත කීවේ ලබන මැයි දිනය සමරන්නේ හොරු දූෂිතයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු බවට තර්ජනාත්මක සහ ආවේගශිලී කතාවකි. ජනතාව අසන්නේ අවුරුදු තුනක් ගත වී ද කළ නොහැකි වූ දේ මහින්දගේ වෙසක් පෝය දෙක මෙන් ජාතික ආණ්ඩුවට එක් පොසොන් පෝයකින් කළ හැකිද යනුවෙන් පැනයකි.
කෙසේ වෙතත් මෙම ආයතන අකර්මණ්‍ය කිරීමට රජයට ඇති අවශ්‍යතා හතරක් ජනතාව පෙන්වා දෙති.
පළමුවැන්න, මෛත්‍රීගේ පිළ ශක්තිමත් කිරීමට ඇතැම් චෝදනා ඇති සහ ජනතාව එපා යැයි ප්‍රතික්ෂේප කළ ඇතැමුන්ගෙන් පිරිසක්ද ළං කරගැනීම හේතුවෙන් ඒ අයගේ බලපෑම මත අල්ලස් කොමිසම සහ එෆ්.සී.අයි.ඩිය අකර්මණ්‍ය කරවන තැනට ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුව ඇතැයි යන්නයි.
දෙවැන්න, තම පක්ෂය ශක්තිමත් කරගැනීමට ඉදිරියේදි මහින්ද සමග ගිවිසුම්ගත වීම අනිවාර්ය වීම මෙන්ම මහින්ද අකමැති නම් ඒ පැත්තේ සිටින හොරු සහ දූෂිතයන් චෝදනාවලින් ගලවාගන්නා බවට පොරොන්දු දී මෛත්‍රී පිල ශක්තිමත් කරගැනීමට ඔවුන්ගේ අනුබලය ලබා ගැනීමය.
තුන්වැන්න, රනිල්ගේ එජාපයේ ගෝල බාලයන් පිරිසකටද මේ වනවිට එල්ල වී ඇති බරපතළ චෝදනා හේතුවෙන් ඔවුන් මුදවාගැනීම සඳහාද කල්මැරීම වෙනුවෙන් මෙය අකර්මණ්‍ය කළ යුතුය.
සිවුවැන්න, මේ නිසා රුපියල් සියයක දෙසීයක අල්ලසක් ගන්නා පොදු රටවැසියා අතරින් කීපදෙනෙකුගේ පැමිණිලිවලට නඩු පවරා කල්මැරීමට පමණක් මෙවැනි ආයතනයක් පැවතිය යුතු බවට රනිල් - මෛත්‍රී - මහින්ද ත්‍රිත්වයට ඇති උවමනාව ය.
කෙසේ හෝ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ට සුපිරි දීමනාවක් ගෙවීමටද මෛත්‍රී ආණ්ඩුව කටයුතු කළේය. ඒ ඔවුන්ගේ සේවය තවදුරටත් ඵලදායී ආකාරයෙන් ඉටු කරගැනීමටද ? නැතහොත් ඔවුන් සතුටු කර පරීක්ෂණ තමන් සිතන පරිදි යටපත් කරගැනීමට මහින්ද සමයේ මෙන් ගත් උත්සාහයක්දැයි ජනතාව අතර කතාබහකි.
මහා පරිමාණ දූෂණ වංචාවන්ට අනුබල දෙමින් ඒවා යටපත් කිරීමට මැදිහත් වන අය ගැන හෙළිදරව් කරනවා යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගත වූ නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහෙත් එවැනි හෙළිදරව්වක් මාස හයක් ගතවීද සිදු නොවීම නිසා ඒ නම් හෙළි නොකරමින් කල්මැරීමද මහා පරිමාණ දූෂණ, වංචා යටපත් කිරීමට වක්‍රාකාරයෙන් සපයන තවත් අනුබලයක්දැයි ජනතාව අසති.
නමුත් අල්ලස් කොමිසමේ හිටපු සභාපතිවරයාට එරෙහිව තම පක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උසාවියට යන බව 2014 දෙසැම්බර් මාසයේදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පැවසුවද, සියල්ල ලත්තැනම ලොප් වූ ආකාරය සිහි කරදෙන්නේ හැම ප්රකාශයකටම වඩා දූෂිතයන් වංචාකරුවන් අදටත් නිදැල්ලේ සිටින හෙයිනි.
එෆ්.සී.අයි.ඩිය වැඩ ඇල්ලීම හා අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමත් සමග රාජ්‍ය ව්‍යවස්ථා සභාවෙහි අධ්යක්ෂවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බවට තර්ජනය කළේද 2016 අගෝස්තු මාසයේදීය. ඒ රාජකාරිය කිරීමට ගොස් එෆ්.සී.අයි.ඩියට හෝ අල්ලස් කොමිසමට යාමට සිදුවිය හැකි බවට ඇති වූ බිය හේතුවෙනි.
එයින් ගම්‍ය වූයේද ඉහළ මහපුටු පවා අල්ලස වංචාවට අනුබල සැපයෙන ආකාරයකින් වගකීමෙන් ලිස්සා යාමට ගත් උත්සාහයක් යැයි ජනතා මතයකි.
ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ තම පාක්ෂිකයන් පමණක් එෆ්.සී.අයි.ඩියට සහ අල්ලස් කොමිසමට කැඳවුවද ආණ්ඩුව පැත්තේ අයට එරෙහිව කරන පැමිණිලි යටපත්ව ඇති බවට මැසිවිල්ලකි. එයද අල්ලස දූෂණය යටපත් කිරීම සඳහා වන යාන්ත්රණයට රාජ්‍ය බලපෑමක් බවට මධ්‍යස්ථ ජනතාව පෙන්වා දෙති. අල්ලසට එරෙහි වීමට යහපාලන රජයට අවංක උවමනාවක් තිබේ නම් පක්ෂ පාට, පුද්ගල භේදයෙන් තොරව ලිපිගොනු විමර්ශනය කළ යුතු බවට නැගෙන චෝදනාව සත්‍යයකි.
ඒ අතර එජාප පිරිස පවසන්නේ මෛත්‍රීගේ පිල පැත්තෙන් එල්ල වන එෆ්.සී.අයි.ඩිය හකුළාගැනීම සහ අල්ලස් චෝදනා විමර්ශනය කිරීමේ ලිපිගොනු අත්හිටුවීම වෙනුවෙන් කරන බලපෑම ඔවුන්ගේ මතු ආරක්ෂාව සඳහා ප්‍රබල අවශ්‍යතාවක් වී ඇති බවට සැකයකි. එනිසා මෛත්‍රී ජනාධිපතිවරයාත් රනිල් අගමැතිවරයාත් ඉදිරි මැතිවරණ ඉලක්ක කර තමන්ගේ ගෝලබාලයන්ගේ ලිපිගොනු යටපත් කර ඔවුන්ගේ මඩ සෝදාහැරීමේ සියුම් උපායක නිරතව ඇතැයි සියල්ල දෙස බලා සිටින ජනතාව පවසති.
හම්බේගමුව රජමහා විහාරයේ 2015 අප්‍රියෙල් මාසයේ පැවැති ජනහමුවකදී මහින්ද පැවසුවේ 'වැරදි කළ අය ආරක්ෂා කළ නිසා තමන් පරාජයට පත්වූ බවට' ස්වයං පාපොච්චාරණයකි. එසේ නම් මෛත්‍රී, රනිල්ලාද වැරදි කළ අය සඟවමින් ජනවාරි 08 වෙනස තුළින් ජනතාව ගොනුන්ට අන්දවන්නේ යැයි දූෂණ විරෝධී සංවිධාන පවා චෝදනා කරන විට එයින් තවත් ආකාරයකින් ප්‍රකාශ වන්නේ මහින්දට අත් වූ ඉරණම රනිල්ලා මෛත්රීලාටත් අත්වන බවට කරන ඉඟියක් විය නොහැකිද?
කපුටු බෝ රුක් සෙවණේ වැඩෙන අල්ලස් කොමිසමකින් සහ එෆ්.සී.අයි.ඩිය කින් සිදුවන්නේ පුදසුන කිළිටි වීම සහ දුඟඳ හැමීම පමණක් බව කිවයුතු නොවේ.