මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09දා) ඉදිරිපත් කළ අයවැයේ සඳහන් කිසි දෙයෙක් තමන්ට තේරුණේ නැතියි ඒකාබද්ධ විපක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අයවැය නිමා වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"කිසිදෙයක් තේරුණේ නැහැ. කවදාවත්ම මේ වගේ අයවැයක් ඇහුණේ නැහැ. ඒ හිතේ අමාරුවට කාලා, තේ බීලා ආවා."
විවෘත ආර්ථිකය සඳහා දෙවැනි ඉනිම ක්‍රියාත්මක කිරීමයි සැලසුම - ජවිපෙ නායක අනුරකුමාර දිසානායක
"අයවැය යෝජනා ආරම්භයේදීම මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළා, 1977 ලිහිල් කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් දිගුකාලීන ලෙස පවත්වාගෙන යෑම ඔවුන්ගේ අරමුණ බව.විශේෂයෙන්ම අපේ රටේ ස්වශක්ති ආර්ථිකය වෙනුවට විදේශීය ආයෝජන සහ විදේශ ආර්ථිකය මත පදනම් වූ විවෘත ආර්ථිකය සඳහා දෙවැනි ඉනිම ක්‍රියාත්මක කිරීමයි සැලසුම.
ඒ වගේම මේ අයවැය තුළ නැවත ණය ගැනීම කෝටි එක්ලක්ෂ අනූනමදහස් පන්සියයක් සඳහන් කොට තිබෙනවා. පළමු වතාවට ණය ගෙවීම සඳහා බද්දක් හඳුන්වා දී තියෙනවා. මේ බද්ද ආරම්භයේදී බැංකු ගනුදෙනුවලට සීමා කළාට එය ඉදිරියේදී අනෙක් ක්ෂේත්රවලටත් පැතිරීම සිදුවේවි.
ඒ නිසා මංගල සමරවීර මහතාගේ මේ නීල හරිත ආර්ථිකය නීලහොරු සමග සාර්ථක කරගන්න බැහැ කියලයි අයවැය හරහා පෙන්නුම් කරලා තියෙන්නෙ."
මිනිසුන්ට සහන දෙන්න අපොහොසත් අයවැයක් - පා.ම. උදය ගම්මන්පිල
"මුහුදු කූඩැල්ලාට, උණහපුළුවන්ට සහන ලබා දුන්නත් මිනිසුන්ට සහන දෙන්න අපොහොසත් වෙලා තියෙන අයවැයක්. අලි අනාථාගාරය පුළුල් කරලා පහසුකම් වැඩිදියුණු කරන්න අයවැය යෝජනාව හොඳ දෙයක්. එක්සත් ජාතික පක්ෂයේ හැමෝම එතකොට අලි අනාථාගාරයට දක්කන්න පුළුවන්."
කාටත් පේන විදියට හොඳ අයවැයක් - අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
"අයවැය මගින් ඉලෙක්ට්‍රික් වාහන මිල අඩුකරලා තියෙනවා. අධ්‍යාපනයටත් මුදල් වෙන්කරලා තියෙනවා. විශේෂයෙන්ම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරන්න මුදල් වෙන්කරලා තියෙනවා. කාටත් පේන විදියට හොඳ අයවැයක්."
හැම සමාජ තීරුවක් ගැනම හොඳ අවබෝධයකින් ඉදිරිපත් කළ අයවැයක් - අමාත්‍ය විජිත් විජයමුණු සොයිසා
"මංගල අයවැයත් රටේ දේශපාලන, සමාජ, ආර්ථික, පර්වර්තනයක් සඳහා වූ වැඩපිළිවෙළකට අත්පොත තැබූ අයවැයක්. හැම සමාජ තීරුවක් ගැනම හොඳ අවබෝධයකින් ඉදිරිපත් කළ අයවැයක්."
සෑම ක්ෂේත්රයක් ගැනම සොයාබලා තියෙන අයවැයක් - පා.ම. එස්.එම්. මරික්කාර්
"රට ඇත්තටම දියුණු කරන්න ඕන මාර්ගය තේරුම් ගත්ත අයවැයක්. ඉතිහාසය ගත්තාම අපට දියුණුවීම මගහැරුණේ දේශපාලනය මත පදනම් වුණු අයවැය නිසා. මේ අයවැය තුළින් රටේ සෑම ක්ෂේත්රයක් ගැනම සොයාබලා තියෙනවා."
රටේ අනාගතය ගැන හිතලා ඉදිරිපත් කරපු අයවැයක් - රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන
"රටේ අනාගතය ගැන හිතලා ඉදිරිපත්කරපු අයවැයක්. රටේ තරුණයන්ගේ අනාගතය ගැන වගේම, රටේ සංවර්ධනය, පරිසරය ගැනත් හිතපු අයවැයක්. විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ ඉතා විශාල මුදලක් වෙන්කරලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාවට ඒ හරහා ප්‍රමුඛත්වය දීලා තියෙනවා කියලා පේනවා. අයවැය ගැන සතුටුයි."
මූල්‍ය අරමුදලේ සිරකරුවෙකු ලෙස මුදල් ඇමතිවරයාට මේ අයවැය සකසන්න වෙලා - පා.ම.බන්දුල ගුණවර්ධන
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිරකරුවෙකු විදියට තමයි මුදල් ඇමතිවරයාට මේ අයවැය සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ.
ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම කරලා 2015,2016,2017 කියන අවුරුදු තුනම රට විනාශ කළා. නොන්ඩි ගහන අශ්වයෙක් තමයි එතුමට හම්බවුණේ. ජොකියා වෙනස් කළා කියලා වෙන කරන්න දෙයක් නැහැ.
රටේ ජනතාව මත බදුබර පැටවෙන, මිල පීඩනය උග්‍රවෙන, තිබෙන ප්‍රශ්නවලට විසඳුමක් නොදෙන, නමුත් ආර්ථික නීතිරීති සම්පූර්ණයෙන් ලිහිල් කරලා විදේශ ආයෝජන යනාදිය තුළින් රට දියුණු වෙයි කියලා හිතන අයවැයක්."
අයවැය පරතරය අඩු කරලා තියෙනවා - අමාත්‍ය සරත් අමුණුගම
"අයවැය පරතරය අඩුකරලා තියෙනවා. සංවර්ධනයට වෙන්කරන මුදල වැඩිකරලා තියෙනවා. ඒ නිසා සර්ව ආර්ථික ප්‍රශ්නවලට හොඳ විසඳුමක් දීලා තියෙනවා. කොච්චර හොඳ වුණත් ඒ දේ ක්‍රියාත්මක කරන්න ඕනෑ."
දෙන්න පුළුවන් සහනත් දීලා තියෙනවා - අමාත්‍ය පාඨලී චම්පික රණවක
"සමස්තයක් විදියට ආණ්ඩුව ආවට පස්සේ 2014ට සාපේක්ෂව අපේ ආණ්ඩුවේ ආදායම් දෙගුණ කරගන්න අද අපට හැකිවෙලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ධනාත්මක කරන්නත් හැකිවෙලා තියෙනවා.ඒ වගේම දෛනික වියදම් අපේ ආදායම්වලින් පියවා ගන්නත් අපට අවස්ථාව උදාවෙලා. ඒක ලොකු ජයග්‍රහණයක්.
ඉදිරි වසර දෙකම රටටඉතා අමාරු කාලයක්. මොකද බිලියන 1900 බැගින් අපට ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා අලුත් ප්‍රතිපත්තියක් එක්ක මුදල් අමාත්‍යතුමා මේ නීල හරිත ආර්ථිකය ඉදිරිපත් කරලා තියෙනවා. දෙන්න පුළුවන් සහනත් දීලා තියෙනවා. විශේෂයෙන්ම නාගරික සංවර්ධනය, දුගී ජනතාවගේ නිවාස පිළිබඳ අතිවිශාල මුදලක් වෙන්කරලා තියෙනවා"
රට දිනවන, ගෙවල් හදන, ප්රගතිශීලී අයවැයක් - අමාත්‍ය සජිත් ප්‍රේමදාස
"මංගල සමරවීර මහත්තයාගේ මංගල අයවැය රට දිනවන, ගෙවල් හදන, සෞඛ්යයක්ෂේත්රය ශක්තිමත් කරවන, තරුණයන්ට රැකියා ලබාදෙන ප්රගතිශීලී අයවැයක්. විශේෂයෙන්ම පොඩි මිනිහා ගැන හිතලා පොළොවේ පය ගහලා ජීවත් වෙන ජනතාව ශක්තිමත්ව කරන්න යෙදුණු අයවැයක්."
කලබලයක් නැති පැටලීමක් නැති අයවැයක් - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
"මේ අයවැය සරලයි. මේ අයවැය කලබලයක් නැති පැටලීමක් නැති අයවැයක්. ජනතාවට හරි බලාපොරොත්තුවක් දීපු මේ අයවැය සරලවම ක්‍රියාත්මක කරන්න හැකි වේවි කියලත් විශ්වාස කරනවා."
භානුක අමරසිංහ/ චාමර සම්පත්