මාර්ග තදබදය, ඉතුරු මුදල් නිසි ලෙස ලබා නොදීම, බස් රථ කොටකොටා යාම මේ රටේ පොදු මගී ප්‍රවාහන සේවයේ තිබෙනා ප්‍රධාන ලක්ෂණයන්ය. මේ නිසා රටේ සංවර්ධනයට දායක වන ජනතාවට කලට වේලාවට තම රාජකාරී ස්ථානයට ගමන් කිරීමට නොහැකි වීම, නිවසට නිසි වෙලාවට ගමන් කිරීමට නොහැකි වීම, ලෙඩට දුකට බෙහෙත් ටිකක් ගැනීමට නිසි වේලාවට යාමට නොහැකි වීම, ගමන්බිමන් නිසි වේලාවට යෑමට නොහැකි වීම ඇතුළු ගැටලු ගණනාවකට මේ රටේ මගී ජනතාව මුහුණ දී සිටී. මෙම ගැටලුවලට විසඳුම් සෙවීමට මෙතෙක් පැවති ආණ්ඩු සහ පවතින ආණ්ඩුවත්, බස් හිමියන්ගෙන් සැදුම් ලත් බස් සංගම්ද විශාල උත්සාහයක් ගනු ලැබිණි. මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මාර්ග තදබදයට විසඳුමක් ලෙස ප්‍රමුඛතා මාර්ග සංකල්පය රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන අතර, ඊට අමතරව තවත් වෙනස්කම් රාශියක් සිදුකිරීමටත් නියමිතය. මෙ පිළිබඳව 'අද' ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සමග කතාබහක නිතර විය.
Q ප්‍රමුඛතා මංතීරු නීතිය මාර්ග තදබදයට විසඳුමක් කියලා හිතනවාද?
වෙන කරන්න දෙයක් නැහැ. මේ නිසා ප්‍රමුඛතා මාර්ග නීතිය හරහා මාර්ග තදබදය අවම කරගන්න වෙනවා. මොකද රටක ප්‍රවාහනය ශක්තිමත් වෙන්න නම් පොදු මගී ප්‍රවාහනය ශක්තිමත් වෙන්න ඕන. ඒ සඳහා බස්හිමියන්ට සහන ලබාදීම සිදුවෙන්න ඕන. ඒත් ලංකාව ගත්තම රට තුළ එහෙම වැඩපිළිවෙළක් නැහැ. මේ නිසා පොදු මගී ප්‍රවාහනය කඩා වැටිල තියෙන්නේ. පෞද්ගලික වාහන ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා. මේ හරහා ප්‍රධාන නගර සෑම එකකම මාර්ග තදබදය පවතිනවා. ඒක රටේ ආර්ථිකයට හොඳ නැහැ. මේ සඳහා විසඳුම් සොයමින් ඉන්නකොට පොඩි වාහනවලට අධික ලෙස බදු සහන ලබාදෙනවා. ඉතින් දවසින් දවස මාර්ග තදබදය වැඩි වෙනවා. මේ නිසා මංතීරු ක්‍රමය හරහා තමයි මෙය විසඳගන්න වෙලා තියෙන්නේ. මෙම ක්‍රමය අපේ සංගමය තමයි යෝජනා කළේ. එම ක්‍රමය රාජගිරිය කොටුව මාර්ගයෙත්, ගාලු පාරෙත් ක්‍රියාත්මකයි. මේ ක්‍රමය අනෙක් පාරවල්වලටත් හඳුන්වාදිය යුතුයි.
Q ප්‍රමුඛතා මංතීරු බස් රථවලට පමණක්ද?
නැහැ. පාසල් ප්රවාහනවලටත් එම මාර්ගය දිය යුතු වෙනවා. ඒ වගේම කාර්යාල සේවා සඳහාත් ප්‍රමුඛතා මංතීරු ලබාදිය යුතු වෙනවා. පොදුවේ ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛතා මංතීරු තියෙන්නේ මැද ලේන් එකකට ආසන්නව. ඒත් ලංකාවට මේ ක්‍රමය තාම හඳුන්වා දුන්න අලුත නිසා එය වම් තීරුවෙන් ක්‍රියාත්මක වෙනවා.
Q ඒකාබද්ධ කාලසටහන් නෙමැති වීම නිසා මගී ජනතාව දැඩි ලෙස අපහසුතාවන්ට පත්වෙනවා කියලා චෝදනාවක් තියෙනවා?
ඔව්, ඒ චෝදනාව සාධාරණයි. ඒකාබද්ධ කාලසටහනක් නොමැති නිසයි බහුතර බස් ප්‍රමාණයක් කොටකොටා යන්නේ. ඒ හරහා මගී ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා. ඒකට අපට වගකියන්න බැහැ. බස් හිමියෝ හැම කෙනාම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයට කැමතියි. මේ සඳහා බස් හිමියෝ පසුගිය කාලයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒත් ලංගමයේ පවතින විරෝධතා නිසා මෙම ක්‍රමය රට තුළ ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙන්නේ. ඒකාබද්ධ කාලසටහන් තිබුණම ජනතාවට කලට වේලාවට ගමනක් බිමනක් යන්න ලැබෙනවා. එක අපිට තේරෙනවා. ඒත් බලධාරීන්ට, ලංගමයට ඒක තේරෙන්නෙ නැහැ.
Q පෙර ගෙවුම් කාඩ්පතට මොකද වුනේ?
මගී ජනතාවට ඉතුරු මුදල් ලබාදීමේදී ඇතිවන ගැටලු නතර කරන්න තමයි අපේ සංගමයේ ඔය ක්‍රමය හඳුන්වා දුන්නේ. 138 මාර්ගයේදී මෙය අත්හදා බැලීමකුත් සිදුකළා. ඒ හරහා ප්‍රතිඵල රාශියක් අත්පත් කරගත්තා. නමුත් බලධාරීන් ඒ සඳහා අපිට සහයෝගයක් ලබාදුන්නේ නැහැ. මේක මුලින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරලා ලංකාවට හඳුන්වා දෙන්න තමයි සැලසුම් කරලා තිබුණේ. මෙම ක්‍රමය රට තුළ ක්‍රියාත්මක කළාම මගීන්ට විශාල වාසි ප්‍රමාණයක් අත්වෙන්න තිබුණා. ඒ වගේම බස් හිමියන්ටත් වාසි හිමිවෙන්න තිබුණා. මේ වගේ හොඳ වැඩ ක්‍රියාත්මක කරන්න බලධාරීන් උනන්දු නැහැ. ඒක රටේ අවාසනාවක්.
Q මගී ජනතාවට ගෙවන මුදලට සාපේක්ෂව සේවාවක් ලැබෙනවාද?
බස් රථ තුළින් සේවාවක් ලැබෙනවා තමයි. ඒත් ගෙවන මුදලට සාධාරණද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක බස් හිමියන්ගේ වරදක් නෙවෙයි. එය පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීමට බලධාරීන්, දේශපාලඥයන් කටයුතු නොකිරීම නිසා සිදුවන දෙයක් ලෙස දකින්න පුළුවන්.
Q අධිවේගී මාර්ගවලදී අය කරන මගී ගාස්තුව සාධාරණද?
කිසිසේත්ම නැහැ. අධිවේගී මාර්ගවලදී ජනතාවට සාමාන්‍ය බස් ගාස්තුව මෙන් තුන් ගුණයක් විතර ගෙවන්න වෙනවා. හැබැයි වෙන විකල්පයක් නොමැති නිසා ජනතාවට ඒ මුදල ගෙවලා මගී අවශ්‍යතා සපුරාගන්න වෙනවා. මේ ආකාරයට අධික ගාස්තු මුදලක් අය කර ගන්නේ අධිවේගී මාර්ගවලට වෙනම බස් ගාස්තු සංශෝධනයක් නොකිරීම නිසයි. මේ නිසා අධිවේගී මාර්ගයට සුඛෝපභෝගී හා සාමාන්‍ය බස් රථ සේවා හඳුන්වාදිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් මෙම සේවා ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ගත්තත් කාර්යාල සේවා නමින් බස් රථ 300ක් විතර දිනකට ධාවනය කරනවා. මේ නිසා ජනතාවගේ පහසුව සඳහා සාමාන්‍ය බස් රථ සේවා හඳුන්වාදිය යුතුයි. එහෙම කළොත් බස් අතර තරගයක් ඇතිවෙලා ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
Q මාර්ග බලපත්‍ර ජාවාරම රට තුළ විශාල ලෙස සිදුවන බවට චෝදනා එල්ල වෙනවා.?
ඔව්. එහෙම ජාවාරමක් තියෙනවා. මේ ජාවාරම වැඩි වශයෙන් සිදුවන්නේ අධිවේගී මාර්ගවලදී. දක්ෂිණ අධිවේගී මාර්ගය ගත්තොත් මේ වනවිට එක බස් රථයකටවත් ස්ථිර මාර්ග බලපත්‍රයක් නෑ. මේ හරහා රටට ලැබිය යුතු රුපියල් ලක්ෂ ගණනක් දෛනිකව අහිමි වෙලා යනවා. මොකද ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ දේශපාලඥයන් හා මහා කෙරුම්කාරයන් විසින් මෙම මාර්ග පාලනය කිරීමට යාම. ඔවුන් කිසිවිටෙකත් රට ගැන, මගීන් ගැන සිතන්නේ නැහැ. ඔවුන් හැමවිටම හිතන්නේ ඔවුන් ගැන විතරයි.
Q බස් ගාස්තු සංශෝධනය වර්තමානයට ගැළපෙනවාද?
කිසිසේත්ම නැහැ. ගාස්තු සංශෝධන ක්‍රමය අහෝසිකර දැමිය යුතුයි. මොකද මේ හරහා මගී ජනතාව අපහසුතාවට පත් වෙනවා. මේ නිසා මගී ජනතාව දිනපතාම බස් රථවල ගමන් කිරීමෙන් ඉවත් වෙලා පෞද්ගලික වාහන භාවිතයට හුරුවෙමින් තියෙන්නේ.
Q අර්ධ සුඛෝපභෝගී සේවාව රටට ගැළපෙන ක්රමයක්ද?
මෙහෙම සේවාවක් ලෝකෙ කොහේවත් නැහැ. ගාස්තුව වගේ එකහමාරක් මෙම ක්‍රමය හාරහා අය කර ගන්නවා. හැබැයි ලැබෙන සේවාව සාමාන්‍ය බස් රථයකින් ලැබෙන සේවාවට සමානයි. මේ නිසා මගී ජනතාව සූරගෙන කන මෙම ක්‍රමය නවතා දැමීමට කටයුතු කළ යුතුයි. මෙය නවතා දැමීමට අවස්ථා ගණනාවකදීම ඉල්ලීම කළත්, දේශපාලන ජාවාරම්කරුවන් ඇතුළු පිරිස් මෙම ක්‍රමය අහෝසි කිරීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.
Q රථවාහන වැරදි සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත නව දඩ මුදල් සාධාරණද?
විනීත රියදුරන් බිහිකර ගැනීමට යම් යම් ක්‍රමවේද සකස් විය යුතුයි. මොකද රියදුරෙක් තමන්ගේ වාහනය තුළ සිටින ජනතාවගේ වගේම, පදික වේදිකාවේ ගමන් ගන්නා ජනතාවගේත්, අන් වාහනවල ගමන් ගන්නා අයගේත් ජීවිත සුරක්ෂිත කළ යුතුයි. දැනුවත් කිරීම පුහුණු වැඩසටහන් තුළින් හොඳ රියදුරෙකු බිහිකර ගත හැකිද කියන කාරණය අපට තියෙන එක් ප්‍රශ්නයක්. මේ නිසා රටේ නීතියට අනුව රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ඉහළ දැමිය යුතුයි. හැබැයි එය කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව ක්‍රියාත්මක වෙන්න බැහැ. මේ සඳහා මෝටර් රථ ආඥා පනත සංශෝධනය විය යුතුයි.
Q පොදු ප්‍රවාහනය දියුණු වීමට නම් කුමක්ද සිදුවිය යුත්තේ?
ප්‍රධාන වශයෙන් බස් රථවලට පනවා තිබෙන බදු මුදල් ඉවත් කරලා අනෙක් වාහනවලට තියෙන බදු මුදල් ප්‍රමාණය ඉහළ දැමිය යුතුයි. විශේෂයෙන් යතුරුපැදි කියන්නේ මාර්ග තදබදයට එක් හේතුවක්. ඒ වගේම මාර්ග අනතුරුවලින් 50%ක් වෙන්නේ යතුරුපැදි නිසා. එහෙම තියෙද්දි යතුරුපැදි සඳහා පනවා තිබූ බදු මුදල විශාල ලෙස අඩු කළා. මේ නිසා ඉදිරි අයවැය තුළින් බස් රථ හිමියන්ට බදු සහන ලබාදිය යුතුයි. ඒ වගේම ලංගමය පෞද්ගලික අංශය එකතුවෙලා පොදු සේවාවක් ලෙස මෙය පවත්වාගෙන යා යුතුයි.