Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
සිය 51 වැනි ජන්ම දිනය වෙනුවෙන් පාසල් කිහිපයකට බස් රථ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන බස් රථයක් පිරිනැමීම පසුගියදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදු වූයේ උත්සවශ්‍රීයෙනි. දරු දරුරියන් 605 දෙනෙකු ඉගෙනුම ලබන සහිරා ජාතික පාසල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති එකම දෙමළ මාධ්‍ය පාසලයි. වසර 107ක් පැරණි මෙම පාසල ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් විසින් වීමත් විශේෂත්වයකි. බස් රථය හම්බන්තොට නගරයේ සිට විදුහල වෙත පදවාගෙන ආවේ සජිත් විසින්මය. එය කෙමෙන් විදුහල වෙත ළං වන අයුරු පාසල් දරුවන් හා ගුරුදෙගුරුන්ද බලා සිටියේ නොඉවසිල්ලෙනි. බස් රථය විදුහල් ගේට්ටුවෙන් ඇතුළු කිරීම නම් පහසු කාර්යයක් නොවන බව සියල්ලන්ටම වැටහුණේ එය ආසන්නයටම රැගෙන ඒමෙන් පසුවය. ‘සර් ඕක රියදුරු මහත්තයට දෙමු, ඇතුළට ගන්න කියලා’ කවුදෝ කියද්දී සජිත් කීවේ ‘යමක් බාගෙට කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම කරන්න කියලයි, මගේ තාත්තා මට උගන්නලා තියෙන්නේ. හම්බන්තොට ටවුමේ ඉඳන් එළවාගෙන ආපු මේ බස් එක ගේට්ටුවෙන් ඇතුළු කරන්නත් මට පුළුවන්’ කියාය. සජිත් පටු ගේට්ටුවෙන් බස් රථය සීරුවෙන් ඇතුළට ගත්තේය. උත්සව සභාවේදී සජිත්ාගේ දෙපසින් අසුන් ගත්තේ විදුහලේ ආදි සිසුවෙකු වූ විදුහල්පතිවරයා සහ ආදි සිසුවියක මෙන්ම එහි ප්‍රථම උපාධිධාරී ගුරුවරිය වූ නියෝජ්‍ය විදුහල්පතිනියයි. ‘අපේ පැත්තේ නම් කිසිම කලබලයක් නෑහැ. කොයි කවුරුත් හරිම සමගියෙන් ඉන්නවා’ යැයි නියෝජ්‍ය විදුහල්පතිනිය කීවාය. ‘බොහෝම ස්තුතියි ඇමතිතුමා, අපේ දරුවන්ට දීපු මේ වටිනා තෑග්ග අපට ලොකු හයියක්’ විදුහල්පතිවරයා කියද්දී සජිත් කීවේ ‘මම නිර්මල බෞද්ධයෙක් හැටියට සියලු දෙනාගේ නිදුක් නිරෝගී බවට වගේම සතුටට, ප්‍ර‘යෝජනයට ඉවහල් වන දේ කරන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ. සමහරු රට ගිනි තියන්න හදනකොට අපි ඒ ගිනි නිවා දමා ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් යමක් කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව හැම විටම ජාති, ආගම්, කුල-මල භේදවලින් තොර ආදර්ශවත් ජනතාවක් වීමත් විශාල සැනසීමක්’ කියාය.
අම්පාරේ හෝටලයක් තුළ පසුගියදා ඇතිවූ සිද්ධියෙන් පසුව මොනරාගල බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින සිංහල තරුණයන් බැලීමට විමලවීර දිසානායක ගියේය.
“අපි මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ සර්. වෙන තරහකට තමයි අපිව හිරේ දාලා තියෙන්නේ’ එම තරුණයින් විමලවීරට කීය.
‘ඔව් ඔව්.. මම දන්නවා. මේක අසාධාරණ වැඩක්. පොලීසියට ගල්වලින්, පොලුවලින් ගහපු මුස්ලිම් අය ගැන කිසිම සොයාබැලීමක් කර නැහැ.. ඔයගොල්ලෝ නිදහස් කරගන්න මම මොනවා හරි කරන්න බලන්නම්’ විමලවීර එම තරුණයන්ට පැවසීය. ඉන් අනතුරුව අම්පාර භාර ප්‍රධාන පොලිස් නිලධාරීන් හමුවූ විමලවීර මෙම ප්රශ්නය කීවේය.
මේ අතර අම්පාරේ සිද්ධියෙන් පසුව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. ෆාරිස් සමග සාකච්ඡා කිරීමට විමලවීරට අවස්ථාව ලැබුණි.
“ඇමතිතුමා අපේ අය මේ සිද්ධියට සම්බන්ධ නැහැ. ඒක ඔබතුමා හොඳටම දන්නවානේ. අපේ කොල්ලො හිරේ දාලා තියෙන එක ලොකු අසාධාරණයක්’ යැයි විමලවීර පැවසූ විට “අපිටත් මන්ත්‍රීතුමාලගේ කට්ටිය එක්ක ප්‍රශ්නයක් නැහැ. අපි කාටවත් ගහන්න කියන්නෙත් නෑ. අපි අතරේ තියෙන සමගිය බලා ඉන්න බැරි කට්ටිය තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ’ ෆාරිස් උත්තර දුන්නේය.
“නිකරුණේ අත්අඩංගුවට ගත්ත කිහිප දෙනෙක් ඉන්නවා. මම පෞද්ගලිකව දන්නවා මේ සිද්ධිවලට ඔවුන් කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ තමයි උසාවියට ඉදිරිපත් කර තිබුණේ. කිසිම සම්බන්ධයක් නැතිව අලුත් අවුරුද්දටයි, වෙසක් එකටයි හිරේ ඉන්න එක ලොකු අසාධාරණයක්. මේ අය කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා මට පෞද්ගලිකව ඕන තැනක සහතික වෙන්න පුළුවන්. මේ අය හිරේ දාලා තියෙන එක ලොකු අපරාධයක්. පොලීසිය කුඩු කරලා තියෙනවා. ඒ අය කවුරුවත් අත්අඩංගුවට ගන්නෑ. ඒ අයට උසාවිවල හිරබත් කන්න ඕන නෑ. නීතිය දෙයාකාරයකටයි ක්‍රියාත්මක වෙන්නේ’ විමලවීර කියාගෙන ගියේය.
පැරදුණු ආණ්ඩුව-තෙල්දෙණියේ ගින්න
විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්විය. ජයන්ත සමරවීර, කපිල ගමගේ, පද්ම උදය ශාන්ත, නිරෝෂාන් ප්‍රේමරත්න, දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත්, නිමල් පියතිස්ස මෙම අවස්ථාවට එක්ව සිටියහ. මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳව මෙහිදි අවධානය යොමු විය.
“මේ වනවිට රණවිරු දඩයම වේගවත් වෙලා තියෙනවා. මහනුවර ගැටුම්කාරී තත්ත්වය මැද්දේ බලහත්කාරයෙන් අතුරුදන් වූවන් වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේ ඒ නිසා තමයි. රණවිරු දඩයම ලංකාවේ නීතිගත කිරීමට ඉන් අවස්ථාව ලැබුණා. ගැටුම ගැන සොයන්න මන්ත්‍රීවරු නුවර ගිය වෙලාවේ පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරපු විදේශ ඇමති තිලක් මාරපන සංශෝධන ගේනවා කිව්වා. නමුත් පනත සම්මත කරන අවස්ථාවේදී අගමැතිවරයා මැදිහත් වී සංශෝධන රහිතව පනත සම්මත කර ගත්තා’ ‘යැයි ජයන්ත සමරවීර සාකච්ඡාව අරඹමින් කීවේය.
අනතුරුව අදහස් දැක්වූ විමල් “බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා ආරක්ෂක අංශය කඩා වැටිලා තියෙනවා. ආරක්ෂක මූලස්ථානයේ සිටින සියලුම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබෙනවා. එයට උදව්වක් විදියට ඉන්දියාවේ මහ කොමසාරිස් මැදිහත් වෙලා අණ්ඩුව පවත්වාගෙන යෑමට උදව් කර තිබෙනවා. ඒ නිසා රට මෙතැනින් කොතනටද ගමන් කරන්නේ කියලා අපි රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕන’ යැයි පැවසීය.
“පෙබරවාරි 10 වැනිදායින් පසුව රට තුළ සිදුවෙමින් තියෙන පින්තූරය අපි ජනතාවට පැහැදිලි කරන්න ඕන. තුන්කල් දකින පක්ෂයක් විදියට ජාතික නිදහස් පෙරමුණට එය පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවා. පසුගිය කාලය පුරා එම කාර්යභාරය අපි ඉටු කළා’ ප්‍රධාන ලේකම් කපිල ගමගේ කීවේය.
එයට පිළිතුරු දුන් විමල් “ඔව් ඒ කතාව ඇත්ත. ඒ සඳහා අපි දේශන මාලාවක් රට පුරා සංවිධානය කරන්න ඕන. ‘පැරදුණු ආණ්ඩුව- තෙල්දෙණියේ ගින්න‘ මෙතනින් කොතැනටද කියලා දේශන මාලාව නම් කරමු’ යැයි කී විට,
“එහෙනම් ප්‍රධාන දේශනය විමල් සහෝදරයා කරන්න. පළමු දේශනය 19 වැනි සඳුදා සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වමු’ යනුවෙන් ජයන්ත සමරවීර පවසා සිටියේය.
ජනාධිපති හිරෝෂිමා උද්‍යානයේ
ජපන් සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රී, සංචාරය අතරතුරදී පසුගිය බ්‍රහස්පතින්දා පරමාණුක බෝම්බ දැමූ නගරයක් වන හිරෝෂිමා නගරය නැරඹීමට ගියේය.
එහිදී හිරෝෂිමා නගරය දෙසත් එහි නෂ්ටාවශේෂ සහ කෞතුකාගාරය නැරඹීමෙන් පසුව ඒ අසල පිහිටි උද්‍යානයක් වෙත යාමටද ජනාධිපති මෛත්‍රී අමතක නොකළේය.
නැවත ටෝකිෙයා්ව වෙත දුම්රියෙන් පැමිණීමට කල් වේලා තිබූ හෙයින් ජනාධිපති මෛත්‍රී සිය දූත පිරිසද සමග ඉතාම සැහැල්ලුවෙන් බොහෝ වේලාවක් මෙම ස්ථානයේ ගත කළේය.
ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේනත් එම ස්ථානයේ සිටි අතර ජනාධිපති මෛත්‍රී සමග පැමිණි ශ්‍රී ලංකා දූත පිරිස, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සමාජිකයන් මෙන්ම ජපානයේ වෙසෙන ඇතැම්
ශ්‍රී ලාංකිකයෝද මෙම ස්ථානයට පැමිණ සිටියහ.
එම ස්ථානයේ නිදහසේ ගත කළ ජනාධිපති මෛත්‍රී මේ සියල්ලෝම සමග ඡායාරූප ගැනීමටද අමතක නොකළේය. මෙහිදී බොහොමයක් දෙනා ජනාධිපතිවරයා අසලට පැමිණ සුහදව කතාකරමින් ඡායාරූප ලබාගත් අතර ඒ සියල්ලටද මෛත්‍රී එක් විය.
ජපන් සංචාරයේදී ජපන් අගමැති අබේ විසින් ජනාධිපති මෛත්‍රී ඇතුළු දූත පිරිසට පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූයේ බදාදා රාත්‍රියේදීය.
මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිසට සහ ජපන් ප්‍රධානීන්ට ආසන වෙන්කර තිබූ අතර ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධනගේ ආසනය අසල ආසනය හිස්ව පැවතුණි.
කිමෝනාවකින් සැරසුණ ජපන් කාන්තාවක් මද වේලාවකින් එහි පැමිණ අසුන් ගත් අතර වැඩි සැලකිල්ලක් නොදක්වමින් අනෙක් පිරිස රාත්‍රී භෝජනයට සූදානමින් සිටියහ. මේ අතරවාරයේදී ජපන් අගමැති අබේ සියලු දෙනා අමතමින් කියා සිටියේ මෙම රාත්‍රී භෝජනයටද ඔෂින්ද එක්ව ඇති බවයි. ශ්‍රී ලංකාවේද (ජාතික රූපවාහිනියේ) විකාශය වූ ඉතාමත් ජනප්‍රිය ජපන් ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ඔෂින්ගේ කුඩා කාලය රඟපෑ නිළිය වන අතර, රවී ජයවර්ධන අසලින් අසුන් ගෙන සිටියේ ඇයයි.
භෝජන සංග්‍රහයෙන් පසුව ශ්‍රී ලංකා දූත පිරිස සමග ඉතාමත් සුහද කතාබහක යෙදීමට ඔෂින් අමතක නොකළේය.
පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සභාපතිවරයකුගේ නැන්දණියගේ අවමංගල්‍යයට සහභාගිවීමට සෞඛ්‍ය ඇමති රාජිත පසුගියදා මිරිහාන ප්‍රදේශයට පැමිණියේය. අවමංගල්‍ය නිවසට පැමිණි ඇමති රාජිත දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පවුලේ ඥාතීන් සමග කතා කරමින් සිටින විට එම අවමංගල්‍ය නිවසට හිටපු ඇමති බැසිල් රාජපක්ෂද පැමිණියේය. එහිදී එම නිවසේ අය බැසිල් රාජපක්ෂ පිළිගෙන ඇමති රාජිත සිටි ස්ථානයට කැඳවා ගෙන එනු ලැබිණි.
‘ආ අමතිතුමා කොහොමද’ යැයි පවසිමින් බැසිල් රාජිත අසලට පැමිණ තොරතුරු විමසීය. මම නම් තව ටික වෙලාවකින් බෙලිඅත්තේ යනවා යැයි බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ අතර, එවිට රාජිත පැවැසුවේ මම උත්සවේකට බේරුවල යනවා කියා පවසා සිටියේය.
අවමංගල්‍ය නිවසින් පිටත් වූ රාජිත බේරුවලට පැමිණීයේ පයාගල අක්කර 80 ක්‍රීඩාංගණය අසල ඉදිකර තිබූ ළමා උද්‍යානය විවෘත කිරීමටයි. ඊට අමතරව තම විමධ්‍යගත ප්‍රතිපාදන මගින් ස්වේච්ඡා සංවිධාන සඳහා උපකරණ බෙදාදීම ද ස්ථාන 05කදී සිදු කෙරුණේ රාජිතගේ ප්‍රධානත්වයෙනි. ළමා උද්‍යානය විවෘත කිරීමෙන් පසු රාජිත දරුවන් සමග සුහදව කතා කළේය. එහිදී දරුවන් හා ඔන්චිලි පැද්දවීමට එක්වූ රාජිත ඔවුන් ඔන්චිලි පද්දවමින් දරුවන් සමග ඉතා සතුටින් කාලය ගත කළේය. මෙම ස්ථානයට පැමිණි සිටි ගම්වාසීන් සමග සුහද සාකච්ඡාවකද නිරත විය. මෙහිදී රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
සෞඛ්‍ය ඇමති රාජිත ඉන්දියාවේ රැදී සිටින විට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස රාජිත අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාසට දැනුම් දෙන ලදි.
‘ මට දෙපාර්තමේන්තුවේ හොරු නඩය පිළිබඳ තොරතුරු ලැබී තිබුණා. ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී ආයුර්වේද කොමසාරිස්වරිය සහ අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. මේ සඳහා නිසි ක්‍රියාමාර්ග වාහාම ගත යුතුයි’ රාජිත අවධාරණය කළේය.
පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා හානියට පත් වූ ප්‍රදේශවල ජනතාව හමුවීමට ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ මහනුවර සංවිධායක ගයාන් ජානක, නීතිඥ උපුල් කුමරප්පෙරුම යන අය පසුගිය සෙනසුරාදා අකුරණ, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවලට ගියහ.
ඒ අතර මුල්ම සිදුවීමෙන් මරණයට පත් වූ කුමාරසිංහගේ සහ මුස්ලිම් තරුණයාගේ නිවෙස්වලට හා හානියට පත්වූ පූජනීය ස්ථානවලටද ගොස් කරුණු සොයා බලන්නට ජවිපෙ නායකයෝ කටයුතු කළහ. ‘ මහත්තයෝ කුමාරසිංහ මැරුණ එක තමයි ප්‍රශ්නයට මුල වුණේ. නමුත් මළගෙදරට කවුරුත් ආවේ නෑ. අපේ ගමට අල්ලපු ගම් දෙක මුස්ලිම් ගමයි, සිංහල ගමයි. නමුත් මෙහෙ කවුරුත් ගහමරාගන්න ගියේ නෑ. මේ මිනිස්සු මොකටද මේ විදියට මරාගන්නේ. අපිට තේරෙන්නේ නෑ” කුමාරසිංහගේ පවුලේ ඥාතීහු ජවිපෙ නායකයන්ට පවසා සිටියහ. ‘ දැන් ගහමරාගත්තා කියලා අපිට වෙන සෙතක් නෑ. කුමාරසිංහගේ පවුලේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආබාධිතයි. ඒ අය ගැන තමයි දැන් අපිට ගැටලුව තියෙන්නේ.” තවත් ඥාතියෙක් කියා සිටියේය. ”අපි ශිෂ්‍යත්වයක් දෙන්න කටයුතු සූදානම් කරන්නම්. විදෙස්ගත අපේ සහෝදරයෝ ඒ වගේ උදව් කරනවා. එහෙම අය සම්බන්ධ කරලා දෙන්න අපි කටයුතු කරන්නම්.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
අනතුරුව ගැටුමින් මියගිය මුස්ලිම් තරුණයාගේ ඥාතීන්ද මුණ ගැසුණු ජවිපෙ නායකයෝ විනාශයට පත්වූ ව්‍යාපාරික ස්ථාන හා පූජනීය ස්ථානවලට ගොස් තත්ත්වය සොයා බැලූහ. ‘ එක සිද්ධියක් අල්ලගෙන මේ තරම් විනාශයක් කළා. එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරදිවලට අපි හැමෝම වන්දි ගෙවන්න ඕනෑද? අපි බොහොම අමාරුවෙන් තමයි මේ ව්‍යාපාර දියුණු කර ගත්තේ. ඒත් දැන් හැමදේම විනාශයි.” මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. ”අපි මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් කඩයක් කුලියට අරගෙන බිස්නස් කළේ. අපේ කඩයත් ගිනි තිබ්බා. ඇයි මේ මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ.” සිංහල ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. ” මේ ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ දේශපාලන වුවමනා අනුවයි. ඇතැම් අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. ඒ නිසා බිම් මට්ටමින් ජනතාව සමගි වෙන්න ඕනෑ. බිම් මට්ටමින් ජාතික සමගිය වෙනුවෙන් දේශපාලනය කරන්න ඕනෑ. වෙන උත්තරයක් අපිට නැහැ.” අනුර දිසානායක කියා සිටියේය.
මේ අතර හානියට පත්වූ පල්ලි කිහිපයකටද ගිය ජවිපෙ නායකයෝ ඒවායෙහි තත්ත්වය පිළිබඳව සොයා බැලූහ. ‘ අපිට තේරෙන්නේ නෑ මිනිස්සු මේ විදියට ගහමරා ගන්නේ කියලා. අපෙන් වෙලා තියෙන වැරද්ද මොකක්ද? අපි හදාගන්න ඕනෑ දේවල් මොනවද? ඔබතුමාලා තමයි කියන්න තියෙන දේවල් කෙළින් කියන්නේ. ඔබතුමාලා අපිට කියලා දෙන්න මොකද කරන්න ඕනෑ කියලා.” අකුරණ පල්ලියේ පූජකතුමන්ලා විමසා සිටියහ. ‘ ඇත්තටම අපේ සංස්කෘතිය නිර්මාණය වෙන්න ඕනෑ ජාතික සමගිය ඇතිවෙන පැත්තට. එහෙම නැතුව ජාතීන් ඈත් කරන දිසාවට නෙවෙයි. ඔබතුමාලා තමයි කළ යුතු දේවල් තීරණය කරන්න ඕනෑ. අපිත් පාර්ශ්වකරුවෙක් විදියට සම්බන්ධ වෙන්නම්. නමුත් දැන් වෙලාව නෙවෙයි හැමදේම වෙනස් කරන්න. නමුත් ඒ ගැන සාකච්ඡාවක් ඉදිරියට කරන්න පුළුවන්. මේ වෙන කොට ජාතිවාදී පෙට්රල්වලින් රටම තෙත් වෙලා. කොයිවෙලේ ගිනි ගනීද කියන්න බැහැ. ඒ නිසා පරිස්සමෙන් අපි කටයුතු කරන්න ඕනෑ කාලයක්. අපි පක්ෂයක් විදියට ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ගන්න ඕනෑ ක්‍රියාමාර්ග ගන්නවා.” අනුර දිසානායක කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ විමර්ශනයට ලක් වූ තවත් ආයතන 13ක් පිළිබඳව වාර්තාවක් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති සූදානමින් සිටියි. මීට පෙර ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබඳව නිසි ක්‍රියාමාර්ග මෙතෙක් නොගෙන ඇති අතර මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුවද නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් කෝප් පරීක්ෂණ ජනගත කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹීමට කෝප් සභාපතිවරයා කටයුතු කරන බවද වාර්තා වේ. මේ අතර කෝප් සභාපතිවරයා සහ දූෂණ විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංසදයේ මහලේකම් ජෝන් හයිඩ් අතර හමුවක් පසුගිය පාර්ලිමේන්තු සතියේදී සිදු විය. එහිදී ද කෝප් පරීක්ෂණ මාධ්‍ය සඳහා විවෘත කිරීම සහ ජනතාවට දැනගැනීමට හැකිවන පරිදි වාර්තා කිරීම පිළිබඳව සාකච්ඡාවක් මතුවිය. මේ අතර කෝප් සභාපතිවරයා විසින් ලංකාවේ මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමට එන ලෙසද ජෝන් හයිඩ් මහතාට ආරාධනාවක් කළේය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා දූෂණ විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංසදයේ භාණ්ඩාගාරික තනතුරක්ද දරයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගිය 13 වැනිදා පස්වරුවේ කොළඹදී වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් සඳහා රැස්වූහ. මෙහිදී මහනුවර තත්ත්වය පිළිබඳවත් ඉදිරියේදී ජාතිවාදී ගැටුම් වළක්වා ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ සාකච්ඡාවක් සිදු විය. එමෙන්ම ඉදිරියේදී අගමැතිවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැනද මෙහිදී සාකච්ඡාවට ලක් විය. ”විශ්වාසභංගය ගේනවා කියපු දවසේ ගෙනාවේ නැහැ. මහනුවර සිද්ධියෙන් ගොඩක් ඒවා යට ගියා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ” කවුරුත් අවධානයෙන් ඉන්නේ අපි මේ ගැන මොකද කරන්නේ කියලා.” බිමල් රත්නායක කීවේය. 7කොහොමත් අපිට විශ්වාසභංග යෝජනාව ගේනතෙක් ඒ ගැන මොකුත් කියන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය අවධානය යොමු කරලා තියෙන්නේ මහ බැංකු ගනුදෙනුව ගැන පමණයි.” ලාල් කාන්ත කියා සිටියේය. ”රනිල්ට එරෙහිව ගේන විශ්වාසභංග යෝජනාවට ඇතුළු විය යුතු කරුණු ගණනාවක් තියෙනවා. හොරු අල්ලපු නැති එක, හොරුත් එක්ක ඩීල් දාපු එක, ආර්ථිකය බිඳවට්ටපු එක, ආණ්ඩුව දුර්වල කරපු එක ගැන මේ හැම දෙයක්ම ඇතුළත් විය යුතුයි. එහෙම සම්පූර්ණ විශ්වාසභංගයක් එනව නම් සහාය දෙන එක අපිට ගැටලුවක් නෙමෙයි.” විජිත හේරත් කීවේය.
‘ ඒ වගේම අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. මොකද දැන් මෛත්‍රීපාල සිරිසේන හදන්නේ නැවත ජනාධිපති ධුරයේ ඉන්න දේශපාලනය හසුරුවන තැනක. ජනතා වරමට පයින් ගහලා වැඩ කරන්නේ. නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් පවත් වන්න බැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියේය. අපි මේ ගැන ජනතා මතයක් හදන්න ඕනෑ. සම්බන්ධ කරගන්න පුළුවන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන එකතු කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සටනක් අරඹන්න ඕනෑ.” අනුර දිසානායක යෝජනා කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ පූජාවකට සහභාගී වීමට පසුගිය 12 වැනිදා රාත්‍රියේ හදිසියේම කතරගම බලා ගියේය. කතරගම ගිය මහින්ද මුලින්ම ගියේ කිරිවෙහෙර වැඳ පුදා ගන්නටය. රාත්‍රී 8ට පමණ කිරිවෙහෙර
වැඳ පුදාගත් මහින්ද පයින්ම කතරගම දේවාලයට පැමිණියේය. කිරි වෙහෙරෙ සිට දේවාල භූමියට පැමිණෙන අතරතුර බැතිමතුන් මහින්ද වට කර ගත් නිසා ඔහුට කතරගම කිරිවෙහෙරේ සිට දේවාල භූමියට එන්නට පැය භාගයකට ආසන්න කාලයක් ගත විය. එහිදී හැමෝම මහින්දට පළාත් පාලන ජයග්‍රහණය ගැන සුබ පැතූහ. “මේ පටන් ගැන්ම විතරයි,මේ වගේම ඉදිරියටත් ඔයාලගේ සහයෝගය දෙන්න’ මහින්ද තමන් වට කරගෙන සුබ පතන අයට කීවේය. හිටපු ජනාධිපතිවරයා සමග ඡායාරූප ගන්නටත්, සෙල්ෆි ගසන්නටත් පිරිස අමතක කළේ නැත. ඔවුන්ගේ සියලු ඉල්ලීම්වලට ඉඩ දුන් මහින්ද කතරගම වැඳපුදා ගැනීමෙන් අනතුරුව එදින රාත්‍රියේම තංගල්ල බලා ගියේය.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිවසේ පසුගිය සඳුදා දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡාවට ගැනුණි. ගම්පහ නියෝජනය කරන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුද ඊට එක්ව සිටියහ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබඳවද මෙහිදී කතාබහ කෙරිණි.’ අපි මොනවා කතා කළත් වැඩක් නෑ. පළාත් පාලන ඡන්දය තියලා මාසයකටත් වැඩී තාම බැරි වුණා එක සභාවක්වත් පිහිටුව ගන්න. කොමසාරිස් එකක් කියනවා. ඇමති තව එකක් කියනවා.” ඩුලිප් විජේසේකර මෙහිදී පවසා සිටියේය.
“ඒකනම් ඇත්ත සභා පිහිටුවීම හරියට බාලගිරි දෝෂය වගේ අද නෙමෙයි හෙට” ලන්සා පැවසූ අතර “ආණ්ඩුව මැතිවරණය පුළුවන් තරම් කල් දැම්මා ඒකට ෆයිට් කරලා ෆයිට් කරලා තමයි අන්තිමට ඡන්දේ ගත්තේ. දැන් අපිට වෙලා තියන්නේ සභා පිහිටවපියව් කියලා ආයෙත් පාරට බහින්නයි.’ ප්‍රසන්න සඳහන් කළේය.
ආණ්ඩුව සියලු වැඩ අනාගෙන තිබෙන බවත්,ෆේස්බුක් තහනමින් නැවත වරක් අනාගත් බවත් ප්‍රසන්න රණවීර කතාබවට එක්වෙමින් පැවසීය.
“වැඩේ කියන්නේ 2015 ජනාධිපතිවරණය වෙලාවේ ෆේස්බුක් එකෙන් මහින්ද මහත්තයට ගහද්දි අද ඉන්න අයට මාර ජොලි. අද එයාලට ගහද්දි නරකයි. ඕකට තමයි කියන්නේ කලකදි වහලු කලකදී රහ වෙනවාලු කියලා’ ඩුලිප් කීවේය.
“මහනුවර සිද්ධිය ආණ්ඩුව නොහිතපු වෙලාවක ඇදුණු ලොතරැයියක් වගේ. තමන්ට එරෙහිව පක්ෂයෙන් ආපු විරෝධතාව යට ගහගන්න අගමැතිට ඒ ලොතරැයිය උදව් වුණා. ඒ වගේම ජනාධිපතිට තමන්ගේ පක්ෂයේ ඇමතිවරුන්ගේ විරෝධය යට ගහගන්නත් ඒකෙන් හයියක් ලැබුණා. ඔක්කොටම වඩා ආණ්ඩුවට විරුද්ධ ෆේස්බුක් මර්දනය කරන්න ආණ්ඩුවට චාන්ස් එකක් ආවා.“ ප්‍රසන්න කී විට “කෝ මේ ආණ්ඩුවට විරුද්ධ ශ්‍රී ලංකා කට්ටිය දැන් මොකද එයාලට වෙලා තියන්නේ’ ඉන්දික ඇසුවේය.
රට මෙහෙම විනාශ වෙනකොට රනිල්ට උදව් කරන්න ප්‍රළුවන් නිවටයන්ට විතරයි. ඒ නිවට රැලේ ලගිනවද නැත්නම් හරි පැත්තේ හිටගන්නවද කියන එක තීරණය කරන්න ඕන ඒ ගොල්ලෝ. හරි පැත්තේ හිටගත්තේ නැත්නම් ඒ අය බේරගන්න සක්රයගේ පුතා වයිමා ආවත් බෑ. ‘ දීර්ඝ සංවාදයකින් පසුව ප්‍රසන්න කීවේය.
විජේරාම පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී බදාදා සවස ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වුණි. දිනේෂ්, බැසිල්, විමල්, ගම්මන්පිල ,වාසු, තිස්ස ඇතුළු ඒකාබද්ධය නියෝජනය කරන පක්ෂ නායකයෝ ඒ අවස්ථාවට සහභාගි වූහ. මෙම රැස්වීමට වාසු පැමිණෙනු දුටු රෝහිත “ආ වාසුදේව මන්ත්‍රීතුමා මහසෝනා හම්බ වුණා’ දැයි ඇසුවේය. “මොකද්ද ඒ මහසෝනා කතාව“ එවිට මහින්ද විමසීය.
“ඇය සර් දන්නේ නැද්ද මහසෝනා හොයන්න වාසුදේව මන්ත්‍රීතුමා මේ දවස්වල මෙහෙයුමක් ආරම්භ කරලනේ’ රෝහිත කීවේය. මහින්ද තමන් දෙස බලනු දුටු වාසු සිද්ධිය පැහැදිලි කලේය. “නෑ ඒක මෙහෙමයි ආණ්ඩුව කියලා තිබුණා මහනුවර සිද්ධිය පස්සේ ඉන්නේ මහසෝන් බළකාය කියලා. අපි දන්නවානේ ඔය බළකායට නායකත්වය දෙන්නේ කැබිනට් ඇමති කෙනෙක් කියලා. ඒ හින්දා මම පාර්ලිමේන්තුවෙදි කිව්වා මහසෝන් බළකායට පණ දුන්නු නියම මහසෝනා හොයා ගන්න මම ගවේෂණාත්මක මෙහෙයුමක් පටන් ගත්තා කියලා.’ වාසු කීවේය.
“ඔය මහසෝනා හොයාගන්න එච්චර අමාරු නෑ. විමල් මන්ත්‍රීතුමා නම් කිව්වෙ උස හීන්දෑරි ජාතික ඇඳුම අදින හාදයෙක් කියලයි. බත්තරමුල්ල පැත්තේ ගියොත් අල්ලගන්න පුළුවන්’ රෝහිත කීවේය.
ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේදී මුලින්ම අවධානය යොමු වූයේ විශ්වාසභංග යෝජනාව ගැනය. “අගමැතිවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව අපි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ආණ්ඩුව හදන්නේ මේක යටගහන්න. ඒකට ඉඩදෙන්න බෑ’ විමල් මෙහිදී දැඩිය කියා සිටියේය.
‘විශ්වාසභංගයට සහාය දෙන්න ශ්‍රී.ලා.නි.ප වගේම එජාප පිරිසකුත් අපිට කැමැත්ත පළ කරලා තියන්නේ. මේ වෙනකොට විශ්වාසභංගය හදලා ඉවරයි. දැන් තියන්නේ අත්සන් කරන්න විතරයි’ ගම්මන්පිල කීවේය.
“එහෙනම් අපි අත්සන් කරන වැඩේ පටන් ගමු. අනිත් පක්ෂ සම්බන්ධ කර ගන්න එක දිනේෂුයි, ඩලසුයි බලන්න’ මහින්ද උපදෙස් දුන්නේය.
‘ මහනුවර සිද්ධිය දඩමීමා කරගෙන ඇත්ත ප්රශ්නය යටගහන්න තමයි ආණ්ඩුව හදන්නේ. මේ හින්දා මහ බැංකුවේ මහ කොල්ලය යට ගියා. අගමැති මේකට වගකියන්න ඕනෑ කියලා අමතක කරවලා, පළමුවැනි විත්තිකරු පැනලා ගිහින් කියන එක අමතක කරවලා, බඩු මිල වැඩිවෙන එක අමතක කරවලා, රටේ තිබුණු ප්‍රශ්න අමතක කරවලා මහින්ද යළිත් පැවසූ විට, ආණ්ඩුව මේ ගන්නේ තාවකාලික වින්දනයක්’ යැයි බන්දුල පැහැදිලි කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd