කුණු ප්රශ්නය හිඟන්නාගේ තුවාලය බඳු ගැටලුවක් බවට පත්ව තිබේ. කසළ වර්ගීකරණය කොට බාරදෙන ලෙස කෙතරම් ජනතාව දැනුවත් කළද, ඊට නිසි සහයක් නොලැබෙන බව රජයෙන් කෙරෙන චෝදනාවකි.
වර්ගීකරණය කළද නිසි වේලාවට සහ නිසි ආකාරයෙන් කසළ එක්රැස් කිරීම සිදුනොවන බවට ජනතාව රජයට චෝදනා කරති. කෙසේ වෙතත් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනගැනීමට අප බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මේ වනවිට යම් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නේද?
ඇත්තටම මේ ගැටලුවේදී තිබුණේ කසළ අවසාන වශයෙන් බැහැර කිරීමට නිසි ස්ථානයක් නොමැති වීම. තෝරාගත් පහත් බිම්වලට කසළ බැහැර කිරීම තහනම් කිරීමත් එක්ක, එක්රැස් කරන කසළ බැහැර කරන්න නිසි ස්ථානයක් නැති වුණා.
අවසානයේදී ඊට විරුද්ධ වුණු පාර්ශ්වයන්ම පහත් බිම්වලට කසළ බැහැර කරන්න තීරණය කළා. ඒ තීරණයත් එක්ක මේ වනවිට මෙම ගැටලුව නිරාකරණය වෙමින් පවතිනවා. ඒ නිසා දැනට කුණු කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ.
Q නමුත් කුණු එක්රැස් කිරීමේ කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන බවට ජනතාවගේ පැත්තෙන් චෝදනාවක් තිබෙනවා?
අපි ජනතාවට පැහැදිලිවම දන්වා තිබෙනවා කසළ බැහැර කිරීමේදී දිරන අපද්‍රව්‍ය, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය සහ අවශේෂ අපද්‍රව්‍ය ලෙස ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කළ යුතුයි කියලා. වරින් වර අපි මේ ගැන ජනතාව දැනුවත් කළා. මිනිස්සු ඒ විදියට කසළ වර්ග කරන්නේ නැත්නම් අදාළ පළාත් පාලන ආයතන ඒ කසළ බාරගන්නේ නැහැ.
අපි ඒ අදාළ සේවකයන් දැනුවත් කරලා තියෙනවා වර්ග නොකළ කසළ බාරගන්න එපා කියලා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් මීටත් වඩා අපට සහයෝගය අවශ්‍ය කරනවා.
ඒ වගේම ජනතාවට අයිතියක් තිබෙනවා තමන්ගෙන් බදු ලබාගන්න අදාළ පළාත් පාලන ආයතනවලින් මේ සේවාවන් නිසි ආකාරයෙන් සිදුනොවනවා නම් ඒ පිළිබඳ පළාත් පාලන ආයතනවලින් ප්‍රශ්න කරන්න. අපද්‍රව්‍ය කළමනාකරණය කියන කාරණය තනි අතින් අත්පුඩි ගහනවා වගේ වැඩක් නෙවෙයි.
Q මහල් නිවාස සංකීර්ණ සහ පැල්පත් නිවාසවල කසළ කළමනාකරණයට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද?
ඇත්තටම පැල්පත් සහ මහල් නිවාස කියන්නේ අපි වෙනම ගතයුතු කාරණයක්. මොකද එතන තියෙන්නේ විශේෂිත වගේම මඳක් සංකීර්ණ තත්ත්වයක්. ඒ නිසා මේ වනවිට කොළඹ නගර සභාවත් සමග එක්වෙලා අපි පැල්පත් නිවාසවල ජනතාව දැනුවත් කරමින් යනවා කුමන ආකාරයෙන්ද තමන්ගේ කසළ කළමනාකරණය කරගත යුත්තේ යනුවෙන්.
ඊට අමතරව මහල් නිවාසවලටත් ඒ ඒ මහල් නිවාසවල තිබෙන ස්වභාවය අනුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා සිටිනවා. එහි ප්‍රතිඵලයක් විදියට අපි තීරණය කරලා තිබෙනවා මහල් නිවාසවල කුණු දැමීමට භාවිත කරන 'කසළ දොරු' (Garbage chutes) සීල් තබා ඒ ජනතාවටත් කසළ වර්ග කරලා බාරදෙන්න කියලා දැනුවත් කිරීමට.
Q මෑතකදී කසළ කළමනාකරණය කරගන්න කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කරපු සැලැස්මට මොකද වුණේ?
ඇත්තටම ඒ සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකියි කියලා ඉංජිනේරුවරුන් පවා පිළිගත්තත් අපි බලාපොරොත්තු වුණු විදියටම එය ක්‍රියාත්මක නොවීම යම් ගැටලුවක්. නමුත් සැලැස්මේ තිබූ ක්‍රමවේද තමයි දැන් අපි පියවරින් පියවර ක්‍රියාත්මක කරමින් ඉන්නේ.
Q මුතුරාජවෙලට කසළ බැහැර කරන්නේ නිසි ක්‍රමවේද භාවිත කරලද?
පහත් බිම්වලට කසළ බැහැර කිරීමේදී ඊට ක්‍රමවත් වැඩපිළිවෙළක් යොදාගන්න බැහැ. තෙත් බිමක් කියන්නේ ස්වභාවයෙන්ම ජරාවට පත්වෙලා තිබෙන තැනක්. මෙතනදි අපට තීරණය කරන්න වෙලා තියෙනවා පරිසරය ආරක්ෂා කරනවාද, එහෙමත් නැත්නම් ජනතාව ආරක්ෂා කරනවාද යනුවෙන්. ඒ නිසා මේ වෙලාවේ ගන්න තිබෙන සුදුසුම තීරණය තමයි අපි ගත්තේ.
මොකද මේ වෙද්දි ඩෙංගු වසංගතය දරුණු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් යනවා මේ කුණු ප්රශ්නය හේතුවෙන්. මේ වෙද්දී කොළඹ නගරයේ සංචාරය කරන්න එපා කියලා යුරෝපා රටවල් තමන්ගේ ජනතාව දැනුවත් කරමින් සිටිනවා. මේ තත්ත්වය ගැන අපි දෙවරක් සිතීමට අවශ්‍යයි.
Q බලශක්ති උත්පාදන ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය කොයි වගේද?
කරදියාන විදුලි උත්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් අපි ෆෙයා වේස්ට් පෞද්ගලික සමාගමත් එක්ක පසුගියදා ගිවිසුම්ගත වුණා. එහි මුල්ගල තැබීමේ කටයුතු අගෝස්තු 02 වැනිදා සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඊට අමතරව මුතුරාජවෙල විදුලි උත්පාදන ව්‍යාපෘතියට අගෝස්තු 10 වැනිදා මුල්ගල තැබීමට නියමිතයි. දඹුවත්ත විදුලි උත්පාදන ව්‍යාපෘතියේ කටයුතු මඳක් ප්‍රමාද වෙනවා පරිසර වාර්තා තවම නොලැබීම නිසා.
Q සමහර අවස්ථාවල පැන නගින විරෝධතා මේ කටයුතුවලට බලපාන්නේ කුමන ආකාරයටද?
මේ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලුව මෙතරම් දුරදිග යන්න එක් හේතුවක් තමයි මේ අයුතු විරෝධය. 1996 වසරේ ඉඳලා අවිස්සාවේල්ල අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න යද්දි ඒකට විශාල ජනතා විරෝධයක් ආවා. ඊට පස්සේ පාදුක්ක ව්‍යාපෘතියටත් විරෝධතා ආවා.
2011 වසරේදී ගෙන ආපු කඩුවෙල බලශක්ති උත්පාදන ව්‍යාපෘතියටත් මේ ආකාරයෙන් විරෝධතා මතු වුණා. මේ දුරදිග නොබලා ආපු විරෝධතා හේතුවෙන් තමයි මෙවැනි තත්ත්වයක් උදා වුණේ. කුණු කියන්නේ මුළු සමාජයම වගකිවයුතු ගැටලුවක්. ඒ නිසා මේකට කොළඹ කුණු, කොළොන්නාවේ කුණු කියලා විශේෂණ යොදන එක සුදුසු දෙයක් නෙවෙයි. මහජනතාව තේරුම්ගත යුතුයි මේ ගැටලුවේ පවතින සැබෑ පැතිකඩ ගැන.
Q මේ කෙරෙන වැඩසටහනුත් අනිත් ඒවා වගේම අතරමග අඩපණ වෙයිද?
දැනට නම් මේ සඳහා වගකීම තිබෙන සියලු ආයතන මනා සහසම්බන්ධයකින් කටයුතු කරමින් ඉන්නේ. විය යුත්තෙත් ඒකමයි. මම හිතන්නේ මේ වෙලාවේ මෙම ගැටලුවට නිසි පිළියමක් යොදන්න අපට බැරි වුණොත් ආයෙත් අපට විසඳුමක් ලබාදෙන්න බැරිවෙයි. අපිට තිබෙන අවසාන අවස්ථාව මේක. දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි ඉතා ඉවසීමෙන් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතුයි.