කොළඹ ආශ්‍රිතව හා අනෙකුත් ප්‍රධාන නගරවල නාගරීකරණය ශීඝ්‍රයෙන් පැතිරීම සංවර්ධනයේ නව කඩඉමක් ලෙස දක්නට ලැබේ. නමුත් මෙම සංවර්ධනය සිදුවෙන අතරතුර ප්‍රමිතියෙන් තොර සංවර්ධන කටයුතු බොහොමයක් සිදුවන බවට පසුගිය දිනයේ වැල්ලවත්ත ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් මනාවට පැහැදිලි වෙයි.
මෙහි පසු විපරමක් සිදුකළහොත් දැනට පවත්නා නීතිය යටතේ වර්ග අඩි 4000 ට වැඩි ගොඩනැගිලි සඳහා අනුමැතිය නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබාගත යුතු අතර වර්ග අඩි 4000 ට අඩු ගොඩනැගිලි සඳහා පළාත් පාලන අයතන මගින් අනුමැතිය ලබාදීම සිදුවේ. මෙමගින් ඉදිකිරීම් කටයුතු කරගෙනයාම සඳහා සංවර්ධන බලපත්‍රය ලබාදීම සිදුවේ.
සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය වසරක් පමණක් වන අතර බොහෝ ගොඩනැගිලි වසරක කාල පරාසයකදී සාදා නිමකළ නොහැකි අතර අවම වශයෙන් වසර 2-3 ක කාලසීමාවක් ඒ සඳහා ගතවනු ඇත. නමුත් බොහෝ සංවර්ධන කරුවන් විසින් මෙම වසරක වලංගු සංවර්ධන බපත්‍රය යාවත්කාලීන කරගනු නොලබන අතර ඒ සඳහා අනවසර කොටස් ඇතුළත් කරනු ලැබේ. සංවර්ධන බලපත්‍රයට පරිභාහිරව අනවසර කොටස් මෙන්ම සම්පූර්ණ අනවසර ඉදිකිරීම් ද මේ අතර සිදු වෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් පත්‍ර වලට අනුකූලව සංවර්ධන සැලසුම් හා සංවර්ධන රෙගුලාසිවලින් පරිභාහිරව අනුමැතියකින් තොරව සිදුකරන සියලු සංවර්ධන කටයුතු අනවසර ඉදිකිරීම් වේ. විධිමත්ව සිදුකරන සංවර්ධන කටයුතු පමණක් නිසි ආකාරයෙන් සංවර්ධන බලපත්‍ර යාවත්කාලීන කර අවසානයේ අනුකූලතා සහතිකය ගනු ලැබේ.
මෙම අනුකූලතා සහතිකය ලබාදීමේදී අදාළ පළාත් පාලන ආයතන මගින් සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ එනම් වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ, වරලත් ඉංජිනේරුවරුන්ගේ හා අනෙකුත් අදාළ වෘත්තිකයන්ගේ සහතික ලබාගෙන පසුව මෙම අනුකූලතා සහතිකය නිකුත් කිරීම සිදුකරනු ලැබේ. මෙම සෑම ගොඩනැගිල්ලක්ම නිසි ප්‍රමිතියට ඉදිකරනවාදැයි පරීක්ෂා කිරීමට දැනට පවත්නා ක්‍රමවේදයේ ඉඩකඩක් නොමැති බව පෙනේ.
නමුත් මෙම අනුමැතිය ලබාදීමෙන් පසු අනුමැතිය ලබාගත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය අදියරෙන් අදියර පරීක්ෂාකර බැලීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීමේදී එය වරලත් වාස්තු විද්‍යාඥයෙකු හා වරලත් ඉංජිනේරුවරයෙකුගේ සහතික කිරීම පමණක් ගොඩනැගිලි අයදුම්පතෙහි දක්වා ඇති අතර ඉදිකිරීම අවසානයේ ඔවුන් පදිංචිවීමට සුදුසු බවට සහතික ලබාගත් පමණින් මෙහි ප්‍රමිතිය තහවුරු නොවේ.
මෙයට ප්‍රධානතම හේතුව නම් බොහෝ පළාත් පාලන ආයතන මගින් මෙය හුදු ලියකියවිල්ලකට පමණක් සීමා කර තිබීමයි. එම සහතිකය පමණක් ප්‍රමාණවත් නොවන බව දැනට කොළඹ නගරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්වලින් හා පසුගියදා කඩාවැටුණු වැල්ලවත්තේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මනාව පැහැදිලි වේ. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමටත් ප්‍රමිතියෙන් යුතු ගොඩනැගිලි ඉදිකිරීමට පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමි.
අයදුම්පත් භාරදීමේදී (වර්ගඅඩි 4000 ට වැඩි ගොඩනැගිලි) එම ගොඩනැගිල්ලට අදාළ සියලු දත්තයන් එනම් පස් පරීක්ෂා කිරීමේ වාර්තාව (Soil Investigation Report), ව්‍යුහාත්මක ගණනය කිරීම් සහ සැලසුම් හා අනෙකුත් ගෘහ නිර්මාණාත්මක සැලසුම් පළාත් පාලන ආයතන වෙත භාරදිය යුතුය.
ගොඩනැගිලි අයදුම්පත සම්පූර්ණකර වරලත් වාස්තු විද්‍යාඥයෙකු හා වරලත් ඉංජිනේරුවරයෙකු සහතික කර ඒ සඳහා දල ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර එම ඇස්තමේන්තුවට අනුව රජයේ ලියාපදිංචි (CIDA ආයතනයේ) සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු ලවා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කළ හැකිය.
එහිදී එම ආයතනයේ ඇති සුදුසුකම් ලද නිලධාරීන් මගින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු වන අතර ඒ අනුව ඉදිකිරීම් කටයුතු කරන ආයතනය මගින් ප්‍රමිතිය පිළිබඳව වගකීම භාර ගනු ලැබේ. තවද වර්ග අඩි 4000 අඩු නේවාසික සංවර්ධන කටයුතු සඳහා CIDA ආයතනයේ ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවෙකු තෝරාගැනීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය නොවේ.
එසේ නොමැති නම් ගොඩනැගිලි අයදුම්පත සහතික කරන ලද වරලත් ඉංජිනේරුවරයා ලවා අවශ්‍ය අවස්ථාවන්හිදී (during main concreting works etc.) ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පරීක්ෂා කිරීම කළ හැකිය. අතරමැදි ඉදිකිරීම් අවස්ථාවන්හීදී ඉදිකිරීමේ ප්‍රමිතිය සම්බන්ධව අදාළ වරලත් ඉංජිනේරුවරයාගේ සහතික පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කිරීම යෝජනා කරන අතර අනුකූලතා සහතිකය ලබාදීමේදී සියලු ලියකියවිලි ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුය.
ගොඩනැගිල්ල සඳහා සංවර්ධන බලපත්‍රය ලබාදීමෙන් පසු ප්‍රමිතියට අනුව ඉදිකිරීම් සිදුවේද යන්න පරීක්ෂා කිරීම සඳහා වෙනම ඒකකයක් පළාත් පාලන ආයතන තුළ පිහිටු විය යුතු අතර එමගින් එම ඉදිකිරීම් නියමානුකූලව සුදුසුකම්ලත් පුද්ගලයන්ගේ අධීක්ෂණය මත සිදුවේද යන්න පරීක්ෂා කිරීම සිදුකළ යුතුය.
යම් හෙයකින් අයිතිකරු එම උපදෙස් පිළිපැදීම නොකරනු ලබයි නම් මෙම ඉදිකිරීමට සුදුසුකම්ලත් ඉංජිනේරු වරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුනොවන බව අනුමැතිය ලබාදුන් ආයතනය වෙත දැන්වීම තුළින් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට අවස්ථාව ලැබේ.
ඉහත කරුණු අනුගමනය කළද අවාසනාවට හෝ ඉදිකර ඇති ගොඩනැගිල්ලක් කඩාවැටීමක් හෝ වෙනයම් ආපදා තත්ත්වයකට (Structural failure) ලක් වුවහොත් ඒ සඳහා කරනු ලබන අධ්‍යයනයකට පසුව ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම්දීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වාදිය යුතුය. මෙම කරුණු අනුගමනය කිරීමෙන් ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම් කටයුතු සිදුකරන ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා ඇතිවන ව්‍යවසන නතර කරගැනීමටත් හැකිය.
වරලත් ඉංජි. ජී.කේ.ඩී.එස්.ඒ.ප්‍රියන්ත ගොඩේගම
අතිරේක ව්‍යාපෘති අධ්යක්ෂ (තාක්ෂණ)
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය
නාගරික සංවර්ධන අධිකාරිය