Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගිවිසුම්ගත වෙමින් පිහිට වූ යහපාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වූයේ මෙම සතියේදීය. ආණ්ඩුවේ දෙවැනි සංවත්සරය සමරන විට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු දෙදෙනෙක් සති දෙකකදී ඉවත්වූහ. රවි කරුණානායක අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ උණුසුම මැකීයෑමටත් පෙර රටේම අවධානය යොමුවූයේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙතය.
පසුගිය ආණ්ඩුවේ මහා පරිමාණ වංචා, දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධ නඩුවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අධිකරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා මගහරිමින් සිටින බවට චෝදනා එල්ල විය.
මෙම චෝදනාව මුලින්ම අගමැතිවරයාටත්, ජනාධිපතිවරයාටත් යොමුකරන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා විසිනි. පක්ෂ නායකත්වය සහ ආණ්ඩුවේ නායකත්වය මෙම කරුණ පිළිබඳ සංවේදී වන ලෙස අජිත් පී. පෙරේරා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
පසුව ඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳ කරුණු හෙළිකළ අතර, හොරු සමග ඩීල් දමන ආණ්ඩුවේ ඇමතිවරුන් හෙළිකරන බවත්, බැඳුම්කර කොමිසම මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා, දූෂණ සෙවීමට කොමිසමක් අවශ්‍ය බවත් ඔහු කියන්නට විය.
මේ අතර, විජයදාස රාජපක්ෂට ඍජුව චෝදනා එල්ල කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි. විජයදාස රාජපක්ෂට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වනවිට අගමැති රනිල් එය වැළැක්වුවේ එක්සත් ජාතික පෙරමුණේ හමුවක් කැඳවන බවට පොරොන්දු වෙමිනි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ හමුවක් පවත්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ විජයදාස රාජපක්ෂ සම්බන්ධ චෝදනා සාකච්ඡා කරන්නට විය.
එහිදී මන්ත්‍රීවරු සියලු දෙනා නඩු ප්‍රමාද වීම පිළිබඳ මෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධ ප්‍රකාශය පිළිබඳ විජයදාස රාජපක්ෂගෙන් ප්‍රශ්න කර සිටියහ. ඔහු ඒ සියල්ලට පිළිතුරු දුන් අතර, හම්බන්තොට වරාය පිළිබඳ ප්‍රකාශයක් සිදුනොකළ බවද පැවසීය.
කෙසේ හෝ තමන්ට එල්ල වන චෝදනා නිවැරදි කිරීමට එක්සත් ජාතික පෙරමුණ විසින් විජයදාසට දින හතරක් ලබාදෙන ලද අතර, එම දිනයන් තුළ ඒ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසද ඉල්ලා සිටියේය.
එම හමුවෙන් අනතුරව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම හමුවූ විජයදාස පැවසුවේ, චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර සමාව ඉල්ලා සිටින බවයි. එසේ වුවද ලබාදී තිබූ කාලය අවසන් වනතුරුම විජයදාස ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකළේය.
ඒ වෙනුවට අනුරාධපුරයේදී සහ මහනුවරදී ආණ්ඩුවේ ක්‍රියා තවදුරටත් විවේචනය කළ විජයදාස, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවද පැවසීය.
මේ අතර ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර සාකච්ඡාවක් සඳුදා පැවැති අතර, විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔවුන් දෙදෙනාද එකඟතාවට පැමිණියහ.
එම සාකච්ඡාවෙන් පසු ඇමති රාජිත, හරීන්, කිරිඇල්ල සහ අජිත් පී. පෙරේරා සමග අගමැති රනිල් අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කළ අතර, ජනාධිතිවරයා සහ තමන් ගත් තීරණය එහිදී අගමැතිවරයා දැනුම් දුන්නේය.
සඳුදා රාත්‍රී ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැති අතර, එයට විජයදාස රාජපක්ෂ සහභාගි නොවිණි.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳ මන්ත්‍රීවරුන් විමසූ අතර, අගමැතිවරයා එහිදී පැවසුවේ, විජයදාස සම්බන්ධ තීරණය ගෙන ඇති බවත්, එය ක්‍රියාත්මක වනු ඇති බවත්ය.
අඟහරුවාදා දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණය දැනුම් දෙමින් අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ, විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
එම ලිපිය යොමුකිරීමෙන් පසු අඟහරුවාදා රාත්‍රියේ විජයදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රී හමුවූ අතර, තමන්ව අස්නොකරන ලෙසත්, වහාම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් පැවසීය. ජනාධිපතිරයා එයට අනුමැතිය ලබාදුන්නද, බදාදා දහවල් වනතුරුම විජයදාස ඉල්ලා අස්නොවූ බැවින් ජනාධිපතිවරයා විසින් ඇමති විජයදාසව අමාත්‍ය ධුරයන්ගෙන් නෙරපනු ලැබීය.
එම ලිපිය විජයදාස රාජපක්ෂගේ නිවසට ගෙන ගොස් බාරදී තිබුණේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසිනි. ලිපිය ලැබීමෙන් පසු අධිකරණ අමාත්‍යාංශයේ සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ සිය පෞද්ගලික ලියවිලි ඉවත්කර ගත් විජයදාස රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට ලැජ්ජාවට කරුණක් යැයි කියමින් ඉවත්ව ගියේය. ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බවටද හෙතෙම කියන්නට විය.
එදිනම සන්ධ්‍යාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාසගෙන් ප්‍රශ්න කර සිටියේ, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම ලැජ්ජාවට කරුණක් නම්, ජනාධිපතිවරයා නෙරපන තුරුම ඉන් ඉවත් නොවූයේ ඇයි දැයි යනුවෙනි.
විජයදාස රාජපක්ෂ සෑම ආණ්ඩුවකින්ම තමන්ට ලැබුණු අමාත්‍ය ධූරවලින් නියමිත කාලයට පෙර ඉවත්වු අතර චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවෙන් ලැබුණු ඇමතිකම ප්‍රතික්ෂේප කළේය. මහින්ද රජපක්ෂ ආණ්ඩුවේන් ලැබුණු ඇමතිකම මාස 05ට සීමා වු අතර එම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වුණි. මෛත්‍රී රනිල් ආණ්ඩුවේ අමාත්‍ය ධුරය වසර 02ක් තුළින් දී ඉවත් කෙරිණි. දින 100 ආණ්ඩුවේදී පමණක් ඔහු සම්පුර්ණ කාලය අමාත්‍ය ධූරයේ කටයුතු කළේය.
සුසිල් ගැන කතා කරන්න වෙනවා
විජයදාසගෙන් පසුව ආණ්ඩුව ප්‍රබල ලෙස විවේචනය කරමින් සිටින්නේ ඇමති සුසිල් ප්රේම්ජයන්තයි. ආණ්ඩුව වැඩි බැරි ආණ්ඩුවක්, සම්පත් විකුණාගෙන කන ආණ්ඩුවක් ආදී දේ කියමින් සුසිල් ආණ්ඩුවට අවස්ථා කිහිපයකදීම ප්‍රබල ප්‍රහාර එල්ල කළේය.
බදාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණෙන ඇමති දයාසිරිගෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුව විවේනය කිරීම ගැන පියවරක් ගන්නවාදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කතා කරන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ජනාධිපතිවරාය එක්ක මේ ගැන සාකච්ඡා කරනවා. කතා කරලා බලමු. දයාසිරිගේ පිළිතුර එසේ විය.
මේ අතර සුසිල් ප්‍රේම්ජයන්ත සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇති අතර ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමගද සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවද ආණ්ඩුවට ආරංචි වී ඇත. මේ නිසාම ආණ්ඩුවේ කටයුතු කිරීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන ලෙසද ආණ්ඩුවේ ප්‍රධානීන් ඔහුට දැනුම්දී ඇති බවද දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබේ.
අපිට ගැහුවොත් අපිත් ගහනවා
කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර ගැටුම ක්‍රමයෙන් උග්‍ර වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරමින් සිටියි.
සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර එහිදී ඇමති දයාසිරිට එකවරම කියැවුණේ අපිට ගැහුවොත් අපිත් ගහනවා කියාය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුනුත් අපිට ගහනවා. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙ නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා මට ගහලා තිබුණා. මම ක්‍රිකට්වලට මොකද්ද කරලා තියෙන වරද. එහෙම පහර දෙද්දී අපිටත් අනිත් පැත්තට පහර දෙන්න හිතෙනවා.
ලක්ෂයයි කැබ් එකයි දුන්න ඇමති
අපිත් රුපියල් ලක්ෂයකුයි කැබ් එකකුයි මන්ත්‍රීවරුන්ට දුන්න නම් ඒ කතා අපිට කියන්නේ නැහැ. එහෙම නම් අපිවත් ආරක්ෂා කරයි. දයාසිරි දිගින් දිගටම කියාගෙන ගියේය.
කාටද ඇමතිතුමා ලක්ෂයයි කැබ් එකයි දුන්නේ?
දීපු අය ඉන්නවා මට නම්ටික කියන්න පුළුවන්. ඒ ඇමතිවරුන්ට මොකුත් කියන්නේ නැහැ. එයාලා හරි ෂෝක් බාබාලා. අපිට තමයි බනින්නේ.
ඇමතිතුමා කවුද ඒ ඇමතිවරයා?
නැ එහෙම කියද්දී අපිටත් කියන්න දේවල් තියෙනවා. එහෙම කියද්දී අපිටත් තරහක් එනවා. ඒකයි මම කියන්නේ. නිවැරදි කාරණා පිළිබඳ නිවැරදි විදිහට කතා කරනවා නම් අපි ඒකට සූදානම්. නමුත් නිකම් ඇවිත් මඩගහන්න මිනිස්සුන්ට බනින්න වැරදිකරුවෝ ආරක්ෂා කරන්නයි ගියහම තමයි ප්‍රශ්න එන්නේ. ඒකයි මම කියන්නේ මේකේ සීමාවක් තියෙන්න අවශ්‍යයි. දායාසිරි එය සමථයකට පත් කිරීමට උත්සාහ කළේය.
ආණ්ඩුවම හොරු රැක්කා... විජයදාස බිලිබෝයි වුණා...
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගිය බදාදා කොළඹදී පැවැත්වුණි. එම අවස්ථාවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයෝ සහභාගි වී සිටියහ. රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදයන් පිළිබඳවත් ඉදිරි මැතිවරණය හා විජයදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ද මෙහිදී ඔවුහු සාකච්ඡා කළහ.
''රවීගේ මුදල් ගනුදෙනු එක්ක තමයි මේ වංචා දූෂණ ගැන කතාව ආපහු උඩට ආවේ. නැත්නම් මේ ආණ්ඩුව දිගටම හොරු ගැන කතා කරන එක නවත්වලා තිබුණේ. ඒකයි අපිට කියන්න සිදු වුණේ පාර්ලිමේන්තුවේදී මූණටම හොරු කිව්වාම, හිනා වෙලා ඉන්න ඇමතිලා එක්ක වංචා දූෂණ මාතෘකාව තව දුරටත් කතා කරලා වැඩක් නැහැ කියලා. කොහොම වුණත් දැන් රවීගේ හොරකම අමතක වෙලා විජයදාස මාතෘකාව වෙලා'' අනුර දිසානායක කියා සිටියේය.
''මුල ඉඳලම හොරු රැක්කේ කවුද කියලා රටම දන්නවා. වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලා ආරක්ෂා කළා ශ්රීලනිපය දෙකට කඩන්න. ජනාධිපතිතුමා තමන් ළඟට ආපු ඇමතිවරුන්ගේ වංචා දූෂණ යට ගැහුව්වා. අන්තිමට රවීගෙ හොරකම නිසා රවීට ගෙදර යන්න වුණාම එජාප මන්ත්‍රීන්ට හොරු ගැන කතා නොකර බැරි වුණා. ඒකයි ඇත්ත කතාව. විජයදාසත් හොරු රකින්න ඇති. ඒත් එකම චූදිතයා එයා නෙවෙයි. අන්තිමට බිලිබෝයි වුණේ විජයදාස.'' ටිල්වින් සිල්වා කියා සිටියේය.''
එයට එක් වූ විජිත හේරත් කිව්වේ දැන් හැමෝම එකතුවෙලා විජයදාස මුව හමට තඩිබානවා. අවුරුදු දෙකක් වංචා දූෂණ ගැන මොකුත් නොකර ඉඳලා දැන් බොරු කයිවාරු ගහනවා. ඒ අස්සේ රාජිතලා පෞද්ගලික වෛර පිරිමහ ගන්නවා. රවී කරුණානායකටත් මේකෙන් පොඩි වාසියක් ඇවිත් එයාගේ වැඩේ යට ගිහින් නිසා.
විජයදාස කියලා තිබුණා කැබිනට් එකේ ඉන්න වුණු එක ලැජ්ජයි කියලා. ජනතාවම ලැජ්ජ වෙනවා, මෙහෙම ආණ්ඩුවක් රටේ තියන එක ගැන. කොහොමත් විජයදාස ඉවත් කළා කියලා පරණ හොරුන්ටවත් අලුත් හොරුන්ටවත් දඬුවම් දෙයි කියලා ජනතාවට විශ්වාසයක් නැහැ.'' කියාය.
''පරණ ඇමතිවරු මේ ඇමතිවරුන්ට හොරු කියනවා. දැන් ඇමතිවරු පරණ ඇමතිවරුන්ට හොරු කියනවා. දැන් තරගේ තියෙන්නේ ලොකුම හොරා තෝරන්න. රාජිත කියලා තිබුණා රටේ කාන්තාවෝ තමයි හොරු අල්ලන්න කියලා කෑගහන්නේ කියලා. එහෙම කියන රාජිතත් හොරකම් කළානේ. කොහොම වුණත් අපි හොරුන්ට එරෙහි කාන්තා බලය කියලා සම්මන්ත්රණ මාලාවක් තියලා ජනතාව දැනුවත් කරනවා.'' සමන්මලී ගුණසිංහ කියා සිටියාය.
ආණ්ඩුව තවත් අඩියක් පස්සට ගනී?
මෙහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමුවී තිබිණි. ''ආණ්ඩුව කලින් කිව්වා පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මාසේ සා/පෙළ විභාගයට කලින් තියලා අවසන් කරනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව අඩියක් පස්සට තියලා තියෙන්නේ.
දෙසැම්බර් ඡන්දෙ ජනවාරිවලට කල්දාන්න යනවා. අවුරුදු ගාණක් කල්දාලා තවත් පස්සට ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. පනත සම්මත කරපු ගමන් ඡන්දය පවත්වන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙනවා'' අනුර දිසානායක මතක් කළේය.
''රවීගේ ප්රශ්නෙනුත් විජයදාසගේ ප්රශ්නෙනුත් ආණ්ඩුව හිතපු නැති විදියට තවත් අප්‍රසාදයට පත්වුණා. මීට කලින් ඡන්දය ගැන කතා කරන වෙලාවේ ඒ ප්‍රශ්න ආණ්ඩුවට තිබුණේ නැහැ.
ඒ නිසා ආණ්ඩුව දැන් අයවැයෙන් පස්සේ ඡන්දය පවත්වන්න උත්සාහයක ඉන්න බවයි පේන්න තියෙන්නේ. අයවැයෙන් සීනි බෝල ටිකක් දීලා ඡන්දය ගන්න.'' බිමල් රත්නායක කියා සිටියේය. ''කොහොමත් ආණ්ඩුව ඡන්දෙට බයයි. ඒ නිසයි මේ තරම් කාලයක් කල් දමමින් ආවේ. නමුත් තවදුරටත් ඒ වැඩේට ඉඩ දෙන්න බැහැ.'' ලාල් කාන්ත ද එයට එක් විය.
මරදානේ ඉඩමක් චීනෙට?
ආණ්ඩුව සිදු කරන රටට අවාසි තවත් ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව තමන්ට ලැබුණු තොරතුරක් මෙහිදී සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ නායකයන්ගේ අවධානයට යොමු කළේය. ''පහුගිය රාජපක්ෂ ආණ්ඩුව මරදානේ සෙන්ට්‍රල් සිනමා එකට අයිති ඉඩමක් විකුණන්න ඇස්තමේන්තු කරලා තිබුණා. 2014දී ඉන්දියාවට දෙන්න තමයි සියලුම ගිවිසුම් සූදානම් කරලා තිබුණේ.
නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක නැවතුණා. නමුත් දැන් ඒ ඉඩම අවුරුදු 3කට කලින් කළ ඇස්තමේන්තුවටම චීනෙට දෙන්න දැන් ගිවිසුම් අත්සන් කරලා කියලා ආරංචියි. නාගරික සංවර්ධන අධිකාරිය ගිවිසුම අත්සන් කළා කියලයි දැනගන්න තියෙන්නේ. පර්චස් එකක් ලක්ෂ 30කට වගේ තමයි මිල කරලා තියෙන්නේ.'' සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
''මරදානේ ඉඩමක් මේ තරම් කුණු කොල්ලයට ආණ්ඩුව දෙන්න යන්නේ. එක පැත්තකින් වරාය වගේ ව්‍යාපෘති විකුණනවා. ඒ මදිවට රට මැද තියෙන ඉඩම් ටිකත් චීනෙට දීලා දානවා. මේ ආණ්ඩුව අවුරුදු පහ ඉවර වෙන කොට තව මොනවා විකුණලා දායිද දන්නේ නැහැ.'' වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.
බදු පනතට එරෙහිව විරෝධතා මාලාවක්
''ආණ්ඩුව තමන්ගේ ආර්ථික අර්බුදය වහගන්න අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නේ රටයි ජනතාවයි පාවා දීලා. රටේ හැම පුරවැසියෙකුටම බදු ෆයිල් එකක් දීලා උපයන හැම රුපියලකටම බදු ගහන්නයි දැන් ආණ්ඩුව හදන්නේ. බදු ගහන්න පුළුවන් හැම ක්ෂේත්රයක්ම ආණ්ඩුව බදුවලට යටත් කරලා. රුපියල් පනස්දාහක් උපයන සෑම කෙනාම ආදායම් බදුවලට යටත් කරලා.
රටේ ආදායම වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාවට වක්‍ර බදු, ඍජු බදු දෙකම එකවිදියට ගහනවා. ඒත් රටේ ජනතාව මේ බදු පනත ගැන හොඳම අවබෝධයක් නැහැ. මේ පනත සම්මත කර ගන්න දෙන්න බැහැ. වෘත්තීය සමිති විදියට මේකට වැඩවර්ජනයක් කරන්න සූදානමක් තියෙනවා.'' ලාල් කාන්ත නව බදු පනත පිළිබඳව මධ්‍යම කාරක සභිකයන්ගේ අවධානය යොමු කළේය.
''ඔව්, මේ බදු පනත සම්මත කර ගත්තොත් ජනතාවට ලේසි වෙන්නේ නැහැ. ඒ නිසාම ජනතාව දැනුවත් කරලා මේ පනතට ලොකු විරෝධයක් හදන්න වෙනවා. අපි මේ ගැන අත්පත්‍රිකාවක් සකස් කරලා ජනතාවට බෙදමු. මුලින්ම මේ ගැන දැනුවත් කරන එක වැදගත්. ඒ වගේම පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමු'' විජිත හේරත් යෝජනා කළේය. ''ඒ විතරක් නෙවෙයි මේ ගැන සම්මන්ත්රණ මාලාවක් තියලා ජනතාව අතර සංවාදයක් හදන එක හොඳයි.'' සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය.
ඉස්සරලා කවන්නේ චන්ද්‍රාණිට ද තලතට ද
අගමැති රනිල් වික්‍රමසිංහ සඳුදා ගාලු නගරයට පැමිණියේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ආරාධනාවක් මතය.
ඇල්පිටියේ සංවිධානය කර තිබූ ඉඩම් හිමිකම් පත්ඉරු බෙදා දීමේ උත්සවයකට අගමැති රනිල් සහභාගි වූ අතර එදින ගයන්ත කරුණාතිලකගේ උපන් දිනය යෙදී තිබීම විශේෂත්වයක් විය.
අගමැති රනිල්, ඇමති වජිර අබේවර්ධන හා කොළඹින් එහි ගොස් සිටි අනෙකුත් මැති ඇමතිරු පිරිසත් ඇමති ගයන්තට සුබ පැතීමට අමතක නොකළ අතර ගයන්තගේ උපන් දිනය වෙනුවෙන් සකසා තිබූ කේක් ගෙඩිය කැපීමට ද අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
කේක් කපන විට අසල සිටි පිරිස දැක අගමැති රනිල් විහිළුවක්ද කළේය.
දැන් ගයන්ත ඉස්සෙල්ලා කේක් කවන්නේ තලතාට ද චන්ද්‍රාණිට දැයි ඇසුවේ කවුරුත් සිනහ ගන්වමිනි.
කෙසේ වෙතත් තලතා හා චන්ද්‍රණි දෙදෙනා ගයන්තගේ කේක් රස බැලූ පසු අගමැතිවරයා ද කේක් රස බැලුවේය.
කථානායකට ලැබුණු දශක 7ක් පැරණි ග්රැමෆෝන් තැටියක්
ගෙවීගිය සතියේ කථානායකවරයා හමුවූ පුද්ගලයෙකු දශක 07ක් පමණ පැරණි වටිනා 'ග්රැමෆෝන් තැටියක්' කථානායක කරු ජයසූරියට තිළිණ කළේය. 1948 පළමු නිදහස් උලෙළ අමතා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක විසින් පවත්වන ලද ඓතිහාසික කතාවේ පටිගත කරන මුල් පිටපත මෙන්ම ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කරන ලද කතාවක්ද සහිත මෙම වටිනා ග්රැමෆෝන් තැටිය කථානායකවරයාට පරිත්‍යාග කරන ලද්දේ දිවංගත ගාමිණී ජයසූරිය මහතාගේ පුතණුවන් වන ප්‍රසන්න ජයසූරිය විසිනි.
රට දැය සමය වෙනුවෙන් කැප වූ පිරිසුදු ජාතික නායකයෙකු ලෙස ගාමිණී ජයසූරිය මහතා ඉතිහාසයේ නොමැකෙන ලෙස සනිටුහන් වනු ඇතැයි ගෞරවයෙන් සිහිපත් කළ කථානායකවරයා, එතුමා ආරක්ෂා කළ එම ග්රැමෆෝන් තැටිය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන බවට පොරොන්දු විය. එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට යොමුකර ඉන් ලබාගත් සංයුක්ත තැටි පිටපත් අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙතද ලබාදීමට කථානායකවරයා පියවර ගත්තේය.
සෑම මන්ත්‍රීවරයෙකුගේම දැනුම, ආකල්ප සහ විනය ඉහළ නංවමින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ඔවුන් වෘත්තීය මට්ටමින් දායක කරගැනීම පසුගිය කාලය පුරා කථානායකවරයාගේ අරමුණ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නව ආචාරධර්ම පද්ධතියක් ගෙන ඒමටද පසුගියදා හෙතෙම පුරෝගාමී වූයේද මේ වෙනුවෙනි.
එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ මේසය මතට ලැප්ටොප් පරිගණකයක්ද සැපයිණි. ඒ සඳහා චීන රජයේ දායකත්වය ලබාගැනීමට කථානායකරයා කටයුතු කර තිබිණි.
අඟහරුවාදා පාර්ලිමේන්තුවද රණවිරුවන්ගේ නාමයෙන් පොපි මලෙන් සැරසිණි. සේවාමුක්ත භට සංගමයේ නියෝජිතයෝ ප්‍රථමයෙන්ම කථානායකවරයා වෙත පොපි මලක් පැලඳවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සෙසු මැති ඇමතිවරුන් වෙතද පොපි මල් පැලඳවූහ.
දෙවැනි ලෝක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් මුලින්ම ආරම්භ වූ පොපි මල් සමරුව වර්තමානයේදී සක්‍රීය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරමින් වර්තමාන රණවිරුවන්ගේද සුභසාධනය සැලසීම අගය කළ කරු ජයසූරිය මහතා, ඊට දායකවන්නට ලැබීම පිළිබඳ හිටපු සොල්දාදුවෙකු ලෙස තමන්ද සතුටට පත්වන බව පැවසීය.
මේ අතර, අම්බලන්ගොඩින් බිහිවූ ආනන්ද විදුහල්පතිවරුන් දෙපළක් වූ පී.එස්. ද කුලරත්න හා එල්.එච්. මෙත්තානන්ද යන මහත්වරුන් සිහිකිරීම සඳහා අම්බලන්ගොඩින් බිහිවූ කීර්තිමත් ආනන්දියන්ගෙන් සමන්විත 'අම්බලන්ගොඩ දේශප්‍රේමී සංවිධානය' කථානායක නිල නිවසේදී එක්වූයේ අම්බලන්ගොඩ නොවූවද තම සමකාලීන ආනන්දියෙකු වූ කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දේශපාලනයේ හා මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රකට චරිතයක් වූ බුද්ධික කුරුකුලරත්න, සිතේන්ද්‍ර සේනාරත්න ඇතුළු ආනන්ද බෝඩිමේ එකට කල්ගෙවූ අම්බලන්ගොඩ මිතුරෝ රැසක් ඊට එක්වූහ.
තේ පානය කරද්දිම විශ්වාසභංයට අත්සන්
වර්තමාන අාණ්ඩුෙව් සහ ඇමතිවරුන්ගේ ක්‍රියාපටිපාටිය ගැන පසුගියදා පාර්ලිමේන්තු භෝජනාගාරයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කතාබහක් ඇති විය. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවටද මෙහිදී තීරණය කෙරිණි. එම විශ්වාසභංගය සැකසීමත්, අත්සන් ගැනීමත් කංචන විජේසේකර ඇතුළු කණ්ඩායමකට පැවරිණි.
මෝදර ධීවර වරාය බදු දීමේදී සිදුවූ අක්‍රමිකතා, අල්ලස් කොමිසම මගහැරීම, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම ඇතුළු කරුණු 11ක් මෙම විශ්වාසභංගයට ඇතුළත්ය. විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම 24 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී සිදුකෙරිණි.
විශේෂත්වය වන්නේ බොහෝ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබුවේ තේ පානය කරන ස්ථානයේ සහ පාර්ලිමේන්තුවේ ලොබියේදී වීමය. දිනේෂ්, බන්දුල, ප්‍රසන්න ඇතුළු පිරිස ඊට අත්සන් තැබූ මුල් කිහිප දෙනා අතර සිටිනු දක්නට ලැබිණි.
මේ වගේ දේවල්වලින් වෙන්නේ නීතිය හෑල්ලුවට ලක්වෙන එකයි
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම 22 වැනිදා මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්විණි. "නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්නපු අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තර්ජනය කරලා තියෙනවා වහාම නඩු කීපයක් පවරන්න කියලා" ප්‍රසන්න හෙළිදරව් කළේය.
"රනිල් මෛත්‍රී දෙන්නම එකතු වෙලා තමයි විජයදාසව අයින් කරන්න ප්ලෑන ගැහුවේ. හැබැයි රටට පෙන්නන්නේ වෙන එකක්" කෙහෙළිය කීවේය.
"විජයදාසට විශ්වාසභංග යෝජනාවක් ගේන්න හදලා ඒක අකුල ගත්තේ පරාද වෙයි කියන බයට. දැන් බලපෑම් කරලා ඇමැතිකමෙන් එළවන්න හදනවා" ප්‍රසන්න පෙන්වා දුන්නේය.
"මේ වගේ දේවල්වලින් වෙන්නේ නීතිය හෑල්ලුවට ලක්වෙන එකයි" මහින්ද පැවසීය.
"ආණ්ඩුවට ඕනේ වෙලා තියෙන්නේ වන්ෂොට් පන්නයේ අධිකරණ ඇමැති කෙනෙක්" ප්‍රසන්න කී කතාවට සැවොම සිනාසුණහ.
"විරුද්ධවාදීන්ගේ පැමිණිලි කඩිනමින් විභාග කරලා, තමන්ට තියෙන චෝදනා යටගහන්න තමයි ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ" ඩලස් ද පැවසීය.
"ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නේ ඡන්දෙට ඉස්සර රාජපක්ෂලා හිර කරන්නයි. රාජිතලගේ කටින් එළියට එන්නේ ඔය කතාව තමයි" ප්‍රසන්න පැවසීය.
"ආණ්ඩුව ඉතින් නීතිය නමන්න කොහොමත් දක්ෂයිනේ" කෙහෙළිය පෙන්වා දුන්නේය.
මං කතා කරන්න ගත්තොත් මිනිස්සු දුවාවි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සහ වෙන්නප්පුව ආසන සම්මන්ත්රණ 20 වැනිදා පැවැත්විණි. මෙම සම්මන්ත්රණ දෙකෙහි විශේෂත්වය වන්නේ යෝෂිත රාජපක්ෂ ඊට සහභාගි වීමයි. යෝෂිතට ඊට ආරාධනා කර තිබුණේ සනත් නිශාන්තය. දින කිහිපයකට කලින් යෝෂිත දුරකථනයෙන් ඇමතූ සනත් හලාවත සහ වෙන්නප්පුව රැස්වීම්වලට සහභාගි වන්නැයි ආරාධනා කළේය.
"අනේ අයියේ මට නම් ඕවට එන්න බැහැ. මං රාජ්‍ය සේවකයෙක්නෙ" යෝෂිත කීවේය.
"ඔයා දැන් රාජ්‍ය සේවකයෙක් නෙමේනෙ. වැඩ තහනම් කරලනේ තියෙන්නේ" සනත් පැවසීය.
"හා හා මං එන්නම්. හැබැයි ඔන්න කතා කරන්න නම් බැහැ. මං කතා කරන්න ගත්තොත් රැස්වීමට ආපු මිනිස්සු දුවයි" යෝෂිත සනත්ගේ බලවත් පෙරැත්තය නිසාම ආරාධනය බාර ගත්තේ එසේ කියමිනි.
ඒ අනුව ඉරිදා දහවල් වනවිට ප්‍රසන්න රණතුංග සහ විමලවීර දිසානායකද සනත්ගේ ආරච්චිකට්ටුව නිවසට පැමිණ සිටියහ. යෝෂිතද එහි පැමිණියේය.
"ආ අද නම් අපට යෝෂිතගෙන් කතාවක් ගන්න පුළුවන්" ප්‍රසන්න යෝෂිත දුටු වහාම කීවේය.
"ප්‍රසන්න අයියත් මාව අමාරුවේ දාන්නයි යන්නේ. මම සනත් අයියට කිව්වෙම මට නම් කතා කරන්න බැහැ කියලයි. මම කතා කළොත් මේ ඉන්න මිනිස්සු යයි" යෝෂිත පැවසීය.
"නෑ නෑ මං විහිළුවක් කළේ" කියමින් ප්‍රසන්න සිනාසුණේය.
රැස්වීම ආරම්භ වනතුරු මන්ත්‍රීවරු සුහද කතාබහක නියැළෙමින් සිටියහ.
"ආණ්ඩුව කෝටි ගණන් සල්ලි දීලා මන්ත්‍රීවරු බිලී බා ගන්න යනවා කියලා ආරංචියි" ප්‍රසන්න කීවේය.
"ඔබතුමාටත් කතා කළාද?* සනත් වහා ඇසුවේය.
"මට නම් කතා කළේ නැහැ. මාත් බලන් ඉන්නේ කතා කරනකම් තමයි" ප්‍රසන්න කීවේය.
"ඔයාට නම් කතා කරන එකක් නැහැ. දන්නවානේ ඉතින් කතා කළොත් හොඳවැයින් දෙකක් අහගන්න වෙන බව" යෝෂිත පැවසීය.
"මාත් බලන් ඉන්නේ ඒකට තමයි" ප්‍රසන්න පැවසීය.
"මුළු රටේම අප්‍රසාදයට පත් වෙලා ඉන්න මේ ආණ්ඩුවට එකතු වෙන මෝඩයා කවුද? මේක ගිලෙන නැවෙන් මීයොත් පනින වෙලාවක්" විමලවීර කීවේය.
ස්ටේජ් ගිනි තියපු ආණ්ඩුවේ ඇමතිවරු
පොදුජන පෙරමුණේ බද්දේගම ආසන සම්මන්ත්‍රණය වදුරඹදී පැවැත්වුණේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. රෝහිත, රමේෂ් සහ මොහාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ඊට එක්ව සිටියහ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී වදුරඹ වේදිකාවක් ගිනි තැබීමේ සිදුවීම ගැන සිහිපත් කරමින් රෝහිත කීවේ ස්ටේජ් ගිනි තියපු අයත් දැන් මේ ආණ්ඩුවේම ඇමැතිවරුන්ව සිටින බවයි. බැසිල් කීවේ අද ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් දරන ඇතැමුන් පසුගිය ආණ්ඩුව සමයේ කළ පව්වලට කරගහන්න වූයේ මහින්දට බවයි.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd