එළඹෙන 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරගවදින නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු නීතීඥවරුන් පිරිසක් විසින් පසුගියදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය යන මැයෙන් පැවති දේශනයේදී සුගන්ධිකා ප්‍රනාන්දු නීතිඥතුමිය විසින් මෙරට අධිකරණ පද්ධතියේ ඇතැයි පැවසෙන විෂමචාර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මේ වන විට අතිශය දැවැන්ත වාද විවාදවලට ලක්වෙමින් පවතියි. මෙරට අධිකරණ ක්‍රියාවලිය සහ නීති පද්ධතිය යාවත්කාලීන සහ යම් යහපත් වෙනසකට ලක්විය යුතුය යන කතිකාවතක් නිර්මාණය වී තිබෙන පරිසරයක් තුළ තරුණ නීතිඥවරිය විසින් කළ අභීත ප්රකාශයන්ට යමක් එක් කළ යුතුද? නැතිනම් එම ප්‍රකාශය දෝෂදර්ශනයට ලක් කළ යුතුද යන්න සාකච්ඡාවට ලක්කිරීම කාලෝචිත වන්නේ සමාජ මාධ්‍ය තුළද අධිකරණය සම්බන්ධයෙන් නීතීඥවරිය දැක්වූ කාරණා සාධාරණීකරණය කරමින් විවේචන සහ ජනතා මතයන් ඉදිරිපත් වන නිසාවෙනි. නීතීඥ නිලන්ත හෙට්ටිගේ මහතා සමගින් මෙම විග්‍රහය අප ගෙන එන්නේ එබැවිනි.
නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුගේ උක්ත ප්‍රකාශයෙහි සඳහන් විවාදාත්මක කරුණු පසෙක තබා එවැනි ප්‍රකාශයක් කිරීමේ නීත්‍යානුකූල අයිතිය ගැන පළමුව අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී රටකි. එහි උත්තරීතර නීතිය වනුයේ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තීන්ගෙන් සහතික කර ඇති සමහර මානව අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද එක් කළ හැකිය. එම අයිතීන් අනුලංඝනීය අයිතීන් ලෙස සැලකෙන අතර, මූලික අයිතිවාසිකම් ලෙසින් පොදුවේ හැඳින්වෙයි.
‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාව මෙපරිදි වෙයි. 14(1) සෑම පුරවැසියකුටම (අ) භාෂණයේ නිදහසට හා ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට. . . . හිමිකම ඇත්තේය.
මේ අනුව භාෂණයට සහ අදහස් ප්‍රකාශ කිරීමට පුරවැසියන්ට අසීමිත අයිතියක් ඇති බව බැලූ බැල්මට පෙනුණත් සැබෑම තත්ත්වය එය නොවේ. 14 වන ව්‍යවස්ථාවේ අන්තර්ගත භාෂණයේ අයිතිය 15(2) අනු ව්‍යවස්ථාවෙහි ඇතුළත් සීමාකිරීම් වලට සෘජුවම යටත් වෙයි. 15(2) අනුව්‍යවස්ථාවේ ඇතුළත් සීමාකිරීම් හැරුණුකොට භාෂණයේ අයිතිය වෙනත් අයුරකින් සීමා කළ නොහැකි බව මලල්ගොඩ එදිරිව නීතිපති (1982-2 ශ්‍රීලනිවා 777) නඩුවේදී පෙන්වා දෙනු ලැබ ඇත. අපි දැන් 15(2) වගන්තියෙන් භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමට පනවා ඇති සීමා මොනවාදැයි විමසිලිවත්ව සලකා බලමු.
1. වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම
2. පාර්ලිමේන්තු වරප්‍රසාද
3. අධිකරණයට අපහාස කිරීම
4. අපහාසය
5. වරදකට පෙළඹවීම
යන කරුණු සම්බන්ධව නීතියෙන් කර ඇති සීමාවන්ට පෙර කී මූලික අයිතිවාසිකම යටපත් කළ හැකිය. මෙහි නීතියෙන් කර ඇති සීමාවන් යන්නෙන් අදහස් වන්නේ රටෙහි බලපවත්නා ලිඛිත හෝ ලිඛිත නොවූ නීතියයි.
මෙම කරුණ සම්බන්ධව පැහැදිලි කර දීමට පෙර ඉහතින් සඳහන් කළ මලල්ගොඩ එදිරිව නීතිපති යන නඩුව සම්බන්ධව කෙටි හැඳින්වීමක් කිරීම සුදුසු වෙයි. මලල්ගොඩ එදිරිව නීතිපති (1982-2 ශ්‍රීලනිවා 777) නඩුවේ පෙත්සම්කරු කවියෙකි. ඔහු විසින් රචිත නූතන දේවදත්ත නම් කෘතියෙහි පිටපත් සියල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් 14 වන ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි පෙත්සම්කරු වෙනුවෙන් තර්ක කරනු ලැබීය. එනමුත් වගඋත්තරකාර පාර්ශ්වය පෙන්වා දුන්නේ රජයේ ප්‍රධාන දේශපාලන බලධාරීන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ එම කෘතියේ තිබූ බැවින් එලෙස එම පිටපත් අත්අඩංගුවට ගත් බවයි. අධිකරණය මෙම කරුණෙහිලා 15(2) වන අනුව්‍යවස්ථාව සෘජුව බලපාන බව ප්‍රකාශ කළේය. ඒ අනුව අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම වැළැක්වීම තුළින් මූලික
අයිතිවාසිකමක් කඩ නොවන බව තීරණය විය.
මෙතැන්හිදී පැනනගින ප්‍රධානතම ගැටලුව වන්නේ නීති වෘත්තිකයෙකුට ස්වකීය වෘත්තිය සහ සම්බන්ධිත වෘත්තීන්හි පවත්නේ යැයි කියන අක්‍රමිකතා සම්බන්ධව ප්‍රසිද්ධ දේශනයක් කිරීමට එරෙහිව සදාචාරාත්මක හෝ නීතිමය සීමාවක් බලපාන්නේද යන්නයි. 1988 අංක 10 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් නීතිඥ වෘත්තියේ වෘත්තීය ආචාරධර්ම පිළිබඳව සෘජුවම බලපායි. එම රීති 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් සඳහා වූ වෘත්තීය පැවැත්ම හා ආචාරධර්ම පිළිබඳ රීති යනුවෙන් හඳුන්වනු ලැබේ.
අංක 31 සිට 37 දක්වා රීතීන් අනුව සේවාදායකයන් හෝ නඩු කටයුතු සම්බන්ධ රහස් නඩු කටයුතු පවතින අතර හා ඉන් පසුවද ඒවා ආරක්ෂා කරගත යුතුය. සේවාදායකගේ මරණයෙන් පසු පවා ඒ තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීම නීතිඥවරුන් වෙත පැවරෙයි. එනමුත්, 38 වන රීතියේ සඳහන් හේතූන් මත රහස්‍ය තොරතුරු පවා හෙළිකිරීමේ අයිතිය නීතීඥවරුන්ට ඇත.
‘‘38, 32 වැනි රීතියේ සඳහන් අවස්ථාවලට අතිරේකව හා යම් ලිඛිත නීතියකට යටත්ව නීතිඥවරයකු විසින්,
(අ) තමාට හෝ තම සහකාරයන්ට හෝ සේවා නියුක්තිකයන්ට විරුද්ධව විෂමාචාරයක් නැතහොත් අයථා ක්‍රියාවක් පිළිබඳව තම සේවාදායකයා විසින් කරන ලද යම් චෝදනාවකදී තමා තම සහකාරයා හෝ සේවා නියුක්තිකයා සඳහා විත්තිවාචකයක් වශයෙන්,
(ආ) අපරාධයක්, වංචාවක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස හෝ
(ඇ) හවුලේ රඳවා ගැනීමක් සම්බන්ධයෙන් වූ විට හෝ සේවාදායකයාට වෙනත් අය සමග හවුල් සම්බන්ධතාවක් තිබෙන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි හවුලේ රඳවනු ලැබූ සාමාජිකයන් වෙත හෝ සේවාදායක සමග හවුල් සම්බන්ධතා තිබෙන තැනැත්තා වෙත රහස්‍ය
තොරතුරු අනාවරණය කරනු ලැබිය හැකිය.
මේ අනුව අපරාධයක් වංචාවක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස තමන් විසින් අනාවරණය කරගන්නා ලද රහසිගත තොරතුරු හෙළිදරව් කිරීමේ අයිතිය නීතිඥවරුන්ට ලැබෙයි. කෙසේනමුත් මේ සම්බන්ධ වැඩිදුර කරුණු දැක්වීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්හි 50, 56, 60 හා 61 වැනි රීතීන් කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය.
1988 අංක 10 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්හි 50 වැනි රීතිය මෙසේය.
‘‘50. යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවන ලද යම් අධිකරණයක්, විනිශ්චයාධිකාරයක් හෝ වෙනත් අධිකරණයක් ඉදිරියේ යම් නීතිඥවරයෙකු පෙනී සිටින අවස්ථාවක නීතිඥ මණ්ඩලයේ ස්වාධීනත්වයට මැදිහත් නොවන පරිදි ඒ අධිකරණයට, විනිශ්චයට හෝ වෙනත් ආයතනයට සහභාගී වීමේ යුතුකමක් ඒ නීතිඥවරයාට පැවරෙන්නේය.‘‘
1988 අංක 10 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්හි 56 වැනි රීතිය මෙසේය.
‘‘ සියලු වෘත්තීය කටයුතුවලදී නීතිඥවරයකු තම වෘත්තියේ යෙදී සිටින සෙසු සාමාජිකයන් වෙත පූර්ණ ආචාරශීලීත්වයක්, ගරුත්වයක් හා සාධාරණත්වයක් යුක්තව ක්‍රියා කළ යුතුය.
1988 අංක 10 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්හි 60 වන රීතිය මෙසේය.
‘‘60. වැදගත් හා ප්‍රවීණ නීතිඥවරයෙකු සම්බන්ධයෙන් වූ විට වෘත්තියේ ඔහුගේ සම වෘත්තියක් විසින් අවමානයෙන් සැලකිය ලැබිය හැකි අය කීර්තිමත් හෝ අගරු ලෙස සාධාරණය සැලකිය හැකිවන්නා වූ හෝ නීතිඥයෙකු ලෙස පෙනී සිටීම නුසුදුසු කරන්නා වූ හෝ සමාවන් දිය නොහැකි වන්නා වූ හෝ කිසියම් ආකාරයට හැසිරීම නීතිඥවරයෙකු විසින් කරනු නොලැබිය යුතුය.
1988 අංක 10 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්හි 61 වැනි රීතිය මෙසේය.
‘‘61. නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයට හැසිරීම නීතිඥවරයෙකු විසින් නොලැබිය යුතුය.
සමස්තයක් ලෙස සලකන කල්හි නීතිඥවරයා සම වෘත්තිකයන්ගේ හා අධිකරණයේ ගරුත්වය රකිමින් යුක්තිය පසිඳලීමේ කාර්යයට අධිකරණයට සහය දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
මේ අනුව ස්වකීය වෘත්තීය ජීවිතය තුළ නිරීක්ෂණය කරන ලද අක්‍රමිකතා සම්බන්ධව ක්‍රියා කිරීමේදී ස්වකීය වෘත්තියේ සෙසු සාමාජිකයන්ගේ ගරුත්වය සහ අධිකරණයේ ගරුත්වය රැක ගනිමින් ක්‍රියා කිරීමේ යුතුකමක් නීතිඥ ප්‍රජාවට පැවරෙයි. ඒ ගැන කිසිදු වාදයක් විවාදයක් නොමැති අතර, ඒ කරුණ පෙර සඳහන් කළ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් තුළින් නීතිගත කර ඇත. එසේම අධිකරණ සංවිධාන පනතේ 43 වැනි වගන්තිය අනුව නීතිඥවරුන්ගේ බරපතළ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගත් අවස්ථා ගණනාවක්ම තිබුණි.
පෙර සඳහන් නීතිඥවරියගේ ප්‍රකාශයට එරෙහිව රජය විසින් කිසියම් ක්‍රියාමාර්ගයක් ගනු ලැබීමට යන බවට ආන්දෝලනයක් මේ දිනවල අසන්නට ලැබෙයි. ඇත්තෙන්ම රජය විසින් කළ යුත්තේ කලබල වී එබඳු අදූරදර්ශී පියවර ගැනීම නොවේ.
රජය විසින් වහාම කළ යුත්තේ දූෂණ හෝ අක්‍රමිකතා කර ඇතැයි කියන පුද්ගලයන් වේ නම් ඔවුන් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතෙන්
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එබඳු කොමිෂන් සභා පත්කිරීම නීත්‍යනුකූල වෙයි.
අනිත් අතට කිසියම් පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් හෝ සංවිධානයක් විසින් කිසියම් වෘත්තියක හෝ රාජ්‍ය අයතනයක පවත්නේ යැයි කියන අක්‍රමිකතා පිළිබඳව හෙළිරදව් කළේ නම් රජය විසින් ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. මන්දයත් අල්ලස්, දූෂණ හෝ අක්‍රමිකතා මැඬපැවැත්වීම රජයක දීර්ඝකාලීන පැවැත්මට හේතුවන බැවිනි.
මා විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කර ඇති පරිදි නීතිඥවරුන්ගෙන් අතිබහුතරයක් ඉතා සාධාරණ ලෙස ස්වකීය වෘත්තියෙහි නියැළෙති. ඕනෑම වෘත්තියක නියැළෙන සුළුතර පිරිසක් ස්වකීය වෘත්තීය ආචාරධර්ම නොසලකා ක්‍රියා කිරීම පොදුවේ රට තුළ දැකිය හැකි තත්ත්වයකි. සුළුතර දූෂිත පිරිසකගේ නොමනා ක්‍රියා නිසා සමස්ත නීතිඥ ප්‍රජාව හෝ සමස්ත විනිසුරු ප්‍රජාව පොදුවේ හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කිරීම භයානක අත්වැරැද්දකි. එබඳු ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධව නඩුවක් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව දැනට විභාග වෙමින් පවතියි. එම කරුණ විභාග වෙමින් පවත්නා බැවින් ඒ පිළිබඳව කිසිදු නිරීක්ෂණයක් මෙහි සටහන් කිරීම සුදුසු නොවේ.
එනමුත් පොදුවේ සලකා බලතොත් යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාදාමය කෙරෙහි ජනතාවගේ සිත්හි පැවති විශ්වාසය දිනෙන් දින පළුදු වෙමින් පවත්නා ආකාරය පැහැදලිව නිරීක්ෂණය කළ හැකිය. පසුගියදා නීතිඥවරියක් විසින් අධිකරණ ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ විවේචනයට ලක්වීම හුදෙකලාව සලකා බැලිය හැකි සිද්ධියක් නොවන්නේය. රජය විසින් වහාම මැදිහත්ව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඇතිවිය හැකි සියලු බලපෑම් වළක්වාලීමට වහාම පියවර ගත යුත්තේය.
අපි දැන් ප්‍රායෝගික පැත්තට යොමු වෙමු. පොදු ජනතාව අධිකරණයන් වෙත පැමිණෙනුයේ යුක්තිය ඉටු වනු දැකීමේ පරම පවිත්‍ර පරමාර්ථය පෙරදැරිවය. යුක්තිය ඉටුවීම පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු කඩිනමින් ඉටු නොවේ නම් ඉන් ඇතිවනුයේ සුවපත් කළ නොහැකි තුවාලයකි. ‘‘%යුක්තිය ඉටුවීම ප්‍රමාණවත් නැත. යුක්තිය ඉටුවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය.’ යනුවෙන් ශී‍්‍රමත් හෙන්රි මේන් නම් ඉංග්‍රීසි නීතිවේදියා විසින් කරන ලද ප්‍රකට කියමනක් ඇත.
වෘත්තීය විෂමාචාරයන් පිළිබඳ ප්රශ්නය මඳකට අමතක කරමු. අප රටෙහි නීති ක්ෂේත්රයේ පවතින ප්‍රශ්නවලින් වැඩි ප්‍රමාණයක් හටගෙන ඇත්තේ නීති පද්ධතිය තුළ පවත්නා දෝෂයන් මතය. ඒ දෝෂයන් නිවැරදි කිරීම ව්‍යවස්ථාදායකය විසින් පහසුයෙන්ම කළ හැකිය. එමෙන්ම එම දෝෂයන් නිවැරදි කිරීම තුළින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාවගේ සිත්හි පවත්නා වැරදි ආකල්පයන් වේ නම් ඒ සියල්ල හිරුදුටු පිනි සේ පහව යනු ඇත. විවිධ අධිකරණයන්හි නඩු කටයුතුවල යෙදීමෙන්ද ගණනින් 64ක් පමණ වන නීති කෘතීන් හා නීතිය පිළිබඳ පුවත්පත් ලිපි පන්සීයක් පමණ ප්‍රමාණයක් සකස් කිරීමෙන්ද මා ලද පරිචය මත, රජය විසින් වියදමක් නොදරා පහසුවෙන් නිවැරදි කළ හැකි වැරදි කිහිපයක් පෙන්වාදීමට හැකිය.
නඩු කටයුතු පමා වීම
සිවිල් නඩු කටයුතු පමා වීම ගැන මා විසින් පෞද්ගලිකව කරන ලද සොයා
බැලීම් වලදී අපූරු කරුණක් අනාවරණය විය. සාමාන්‍යයෙන් මැනුම් කොමිසමක් නැති නඩු කටයුතු ඉතා ඉක්මනින් අවසන් වෙයි. නඩු පමාවට ප්‍රධානතම හේතුව මැනුම්
කටයුතු වල පමාවයි. මැනුම් කටයුතුවල පමාව නිසා එකදිගට වසර දහයක් පමණ කල් ගිය නඩු සොයාගත හැකිය. මැනුම් කටයුතු වඩා කාර්යක්ෂම කිරීමෙන් නඩු පමාව සැලකිය යුතු මට්ටමකින් විසඳාලිය හැකිය.
දික්කසාද නඩුවල ඛේදවාචකය
ශ්‍රී ලංකාවේ බලපවත්නා සාමාන්‍ය විවාහ නීතිය අනුව දික්කසාදයක් ලබාගැනීමට අනෙකාගේ වෛවාහක වරදක් ඔප්පු කළ යුතුය. දික්කසාද නඩුවලින් සියයට අනූවකට වඩා ද්වේශ සගගත හැරයාම නම් වෛවාහක වරද පදනම් කරගෙන දික්කසාදයක් ලබා ගැනීමට පවරන ඒවාය. ඒ හේතුවෙන් වෛවාහක වරදක් නිර්මාණය කිරීමට බොහෝ පාර්ශ්වකරුවෝ පෙළඹෙති. නඩුව ඔප්පු කිරීමට පොලිස් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ගැටුම් සාදාගන්නා පිරිස් බොහෝ වෙති. වෛවාහක වරදක් මත පමණක් දික්කසාදයක් ලබා දිය යුතුය යන රෝම ලන්දේසි නීතිරීතිය යල් පිනූවකි. ඒ වෙනුවට අන්‍යෝන්‍ය කැමැත්ත හෝ විවාහය බිඳවැටීම යන කොන්දේසි නූතන නීති පද්ධතීන් තුළ ආදේශ කර ඇත. අපගේ නීතියත් ඊට අනුරූපව වහාම වෙනස් විය යුතුය.
නඩත්තු නීතියේ බරපතළ හිදැසක්
දැනට බලපාන 1999 අංක 37 දරන නඩත්තු පනත තුළ ‘‘නඩත්තු ගෙවීමට නොව නඩත්තු කිරීමට ආරාධනය කිරීමේ ක්‍රමවේදයක් නැත. මින් ඉහතදී බලපැවැත්වූ නඩත්තු පනත අනුව සාධාරණ හේතුවක් නැතිව ස්වාමියා හැර යන කාන්තාවක් නඩත්තු කිරීමේ වගකීමක් නොවීය. එබැවින් නඩත්තු නඩු පැවතියේ අඩු ප්රමාණයකි. අද නඩත්තු නඩු ප්‍රමාණය සීමා කළ නොහැකි තරම් ඉහළ ගොස් ඇත. නඩත්තු ගෙවීමට පමණක් නොව නඩත්තු කිරීමට ආරාධනා කළ හැකි පරිදි නඩත්තු පනත සංශෝධනය කිරීම ඉතා ඉක්මනින් කළයුතු දෙයකි.
ඇප දීමේදී ඇතිවන බරපතළ ගැටලු
ඇප දීම පිළිබඳ නීතිමය සිද්ධාන්තයන් අනුව ඇප දීම රීතියකි. ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේඛයකි. අද පවත්නා නීතිමය තත්ත්වයන් අනුව බොහෝ වැරදිවලට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණ වෙතින් ඉවත් කර ඇත. මේ හේතුවෙන් මහාධිකරණය හා අභියාචනාධිකරණය වෙත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුවෙයි. එයින් පුද්ගල නිදහස සීමා වන අතර, අතිශය විශාල වියදමක් දැරීමට නඩු කටයුතුවල යෙදෙන්නන්ට සිදුවෙයි. මහේස්ත්රාත්වරුන්ගේ ඇප දීමේ බලතල ව්‍යාප්ත කරමින් නීතිය සංශෝධනය කිරීමෙන් මේ අවුල පහසුවෙන් ලිහා දැමිය හැකිය.
දඬුවම්වල සමානුපාතිකභාවය
නූතන අපරාධ නීතියෙහි සමානුපාතිකභාවය යනුවෙන් සිද්ධාන්තයක් ඇත. ඒ අනුව වරදට සාපේක්ෂව දණ්ඩන නියමය අඩු හෝ වැඩි විය යුතුය. අද ලංකාවෙහි භාවිත වන බොහෝ අණපනත් හඳුන්වා දී වසර සියයක් හෝ ඊටත් වඩා කල්ගත වී ඇත. දඩ මුදල් සංශෝධනය වී ඇත්තේ පනත් කිහිපයක පමණය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. උදාහරණයක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ එන වරදකට වරදකරු කිරීම මත මහේස්ත්රාත්වරයෙකු විසින් එක් වරදකට නියම කළ හැකි උපරිම දඩය රුපියල් එක්දහස් පන්සියයකි. අවුරුදු ගණනක් නඩු කීමෙන් පසුව රුපියල් එක්දහස් පන්සීයක දඩයක් ගෙවා සිනාමුසු මුහුණින් ගමට පැමිණෙන අපරාධකරු තවත් එවන් අපරාධකරුවන් දසදහස් ගණනක් බිහිවීමට පාර පෙන්වනු ඇත.
සිරදඬුවම් අත්හිටුවීමෙන් සිදුවන අවදානම
අත්හිටවූ සිරදඬුවම් නියම කිරීමෙහි පසුබිම් කතාව නම් බන්ධනාගාරවල තදබදය අඩුකිරීමට පිළියමක් ලෙස අත්හිටවූ සිරදඬුවම් ලබාදිය හැකි පරිදි නීතිය සංශෝධනය වූ බවයි. කුමාර
එ. නීතිපති (2003) 1 ශ්‍රී ලං.නි.වා.103 නඩුවේදීද තීරණය වී ඇත්තේ වරදකරුවෙකු සමාජයෙන් ඈත් කර තබනවාට වඩා ඔහුව නැවත පුනරුත්ථාපනය කිරීම අත්හිටවූ සිරදඬුවමක අර්ථය වන බවයි. සමාජයක් ආරක්ෂා කිරීමේ වෙනත් විකල්පයක් නොමැති නම් මිස වරදකරුවෙකු සිරගත නොකළ යුතු බවත්, සිරගත කිරීමේදී වරදකරුවන් තම පවුලෙන් ඈත් කිරීමෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද දුෂ්කරතාවන්ට ලක් වන බවත් එකී සියලු කරුණු දඬුවම් නියම කිරීමේදී අධිකරණය විසින් සලකා බැලිය යුතු බවත් වැඩිදුරටත් එකී නඩුවේදී අධිකරණය ප්‍රකාශ කර ඇත.
එසේ නමුත් සොරකම, කොල්ලකෑම වැනි වැරදිවලදී සිරදඬුවම් අත්හිටුවීම තුළින් වරදකරුවන් කිසිම පාඩමක් ඉගෙන නොගන්නා බව පෙනෙන්නට ඇත. කොල්ලකෑම් හා සොරකම්වලට හසුවන සැකකරුවන්ගේ නම් ගම් අධිකරණ
කාර්යමණ්ඩලයට කටපාඩම් වන තරමට ඔවුන්ට එකම වර්ගයේ වැරදි වැඩි ගණනක් ඇත. එබැවින් සොරකම් හා මංකොල්ල නඩුවල වරදකරුවන්ට දඬුවම් අත්හිටුවීම තවත් එවැනි වැරදි රාශියක් ඇතිවීමට හේතුසාධක වනු ඇත.
නීතිපති උපදෙස් ලැබීමේ පමාව
මහේස්ත්‍රාත් අධිකරණයන්හි පවත්නා නඩුවලින් විශාල ප්‍රමාණයක ඉදිරි පියවර ගැනීමට බාධාවක්ව පවතිනුයේ එම නඩු සම්බන්ධව ලැබිය යුතු නීතිපති උපදෙස්වල පමාවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවන බැවින් නීතිපති උපදෙස් පමාව සිදුවන බව දැනගන්නට ලැබී ඇත. එබැවින් නීතිපති දෙපාර්තමේන්තුවට කඩිනමින් සේවකයන් බඳවාගෙන නඩු කටයතු පමාවට පිළියම් යෙදීමට රජය පියවර ගත යුතුය.
අධිකරණමය සමථකරණයේ හා බේරුම්කරණයේ වැදගත්කම
අධිකරණ ශාලාවන් පිරී ඉතිරී යන තරම් සෙනඟ රැස්ව සිටීම සෑම වැඩකරන දිනයකම දැකිය හැකි සුලභ ලක්ෂණයකි. නඩු කටයුතුවල යෙදෙන බහුතර පිරිසක් තදබදයෙන් බැහැරව සමථයක්
ඇතිකර ගැනීමට හෝ ආරවුල් බේරුම් කර ගැනීමට කැමති වෙති. නමුත් පවත්නා කාර්ය පටිපාටිය අනුව බේරුම්කරණයට හා සමථකරණයට යොමු කළ හැක්කේ සීමිත අවස්ථා කිහිපයකදී පමණි. එබැවින් නඩු කටයුතු පමාව වැළැක්වීමට සමථකරණ හා බේරුම්කරණ ක්‍රියාවලියක් අධිකරණ ආශ්‍රිතව ඇති කිරීමට රජය විසින් පියවර ගැනීම කාලෝචිතය.
සමස්ථයක් ලෙස සලකන කල්හී නීතිඥවරුන්, අධිකරණ කාර්යමණ්ඩලය, විනිසුරුවරුන් ඇතුළු යුක්තිය පසිඳලීමේ ක්රියාවලියෙහි යෙදෙන අයට දැනට පවත්නා ගැටලු නිරාකරණය කිරීමට ඇති හැකියාව අඩුය. මන්දයත් මේ ගැටලුවලින් හා වියවුල්වලින් වැඩි ප්‍රමාණයක් හටගෙන ඇත්තේ නීති පද්ධතියේ ඇති අඩුපාඩු නිසා බැවිනි. රජය විසින් නීති පද්ධතිය යාවත්කාලීන කර කාර්යක්ෂම කිරීමට වහාම පියවර ගත යුතුව ඇත.
එසේම පවත්නා ක්‍රමවේදයේ අඩුපාඩු නොදැක පුද්ගල බද්ධ විවේචනයන් කිරීමේ සමාජ යහපතක් නැත. එලෙස අඩුපාඩු දැක විවේචනය කරන පිරිස් සොය සොයා තරවටු කිරීමෙහි දූරදර්ශීභාවයක්ද නැත. යමෙකු අපව විවේචනය කරන්නේ නම් පළමුව අප කළ යුත්තේ අප දෙස ආපසු හැරී බලා ඒ විවේචනය යළි එල්ල නොවන්නට වැරදුනු තැන් නිවැරදි කිරීමයි.