අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය රටක් දියුණුවීමට බලපාන ප්‍රධාන සාධක ලෙස සැලකේ. එබැවින් ලෝකයේ බොහෝ රටවල් මෙම සේවා ගුණාත්මක හා ප්‍රමාණාත්මක අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබයි.
මේ නිසා බොහෝ රටවල මෙම සේවා තුන රාජ්‍ය අංශය මගින් පාලනය කරන අතර, තවත් රටවල් ගණනාවක් පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම සේවා පවත්වාගෙන යති. පෞද්ගලික අංශය හරහා මෙම සේවා සිදුවුවත්, ඒ සෑම අවස්ථාවකදීම රජයේ අධීක්ෂණය නිරතුරුවම සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව ගතහොත් අද දවසේ මෙම සේවා ගැන කතා කිරීමේදී නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක් හා රාජ්‍ය ප්‍රවාහන සේවාවක් ගැන මහ ඉහළින් කතා කරමින් තිෙබ්. බස් ජනසතු කළ කාලයෙන් පසු මේ රටේ ප්‍රවාහන සේවයේ ප්‍රමුඛයා වූයේ ලංකා ගමනාගමන මණ්ඩලයයි.
නමුත් 1977 වසරේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග ඇති වූ වෙනස්කම මත අද වන විට ශ්‍රී ලංගමය, දුම්රිය සේවාව නිකම්ම නිකන් රාජ්‍ය අංශ සේවාවක් බවට පත්ව තිබේ.
මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රාජ්‍ය ප්‍රවාහන සේවාව කඩා බිඳ දමා පෞද්ගලික බස් සේවාව වැඩි වැඩියෙන් රට තුළ ප්‍රචලිත කිරීමට දේශපාලඥයන් කටයුතු කිරීම නිසාය.
මේ නිසා අද දවස වන විට රටේ ප්‍රවාහන සේවාව හසුරවනු ලබන්නේ පෞද්ගලික අංශය විසිනි. පෞද්ගලික අංශයේ සේවාවට තරගයක් ලබාදීමට තරම්වත් රාජ්‍ය ප්‍රවාහනයට අද ශක්තියක් නැත.
මේ නිසා පෞද්ගලික බස් හිමියන් රටට ප්‍රවාහන සේවාවක් ලබාදීම අමතක කර තම තමන්ගේ මඩිය තරකර ගැනීමේ කටයුත්තක යෙදී සිටී.
මෙම ක්‍රියාපිළිවෙත නිසා සමස්ත මගී ප්‍රවාහන සේවාවම කඩා වැටීමකට ලක් වී තිබෙන අතර, මෙම තත්ත්වයට ප්‍රධානම හේතු වී තිබෙන්නේ රාජ්‍ය ප්‍රවාහන සේවාව කඩා බිඳ වැටීමය.
යම්තරමකට හෝ රට තුළ බස් සේවාවක් සිදුවූවා නම් එය සිදුවන්නේ ලංගමය සතු බස් රථ 5000කට අධික ප්‍රමාණය විසින් ලබාදෙන රාජ්‍ය ප්‍රවාහන සේවාව නිසාය.
තත්ත්වය එසේ තිබියදීත් මේ රටේ දේශපාලඥයන් අද දවසේ පවා උත්සාහ කරන්නේ ලංගමය සුනු විසුණු කර දමා පෞද්ගලික ප්‍රවාහන සේවාව තවදුරටත් ඉදිරියට ගෙනයාමටය.
අද දවස වන විට රට තුළ බස් රථ පොදු මගී ප්‍රවාහන සේවාවට යෙදවීම සඳහා විශාල තරගයක්ද ඇති වී තිබෙන අතර, මේ හරහා ජාවාරම් ක්‍රියා රාශියක්ද නිර්මාණය වී තිබේ.
එනම් මාර්ග බලපත්‍ර ලබාගැනීම, බස් රථය ධාවනය කිරීම සඳහා හොඳ මාර්ගයක් ලබාගැනීම හා නීතිවිරෝධී ආකාරයට අධිවේගී මාර්ගයට බස් රථ යෙදවීම වැනි ජාවාරම්කාර ක්‍රියාය.
මේ සඳහා රටේ දේශපාලඥයන් කිහිපදෙනෙක්ද සම්බන්ධ වී සිටින අතර, සමහර දේශපාලනඥයන් බස් හිමි ව්‍යාපාරිකයන් බවටද පත්ව තිබේ. රට දියුණු කිරීමට මහජන ඡන්දයෙන් පැමිණි මෙවැනි දේශපාලඥයන් සෑමවිටම ලංගමය විනාශකර දමා තම තමන්ගේ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් කටයුතු කරනු ලබයි.
මේ නිසා රාජ්‍ය ප්‍රවාහන සේවාව විනාශකර දමන ආකාරයට එම සේවාව පවත්වාගෙන යාමට පෞද්ගලික අංශය වෙත අවස්ථාව ලබාදීම තුළින් ප්‍රවාහනයත්, රටේ ආර්ථිකයත් විනාශ වී තිබෙන බව සක්සුදක්සේ පැහැදිලි වන කාරණයකි.
ගමේ දරුවාටත් අධ්‍යාපනය ලබාදීමේ පරමාර්ථය මුල් කරගෙන එදා එක්තරා පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් බවට පත්කරනු ලැබූවේ සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතාය.
මේ අනුව අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් රජය යටතේ ක්‍රියාත්මක වූ අතර, එම සේවාව පවත්වාගෙන යාම සඳහා ජනතාව රජයට යම් යම් ආකාරවලින් බදු ලබාදීමට කටයුතු කළේය.
නිදහස් අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වුවත් විදේශීය ජාතිකයන්ගේ දරුවන්ට හා ඉහළම පැලැන්තියේ දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීම සඳහා පෞද්ගලික අංශය මගින් මෙහෙය වූ පාසල් කිහිපයක්ද රට තුළ ක්‍රියාත්මක වී තිබේ. එම පාසල් රට තුළ තිබීම හරහා නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වූ රාජ්‍ය පාසල්වලට කිසිදු බලපෑමක් එදා සිදුවූයේ නැත.
එහෙත් අද වනවිට මේ සියලුම කාරණා උඩුයටිකුරු වී ගොස් තිබේ. රජයේ පාසල් ප්‍රමාණයට පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ප්‍රමාණය ඉක්මවා නොගියත්, රජයේ පාසල් ප්‍රමාණයට ආසන්නව උපකාරක පන්ති රට පුරා බිහි වී තිබේ.
මෙහි ඇති අවාසනාවන්තම තත්ත්වය වී තිබෙන්නේ වැඩකරන දිනවල උදේ වරුවේ පාසල් ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරයා සවස් කාලයේදී සහ සති අන්තයේදී උපකාරක පන්ති හරහා පාසල් දරුවන්ට දැනුම ලබාදීමය.
ඇතැම් ගුරුවරුන් තම පාසලේ දරුවන්ගෙන් පවා උපකාරක පන්තිවලදී මුදල් අයකර ගෙන දැනුම ලබාදීම සිදුකරයි. මෙහිදී පැනනගින පළමු වැනි කාරණය තම රටේ ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය හදාරා, රටේ ජනතාවගේ බදු මුදල්වලින් වැටුප් ලබාගෙන දරුවන්ට නියමිත දැනුම ලබා නොදීමයි. මේ නිසා බොහෝ දෙමාපියන්ට පළමු වසරේ සිටම තම දරුවන් ටියුෂන් ගුරුවරයෙකු ළඟට යවා අධ්‍යාපනය ලබාදීමට සිදුව තිබේ.
හතු පිපෙන්නාක් මෙන් බිහිවන ටියුෂන් කඩ නිසා ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට නොහැකි තත්ත්වයකට රට පත්වෙමින් තිබේ. මන්දයත් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගවල ප්‍රශ්නපත්‍රවල සඳහන් ප්‍රශ්න හොරකම් කර ප්‍රසිද්ධියේ බෙදාහැරීමට කටයුතු කිරීම හා ප්‍රශ්න පත්‍ර සොරකම් කර බෙදාහැරීමට කටයුතු කිරීම වැනි ජාවාරම් ක්‍රියා සිදුකිරීමට සමහර ටියුෂන් කඩකාරයන් කටයුතු කිරීම නිසාය.
රටේ වාසනාවකට හෝ මෑතකාලීනව මේ ආකාරයේ සිද්ධි දෙකක් වාර්තා වූ අතර, රට තුළ පවතින මෙම ජාවාරම්කාර ක්‍රියාව නිසා මේ ආකාරයේ සිදුවීම් තවත් සිදු වී නොමැති බවට කිසිවෙකුටත් සහතිකයක් ලබාදිය නොහැක.
තමන්ගේ ටියුෂන් කඩයට වැඩි වැඩියෙන් පිරිස් ගෙන්වා ගැනීමේ මූලික අරමුණින් සිදුකරන මෙම ජාවාරම් ක්‍රියා නිසා විභාග දෙපාර්තමේන්තුවත් යම් යම් අවස්ථාවල හෑල්ලුවට ලක්වීම සිදුවේ.
මේ නිසා උපකාරක පන්ති යනු ජාවාරම් ක්‍රියා සිදුවන තැනක් බවට පත්වෙමින් ඇති අතර, මෙම තත්ත්වය අද දවස තුළ වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් අනාගතයේ දවසක රටේ අධ්‍යාපනය භයානක තැනකට තල්ලු වී යාම අනිවාර්යයෙන්ම සිදුවන ක්‍රියාවකි.
මන්දයත් 2014 වසරේදී සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක් වංචනික ලෙස ලබාගෙන උපකාරක පන්ති ගුරුවරයෙකු බෙදාහැරි අවස්ථාවේදී ඔහුව වසර ගණනාවකට සිරගත කිරීමකට ලක්කර ලක්ෂ ගණනක දඩයකට යටත් කිරීමට රට තුළ නීති සකස් වී තිබුණේ නම්, පැවැත්වෙමින් තිබෙනා උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් මුද්‍රණය කර බෙදාහැරීමට ටියුෂන් ගුරුවරයෙකු කටයුතු කරන්නේ නැත.
මේ නිසා මේ ආකාරයේ වංචා ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීමට රට තුළ නීති සකස් කළ යුතුව තිබේ. පාසල්වලට යාමේ අවස්ථාවද මෙම උපකාරක පන්ති හරහා අහිමි වී ගොස් ඇත. මේ නිසා නිදහස් අධ්‍යාපනයක් රට තුළ ක්‍රියාත්මක කරනවා නම් දරුවන්ට අවශ්‍ය දැනුම පාසල තුළින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යම කටයුත්තක් වී තිබේ.
එසේ නොමැති වුවහොත් ලංගමයට අද දවසේ සිදු වී තිබෙනා ඉරණම අනාගතයේ දවසකදී පාසල්වලටත් අත්වනු ඇත. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍යය ගැන කතා කරන විට සඳහන් කරන කරුණුවලින් 50%කට වැඩි ප්‍රමාණයක් සඳහන් වන්නේ රට තුළ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ගැනය. එසේ නොමැති නම් එම සේවාව තුළ පවතින පහසුකම් ප්‍රමාණය හා ලැබෙන වරප්රසාදයන් ගැනය.
කෙසේ නමුත් අද දවස වන විට නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන සේවාව තුළින් රෝගීන්ට නොමිලේ ලැබෙන්නේ වෛද්‍යවරයාගේ සේවාව පමණි. නේවාසිකව ප්‍රතිකාර ගැනීමකදී ඇඳක්, ආහාර ටික හා හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරකම් ප්‍රමාණයක්ද නොමිලේ ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
එහෙත් රෝගය සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රෝගීන්ට මුදල් දී මිලදී ගැනීමට සිදුව තිබේ. වෛද්‍ය පර්යේෂණ කටයුතු සඳහා මුදල් වියදම් කර සිදුකර ගැනීමට සිදු වී ඇත.
මේ ආකාරයට නිදහස් සෞඛ්‍යය විනාශ වී යාමට ඉඩහැර මේ රටේ පාලකයන්, දේශපාලඥයන්, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල් රට තුළ ඇති කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් තිබේ.
රජයේ රෝහල් ප්‍රමාණයට වඩා පෞද්ගලික රෝහල් තවමත් රට තුළ ස්ථාපිත වී නොමැති වුවත්, වෛද්‍ය මධ්‍යස්ථාන වශයෙන් ගතහොත් රටේ රෝහල් ප්‍රමාණය ඉක්මවා යන්නට වෛද්‍ය මධ්‍යස්ථාන බිහිවී ඇත.
මීට අමතරව රජයේ රෝහල් මෙන් හතර පස් ගුණයක ප්‍රමාණයක ෆාමසි බිහි වී තිබේ. අධ්‍යාපන සේවාවේදී සේම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල හා පෞද්ගලික රෝහල් තුළ සේවය කරන අතිබහුතරයක් වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කරන පිරිස්ය.
රජයේ රෝහලකදී රෝගියෙකුට ඍජුවම විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබාගැනීමට වරම් නැත. එහෙත් එම විශේෂඥ වෛද්‍යවරයා ඕනෑම රෝගියෙකුට පෞද්ගලික රෝහලකදී හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකදී ඍජුව මුණගැසී ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව තිබේ. අවශ්‍ය වන්නේ කනකර උකස්කර හෝ ලබාගන්නා රුපියල් ශත පමණි.
තමන්ට නියමිත රාජකාරී වේලාවෙන් පසු මෙවැනි කටයුතු කරනවා යැයි ඕනෑම වෛද්‍යවරයෙකුට තර්ක කළ හැකිය. එහෙත් ප්රශ්නය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේදී රෝගියෙකු වෙනුවෙන් සිදුකරන කැපකිරීම රජයේ රෝහල් තුළදී බොහෝ වෛද්‍යවරුන් සිදුනොකිරීමය. මේ නිසා අද දවස වන විට රජයේ රෝහලකට ඇතුළු වීමට පෙර පවා එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවාව පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට බොහෝ රෝගීන් කටයුතු කරයි.
මෙම සේවාවේ යම් ප්‍රමිතියක් තිබුණත් උපකාරක පන්තිකරුවන් සේ මොවුන්ගේ අය කිරීමද විවිධ වී තිබේ. එනම් රෝගියෙකු පරීක්ෂා කිරීම වෙනුවෙන් අයකරන මුදලේ නිශ්චිතභාවයක් නැත. එම මුදල පෞද්ගලික රෝහලෙන් රෝහලට හා වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස් වී තිබේ.
සෞඛ්‍ය සේවාව රට තුළ දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගන්නවා නම් එය සිදුවිය යුත්තේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවට හානියක් නොවන ආකාරයටය.
එහෙත් අද දවස වන විට මේ රටේ සමහර දේශපාලඥයන් රාජ්‍ය සෞඛ්‍ය සේවාව බිඳවට්ටවා පෞද්ගලික අංශය දියුණු කිරීම සඳහා කැප කිරීම් සිදුකරමින් සිටී. මේ නිසාරාජ්ය සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ උපකරණ හිඟවීමට අමතරව මානව සම්පතද හිඟවෙමින් පවතී. මානව සම්පත්වල පවතින හිඟකම නිසා බොහෝ වාට්ටු හා රසායනාගාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්වෙමින් තිබේ.
තවද රෝහල්වල අලුතින් සකස් කළ ඇතැම් ඒකකවල වැඩ ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. තත්ත්වය මේ ආකාරයට බරපතළ වුවත් නිදහස් සෞඛ්‍ය සේවාවක් ගැන සෞඛ්‍ය ඇමතිවරයාගේ කයිවාරුවේ අඩුවක් නම් නැත. මේ නිසා ලංගමයට සිදු වූ දෙය වැඩිකල් නොගොස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවටත් සිදුනොවේ යැයි කිසිවෙකුටත් සහතිකයක් ලබාදිය නොහැක.
එබැවින් රටක් ලෙස දියුණුවේ ඉහළට යාමට නම් මෙම සේවා තුන රාජ්‍ය අංශය සතු විය යුතු බවට රට තුළ ජනමතයක් ඇති විය යුතු කාලය එළැඹ තිබේ.