Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
සම්බුදු තෙමඟුල සෑම වසරකම අප පවත්වනු ලබන්නේ ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා මුල්කර ගනිමින් බුද්ධාලම්බන ගෞරව සිතිනි. බුදු හිමියන් වදාළ නිර්මල බුදු දහමේ පහස විඳිමින් සියවස් ගණනාවක් මුළුල්ලේ වෙසඟ සිරිය අත්විඳි ශ්‍රී ලාංකිකයන් වූ අපට මෙවර එය අලුත් අත්දැකීමක් බවට පත්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මේ වසරේ ජාත්‍යන්තර වෙසක් සැමරුම හා එයට සමගාමී වූ සියලු වැඩසටහන් මෙහෙය වීමේ සුවිශේෂී අයිතිය ශ්‍රී ලාංකික බොදු ජනතාවට පවරා ඇති හෙයිනි.
ඒ අනුව භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ඒකරාශීව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නිර්මල දර්ශනයේ සැබෑ අරුත අවබෝධ කරගනිමින් මානය දුරලා, මානව දයාවෙන්, පහන් සිතින් යුතුව පෙළ ගැසිය යුතු වන්නේය. සැබෑ වෙසඟ අසිරිය එය වේ. ලොව වෙත අප ගෙනයන පණිවුඩයද එයයි. එහෙත් එය නිසි පරිදි ක්‍රියාත්මක වේද? යන ගැටලුක්ද පවතී මන්ද මේ වනවිට මෙරට සියලු සත්ත්වයාම දේශපාලනීකරණයේ විලංගුවට හසුව ඇති නිසාය.
එය සංඝ සමාජයටද වලංගු වී ඇත. සමස්ත සමාජයේ මෙම පරිහානිය තුළ නිවුණු සිතින් යුතුව අපට තෙමඟුල සැමරීමට හැකිද? දශක දෙකක් මුළුල්ලේ යෞවනයේ සිත් දහම් සිසිලෙන් සුවපත් කරමින් අගනා සමාජ මෙහෙවරක යෙදෙන විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් මේ පිළිබඳව යථාවබෝධයෙන් 'අද' සමගින් සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
Q මෙවර වෙසක් උත්සවය පැවැත්වෙන්නෙ ප්‍රථම වරට ජාත්‍යන්තර මැදිහත්වීමක් සමගයි වර්තමානයේ පවතින සමාජ තත්ත්වය තුළ එය කොතෙක් දුරට යථාර්ථයක් වෙයිද?
"ධමමෝ භවේ රක්ඛති ධම්ම චාරී'' මේ බුදු හාමුදුරුවන්ගේ උදාන වාක්‍යයක් බුදු වදනින්ම පැවසුවහොත් මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන් මොන කුලයකට, ජාතියකට, වර්ගයකට, ආගමකට අයත් වුණත් ඔවුන් සියලුදෙනාටම බුදුදහම සාධාරණ ධර්මයක්. එයට හේතුව වන්නේ බුදුදහම ස්වභාව ධර්මය සමග සුසංයෝගව පවතින ධර්මයක් නිසා. ඒ නිසා බුද්ධිය තියෙන ඕනෑම මනුෂ්‍යයෙකුට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්.
ලොව්තුරා බුදුහාමුදුරුවන්ගේ මේ වටිනා සද්ධර්මයේ අයිතිය ලබාගැනීමට වාසනාව ලැබුණෙ ආසියාතික කලාපයේ වෙසෙන අපටයි. බුද්ධ කාලයේදී තුන් ලෝකයටම ව්‍යාප්ත වුණු ශ්‍රී සද්ධර්මය වර්තමානයේ මේ වනවිට ලොව පුරාම ව්‍යප්ත වෙමින් පවතිනවා. ඒ නිසා මොන ආගමක් ඇදහුවත් බුදු දහමේ එන වත්පිළිවෙත් අනුගමනය කරමින් සිය ජීවිත හැඩගස්සවා ගැනීමට ලෝකයේ උගත්, නැණවත් බොහෝ මිනිසුන් පෙළඹිලා තියෙනවා. වෙසක් උත්සවය ලෝක ජනතාවගේ උරුමයක් බවට පත්වෙලා තියෙන්නෙ ඒ නිසයි.
එවන් කාලසීමාවක තමයි අපට මේ ජාත්‍යන්තර වෙසක් සැමරුම හිමිවුණේ. ඒ නිසා අපට මෙවර ප්‍රථම වතාවට ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය පැවැත්වීමේ අවස්ථාවද හිමිවෙලා තියෙනවා. වර්තමාන රජයේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පින්සිඳු වෙන්න බුද්ධ ශාසන ඇමතිවරයාගේ පින්වත් මැදිහත් වීමෙන් ඒ අනගි අවස්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට ලබාදී තියෙනවා. මෙය අපේ පණිවිඩය මුළු ලොවටම ගෙන යන්න හොඳ අවස්ථාවක්. ලෝකයේ සතර දෙසින්ම බෞද්ධ නායකයෝ ඇතුළු සිව්වනක් පිරිස ලංකාවට ගෙන්වා ගන්න මේ තුළින් හොඳ ඉඩකඩක් අපට ලැබී තියෙනවා.
Q මේ රටේ දිනෙන් දින වර්ධනය වෙන සමාජ විරෝධී ක්‍රියාකාරකම් නිසා වෙසක් අසිරිය ලෝකයා හමුවේ හෑල්ලුවට පත්වෙනවා නේද?
අපේ රටේ බෞද්ධ නායකයො වගේම ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලාත්, මේ තත්ත්වය වෙනස් කරගන්න පෙරමුණ ගන්න ඕනෙ. මේ රටේ කාලයක ඉඳලා සිදුවෙන මිනීමැරුම් අපරාධ, දූෂණ නිසා අපේ බෞද්ධකම විනාශ වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ සමහරු ලංකාව දකින්නෙ යක්ෂයන්ගෙ දූපතක් විදිහටයි.
අපේ රටේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ දේශපාලනයයි. භික්ෂූන් වහන්සේලාගේ නිර්මල අයිතිය කෙළෙසන, ඔවුන්ගෙන් වැඩ ගන්න මේ රටේ කපටි දේශපාලකයන් පෙළඹුණා. එදා අපේ රටේ ගමේ නායකත්වය දැරුවෙ පන්සලේ නායක හාමුදුරුවො. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනාවලින් බැහැරව ඒ කාලේ මිනිස්සු වැඩකළේ නැහැ.
ඒ නිසා ගම දුස්සීල වුණේ නැහැ. පංචශීල ප්‍රතිපදාව ගමේ හොඳින් රැකුණා. දුෂ්චරිත, දුරාචාර බාහිරින් ගම තුළට එන්න එදා හාමුදුරුවරු ඉඩදුන්නෙ නැහැ. මුර දේවතාවුන් වහන්සේලා හැටියටයි, උන්වහන්සේලා එදා කටයුතු කළේ. නමුත් කපටි දේශපාලඥයන් ඉතා සූක්ෂම විදිහට සිය අරමුණු ඉටුකර ගන්න මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාව යොදා ගත්ත ඒකයි ඇත්ත.
Q භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන සම්ප්‍රාප්තිය නිසා භික්ෂු ගෞරවය මුළුමනින්ම නැතිවුණා නේද?
අනිවාර්යයෙන්ම එය සිදුවුණා. රජෙකුට වඩා පැවතුණු භික්ෂු අභිමානය කෙළෙසුණේ දේශපාලනය නිසයි. 'සුපටිපණ්නෝ, උජුපටිපණ්නෝ, ඥායපටිපණ්නෝ, සාමීචිපටිපණ්නෝ' කියන මේ උසස් ගුණ රැකගෙන, අධ්‍යාත්මික ගුණය සුරකිමින් තමයි අතීතයේ සංඝයා වහන්සේලා සමාජ මෙහෙවරේ යෙදුණෙ. උන් වහන්සේලා සමබරව කටයුතු කළ නිසා ගමේ ආර්ථිකයත් දියුණු වුණා වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මයත් පෝෂණය වුණා. ඒත් කපටි දේශපානඥයන්ගේ අරමුණු ඉටුකර ගන්න භික්ෂූන් වහන්සේලා මැදිහත් වීම නිසා සංඝයා වහන්සේලා වෙත පැවැති ගෞරවය කෙළෙසී ගියා.
අපේ ඇතැම් ස්වාමීන් වහන්සේලා වෘත්තීය සමිති මෙහෙය වීමේ කටයුතුවල යෙදීම කොතෙක් දුරට භික්ෂූත්වයට ගැළපෙනවාද කියල අන්‍යාගමිකයන් අපෙන් ප්‍රශ්න කරනවා?
මේ ප්රශ්නය අපි සංවේදීව තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට අනුදැන වදාළේ 'චරක භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සානං', 'මිනිසාගේ සැනසිල්ල පිණිස, අර්ථය පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්න' කියලයි. පැවිද්දා ශීල, සමාධි, ප්‍රඥා මත ජීවිතය හසුරුවන්නෙක්.
ඒ අනුව භික්ෂුවක සතු අයිතිය පසෙක තියලා ඇතැම් හිමිවරුන් ගිහියන්ට අයිති කාර්යභාර්ය ඉටුකරන්න පෙළඹෙනවා නම්, උන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා නොවේ, චීවරධාරීන්ද නොවේ. එවැන්නක් ගැන බුද්ධ වචනයේ විග්රහ කරන්නේ මේ විදිහටයි
''කුසෝ යථා දුගහිතෝ
හත්ඵමේවානු කනනති
සාමංඤඤං දුපපරාමටඨං
නිරායාය්ය වඩ්ඩති''
වරදවා ගන්නා ලද කුස තණ පත එය ගත් අතම සිඳින්නාසේ, වරදවා ගන්නා ලද මහණකමද, ඔහු නිරයට ඇදදමයි. කුසතණ පත කියන්නේ සියුම් ලෙස කැපෙන සුළු තණ වර්ගයක්. එය නොදැන අල්ලා ග්‍රහණයට ගන්න ගියොත් අතට හානියක් සිද්ධ වෙනවා. මහණකමත් ඒ වගේ තමයි. භික්ෂුව භික්ෂූත්වය ගැන නොදැන කටයුතු කිරීමෙන් සිදුවන්නේ විශාල හානියක්.
නොයෙක් වෘත්තීන්වල යෙදෙන භික්ෂූන් වහන්සේලා අද සමාජයේ බොහෝ ඉන්නවා. රටට බණ කියන හාමුදුරුවෝ නමක් හැටියට තවත් භික්ෂුවක් විවේචනය කරන්න මම කැමැති නැහැ. අපේ තියෙනවා සාමනේර ශික්ෂා පද කියල පොතක්. ඒකේ තියෙනවා ශික්ෂා පද හැත්තෑ පහක්. ඒ අනුව ක්‍රියාකරන භික්ෂුව කවදාවත් වරදක නියැළෙන්නේ නැහැ.
භික්ෂූත්වයෙන් බැහැරව කටයුතු කරන භික්ෂුව සුළු කාලයකට මිනිස්සු අතර ජනප්‍රිය වේවි. ඒත් පරලොවදී ඔහුට අයත් වන්නේ පරාජයක් පමණයි. භික්ෂූන් වහන්සේලාට රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කතා කරන්න අයිතියක් තියනවා. ඒත් එය කළ යුත්තේ භික්ෂූත්වය රැකගෙනයි.
Q රට වටේ ධර්ම චාරිකාවේ නියැළෙන යථිවරයාණන් වහන්සේ නමක් හැටියට අපේ තරුණ පරපුර පිළිබඳව දක්වන ආකල්පය මෙකක්ද?
අපේ රටේ වැඩිහිටියන්ගේ ලොකු චෝදනාවක් තියෙනවා අපේ තරුණ පිරිස බුරුතු පිටින් නොමග යනවයි කියලා. නමුත් රටේ අනාගතය බාරගන්න ඉන්න රත්තරන් තරුණ දුවල, පුතාල තුළ නොපෙනෙන විශාල බලයක් තියනවා. ඔවුන් නිතරම ධර්මය සොයනවා, අපි හිතනවාට වඩා ධර්ම කරුණු රැසක් ඔවුන් ගොනුකර ගෙන තියෙනවා. ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් මට හමුවෙලා තියෙනවා.
ඔවුන් ත්‍රිපිටක ධර්මය හොඳින් ඉගෙන ගත් අය. ඒ අතින් පන්සලේ හාමුදුරුවරු අසරණයි. ගිහියන්ට තියෙන දැනීම ඇතැම් භික්ෂූන් වහන්සේලාට නැති බව පැවසිය යුතුයි. බොහෝ තරුණ තරුණියන් පන්සල්වලට නොයන්නේ බුදු දහම ගැන පවතින අවිශ්වාසය නිසා නොවේ. ධර්මය පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය තියෙනවා. ඒත් පන්සලත් එහි වෙසෙන හාමුදුරුවන්ගේ චර්යාව පිළිබඳ විශ්වාසය නොමැතිකම නිසයි ඔවුන් අද පන්සලට නොයන්නෙ. කටුක වුණත් මේකයි ඇත්ත.
ඉස්සර බොහෝදෙනෙක් සිල් ගත්තේ වයසට ගිහිල්ලා. ඒත් මේ වෙනකොට තරුණ දුවලා, පුතාලා බොහෝ දෙනෙක් පොහොයදාට පන්සලට සිල්ගන්න එනවා. මේ ප්රබෝධය ඇතිවුණේ පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගෙන්. ඉන් පසුවයි, අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ගංගොඩවිල සෝම හාමුදුරුවෝ, ඒ වගේම බම්බලපිටියේ වජිරාරාමයේ වැඩහිටිය නාරද හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ වගේ සංඝ පීතෘන් වහන්සේලාගේ පූර්ණ කැපවීම තරුණ බෞද්ධ ප්රබෝධයට හොඳමග පෙන්වීමක් වුණා. නම සඳහන් නොකළත් සෑම නිකායකම වගේ ධර්මධර, විනයධර භික්ෂූ නායකත්වය මේ රටේ පැවතුණා.
මගේ හැම පන්සලකටම පොහොයදාට දහස් ගණනින් සිල්ගන්න එනවා. ඒ අතර වැඩිපුරම ඉන්නේ තරුණ දුවල පුතාලයි. එයාලට අපි හිත සුවපත් වෙන විදිහට කතා කරනවා, ධර්ම රසය මැනවින් පහදලා දෙනවා. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් අප සමග එක්ව කටයුතු කරනවා. එදා බුදුන් දවසේ සිදුවුණෙත් මේදේමයි.
මේ වෙනකොට අපේ රටේ තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් යොවුන් තරුණ පරපුරට ධර්මයෙන් ආමන්ත්‍රණය කිරීමේ වැඩසටහන් පවත්වා ගෙන යනවා. මෙය ඉතාමත් විශිෂ්ට ධර්ම සේවාවක් බව පැවසිය යුතුයි. ධර්ම රසයට වශී වන අය වෙනත් කිසිම රසයකට යොමුවන්නේ නැහැ.
Q තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, බුරුමය ආදී බෞද්ධ රටවල තාවකාලික පැවිද්ද අනිවාර්යය වී තියෙනවා. තෙවලා බුදුදහමේ මූලස්ථානය වූ අපේ රටේ දූදරුවන්ට ඒ අවස්ථාව ලැබී නැත්තේ ඇයි?
හොඳ ප්‍රශ්නයක්. මේ තාවකාලික පැවිද්ද ඉතාමත් වටිනා දෙයක්. පසුගිය බුද්ධ ජයන්ති සැමරුමේදී මෙය මගේ මූලිකත්වයෙන් ආරම්භ කළා. මෙහිදී මගේ මූලික ඉලක්කය වුණේ තරුණ තරුණියන් මේ සඳහා යොමුකර ගැනීමයි. නමුත් මේදේ කරනවාට අපේ රටේ බෞද්ධයො කියල කියන කොටසක් විරුද්ධ වුණා. ඒකට නොයෙකුත් විවේචන එල්ල කරන්න පටන් ගත්තා.
Q එහෙම වෙන්න හේතුව මොකක්ද?
ඒකට හේතු එයාලට මට කලින් ඒදේ කරන්න බැරිවුණු එකයි. තමන්ට යම් දෙයක් කරන්න බැරි වුණාම වෙන කෙනෙක් ඒදේ හොඳින් කරනවානම් ඒක විවේචනය කරන එක බොහෝ ලාංකිකයන්ගේ පුරුද්දක් වෙලා. මේක ගිහිපැවිදි දෙගොල්ලන්ගේම තියෙන ලෙඩක්. අර පටන් ගත්ත වැඩේ නැති කරන්න පුළුවන් හැම දෙයක්ම එයාලා කරනවා. භීතිකා ඇති කරනවා. පුළුවන් නම් අනවින කොඩිවින පවා කරාවි.
Q තාවකාලික භික්ෂූත්වය ලබාදීමට රජයේ මැදිහත්වීමක් කරන්න බැරි ඇයි?
හොඳටම පුළුවන්. එය රජය සතු වගකීමක්. නමුත් ඒකවෙලා නැහැ. සෑම රජයක්ම ඒ ගැන අවධානය යොමු කෙරුවේ නැහැ. මම අවුරුදු හතක් ඉගෙනුම ලැබුවේ 'ස්ටේට් පරියත් යුනිවර් සිටි ඔෆ් බර්මා' යනුවෙන් හඳුන්වන ලෝකයේ ඉහළින්ම පිළිගත් විශ්වවිද්‍යාලයෙන්. එහි සිටි කාලයේදී මම දුටු වැදගත්ම දේ තමයි ඒ රටේ හැම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම මහණ විය යුතුයි. ඒ රටේ රජ වෙන්නත් මහණකම සුදුසුකමක්.
ඒ වගේම විවාහයකදීත් මුලින්ම සොයා බලන්නේ මහණ වෙලා හිටියද කියලයි. මිනිසෙකුගේ මානසික හා කායික සංවර්ධනයට පැවිද්ද මූලිකවීම ඒකට හේතුවයි. නමුත් අවාසනාවකට අපේ රටේ අතීතයේ ඉඳලාම මෙය ක්‍රියාත්මක වුණේ නැහැ.
අපේ රටේ වත්මන් ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, බුද්ධ ශාසන ඇමතිතුමත් මෙය නීතිගත කරන්න පසුබට නොවන බව මගේ විශ්වාසයක් තියනවා. නමුත් ගැටලුව තියෙන්නේ මේක අනුමත කරන නායක ස්වාමීන් වහන්සේලා ලංකාවේ කොපමණක් ඉඳියිද කියන එකයි. අපේ රටේ බොහෝ නායක ස්වාමීන් වහන්සේලා මේ තාවකාලික පැවිද්ද උපන් ගෙයිම ප්‍රතික්ෂේප කරල තියනවා.
එයට හේතුව තාවකාලික පැවිද්ද නිසා පන්සලේ තියෙන දුර්වලකම් අඩුපාඩු පිටතට සමාජගත වෙයි කියන බය නිසා වෙන්ඩ ඇති කියලයි මම හිතන්නෙ.
Q මේ වැඩපිළිවෙළ විහාරස්ථාන මූලික කරගන්නෙ නැතිව බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ආයතනික මට්ටමින් ආරම්භ කළොත් ඔය කියන ගැටලු ඇතිවන්නේ නැහැ නේද?
මේ වගේ අධ්‍යාත්මික වැඩක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කළොත් දහස් ගණනින් පිරිස එයට සහභාගි වේවි. විශේෂයෙන් විශ්වවිද්‍යාල දූදරුවන්ටත්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන් අවසන් වීමෙන් පසුව ප්‍රතිඵල එනතුරු දූදරුවන් ගතකරන කාලය මේ තාවකාලික පැවිද්දට සුදුසුම කාලය ලෙස අප දකිනවා.
එතැනදී අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසිලා විඩාපත් වෙලා තියෙන මනසට අධ්‍යාත්මික පෝෂණයක් ලබාදිය හැකි වෙනවා. එවිට ඔවුන්ගේ මනස නිරවුල් වේවි. ඒ තුළින් ඔවුන්ට ලැබෙන ඕනෑම ප්‍රතිඵලයකට උපේක්ෂාවෙන් මුහුණදීලා සාර්ථකව ඉදිරි පියවර තබන්න මානසික ශක්තියක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.
බලන්න අද ඔය මුහුණු පොතට අපේ දූදරුවන් ඇදී යන්නේ එතැන ආස්වාදයක් තියන නිසානේ? මේ නිසා ජීවිත කීයක් විනාශ වෙලා තියනවද? මුහුණු පොත වෙනුවට තාවකාලික පැවිද්දෙන් ලැබෙන දහම් පොත මගින් නිසි අයුරින් ලබාදෙන ආස්වාදය අයාලේ දුවන තරුණ ජීවිත නිසි මගට යොමුකරවන්න හොඳ පෙළඹවීමක් වේවි. 'උට්ඨානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ ' බුද්ධ දේශනාවේ මෙය පැහැදිලි කරදෙන්නේ මේ විදිහටයි.
මනුෂයෙකුට ජීවිතය සාර්ථක කරගන්න උට්ඨාන වීර්යය මූලිකව අවශ්‍ය වෙනවා, දෙවැන්න සිහිය, වීර්යයි සිහියයි නිසි අයුරින් පිහිටුවා ගත්තාම යහපත්ව ක්‍රියාකරන්න පුළුවන් වෙනවා. ඒ අනුව තමන් කරන දේ විමසිලිමත්ව කරන්න හැකියාව ලැබෙනවා.
අඩුම වශයෙන් සති දෙකක තාවකාලික පැවිද්ද මගින් ඔන්න ඔය කරුණු හතර අපේ තරුණ දුවල පුතාලට අවබෝධ කරලා දෙන්න අවස්ථාවක් ලබාදෙනවා නම්, එය ඔවුන්ගේ අනාගතය යහපත් ලෙස ගොඩනගා ගන්නත් ඒ අනුව බෞද්ධකම සුරකින මානසික හා කායික සංවර්ධනයෙන් යුක්ත තරුණ පරපුරක් සමාජගත කරන්නත් මේ තාවකාලික පැවිද්ද ශක්තියක් වේවි.
ජනමාධ්‍යයට මේ සඳහා හඬක් නගන්න වගකීමක් වගේම අයිතියකුත් තියෙනවා. සුපර් ස්ටාර්, ලිට්ල් ස්ටාර් වගේ රියලිටි ෂෝ කියන කුණු ගොඩවල්වලින් අපේ දරුවන්ගේ මනස විකෘති නොකර ගුණ, නැණ බෙලෙන් යුතු ස්ටාර්ල බිහිකරන්න ජන මාධ්‍යයට පුළුවන්කම තියෙන්න ඕනෙ. අධ්‍යාත්මික, මානසික හා කායික සංවර්ධනයක් නැතිව රටක ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බැහැ.
එවැනි දැවැන්ත වැඩපිළිවෙළක් දැන් මේ රටට අත්‍යවශ්‍ය වෙලාවක් ඒ යුගයේ අවශ්‍යතාවට පින්වත් ඔබේ පුවත්පත හෝ දායක වෙනවානම් ඒ සඳහා ඉදිරිපත් වෙන රත්තරන් දුවලා පුතාලට සියලූ පහසුකම් ලබාදෙන්න මම සූදානම් බව මේ ඓතිහාසික බුදු තෙමඟුලේදී පවසන්න කැමතියි.
සටහන සහ සේයාරූ - අතුල රංජිත් වෙදමේස්ත්‍රීගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd