නව යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා චෝදනා හමුවේ රජයේ කාර්යභාරය ජනතාව ප්‍රශ්න කරති. ව්‍යවස්ථාව සම්බන්ධව මේ වනවිටත් පොදු මහජනතාව හෝ පළමු පෙළේ පාලකයන් විසින් කිසිදු එකඟතාවකට පැමිණ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා සඳහා ආගමික සේම අනෙකුත් අර්බුදයන් කතිකා වෙමින් පවතී. මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක මූලික නීතිය. එනිසාවෙන්ම ව්‍යවස්ථා සම්පාදනය එතරම් පහසු කාර්යයක් නොවෙයි. එය සංකීර්ණ ක්‍රියාවලියක්. අපි නිදහසින් පස්සේ ව්‍යවස්ථා තුනක් අත්දැකල තියෙනවා. නිදහස ලබනවත් සමගම සෝල්බරි ව්‍යවස්ථාව, 72 ජනරජ ව්‍යවස්ථාව සහ 77 ව්‍යවස්ථාව. නමුත් ඒ සියලු ව්‍යවස්ථාවන් පොදු මහජනයා පිළිගන්නා ස්වරූපය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්නේ. එයින් අදහස් වෙන්නෙ නෑ රටේ සියලු කණ්ඩායම් මෙය 100෴ ක් පිළිගන්නා බව. යම් විරුද්ධවාදී මත දරන්නන් ඉන්නවා. සුළු ජාතිකයන් මෙමගින් තෘප්තිමත් නොවන කොටසක් බවට පත් වෙනවා. අනෙක් ජාතීන් සහ අනෙක් ආගමිකයන් මේ පිළිබඳ යම් යම් ගැටලු මතු කරනවා. රටක් වශයෙන් මේ සියලු ප්‍රශ්න විසඳාගැනීමට පුළුවන් යැයි කියන කාරණාව බරපතළ ගැටලුවක්. නමුත් පොදුවේ රටක ව්‍යවස්ථාවක් යම් මට්ටමකට හදාගැනීමේ ක්‍රියාවලියක් සැලසුම් කිරීම වැදගත්.
නිදසුනක් වශයෙන් 1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා එන සියලු මැතිවරණයකම ප්‍රධාන තේමා පාඨවලින් එකක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. නැත්නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන්න. බලයට එන පක්ෂය සහ තරගකාරීව මැතිවරණයට පෙනී සිට පරාජය වන පක්ෂය කියන දෙපාර්ශ්වයම හැම මැතිවරණ ප්‍රකාශනයකම මෙය වෙනස් කිරීම සම්බන්ධව කරුණු දක්වනවා. 94 මැතිවරණයේදී එය පැහැදිලිව දකින්නට ලැබුණා. 99 වසරේත් දැක්කා. දීර්ඝකාලීනව මෙය සෑම වසරකම කතා වෙන දෙයක්. නමුත් යම්කිසි කණ්ඩායමක් බලයට ඇවිත් එය වෙනස් කරන්න හදන අවස්ථාවේදී ඒ වෙනස් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා අවස්ථාවක් නැතිවීමයි මූලික කරුණ. ඉතිහාසයේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කිරීමේදී ඒ මොහොතේ ඒ පිළිබඳ විශාල සංවාදයක් ඇති වුණේ නැහැ. ඒ අනුව බලයක් සමග යම්කිසි වෙනසක් කළ හැකිවුණේ 1994 දී. 1994 වසරේ තිබුණු ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡා කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. 1995 සාකච්ඡාවෙන් පස්සෙ කෙටුම්පතක් විදියට හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ මොහොතේ ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණත් සමග අපට හදාගන්න තිබුණු හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ තුළ සුළු ජාතීන්ගේ නියෝජනය පිළිබඳ සාකච්ඡාව තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ, බලය බෙදී යාම පිළිබඳ අදහස තිබුණා. නමුත් එකඟත්වයෙන් කළ සාකච්ඡාව අන්තිම මොහොතේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවකදී අතහැරල දැම්මා. ආණ්ඩු පක්ෂයට එය දරා ගැනීමට හැකියාව තිබුණෙ නැහැ. පාර්ලිමේන්තු බහුතරය තිබුණෙ නෑ. ඒ අවස්ථාවේ විපක්ෂයේ සහාය ලැබුණෙ නෑ. ඒ මගහැරීම තවමත් තිබෙනවා.
2007 න් පස්සේ යුද්ධයේ අවසාන අදියර තිබුණ නිසා සියලු දෙනාගේ අදහස වුණේ විධායක ජනාධිපති ක්‍රමය නැවත තබාගත යුතු බව. එයට හේතුව යුද්ධය හා සමග තිබුණු සුවිශේෂී අත්දැකීම්. මෙය ඉතාම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වුණා. රටේ දේශපාලනය තුළ තිබෙන්නේ පොදු මහජනතාවට පිළිගත නොහැකි, ඔවුන්ගේ අරමුණු ඉෂ්ට නොකරන බල දේශපාලන රටාවක්. මැතිවරණයකදී මිනිස්සු ඡන්දෙ දෙන්නේ බලාපොරොත්තුවකින්. ඔවුන් වෙනසක් බලාපොරොත්තු වෙනවා. දැන් නිර්මාණය වෙලා තියෙන්නේ එකඟත්වයෙන් සාර්ථකත්වය කරා ගෙනයෑමේ අපහසුවක්. එක අදහසක් තමයි යුද්ධයෙන් පසුකාලීන සමාජය හැමදේ ගැනම සැකයෙන් බලන්නේ. ජාතීන් අතර සැකය ආගම් අතර සැකය තියෙනවා. එසේ සැකය ඇතිවන වටපිටාවක්ද නිර්මාණය කරල තියෙනවා.
වෙනත් කල්ලිවාදී ආගමික නායකයන් විදියට මතුවන පිරිස් මේ තුළින් වෙනම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට කටයුතු කරමින් ඉන්නවා. රට තුළ කටයුතු කරන සමහර දේශපාලන සහ ආගමික නායකයන් සමාජ වුවමනාවකට පෙනී නොසිටින බවක් තියෙනවා. ඔවුන් වෙනත් විදේශයන්ගේ හෝ වෙනත් ස්ථානයක බලයන් මත ක්‍රියාත්මක වන ආකාරයක් තිබෙන බව තේරෙනවා. ප්‍රශ්න විසඳාගැනීමේ උත්සාහවලදී යම්කිසි ආකාරයක විරුද්ධ වන ආකාරයක් මෙහිදී හඳුනා ගැනීමට පුළුවන්. අනෙක් කාරණාව සමහර දේශපාලන නායකයන් විධායක දේශපාලනය යන්න හමුවේ තමන්ට නොමැති දේශපාලන බලයක් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා. එයත් දේශපාලන වශයෙන් වැරදි ප්‍රතිපත්තියක්. රටේ වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. නව ව්‍යවස්ථාවක් සකසාගත යුතුයි. එයින් මම අදහස් කරන්නෙ නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් මේ රටේ සියලු සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රශ්න විසඳෙනවා කියල. මේක සියලු රෝග නිවාරණය කරන දිව ඔසුවක් වගේ දෙයක් නෙවේ. නමුත් යම්කිසි ආකාරයකට මිනිසුන්ට සමාජයේ නිදහසේ කටයුතු කරන්න පුළුවන් නීතිමය ලියවිල්ලක් සැකසෙනවා නම් එය වැදගත්.
අනෙක් කරුණ දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධයන කරල තියෙන්නේ. මෙය සංශෝධනය කරමින් යනවා කියන්නේ අලුත් දෙයක් එන්නේ නෑ. තියෙන දෙයක් එකතු කරනවා නැත්නම් වෙනස් කරනවා. හැකිනම් පොදු එකඟත්වයක් මත විවිධ තේරීම් කාරක සභා විවිධ මහජන කොමිෂන් සභා පැමිණිලි විභාග කර ඒ සාක්ෂි සහ මිනිසුන්ගේ අදහස් යෝජනා සලකා බලා පොදු එකඟතාවකට එන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ පිළියෙල කරන්න ඕනේ. මේ අවස්ථාවේත් නොහැකි වුණොත් ඊළඟ මැතිවරණයන්ගේ තේමා පාඨය වෙන්නේ විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම යන්න පමණයි. මේ මොහොතේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ කරුණු වගේම ජාතීන් හා ආගම් අතර ඇතිව තිබෙන සැකමුසු තැන් වෙනස් කරගැනීම කියන කාරණාවන්ට සාධාරණයක් ඉෂ්ට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ ඉඩ තියෙනවා. ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ආගම යන කාරණය සඳහන් වෙලා තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය පවා තවමත් ආගම මත පදනම් වෙලා තියෙන්නේ. ලෝකයේ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වුණාට ආගමෙන් ඉවත් වීම සිදු වන්නේ නැහැ. ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තිබෙනවා සේම උදාහරණයක් විදියට ඇමෙරිකාවේ කවුරු ජනාධිපති වුවත්, බයිබලයට අත තියල දිවුරුම් දෙන්න ඕනේ. වැදගත් කාරණය වන්නේ සෑම ආගමකටම තම අනන්‍යතාවේ සිටිමින් කටයුතු කිරීමට ඉඩ දීම. ඒ වැදගත්කමට සරිලන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 හැදුවේ වාමාංශික නායකයෝ. ඒ කාලේ ආගම කියන දේ ඇතුළත් කරන්න ඇත්තේ එවැනි පසුබිමක් තිබූ නිසා. ලංකාවේ දේශපාලනය හුදු විරෝධය මත සිදු වෙන්නක්.
අපට යමක් පිළිබඳ අදහස් දක්වනවා නම් ඒ පිළිබඳ පැහැදිලි ලේඛනයක් තිබිය යුතුයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි හඳුනාගත් ලියවිල්ලක් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යම් යම් වාර්තා, කොමිෂන් සභා යෝජනා තිෙබවා. අපට 1995 දී එවැනි ලියවිල්ලක් තිබුණා. එය රජයේ පුවත්පත්වල පළ කළා. දැන් එවැනි පසුබිමක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සඳහා පදනම් වන විවිධ ලියවිලි අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීම එතරම් ඵලදායී නැහැ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් හදිසියේ නැතුව, කාලයක් ඒ පිළිබඳ සාකච්ඡා සඳහා සමාජයට ඉඩ ලබාදී, ඒ සාකච්ඡාවෙන් සිදු විය යුත්තක්. එවැනි සාකච්ඡාවක් තිබීමෙන් ජනතාවට එය දැනගැනීමත් පහසුයි. සමාජයේ ජීවත්වන මිනිසුන්ගෙන් 01෴ක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසක්. එය ඔවුන්ට එතරම් ගැටලුවක් නොවෙයි. මෙහි තිබෙන කරුණු සම්බන්ධයෙන් මහජනයාට යම් අවබෝධයක් ලබාදෙන හොඳ ප්රචාරක ව්‍යාපාරයක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් හොඳයි. හැංගීමක් නැතිනම් මිනිස්සු අතර සැකයක් ඇති වන්නෙත් නෑ. 1990 දශකයේදී ඒක දැක්කා. විද්වතුන් ඒ පිළිබඳ සාකච්ඡා කළා. රූපවාහිනී වැඩසටහන් ගණනාවක් විකාශය වුණා. පොත් අත්පත්‍රිකා, වැඩමුළු සංවිධානය කරල තිබුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කළා. එසේ නොවීම නිසා විවිධ ගැටලු අර්බුද මතුවෙනවා. කිසියම් සැලසුම් සහගත ප්රචාරක ක්‍රමවේදයක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණ පැහැදිලි කළොත් පොදු ජනතාවගේත් එකඟත්වය මෙයට ලබාගත හැකියි. විවිධ පුද්ගලයන් දේශපාලනික වශයෙන් විවිධ මත දරනවා. ඒක වැදගත්. නමුත් ලියවිල්ලක් නොමැතිව සිදු කරන මේ ක්‍රියාවලිය නිසා මේ වනවිට අර්බුදයක් වෙලා තියෙනවා.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට යාමේ අවශ්‍යතාව තියෙනවා. පාර්ලිමේන්තුවට වගකියන නායකයෙක් අවශ්‍යයි. ඔහු මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තුවක සාමාජිකයෙක්. ජනාධිපතිවරයෙක් විධායක ජනාධිපතිවරණයකට ගිහිං ඒ සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලු අප විසින් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා සාමාන්‍ය ඡන්ද ක්‍රමයේදී කේවල ආසන ඡන්ද ක්‍රමය පවා ගෙනයන අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය ප්රමුඛ කරගත් ආණ්ඩු ක්‍රමයක් ලංකාව වගේ රටකට ගැළපෙනවා. එයට හේතුව ඒ ඇතුළෙ මහජන අදහස් නියෝජනය වීම. මේ මොහොතේ මහජනයා නියෝජනය වන තැන ජනාධිපතිවරයා නෑ. කෙනෙකුට කිව හැකියි ඔහු ආරක්ෂා කර ඔහුට මුක්තිය ලබාදී ඔහු ප්‍රශ්න කිරීමට නොහැකි තැනක තිබීම හොඳ බව. නමුත් ඔහු මහජනයාගේ නියෝජිතයෙක් විය යුතුයි. රාජ්‍ය නායකයා රටේ නීති සම්පාදනය කරන කාර්යයේදී ඍජු මැදිහත්වීමක් කළ යුතුයි. පාලන ක්‍රමය තුළ රටේ ස්වාධීන කොමිෂන් සභාවලින් යම්කිසි කරුණු ප්‍රශ්න කරන ක්‍රමවේදයකට යන ව්‍යුහයක් සකස් වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යෝජනා වීම වැදගත්.
- සුලක්ෂි රත්නායක