නල්ලතන්නිය, ශ්රී පාද රක්ෂිතයේ අද (6දා) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්න ගුවන් හමුදාව මැදිහත් වීමෙන් මේ වනවිට මැඩ පවත්වා තිබුණත්, තවමත් ස්ථාන කිහිපයක ගින්න පවතින බව වාර්තා වෙයි.
අද පස්වරුවේ ඇතිවූ ගින්න පැතිරීයාම පාලනය කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගුවන් ගත කර තිබූ අතර, ගිනි නිවීම සඳහා විශේෂයෙන් භාවිත කරනු ලබන 'බම්බි බකට්' උපාංගය මෙහිදී භාවිත කර ඇති බව වාර්තා වෙයි.
එම උපකරණය ආධාරයෙන් මස්කෙළිය ජලාශයෙන් ජලයගෙන අවස්ථා 16කදී නොකඩවා ජලය ලබාගෙන ගින්න පැතිරුණු ප්රදේශයේ හෙළා ඇති අතර, එමගින් ගින්න පැතිරීම යම් ප්රමාණයකට පාලනය කිරීමට හැකිවී ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත්, රාත්රී කාලය වනවිට ප්රදේශයේ පවතින අධික මීදුම් තත්ත්වයත්, සුළං තත්ත්වයත් හේතුවෙන් ස්ථාන කිහිපයක තවමත් පවතින ගින්න පාලනය සඳහා හෙලිකොප්ටර් යානය යොදාගැනීම අසීරු වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.