දියණිය සෞදියේ රුකියාවට ගොස් සිටියදී අභිරහස් ලෙස මියයාමෙන් හා බෑණා රිය අනතුරකින් මියයාමෙන් පසු ඔවුන්ගේ දරු දෙදෙනා ඉතා අමාරැවෙන් ජීවත්කරවන වයෝවෘද්ධ අඹුසැමි යුවළක් පිළිබඳව හාලිඇල වේල්ලවල ප්‍රදේශයෙන් වාර්තා වේ.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇටම්පිටිය වේල්ලවල අලුත්ගෙදර ගෙදර පිහිටි ඔවුන්ගේ නිවස ඉදි වී ඇත්තේ අල පෙට්ට්වලින් ඉවතදමන ලෑලි කැබලිවලින් හා පොලිතීන්වලිනි.
මේ නිවස තුළ ඩබ්ලිව්.එම්. එමානිස් (68), ඇගේ බිරිඳ ඩබ්ලිව්.එම්. සුදු මැණිකා (65) යන අඹුසැමියන් හා මියගිය දියණියගේ දරු දෙදෙනා වන එච්.ඒ. සුමේධා (18) සහ එච්.ඒ. ප්‍රියංකර උදයකුමාර (16) යන සිවුදෙනා ජීවත්වෙති .
සුමේධා වේල්ලවෙල පාසලෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන අතර, ඇගේ සොහොයුරා වන උදය කුමාර වේල්ලවෙල පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
තමන් පත්ව ඇති දුක්සහගත තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ සුදුමැණිකා,
'මේ දරුවන්ගේ අම්මා සෞදියේ රස්සාවට ගිහින් එකවරක් ආවා. දෙවැනි පාර ගියාට පස්සෙ කිසිම තොරතුරක් තිබුණෙ නැහැ. ඊටපස්සේ දවසක් එයාගෙ මිනිය එවලා තිබුණා. පාස්පෝට් එක පෙට්ටිය උඩ තියලා එවලා තිබුණා. එච්චරයි. දුව වෙනුවෙන් කිසිම දෙයක් ලැබුනේ නැහැ. ළමයින්ගේ තාත්තත් වැඩ කල බවුසරය පෙරළිලා මැරැණා. අපි පුළුවන් විදියට මේ දරු දෙන්නා බලාගත්තා. ඒත් අපට කිසිම ආදායමක් නැහැ. දැන්නම් අපි හතර දෙනාම හරිම අසරණයි. කිරි හරකෙක් ඉන්නවා, උදේ හවස කිරිබෝතල් 3 බැගින් අරන් තමයි සියලු වියදම් කරන්නෙ.
ගෙයක් හදල දෙනව කියල හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙයන් වැඩ පටන්ගත්තත් දැන් ඒකත් නැවතිලා. මුදල් නැතිලු . මේ දරු දෙන්නා වෙනුවෙන් මේ ගේ හදල දීලා ඒ ගොල්ලන්ගෙ ඉගෙනීමටත් උදව් කරනවා නම් මහා පිනක්' යැයි පැවසුවාය.
මොවුන්ට නිවසක් ඉදිකරගැනීමටත්, මෙම දරුවන්ගේ පෝෂණය හා අධ්‍යපානය වෙනුවෙන් කිසියම් ආධාරයක් කිරිමටත් හැකි යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් ලංකා බැංකුවේ වැලිමඩ ශාඛාවේ ඇති ගිණුම් අංක 3548072 දරන ගිණුමට සිය ආධාර මුදල් බැර කළ හැකිය.