21කට තුවාල, සිසුවියන් 3ක් ඇතුළු 7ක් රෝහලේ
(UPDATE) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ ශිෂ්‍ය විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලදී පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර පාර්ලිමේන්තුවට ඇතුළුවීම වළක්වනු ලැබිණි.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ මෙම පාගමන සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
මෙහිදී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට ඇතුළු වීම වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදා තිබූ අතර, එම මාර්ග බාධක බිම දමා ශිෂ්‍ය පිරිස් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කළහ.
එහිදී ශිෂ්‍යයන්ගේ ගමන වැළැක්වීම සඳහා මුලින්ම ජල ප්‍රහාර එල්ල කළ අතර, පසුව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද පොලීසිය කටයුතු කළේය.
පසුව ශිෂ්‍ය පිරිස එම ස්ථානයේ බිම වාඩි වී විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතා දැක්වූ අතර, පැයකට අධික කාලයක් විරෝධය දැක්වීමෙන් පසු පිරිස විසිර ගියහ.
ජල හා කඳුළු ගෑස් ප්‍රහාර නිසා ශිෂ්‍යයන් 21 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙන අතර, ඒ අතරින් 07 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බවද වාර්තා වේ. තුවාල ලැබූ පිරිසෙන් තිදෙනෙකු ශිෂ්‍යාවන් වන අතර තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
විරෝධතා පා ගමනට එක් වූ ශිෂ්‍යයන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ ශිෂ්‍ය මර්දනය නවතා දමා ශිෂ්‍ය අයිතීන් සුරකින ලෙස සහ මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 ක් දක්වා ඉහළ දමා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම ඉවත්කරන ලෙසත්ය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ/ ශමීර රාජපක්ෂ