
අමුත්තන් නිවසට පැමිණෙන විටක ඔවුන්ගේ පළමු නිරීක්ෂණය එහෙමත් නැත්නම් රසවිඳීම ආරම්භ වෙන්නේ ඔබේ ගෙවත්තේ සිටය. ඒ කතාව අතීතයේදී අනිවාර්ය අංගයක් වූවාට වර්තමානයේ පර්චස් හයේ නිර්මාණය වන නිවාස සංස්කෘතියේදී සිහිනයක් පමණක්ම විය හැකිය.
නමුත් හිසට වහලක් යන ප්‍රාථමික අවශ්‍යතාවෙන් එහාට ගොස් ජීවිතය රසවිඳින තැනක් ලෙස ඔබ නිවස නිර්මාණය කර ගැනීමට උත්සහ කරයි නම් ගෙවත්තක් යන්න අත්‍යවශ්‍ය අංගයක් වේ.
අතීත නිවාස සංස්කෘතියේදී ගෙවත්ත යන්න නිවසක ඉදිරිපස කොටසේ නිර්මාණය වන අංගයක් වුවත් දැන් දැන් නාගරික ප්‍ර‘දේශවල රථවාහන ගමනාගමනය අධික මාර්ග අද්දර තැනෙන නිවාසවලදී ඒ ඝෝෂාකාරී බවෙන් මිදී ගෙවත්තක ජීවිතය ගොඩනැංවීම සඳහා එය බොහෝ විට නිවසේ පිටුපසට වන්නට නිර්මාණය වන සම්ප්‍රදායක්ද ගොඩනැගී තිබේ. එබැවින් එවැනි ගෙවත්තක් බොහෝ විට අමුත්තන්ගෙන් යම් හෙයකින් දුරස් වන නමුත් පවුලේ සාමාජිකයන්ට වෙන්වූ ස්ථානයක් ලෙස නිර්මාණය වේ.
නූතන නිවාසවල ගෙවත්තක් නිර්මාණය වනුයේ ඒ නිවසේ නිර්මාණ ශෛලිය ඉස්මතු කිරීමේ අරමුණින්මය. එබැවින් බොහෝ විට උපරිම වර්ග තුන හතරක ශාක විශේෂවලින් මෙම නූතන මාදිලියේ ගෙවතු අලංකාර වන අතර, වෛවර්ණ මල් ඇති ගෙවත්තක් අද දක්නට ඇත්තේ ඉතාම කලාතුරකින් බවද කිව යුතුය. මේවා පිරිමි ගෙවතු හෙවත් ‘Masculine Gardens' ලෙසද හැඳින්විය හැකිය.
කෙසේ නමුත් මේ කිසිවකට නියතයක් නොමැති අතර, ඔබේ ගෙවත්ත ඔබට රිසි සේ සාදා ගැනීමට කිසිවෙකුගෙන් තහනමක් නොමැත. නමුත් ඔබේ ගෙවත්ත ඔබේ නිදහස අත්විඳීමට සාදා ගන්නා තැනක් නම් එය අල්පේච්ඡ ගෙවත්තක් වේවා, ගණ වදුලක් වේවා හිරුඑළිය හා වාතාශ්‍රය හොඳින් ගලා එන ස්ථානයක් ලෙස සකසා ගැනීමට උනන්දු වීම වටී.
සටහන හා ඡායාරූප - මාලක වැලිගොඩපොල





