සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි ජනප්‍රිය හෝටලයක් අල්-ෂබාබ් සටන්කාමීන් විසින් රැයක් පුරා වටලාගෙන සිට එල්ල කළ ප්‍රහාරයකින් සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
ජනාධිපති නිල නිවස අසල පිහිටි Villa Rose හෝටලයට ඉරිදා අල්-ෂබාබ් ප්‍රහාරකයන් තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් කඩා වැදුණු අතර, ඇතැම් පිරිස් හෝටලයේ ජනෙල්වලින් පැන දිවි බේරාගෙන තිබේ.
අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය ආසන්නයේ පිහිටි ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගත් බවයි.
කෙසේ වෙතත්, විදෙස් වාර්තා පෙන්වා දුන්නේ, සිද්ධියෙන් කොපමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි. එමෙන්ම, හෝටලය දෙසින් තවදුරටත් වෙඩි හඬ ඇසෙන බවද කියයි.
මේ වසර මුලදී තේරී පත් වූ සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් අල්-ෂබාබ් සංවිධානයට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කරමින් සිටින අතර, මෙම ප්‍රහාරය ඊට ප්‍රතිචාර දැක්වීමක් බව කියැවේ.