චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීම නිකරගුවා ජනතාවට සුබ ආරංචියක් බව නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා පවසයි.
මධ්‍යම ඇමෙරිකානු රාජ්‍ය, මහජන චීන සමූහාණ්ඩුව සමග සබඳතා යථාතත්ත්වයට පත්කර, තායිවානය සමග සබඳතා බිඳ දැමීමෙන් පැය කිහිපයකට පසු, ඔර්ටේගා මෙම ප්‍රකාශය කළේ, මැනැගුවා අගනුවර හමුදා නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානෝත්සවයේදීය.
ඔහුගේ කතාවේදී ඔර්ටෙගා, දෙරට ප්‍රථම වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ 1980 ගණන්වල නිකරගුවා-චීන සබඳතා වර්ධනය වූ ආකාරය සහ ඔහුගේ චීන සංචාරය ගැන සිහිපත් කළ අතර, එදා රට අද චීනයට සැසඳෙන්නේ නැති බවද කීවේය.
දැන් ආර්ථික බලවතෙකු ලෙස චීනය මිනිසුන්ගේ ජීවනෝපාය සහ විද්‍යාව හා තාක්ෂණය වැනි ක්ෂේත්රවල වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බව ඔහු පැවසීය.
ඔවුන් ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් ජනපද ප්‍රජාව වැනි විවිධ යාන්ත්‍රණ හරහා කලාපීය රටවල් සමග සබඳතා වර්ධනය කර ගනිමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
චීනය සහ නිකරගුවාව උතුරු චීනයේ ටියැන්ජින්හිදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබීය. ඒ අනුව ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් බව නිකරගුවාව පිළිගත් අතර, මහජන චීන සමූහාණ්ඩු රජය මුළු චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය වන අතර තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව ඉන් කියවුණි.