ඉරානය වෙත යුරෝපා සංගමය විසින් පැනවූ නව සම්බාධක වැරදි වැටහීමකින් යුතුව සිදුකළ එකක් බව ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් පවසයි.
"නොගැලපෙන ඇඳුමක්" ඇඳීම නිසා ටෙහෙරානයේ සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි 22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණය සම්බන්ධයෙන් ඉරානයේ පුද්ගලයන් 11දෙනෙකුට සහ ආයතන හතරකට එරෙහිව යුරෝපා සංගමය සඳුදා සම්බාධක පැනවීය.
"යුරෝපා සංගමය අද ඉරාන පුද්ගලයින්ට තවදුරටත් අනවශ්‍ය සම්බාධක පනවා තිබෙනවා. එය පුලුල්ව පැතිරී ඇති සාවද්‍ය තොරතුරු මත පදනම් වූ වැරදි වැටහීම්වලින් යුතු දෙයක්. කෝලාහල සහ විනාශකාරී ක්‍රියාවන් කොතැනකවත් ඉවසන්නේ නැහැ. ඉරානයද එයට සමාවක් දෙන්නේ නැහැ" අබ්දුල්ලාහියන් ට්විටර් පණිවුඩයක සඳහන් කළේය.
ඉරානයේ සදාචාර පොලිසිය සහ එහි ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකු වන මොහොමඩ් රොස්තාමි සහ හජාමඩ් මිර්සායි ඇතුළු අමිනීගේ මරණයට වගකිව යුතු යැයි විශ්වාස කරන අයට එරෙහිව මෙම සම්බාධක නිකුත් කර ඇත.
මෙම සම්බාධකවලට ගමන් තහනමකින් සහ වත්කම් රඳවා ගැනීමකින් සමන්විත වේ. ඊට අමතරව, ලැයිස්තුගත පුද්ගලයන්ට සහ ආයතනවලට අරමුදල් ලබා දීම යුරෝපා සංගම් පුරවැසියන්ට සහ සමාගම්වලට තහනම් කර ඇත.
මෙම ලැයිස්තුවට දැන් පුද්ගලයන් 97ක් සහ ආයතන 8ක් ඇතුළත් වන බව යුරෝපා සංගමයේ කවුන්සිලය සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.