MH370 මගී ගුවන් යානය අතුරුදන්ව මාස දෙකකට වඩා වැඩි කාලයක් ගතවීමත්, යානය පිළිබඳ නිවැරදි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වීමත්, ඒ වෙනුවෙන් අති විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමත් යන සියලු හේතු කාරණා සමග වසර 76ක් පැරණි මැලේසියානු ගුවන් සමාගමම අතුරුදන් වන ලකුණු පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ජනවාරි සිට මාර්තු දක්වා වූ කාර්තුවේදී ගුවන් සමාගමේ ආදායම 59%ක් පහළ බැස තිබෙන්නේ ඇ.ඩො.මිලියන 138ක ලෙසිනි. එය සමාගම දිගින් දිගටම පාඩු ලැබූ තත්ත්වයක තවත් අන්ත අසරණ විමක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
එමෙන්ම සමස්තයක් ලෙස බැලූ විට සමාගමේ සමස්ත වෙළෙඳ පොළ අගය මෙම වසර තුළ 40%කින් පහළ බැස ඇති බවද කියැවෙයි.
පසුගිය මාර්තු 08 වැනිදා මගීන් 239ක් සමග අතුරුදන් වූ MH370 යානය ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගමන් කරමින් තිබුණි.
කෙසේ වෙතත් යානය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර, මේ වනවිටත් ඒ වෙනුවෙන් අති දැවැන්ත ඩොලර් මිලියන ගණනක් වැය කර අවසන්ය.
මැලේසියානු රජය විශ්වාස කරන්නේ යානය දකුණුදිග ඉන්දීය සාගරයෙන් සිය ගමන අවසන් කළ බවය. නමුත්, තවමත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් එම මුහුදු සිමාවෙන් හමු නොවීම විමතිය දනවන්නක් වී තිබේ.
මේ සමගම මැලේසියානු ගුවන් සමාගම වෙත පැවති ආකර්ෂණය ශීඝ්‍රයෙන් කඩා වැටුණු අතර, චීන වෙළෙඳ පොළේ පමණක් සමාගමේ කඩා වැටීම 60% ඉක්මවන බව කියැවෙයි.
අතුරුදන් වූ MH370 යානයේ ගමන්ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් චීන ජාතිකයන් වීමද ඊට හේතු වී ඇති බව කියැවෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අහ්මඩ් ජවුහාරි යහ්යා පවසා සිටියේ, MH370 යානයේ අතුරුදන් වීමත් සමග සමාගම ලැබූ මේ දත්තයන් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවන බවය.
\