පුද්ලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු යානය පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදීමට මැලේසියානු බලධාරීන් අපොහොසත් වුවහොත්, නිරාහාරව අඛණ්ඩ උපවාසයක් සිදුකරන බවට යානයේ ගමන්කළ චීන මගීන්ගේ ඥාතීහු බලපෑම් කරති.
බෙයිජං නගරයේදී ගුවන් සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වීමේදී ඥාතීන් වඩාත් ප්රකෝපකාරී ලෙස හැසිරුණු අතර, උණුසුම් වචන හුවමාරු සිදුවූ බවද පැවසෙයි.
කෙසේ වෙතත් තත්ත්වය සමනයකට පත්කිරීමේ අරමුණින් ගුවන් සමාගමේ නිලධාරීන් පුන පුනා කියා සිටියේ තමන් මේ වනවිටත් යානය සෙවීමේ මෙහෙයුම් තවත් පුළුල් කළ බවය.
ඒ අනුව, අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් ගුවන් පථ දෙකක් ඔස්සේ නාවුක වර්ග සැතපුම් විසි ලක්ෂයක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කොට ඇති බව මැලේසියානු බලධාරීහුද අවධාරණය කළහ.
උතුරු ප්‍රදේශයෙන් මධ්‍යම ආසියාව කරා එක් ගුවන් පථයක් විහිද යන අතර, සෝදිසියට ලක් කෙරෙන අනෙක් ගුවන් පථය විහිදෙන්නේ ඉන්දීය සාගරය ඔස්සේයි.
එමෙන්ම සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන ප්‍රදේශය සීමා කිරීම පිණිස රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවද බලධාරීන් පෙන්වා දී තිබේ.
ක්වාලාලම්පූර් නුවර සිට බෙයිජිං බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු යානයේ ගමන් මාර්ගය, යානය තුළ සිටි කිසිවකු විසින් වුවමනාවෙන්ම වෙනස් කරන ලද බව මේ වනවිට විශ්වාස කෙරෙයි.
මීට දින දහයකට ඉහතදී අතුරුදහන් වූ යානය චීන භූමිභාගය තුළ සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ බව මේ අතර චීනයද ප්‍රකාශ කළේය.
එය මධ්‍යම ආසියාව දක්වා දිවෙන කිලෝමීටර තුන්දාහක විශාල ප්‍රදේශයක් බවත් කියැවෙයි.
ඒ අනුව, චීනයේ දකුණු දේශසීමාවේ සිට හිමාලය කඳුවැටියට උඩින් මධ්‍යම ආසියාවේ කාන්තාර දක්වා විශාල ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව චීන බලධාරීහු පවසති. නමුදු, මෙතරම් විශාල ප්‍රදේශයක් හරහා රේඩාර් තිරයට අසු නොවී, ගුවන් යානයකට පියාසර කිරීමට හැකියාවක් තිබේද යන පැනයද බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.