තම සහකාරියගේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සති අන්තයේදී වැලෙරි ට්රයර්වෙයිලර් හමුවීමට ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා වැලෙරි ට්රයර්වෙයිලර් ප්‍රංශ රෝහලෙන් පිටව ගිය අතර, ප්‍රමාණයට වඩා අධිකව නිදිපෙති බීම හේතුවෙන් ඇය මෙසේ රෝහල් ගත කෙරුණු බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
ප්‍රතිකාර ගැනීමෙන් පසු ඇය වර්සයිල්ස් ජනාධිපති මන්දිරයට කෙලින්ම පැමිණි අතර, ජනාධිපතිවරයා ඉන් අනතුරුව ඇය බැලීමට පැමිණ ඇති බව ඔහුගේ සේවකයෙකුගෙන් ලද තොරතුරක් අනුව මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ඇතැම් වාර්තාවලින් කියැවෙන්නේ වැලෙරි ට්රයර්වෙයිලර් හා ඇගේ වර්තමාන පෙම්වතිය වන ජූලි ගෙයිට් ගෙන් තමන්ට වඩාත්ම ගැළපෙන කාන්තාව තෝරා ගැනීමට ප්‍රංශ ජනාධිපතිවරයාට යම් කාලයක් ගතවනු ඇති බවය.
නමුත්, ජනාධිපතිවරයාගේ සමීපතම සේවකයෙකු උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා පවසා සිටින්නේ මේ වනවිට ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ වර්තමාන සහකාරිය වන වැලෙරි ට්රයර්වෙයිලර් අතර සම්බන්ධය දැනටමත් අහවර බවය. එමෙන්ම, ඇයට ජනාධිපති මන්දිරයෙන් ඉවත්වීමට කියන දිනයද වැඩි ඈතක නොවන බව ඔහු පවසා තිබේ.
හොලන්ඩේ ජනාධිපතිවරයා ලබන පෙබරවාරියේ සිදුකිරීමට නියමිත ඇමෙරිකානු සංචාරයට පෙර වැලෙරි ට්රයර්වෙයිලර් සම්බන්ධ ඔහුගේ ස්ථාවරය ප්‍රකාශයට පත්වනු ඇති බවද ප්‍රංශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.